මූලික අයිතිවාසිකම්වල වියදමින් ජාතික ආරක්ෂාව සහතික කළ නොහැකයි –  ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධානය

රජය විසින් යෝජනා කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධානය බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, මූලික අයිතිවාසිකම් අහිමි කිරීමෙන් සැබෑ ජාතික ආරක්ෂාව කිසි විටෙකත් සහතික කළ නොහැකි බව පෙන්වා දී ඇත.

දැනට ක්‍රියාත්මක වන 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ නමින් නව නීතියක් ගෙන ඒමට රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. මෙම අරමුණින් සකස් කරන ලද පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ පිළිබඳ අදහස් සහ යෝජනා මේ මස 28 වන දිනට පෙර තමා වෙත එවිය යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර නිවේදනය කර ඇත. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශකයක් ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අධිකරණ අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව අපි අපගේ බරපතළ කනස්සල්ල පළ කරමු. ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සහතික කිරීම සඳහා රාජ්‍යයට වගකීමක් ඇති බව පිළිගන්නා අතරම, දැනට යෝජිත කෙටුම්පත් නීතියේ දශක ගණනාවක් තිස්සේ ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට හානි කිරීමට හේතු වූ ඉතාමත් දරුණු විධිවිධාන බොහොමයක් අඩංගු වේ. මෙම සන්දර්භය තුළ, නව කෙටුම්පත් නීතිය මඟින් මර්දනකාරී නීති ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් මත පදනම් වූ ජාතික ආරක්ෂක න්‍යාය පත්‍රයක් හරහා මහජනතාව අතර විශ්වාසය ගොඩනැගීම යන මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීම පසුබෑමකට ලක් කර ඇත.

ත්‍රස්තවාදී පනතට අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, චෝදනාවකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, බලහත්කාරයෙන් ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම ඇතුළු අපයෝජන පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත. පනත යටතේ ලබා දී ඇති බලතල සුළු ජාතීන්ට එරෙහිව බිය, අවිශ්වාසය සහ කොන් කිරීමේ හැඟීමක් ඇති කිරීම සඳහා භාවිතා කර ඇත. පනත ප්‍රතිසංස්කරණය කිරීමට නැවත නැවතත් පොරොන්දු වුව ද, පනතෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ජීවමාන අත්දැකීම්වලින් පෙනී ගොස් ඇත්තේ පුළුල් විෂය පථයක් ඇති සහ පුද්ගල ආරක්ෂාව සහතික නොකරන ත්‍රස්තවාදී පනත් අපයෝජනයට ලක්වීමේ ප්‍රවණතාවක් ඇති බවයි.

ඒ අතරම, නව කෙටුම්පත් නීතිය මගින් “ත්‍රස්තවාදය” යන යෙදුමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ඉතා පුළුල් අර්ථකථනයක් ලබා දී තිබීම ගැන අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. එවැනි විධිවිධාන නීතිය තුළ සිදු කළ හැකි ආගමික, සිවිල් සමාජය සහ මානුෂීය ක්‍රියාකාරකම් සඳහා, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන්ට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇත.

මූලික අයිතිවාසිකම් පාවා දීමෙන් සැබෑ ජාතික ආරක්ෂාව කිසි විටෙකත් සහතික කළ නොහැකිය. රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති නීති කිසිදු පීඩනයකින් තොරව මහජනතාව ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ යුතුය. එපමණක් නොව, ඒවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට ද යටත් විය යුතු බව” ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධානය සිය නිවේදනයේ අවධාරණය කර ඇත.

Leave A Comment