වික්ටර් අයිවන්: ‘අයුක්තිය නිර්භීතව විවේචනය කළ පුවත්පත් කලාවේ නවෝත්පාදකයා’

කිසියම් සේවයක් කළ මිනිසකු හෝ ගැහැණියක ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ගුණ ගැයීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිරිතයි. එහෙත් එවැනි පුද්ගලයකු ජීවත්ව සිටියදීම ඒ ප්‍රශංසාව ලබාදෙන්නේ නම් එය සමාජයට වඩාත් පලදායී වනු ඇති අතර එම පුද්ගලයාට ද තෘප්තිමත් හැඟීමක් ගෙනදෙනු ඇත. ශාස්ත්‍රඥයින් අතර මීට සමාන කටයුත්තක් සිදුවේ. එනම්, එසේ ප්‍රණාමයට ලක්වන පුද්ගලයාගේ එළියෙන් සිය ශාස්ත්‍රාලීය කටයුතු දියුණු කරගත් හෝ ඔහු හෝ ඇය සමග ශාස්ත්‍රීය කටයුතුවල යෙදුනු බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් කරන ලද විශිෂ්ඨ ගණයේ රචනාවන් ඇතුළත් ග්‍රන්ථයක් ඔහුට හෝ ඇයට උපහාර වශයෙන් ප්‍රකාශයට පත්කිරීමයි.  මා මේ කරන්නේ ඊට අනුරූප කටයුත්තකි.

වික්ටර් අයිවන්ට ප්‍රණාමයක් 

රාවය පුවත් පතේ ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්ට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්-ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය දා අභිනන්දනයක් කරනු ලැබිණ.  ඒ සමග ම, ඔහුගේ චරිතය සහ වෘත්තිය ජීවිතය පිළිබඳව ප්‍රහාරයන් ක්‍රියාත්මක වීම කුහුල මතුකරන්නකි.  තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමේ ශක්තිය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔහු සතුව පවතින බව මා විශ්වාස කරන හෙයින් මා මේ සූදානම් වන්නේ ඔහුගේ ආරක්ෂාවට ඉදිරිපත් වීමට නොව ඔහු වෙනුවෙන් ප්‍රශංසාත්මක යමක් ලියා තැබීමට ය.

කිසියම් සේවයක් කළ මිනිසකු හෝ ගැහැණියක ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ගුණ ගැයීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිරිතයි. එහෙත් එවැනි පුද්ගලයකු ජීවත්ව සිටියදී ම ඒ ප්‍රශංසාව ලබාදෙන්නේ නම් එය සමාජයට වඩාත් ඵලදායී වනු ඇති අතර එම පුද්ගලයාට ද තෘප්තිමත් හැඟීමක් ගෙන දෙනු ඇත.  ශාස්ත්‍රඥයින් අතර මීට සමාන කටයුත්තක් සිදුවේ. එනම්, එසේ ප්‍රණාමයට ලක්වන පුද්ගලයාගේ එළියෙන් සිය ශාස්ත්‍රාලීය කටයුතු දියුණු කරගත් හෝ ඔහු හෝ ඇය සමග ශාස්ත්‍රීය කටයුතුවල යෙදුනු බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් කරන ලද විශිෂ්ඨ ගණයේ රචනාවන් ඇතුළත් ග්‍රන්ථයක් ඔහුට හෝ ඇයට උපහාර වශයෙන් ප්‍රකාශයට පත්කිරීමයි.  මා මේ කරන්නේ ඊට අනුරූප කටයුත්තකි.

ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයේ ප්‍රබල භූමිකාව

වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ  පොදු යහපත සඳහා කැප වුණු බුද්ධිමතුන් අතරින් ප්‍රමුඛයායැයි  මම විශ්වාස කරමි.  දැනට රට තුළ උණුසුම්ව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ සංවාදය හැඩගැස්වීමේ ගෞරවය අන් කිසිවකුටත් වැඩියෙන් ඔහුට හිමිවිය යුතුය.  අපේ රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය බවට නොකඩවා  දිගු කලක් තිස්සේ වික්ටර් අයිවන් විසින් හඬ නගනු ලැබිණ.  මේ සම්බන්ධයෙන් ඔහු වසර ගණනාවක් තිස්සේ දැරූ ප්‍රයත්නය මේ වනවිට ඵලදරන්නට පටන් ගෙන තිබේ. 

අපේ රටට වැළඳී ඇති ව්‍යාධීන් සම්බන්ධයෙන් වික්ටර් අයිවන් විසින් කරනු ලබන රෝග මූල විනිශ්චය සමග මා සම්පූර්ණයෙන් එකඟ වන්නේ නැත. මා දරන අදහස නම්, අපේ සංවර්ධන මට්ටමේ පසුවන, අප වැනි බහු-වාර්ගික සංයුතියෙන් යුතු රටකට විධායක ජනාධිපති ක්‍රමය වඩාත්ම උචිත ක්‍රමය වන බවයි.  එහෙත්, එය ක්‍රියාත්මක විය යුත්තේ නියමාකාර සංවරණ සහ තුලන සහිතවය; එනම්, ස්වාධීන අධිකරණයක්, බලගන්වන ලද ව්‍යවස්ථාදායකයක් සහ පළාත් ආණ්ඩු ක්‍රමයක් සහිතවය.  මා වික්ටර් අයිවන්ගේ විශ්ලේෂණය සමග එකඟ නොවුණත්,  අදහස් තුලින් රාජ්‍ය ප්‍රතිපත්ති හැඩගැස්වීමට  වෙර දරන තවත් පුද්ගලයකු වශයෙන් ඔහු විසින් ලබන ලද ජයග්‍රහණ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා නොකර සිටින්නට මට නොහැකිය. 

රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ කිසියම් කරුණක් සම්බන්ධව හොඳම තත්ත්වය අත්කරගැනීම නොව අහිතකරම ප්‍රතිපලයන් ලැබීම වළක්වාලනු  පිණිසය.  බලය බෙදීම මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් සම්බන්ධව අපගේ ස්ථාවරය ඉදිරිපත් කර නියමිත අවස්ථාවේ දී වික්ටර් අයිවන් මතය වෙනස් කරන්නට අසමත් වූ අප දැන්, ඉතාමත්ම නරක ප්‍රතිපල වළක්වා ගනු පිණිස දෙවන හෝ තෙවන හොඳම විසඳුම සොයා ගැනීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇත.

අයුක්තිය විවේචනය කිරීම

2002 වර්ෂයේ දී මා නැවත ලංකාවට පැමිණි කාලයේ දී එවකට සිටි අග්‍ර විනිශ්චයකාරවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධව කතාබහක් පැවතිණ.  බල මධ්‍යස්ථාන දෙකක් පැවති ආණ්ඩුවේ පැවැත්ම ස්ථිර කිරීම සඳහා සීරුවෙන් කටයුතු කළයුතුව පැවති සහ සාම සාකච්ඡාවලට පොදු එකඟතාවයක් ලබාගැනීම අවශ්‍යව පැවති එවැනි අවධියක ඒ ආකාරයේ දෝෂාභියෝගයක් ගෙන ඒම වැරදි අදහසක් බව මගේ මතය විය.  එය  සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් නො වීය.  දෝෂාභියෝගය පාර්ළිමේන්තුවට ඉදිරිපත් කර දින කිහිපයක් ඇතුළත එවකට සිටි ජනාධිපතිනිය විසින් අමාත්‍යාංශ තුනක් තමන් යටතට ගනු ලැබිණ.  2014 වර්ෂයේ දී නැවතත් මහා මැතිවරණයක් පැවැත්වීමට තුඩුදුන් පළමු සිදුවීම එයයි.  ඒ සම්බන්ධයෙන් මා නිවැරදි වුව ද ඊට වඩා මූලික වරදක් මම කළෙමි.  සරත් සිල්වා අග්‍ර විනිශ්චයකාර ධූරයේ කටයුතු වලින් සමුගත් 2009 ජූනි 7 වැනි දා එළැඹුණු ප්‍රීතිජනක අවස්ථාවේ දී ලීයූ ලිපියකින් මම ඒ වරද පිළිගතිමි. ‍

ඒ, උසාවියට අපහාස කිරීමේ වරදට අත්තනෝමතික ලෙස ඇන්තනි ප්‍රනාන්දු සිරගත කිරීමෙන් වික්ටර් අයිවන් ලියූ දේ කියවන්නට මට පෙළඹවීමක් ඇති කරන්නට පෙර මා දැරූ අදහස ය.  මා සිටියේ වැරදි අදහසකය, එහෙත් රටේ අගමැති තනතුරු දැරූයේ මා නොවේ. 

 . . .  . . .  . . .

උපරිම අයුක්තිය නිර්භීතව විවේචනය කරන්නකු වූ වික්ටර් අයිවන් පවසන්නට කැමැත්තක් දක්වන්නේ රටේ පවතින සියලු විපත්වලට මුල 1978 ව්‍යවස්ථාව බවයි.  එහෙත්, මේ සිල්වා වෘත්තාන්තය විසින් එම ප්‍රත්‍ය බොරු කර තිබේ. මේ විනාශය ඇති කළේ වරණීයව ක්‍රියාත්මක කළ එම ලියැවිල්ල විසින් නොවේ.  මේ වූ කලී, හිටපු ජනාධිපතිවරියකු විසින් අදූරදර්ශීව, ස්වයං යහපත තකා ද අවසානයේ ස්වයං විනාශයක් බවට  ද පත්කරගත්  පාපයක ද හිටපු අගමැතිවරයකු ගේ ප්‍රමාද දෝෂයකින් ඇති වූ පාපයක ද  පිටකොන්ද පණ නැති නීති වෘත්තියක් විසින් වරද කිරීමට ලබා දෙන ලද සහාය ද  සමාජයේ අනෙකුත් අයගේ (වික්ටර් අයිවන්, ඇන්තනි ප්‍රනාන්දු. දේශමාන්‍ය ආර් කේ ඩබ්ලිව් ගුණසේකර සහ තවත් කිහිප දෙනෙක් හැර) වහල් නිශ්ශබ්දතාවය ද විසින් ඇති කරන ලද ප්‍රතිපලයකි. 

අධිකරණ ක්ෂේත්‍රයේ වික්ටර් අයිවන් විසින් කරන ලද  මහඟු  මෙහෙවර ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයෙන් හෙළිකරන ලදි.   ලංකාවේ අධිකරණයේ දූෂිත බව සරත් සිල්වාගෙන් ඔබ්බට ද දිවයන්නක් බව වික්ටර් සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය.  නමුත්, පුදුමයට කරුණ නම් ඔහු විසින් ප්‍රතිපත්ති සහගතව හා නිර්භයව සිදුකරන ලද හෙළිදරව් කිරීම්වලට පසුවද, හිටපු අගවිනිසුරුවරයා ඇතුළු කිසිදු දුර්ජනයකුට කිසිදු අහිතකර ඵලවිපාකයක් විඳින්නට සිදු නො වීමයි.  වඩාත් කණගාටුවට කරුණ නම් ජාතික වැදගත්කමක් ඇති කරුණු ගැන කතා කරන්නට රටේ ජනමාධ්‍ය මේ පුද්ගලයින්ගෙන් තවමත් වේදිකාවක් සැපයීමයි. 

පුවත්පත් කලාවේ නවෝත්පාදන

මම රාවය පුවත්පතට ලිපි සපයමි. ‘අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද‘ නම් මගේ  පොත 2012 වර්ෂයේ දී රාවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.  මගේ ලිපිවල අන්තර්ගතය සහ මතවාදය රාවයට ලිපි සපයන වැඩි දෙනෙකුගේ (සමහර විට රාවය කියවන්නන් වැඩි දෙනෙකු ගේ) අදහස්වලට සහ මතවාද වලට දුරස්ත වන්නකි.  එහෙත්, වික්ටර් අයිවන් විසින් තනා තබන ලද වේදිකාවේ මා වැන්නවුන්ට ද ඉඩක් තිබේ. 

මේ විවෘත බව ආර්ථික කරුණු සම්බන්ධව ලියැවෙන ලිපිවලට පමණක් සීමා වූවක් නොවේ.  යුද්ධයේ අවසාන සමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට වික්ටර් අයිවන් තීරණය කළ අවස්ථාවේ ඔහුගේ තීරු ලිපිය සමඟ එක පිටුවේ ඔහුගේ ක්‍රියා කලාපය විවේචනය කෙරෙන ලිපි ද පලවිය.  පුවත්පතේ කතුවැකි වලින් කියැවුණු  දේ පවා ඔහුගේ අදහස්වලට සමහර විට වීරුද්ධ ඒවා විය.

වික්ටර් අයිවන් ගේ කර්තෘත්වය යටතේ රාවය, එකිනෙකට විරුද්ධ මතවාදයන්ට විවෘත වූවක් විය.  නමුත්, මා දකින අන්දමට නියම ජයග්‍රහණය වනුයේ  මේ විවෘත බව ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ කේ. ඩබ්ලිව්. ජනරංජන යටතේ ද වඩාත් ශක්තිමත්ව දිගටම ඉදිරියට යාමයි.  මෙයින් පැහැදිලි වන්නේ, සිය පුවත්පතෙහි සංස්කෘතිය තුළට හර පද්ධතියක් එබ්බ වීමට වික්ටර් අයිවන් සමත්ව ඇති බවයි.  මේ සඳහා මෙන්ම පුවත්පතෙහි මෙහෙයවීම් කටයුතු සාර්ථකව වෙනත් කෙනෙකුට පැවරීම වෙනුවෙන් ඔහුට වෙනම ත්‍යාගයක් දීමට වටී.

මහාචාර්ය රොහාන් සමරජීව

Leave A Comment