රට ඉදිරීයේ ඇති අභියෝග හමුවේ ඊළඟ පාර්ලිමේන්තුව වෙත පැවරෙන කාර්යභාරය සහ මහජනතාව සතු වගකීම
- Editor
- October 11, 2024
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments

නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ වගකීම පාර්ලිමේන්තුවටත්, උඟුලක නොවැටී සිටීමේ වගකීම ජනතාවටත් තිබෙනවා – නීතිඥ චාමර නානායක්කාරවසම්

අති දැවැන්ත මධ්‍යම පන්තිය සතුටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

උගතුන් – වෘත්තිකයින් පාර්ලිමේන්තුවට පත්කර යවන්න ඕනෑ කියන අදහස දේශපාලනිකව කොතරම් ප්‍රායෝගික ද ? – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
ක්රමයේ වෙනසක් ඉල්ලා අරගල කළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක තීන්දුවක් ගෙන තිබේ. දැන් තවත් එවැනිම තීරණාත්මක තීන්දුවක් ගැනීමට අවස්ථාව හිමිවන මහ මැතිවරණය ද පැමිණ තිබේ. 225ම එපා යන්න එදා අරගලකරුවන්ගේ ප්‍රකට සටන් පාඨයක් වූයේ ජනතාව පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කළ කාර්යභාරය එමගින් නිසි පරිදි ජනතාව අපේක්ෂා කළ අයුරින් ඉටු නොවූ නිසාය. එ නිසා තම වගකීම හා කාර්යභාරය නිසි පරිදි හඳුනාගත් සහ එකී වගකීම හා කාර්යභාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් හා දැක්මක් ඇති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම දැන් ජනතාව හමුවේ පවතින වගකීම වී තිබේ. ඒ සමග රට හමුවේ පවතින අභියෝග ද අවධානයට ගැනීමට ජනතාවට සිදු වේ.
ආර්ථික අර්බුදයේ අඳුරු සෙවණැලි තව දුරටත් පවති. ආර්ථිකය ජනතාව අපේක්ෂා කරන හෝ ඔවුන්ට සතුටු විය හැකි තත්ත්වයකට තවමත් පැමිණ ඇති බවක් දැකගත නොහැකිය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත යුතු නව එකඟතා හෝ සිදුකළ යුතු වෙනස්කම් ද තිබේ. ජනතාව අතර දැඩිව අප්‍රසාදයට පත්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තීරණාත්මක කටයුත්තක් වන අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීමට පැහැර හැරිය නොහැකි අභියෝගයකි. මේ ආකාරයෙන් තීරණාත්මක හා සංකීර්ණ අභියෝග රැසක් රට හමුවේ පවතින අතර එකී සියලු අභියෝග ජය ගැනීමට ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව සතු තීරණාත්මක කාර්යයභාර්යයන් ය.
පසුගිය ඉරිදා පැවති 197 වැනි කතිකාව වැඩසටහන තුළින් අවධානය යොමු කරන ලද්දේ ඒ් ගැන ය. රට හමුවේ ඇති අභියෝග සැලකීමේදී ඊළඟ පාර්ලිමේන්තුව වෙත පැවරෙන කාර්යභාරය සහ එහිදී මහජනතාව සතු වගකීම මැයෙන් වූ මෙම විද්වත් සංවාදයට සම්පත්දායකයින් ලෙස, ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී, ආචාර්ය ඉන්දි අකුරුගොඩ සහ විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, නීතිඥ චාමර නානායක්කාරවසම් යන විද්වතුන් සහභාගී වූහ. මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
පසුගිය ජනාධිපතිවරණය ඉතාමත්ම සාමකාමී එකක් වීම සහ බල හුවමාරුව ද එවැනිම ආකාරයෙන් ඉතා ම සාමකාමී ලෙස සිදුවීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ ශක්තිමත්භාවය සම්බන්ධ කදිම උදාහරණයක් බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ නීතිඥ චාමර නානායක්කාරවසම් පෙන්වා දුන්නේ ඉදිරි පාර්ලිමේන්තුව හමුවේ පවතින සමීපතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදය බවයි. මේ අතර 1994 සිට පවතින දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනමතයට සංවේදී වීම ඉදිරි පාර්ලිමේන්තුව හමුවේ පවතින තවත් ප්‍රධාන අභියෝගයක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ වගකීම පාර්ලිමේන්තුවටත්, උඟුලක නොවැටී සිටීමේ වගකීම ජනතාවටත් තිබෙනවා – නීතිඥ චාමර නානායක්කාරවසම්
පසුගිය ජනාධිපතිවරණය ඉතාමත්ම සාමකාමී එකක් වීම සහ බල හුවමාරුව ද එවැනිම ආකාරයෙන් ඉතා ම සාමකාමී ලෙස සිදුවීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ ශක්තිමත්භාවය සම්බන්ධ කදිම උදාහරණයක් බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ නීතිඥ චාමර නානායක්කාරවසම් පෙන්වා දුන්නේ ඉදිරි පාර්ලිමේන්තුව හමුවේ පවතින සමීපතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදය බවයි. මේ අතර 1994 සිට පවතින දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනමතයට සංවේදී වීම ඉදිරි පාර්ලිමේන්තුව හමුවේ පවතින තවත් ප්‍රධාන අභියෝගයක් බව ඔහු පෙන්වා දුන්නේ ය.
2019 දී බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හැර 1994 සිට බලයට පත් වූ සෑම ජනාධිපතිවරයෙක් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දී ඇති බවත්, වත්මන් ජනාධිපතිවරයා සහ ඔහු නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් බරපතළ විවේචන සහිත සහ එය අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටි පක්ෂයක් බවත් චාමර මෙහිදී සිහිපත් කළේය.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් චාමර නානායක්කාරවසම් මෙසේ ද සඳහන් කළේය, ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ දිගට සිටි පක්ෂයක්. 1994 ජනාධිපතිවරණයට ජවිපෙ සහාය ලබන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්ති එම ජනාධිපතිවරණ සටනින් ඉවත්කර ගැනීමට පවා හේතු වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දුන් පොරොන්දුවයි. මේ ආකාරයෙන් ඔවුන් අඛණ්ඩව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිනවා. ඒ අනුව යමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යන ස්ථාවරයට යම්කිසි ආකාරයක දේශපාලන ඒකමතිකභාවයක් තිබෙනවා. ඒ වගේම තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනවා කියන ස්ථාවරයේ මේ සෑම ආණ්ඩුවක් ම සිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2000 දී ව්‍යවස්ථා කෙටුම්පතක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ යුතුය යන ස්ථාවරයටත් යම් පමණක දේශපාලන ඒකමතිකත්වයක් තිබෙනවා.
මෙහිදී චාමර පෙන්වා දුන්නේ තමා විසින් ඉහතින් දක්වන ලද ප්‍රධාන අභියෝග ද්විත්වයට අමතරව ජාතික ප්රශ්නය නැතහොත් බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ද නිදහසින් පසු යුගයේ සිට අඛණ්ඩව පැවතෙන අභියෝගයක් වන බවයි. බලය බෙදා හැරීම ඉදිරි පාර්ලිමේන්තුවට තීරණාත්මක අභියෝගයක් වන්නේ කෙසේදැයි නීතිඥ චාමර දුරටත් මෙසේ පැහැදිලි කළේය, “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන විට බලය බෙදීමකට යනවාද? නැද්ද? කියන කාරණය තීරණාත්මක ලෙස සලකා බලීමට සිදු වෙනවා. එතකොට වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අභියෝගය තමයි ඔවුන් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක් ද? කියන එක. ඔවුන් මීට පෙර බලය බෙදීම සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට යම්කිසි ස්ථාවරක සිටියත් දැන් පක්ෂයක් ලෙස නොවෙයි ආණ්ඩුවක් ලෙස බලය බෙදීම සම්බන්ධයෙන් ස්ථාවරයක් ගන්න සිදුවෙනවා. ඒක වෙනස් තත්ත්වයක්.
මෙහිදී අලුත් පාර්ලිමේන්තුව හමුවේ පවතින තවත් අභියෝගයක් ගෙන හැර දැක්වූ නීතිඥ චාමර නානායක්කාරවසම් ඉදිරි පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පැමිණිය හැකි බවට සිය විශ්වාසය පළ කළේය.
මෙසේ පැමිණෙන නවක මන්ත්‍රීවරුන් විශාල පිරිසත් සමඟ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එයට මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග ගැන සිය අදහස පැහැදිලි කරමින් චාමර මෙසේ ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගයෙන් පමණක් නොවෙයි තවත් බොහෝ පක්ෂවලින් නවක මන්ත්‍රීවරුන් පැමිණීමට නියමිතයි. ඔවුන්ට තිබෙන අභියෝගය තමයි 225ම එපා කියලා කියන පොදු අදහස වෙනස් කිරීමට කටයුතු කිරීම. එසේම ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ විශාල අපේක්ෂාවක් තිබෙනවා. ඔවුන් පරණ දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි කියලා ජනතාව අතර විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ කියන්නේ මිනිස්සු හිතන පතන ආකාරයට අලුත් නායකයින්ට මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වෙන කාලවලට වඩා ජනතාව ඉතාම ළඟින් පාර්ලිමේන්තුව සුපරීක්ෂණය කරනවා.
මෙම තත්ත්වය සංෂිප්ත කරමින් චාමර පෙන්වා දුන්නේ ඉදිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි මහජන සුපරීක්ෂණයකට ලක් වනවාට අමතරව පරණ පාරට වැටුණොත් දැඩි විරෝධයකට ද මුහුණ දීමට ද සිදුවීම අනිවාර්යය වනු ඇති බවයි. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් චාමර මෙසේ ද සඳහන් කළේය. එපමණක් නොවෙයි රාජ්‍ය ආයතනවලට සිදුකළ යුතු අනිවාර්යය පත් කිරීම් පවා ජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් සිදු නොවී පරණ විදිහට සිද්ධ වුණොත් ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වීම අනිවාර්යයි. ඒ නිසා පාර්ලිමේන්තුවට සිද්ධ වෙයි ජනතාව අපේක්ෂා කරන දේශපාලන සංස්කෘතියට අනුවර්තනය වෙමින් වෙනස් වෙන්න.
ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස දරන ස්ථාවරය කුමක් දැයි පැහැදිලි කර ගැනීමේ අභියෝගයට වත්මන් ආණ්ඩුව මුහුණ දෙනු ඇතැයි ද පෙන්වා දුන් චාමර, රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් කිරීම, රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ පත්වීම් ලබාදීම සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රවේශය ආදි වශයෙන් තීරණාත්මක හා සංවේදී ආර්ථිකමය අභියෝග ගණනාවක් ද ඉදිරි පාර්ලිමේන්තුව හමුවේ නිර්මාණය වනු ඇතැයි පෙන්වා දුන්නේ ය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ මහජනතාව සතු වගකීම කුමක් විය යුතුදැයි පැහැදිලි කරමින් නීතිඥ චාමර සඳහන් කළේ, ඉක්මන් වෙනසක් අපේක්ෂාවෙන් ආණ්ඩු මාරුවක් කළ ජනතාව ආණ්ඩුවට ඒ වෙනස කිරීමට කොපමණ කාලයක් ලබා දීමට සූදානම් ද? යන්න ද ආණ්ඩුවට තීරණාත්මක විය හැකිය යන්න ය.
එසේම ආණ්ඩුව යම්කිසි ආකාරයකින් දූෂණ මර්ධන කටයුතු හා පසුගිය කාලයේ දූෂණ ගැන සොයා බැලීමට කටයුතු කළහොත් එයින් අගතියට පත්වන පාර්ශ්ව එල්ල කරන සමාජ ප්‍රතිරෝධය සහ විරෝධය හමුවේ උඟුලක නොවැටී සිටීමේ වගකීම ද ජනතාව හමුවේ පවතින බව පෙන්වා දුන් චාමර ඉදිරි පාර්ලිමේන්තුව දේශපාලනඥයින්ට පමණක් නොව ජනතාවට ද අතිෂය තීරණාත්මක කඩඉමක් වනු ඇති බව තම විශ්වාසය බව ද සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මහ මැතිවරණය ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ලක්ව, බංකලොත් වූ රටක බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මධ්‍යම පාංතික නැගිටීමක් තුළින් සිදු වුණ පසුගිය අරගලය දේශපාලනමය වශයෙන් පමණක් නොව ආකල්පමය වශයෙන් ද අතිෂය තීරණාත්මක එකක් වූ බව ද පෙන්වා දුන්නේ ය. වර්තමානය වන විට මෙරට මධ්‍යම පංතිය සමස්ත ජනගහනයෙන් 70-80%ක් දක්වා අතිෂය පුළුල් පරාසයක් දක්වා විහිදි ඇතැයි ද එය දකුණු ආසියාවේ විශාලතම මධ්‍යම පංතිය බව ද කීවේය.

අති දැවැන්ත මධ්‍යම පන්තිය සතුටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
පසුගිය ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මහ මැතිවරණය ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ලක්ව, බංකලොත් වූ රටක බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මධ්‍යම පාංතික නැගිටීමක් තුළින් සිදු වුණ පසුගිය අරගලය දේශපාලනමය වශයෙන් පමණක් නොව ආකල්පමය වශයෙන් ද අතිෂය තීරණාත්මක එකක් වූ බව ද පෙන්වා දුන්නේ ය. වර්තමානය වන විට මෙරට මධ්‍යම පංතිය සමස්ත ජනගහනයෙන් 70-80%ක් දක්වා අතිෂය පුළුල් පරාසයක් දක්වා විහිදි ඇතැයි ද එය දකුණු ආසියාවේ විශාලතම මධ්‍යම පංතිය බව ද කීවේය.
අනපේක්ෂිත ලෙස පුළුල් හා බලවත් වූ මෙරට මධ්‍යම පංතියේ වුවමනා එපාකම් සහ බලය ගැන තමා 2023 ආරම්භයේ සිට අවධානයෙන් පසු වූ බව කී අජිත් අමරසිංහ මෙම මධ්‍යම පංතියේ අපේක්ෂාවක් ඉටු නොවන්නේ නම් ඔවුන් යළි නැගී සිටින බව තමා අවධාරණයෙන් පෙන්වා දුන් බව ද සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ ද පෙන්වා දුන්නේ. ඇත්ත වශයෙන්ම මධ්‍යම පංතියේ මේ අපේක්ෂා ඉටු නොවීම තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වුණේ. මධ්‍යම පංතිය විශාල වශයෙන් ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය විශාලතම ඡන්ද ප්‍රමාණය දිනා ගත්තා. එසේම සාපේක්ෂව මධ්‍යම පංතිය අඩු මැතිවරණ කොට්ඨාශවල ඔවුන්ට ලැබුණ ඡන්ද ප්‍රමාණය අඩුයි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය මධ්‍යම පංතියේ ප්රකාශනයක් ලෙස සැලකිය හැකියි. ඒ අනුව උගත්, වෘත්තීයභාවයකින් යුතු සහ ඉහළ අපේක්ෂා සහිත මධ්‍ය පංතියේ අභිලාෂයන් සපුරාලීම තමයි ඉදිරි පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම ආදි දේශපාලනික කරුණු පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරියට නොපැමිණි නමුත් ඒවා නොවැදගත් බව ඉන් අදහස් නොවන බව කී අජිත් අමරසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වූයේ ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ ඒමට කළ හැක්කේ කුමක්ද? යන්න බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදයට හේතුව නාස්තිය හා දූෂණය ලෙස මධ්‍යම පංතිය විශ්වාස කළ බවයි.
මේ හා ගමන් කළ තවත් කරුණු කිහිපයක වැදගත්කම පැහැදිලි කරමින් අජිත් අමරසිංහ තත්ත්වය තව දුරටත් විග්රහ කරමින් මෙසේ ද ප්‍රකාශ කළේය. අන්න ඒ නාස්තිය හා දූෂණය පිටුදැකිය හැකි දේශපාලන පක්ෂයට බලය දීම තමයි මේ අවස්ථාවේ දී සිදු වුණේ. ඒ වගේම තමයි මධ්‍යම පංතිය අතෘප්තියට පත්වන තවත් වැදගත් කරුණක් සිද්ධ වුණා. ඒ පසුගිය ආණ්ඩුව මධ්‍ය පංතිය මත ඍජු සහ වක්‍ර අධික බදු බරක් පැටවීමට ක්‍රියා කළා. ඒ වගේම ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගියා. මේ තත්ත්වය හමුවේ එළියට නොපෙනුණාට, නොපෙන්නුවාට මධ්‍යම පංතියේ විශාල පිරිසක් දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිළින්දන් බවට පත් වුණා. ඒ අනුව ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගය බලයට පත් කිරීමේ ගාමක බලවේගය බවට මේ අතෘප්තිමත්, පීඩාවට පත් වූ මාධ්‍යම පංතිය පත් වුණා.
ආර්ථික අර්බුදයෙන් බංකලොත්භාවයෙන් මිදීම ආණ්ඩුව ගත් පියවර මේ දක්වා නිසි ලෙස සාකච්ඡාවට ලක්ව නැති බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ බංකලොත්භාවයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිරිමැසුම්කරණය නමින් තමා විසින් නම්කරන ලද ආර්ථික උපාය අනුගමනය කළ බවත් පෙන්වා දුන්නේය. පිරිමැහීම යන වචනය මෙරට ජනතාවට සමීප වචනයක් බවත් එහි ඍණාත්මකභාවයක් නොමැති වීමත් හේතුවෙන් තමා මෙම වචනය භාවිත කළ බවත් අජිත් අමරසිංහ සඳහන් කළේය.
දූෂණය පිටුදැකීම හා නාස්තිය අවම කිරීම පිරිමැසුම්කරණ ප්රතිපත්තිවලින් දෙකක් පමණක් බව පෙන්වා දුන් අජිත් අමරසිංහ පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ගැන සාකච්ඡා වූ බව ද පෙන්වා දුන්නේ ය.
අකාර්යක්ෂම හෝ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිරිමැසුම්කරණ ප්‍රතිපත්තිය හා බැඳී පවතින බවත් ඉදිරි ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ අභියෝගය පවතින බවත් පෙන්වා දුන් ඔහු දැවැන්ත අයවැය හිඟය අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන (ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි) සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය පැහැදිලි කර ගැනීම ඉදිරියේ පවත්වන ආණ්ඩුව හමුවේ පවතින ප්රමුඛ අභියෝගයක් බව ද අවධාරණය කළේය.
නාස්තිය හා දූෂණය අවම කිරීමේ කටයුතු ආරම්භ කළ විගස මේ දක්වා ඒවාට අනුගතව සිටි දේශපාලන සහ නිලධාරී බලවේගවල බාධාවන්ට හා තර්ජනයන්ට මුහුණදීමට සිදුවීම අනිවාර්යය වන බවත් එම බාධාවන්ට සහ තර්ජනවලට මුහුණ දීමට දක්වන සමාර්ථකම මත ආණ්ඩුවේ පැවැත්ම තීරණය විය හැකි බවත් අජිත් අමරසිංහ පෙන්වා දුන්නේය.
මේ රට බංකලොත් වුණේ පිනට කන්න දුන්න නිසාය යන අදහසට තමා විරුද්ධ වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) වාර්තාවකට අනුව රජය සහනාධාර වශයෙන් දරන්නේ සමස්ත රාජ්‍ය ආදායමෙන් 2%ක් පමණක් බවත් පෙන්වා දුන් අජිත් අමරසිංහ යුරෝපයේ ධනවත් රටවල් සහනාධාර වශයෙන් සමස්ත රාජ්‍ය ආදායමෙන් 30%ක් පමණ දරන අවස්ථා තිබෙන බව හෙළි කළේය.
හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වීමට ඍජු බදු ප්‍රතිපත්තිය ප්‍රධාන සාධකයක් වූ බවත් ඉදිරි ආණ්ඩුවට ද ඍජු බදු අඩු කිරීම හෝ නොකර සිටීම තීරණාත්මක වනු ඇති බවත් කී අජිත් අමරසිංහ වක්‍ර බදු සම්බන්ධයෙන් ද සංවේදී වීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.
පිරිමැසුම්කරණ ප්‍රතිපත්තියේ දී අනුගමනය කළ යුතු තවත් වැදගත් කරුණක් පැහැදිලි කළ අජිත් අමරසිංහ පෙන්වා දුන්නේ ඵලදායී නොවන ක්ෂේත්රවල සිට ඵලදායී ක්ෂේත්‍ර දක්වා ශ්‍රම බළකාය විතැන් කිරීමේ අභියෝගය ද ඉදිරි ආණ්ඩුව හමුවේ තිබෙන තවත් සංවේදී අභියෝගයක් බවයි. මෙහිදී ප්රමුඛ වන්නේ රාජ්‍ය සේවය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම කිරීම බවත්, රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම කිරීම යනු නොයෙකුත් අභියෝග නිර්මාණය වන කටයුත්තක් බවත් එවැනි අවස්ථාවක ආණ්ඩුවට නොසිතූ අභියෝගය හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් අමරසිංහ මෙසේද කීවේය, ඉදිරි මහ මැතිවරණයෙන් බලයට පත් වන්නේ වමට බර ආණ්ඩුවක් බව සහතිකයි. යම් කිසි අවස්ථාවක මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ආර්ථිකමය කාරණා නිසයි. ඒ නිසා ආර්ථිකමය තීන්දු ගැනීමේදී ආණ්ඩුවට දැඩිව කල්පනාකාරී වෙන්න වෙයි. එහෙම නොවුණොත් මිනිස්සුන්ට 76 වසරක ශාපය, නාස්තිය, දූෂණය ආදිය බොහොම ඉක්මනට අමතක වෙයි. ඒත් පිරිමැසුම්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජාතික ජන බලවේගයට යම්කිසි සාධනීය තත්ත්වයක්, වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ලෙස මම දකින්නේ නිසි පරිදි ආර්ථිකය ස්ථාවරය කර ගැනීම සහ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ය.
ඉන්දියානු සාගර කලාපයේ අතිෂය තීරණාත්මක ස්ථානයක පිහිටීම ගෝලීය භූ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් හෙයින්, ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාවට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ ආචාර්ය ඉන්දි අකුරුගොඩ පෙන්වා දුන්නේ ගෝලීය භූ දේශපාලනික කුණාටුව තුළ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ කෙසේද? යන්න ගැන ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.

උගතුන් – වෘත්තිකයින් පාර්ලිමේන්තුවට පත්කර යවන්න ඕනෑ කියන අදහස දේශපාලනිකව කොතරම් ප්‍රායෝගිකද කියා සිතා බැලිය යුතුයි – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
ඉන්දියානු සාගර කලාපයේ අතිෂය තීරණාත්මක ස්ථානයක පිහිටීම ගෝලීය භූ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් හෙයින්, ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාවට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ ආචාර්ය ඉන්දි අකුරුගොඩ පෙන්වා දුන්නේ ගෝලීය භූ දේශපාලනික කුණාටුව තුළ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ කෙසේද? යන්න ගැන ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.
පසුගිය කාලය තුළ මෙරට බලයට පත් වූ ආණ්ඩු වත්මන් ගෝලීය බලවතුන් වන එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන බලවතුන් තිදෙනාගෙන් එක් පාර්ශ්වයක් වෙත පමණක් වඩාත් නැඹුරු වන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් ආචාර්ය අකුරුගොඩ පෙන්වා දුන්නා ය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඉහත දක්වන ලද සාධක ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඇය පෙන්වා දුන්නේ වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ඉන්දිය සහ ඇමෙරිකානු විරෝධී ඉතිහාසයක් ඇති බවයි. නමුත් ජජබ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවූ අතර ඊට පෙර ඔහු ඉන්දියාවේ සංචාරය කර තිබූ තත්ත්වය තුළ ඉන්දියාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය යළි සමාලෝචනය කළ යුතුව ඇති බව ද ආචාර්ය ඉන්දි අකුරුගොඩ කීවාය.
පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ශ්‍රී ලංකාව යළි සමබර විදේශ ප්‍රතිපත්තියක් වෙත ගමන් කළ බවත්, ඒ නිසාම අර්බුද සමයේ එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට පුළුල් සහායක් ලබා දුන් බවත් පෙන්වා දුන් ආචාර්ය අකුරුගොඩ 2022-24 රනිල් වික්‍රමසිංහ පාලනය තුළ මෙම රාජ්‍යයන් ත්‍රිත්වයෙන් ම සහාය ලබාගත් නමුත් තදින් බැඳුණු ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බව තම නිරීක්ෂණය බවත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේද කීවාය, විශාල ගෝලීය භූ දේශපාලන කුණාටුවක් මධ්‍යයේ තමයි පසුගිය ජනාධිපතිවරණය පැවැත් වුණේ. ඒ නිසා ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවට ගෝලීය භූ දේශපාලන න්‍යාය පත්‍ර හා ප්‍රමුඛතා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අභියෝගය තිබෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වුණේ 42.6%ක් වැනි සුළුතරයකින්. මේ තත්ත්වය ඉදිරි මහ මැතිවරණයේදී කුමන බලපෑමක් කළ හැකි ද යන්න ගැන දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයාට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලැබෙයි ද, නැතිනම් සුළුතර ආණ්ඩුවක් ලැබෙයි ද? කියලා දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒ වගේම උගතුන් හා වෘත්තිකයින් පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා සමාජ මතයක් නිර්මාණය වෙමින් තිබෙනවා. නමුත් මේක අලුත් දෙයක් නොවෙයි. මේක කාලයක් තිස්සේ විටින් විට උඩට ආ කාරණයක්. ඒ වගේම මෙම පිරිස පාර්ලිමේන්තුවට පත්ව තිබෙනවා. නමුත් ඔවුන් පසුගිය කාලය පුරා ප්‍රතිපත්ති සම්පාදනයට දක්වන ලද දායකත්වය කුමක් ද ? ඒක ප්‍රශ්නාර්ථයක්. මොකද මේ උගතුන්ට තිබෙන, ඔවුන් කියන පොතේ පතේ දැනුම මේ මහ පොළව මත පැළ කරන්න බැහැ. අප පෙන්වා දෙන දේශපාලන න්‍යාය හෝ අනෙකුත් කතාන්දර ජනතාවට අදාළම නැහැ. ඒ නිසා අපි උගතුන්, වෘත්තිකයින් පාර්ලිමේන්තුවට යවන්න සූදානම් නම් මේ ප්‍රායෝගික කාරණා ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ.
සටහන – තුෂාල් විතානගේ

