විභාග ක්‍රමයේ වෙනසක් මඟින් වඩා හොඳ අධ්‍යාපනයක්: අභියෝග සහ ප්‍රවණතා මොනවාද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම ඉරු දිනකම මෙහෙයවනු ලබන ‘කතිකාව‘ කාලීන සමාජ සංවාදයේ මෙවර සාකච්ඡාවට ලක්වූයේ ‘විභාග ක්‍රමයේ වෙනසක් මඟින් වඩා හොඳ අධ්‍යාපනයක්‘ යන කාලීන මාතෘකාවය. මේ සංවාදය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර, හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන විද්වතුන් සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සංවාදය මෙහෙයවනු ලැබුවාය.

සංවාදයට ප්‍රවේශයක් ගනිමින් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ ලංකාවේ විභාග ක්‍රමය දශක ගණනාවකින් වෙනසකට ලක්ව නැති බවයි. 1965-70 යුගයේ සාමාන්‍ය පෙළ විභාගයේ යම් වෙනසක් සිදුකළත් 1970 දී බලයට පත් රජය එය යළි මුල් තත්ත්වයට පත් කළ බව කී ආචාර්ය සුජාතා 65-70 සමයේ ක්‍රියාත්මක වූ විභාග ක්‍රමය තව දුරටත් පැවැතියේ නම් තත්ත්වයේ ධනාත්මක වෙනසක් සිදුවිය හැකිව තිබූ බව පෙන්වා දුන්නාය. 1997 දී ප්‍රාථමික විෂය මාලාවට ‘ඉතා වැදගත්‘ ප්‍රතිසංස්කරණ මාලාවක් සිදුකළ නමුත් එහි ඇතැම් අංශ සිසුන්ට සේම ගුරුභවතුන්ට ද වෙහෙසකර වූ බව ඇය කීවාය.

මෑතකාලීනව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් සමග විභාග ක්‍රමයේ වෙනසක් යෝජනා කර ඇති බවත් ඒ ගැන තමා සතුටට පත්වන බවත් කී ආචාර්ය සුජාතා ගමගේ ‘විභාග ක්‍රමයේ බර අඩු කිරීම‘ යන අදහස ළමුන්ට වාඩිවීමට ඇති ප්‍රශ්න පත්‍ර ගණන අඩු කිරීමක් ලෙස ලඝු කර ඇතැයි ද පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය සුජාතා ගමගේ මෙසේද කීවාය, ‘ඇත්තටම විභාග බර අඩු කිරීම කියලා මම දකින්නේ ඊට වඩා පුළුල් දෙයක්. විභාග බර නිසා ඊට අදාළ විෂය මාලාව, ක්‍රියාකාරකම්, නිර්මාණශීලීව, විචාරශීලීව හැදීරීම වෙනුවට ‘විභාගයට පාඩම් කිරීමක්‘ බවට පත්වෙනවා. ඒ වගේම මට හැමදාම තිබුණ ලොකු ම ප්‍රශ්නයක් තමයි අපි සාමාන්‍ය පෙළ විභාගයට විෂයන් පනස් ගණනකුත්, උසස් පෙළ විභාගයට විෂයන් හැට ගණනකුත් ඉගෙන ගන්නවා. නමුත් මේක දකින කොට මට නම් හිතා ගන්නවත් බැහැ ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මේ ක්‍රමයෙන් හදන්නේ කොහොමද ? කියලා. හැමෝම කියන්නේ අපේ විභාග ක්‍රමය සරල විය යුතුයි, ළමුන්ගේ නිර්මාණශීලීභාවය ඇගයීමට ලක්කළ හැකි එකක් විය යුතුයි කියලා. ඒත් ඒක කරන්නේ කොහොමද සමාන්‍ය පෙළ පන්තියට භාෂා තුනෙන් විෂයන් පනහක් හැටක් එක්කරලා, උසස් පෙළ පන්තියට විෂයන් හැටක් පමණ නිර්දේශ කරලා‘

මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ ‘අපේ ළමයි පාසල තුළ වයසට යන්නේ ඇයි ? කියන ප්‍රශ්නයට හේතුව වශයෙන් 13 වසරක අධ්‍යාපනය උපුටා දක්වන බවයි. එය සත්‍ය හේතුවක් නොවන බවත්, එක්සත් ජනපදය, ෆින්ලන්තය ඇතුළු රටවල වසර 13ක අධ්‍යපනය ලබාදීමක් සිදුවන බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය ගමගේ මෙසේද කීවාය, ‘ඒ හැම රටකම අවුරුදු 18 තමයි ළමයෙකුගේ අවසන් පාසල් වසර වෙන්නේ. ඔවුන් වසර 18 දක්වා කාලයක් පාසල් අධ්‍යාපනය තුළ ගත කරනවා. නමුත් අපේ රටේ උසස් පෙළ කරන ළමයෙක් තමන්ගේ 19 වැනි උපන්දිනයට පැමිණ සිටිනවා. මේ වෙන කොට වෙන රටවල ළමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. මෙන්න මේ තත්ත්වය තමයි අපි වෙනසකට ලක්කළ යුතු වන්නේ‘

මෙම සංවාදයට එක්වෙමින් ආචාර්ය දර්ශන සමරවීර පෙන්වා දුන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2018 වසරේ සිට විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවයි. සෑම වසර 08කට වරක් විෂය මාලා ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇතැයි ද 1999, 2007, 2015 විෂයමාලා ප්‍රතිසංස්කරණ සිදුකළ බවත් 2023 දී විෂයමාලා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හේතුවෙන් එය පමා වූ බව ද කී ආචාර්ය සමරවීර 2023 දී මේ සියලු අර්බුද හමුවේ ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ එළිදැක්වීමට අවස්ථාව උදා වූ බව ද සඳහන් කළේය.

13 වසරක අධ්‍යාපන ක්‍රමය අවුරුදු පහක්, හතරක් සහ හතරක් වශයෙන් ක්‍රියාත්මක වන බවත් මේ වසර 13ක කාලය තුළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන බවත් කී ආචාර්ය සමරවීර පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරදාරා අවසන් වන විට සැලකිය යුතු කාලයක් ගතවීම ‘සැබෑම‘ ප්‍රශ්නයක් බව කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය සමරවීර, ‘මේකට හේතුව අප කවුරුත් කතා කරන විභාග සහ විභාග ක්‍රමවේදය සමග බැඳිලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපේ දරුවෝ (දැනට) දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගය කරන අතර උසස් පෙළ කරන්න පාසලට යන්න මාස 08ක් බලාගෙන ඉන්නවා. මේ දරුවා උසස් පෙළ අවසන් කරන විට අවුරුදු 19ක් වෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තවත් කාලයක් යනවා. වෛද්‍ය විද්‍යාලයේ වැඩිපුරම ඉන්නේ දෙවැනි හෝ තෙවැනි වර විභාගය සමත් වී වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුව දරුවෝ. ඇත්තටම ඔවුන් වෛද්‍ය විද්‍යාලයට යන්නේ අවුරුදු 22 -23ක් ගත වුණාට පස්සේ. ඉතිං මේක වළක්වන්න එක ක්‍රමයක් ලෙස, එවකට ජනාධිපතිතුමා විසින් පත්කරන ලද කමිටුවක් මේ කාලය අඩුකර ගන්න සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පවත්වලා උසස් පෙළ පන්ති ජනවාරී මාසයේ පැවැත්වීමට නිර්දේශ කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මේ නිර්දේශ ක්‍රියාත්මක කළොත් වසය අවුරුදු 18දීම දරුවෙකුට පාසලින් නික්ම යා හැකි බවයි. අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මෙකත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා‘

හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දුන්නේ, අගෝස්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයත්, දෙසැම්බර් මාසයේ උසස් පෙළ විභාගයත් පැවැත්වීමට හැකියාව තිබේ නම් විභාග ක්‍රමය මුහුණ දෙන ගැටලු සැලකිය යුතු ලෙස අඩුවන බවයි. මධ්‍යගත විභාග ක්‍රමය තිබෙන තාක් කල්, විභාග පැවැත්වීම, ප්‍රශ්න පත්‍ර ඇගයීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව පෙන්වා දුන් හිටපු විභාග කොමසාරිස්වරයා ‘එය කිසිවෙකුට නතර කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ හිටපු විභාග කොමසාරිස්වරයා, ‘හැබැයි අපට පුළුවන් මේ ගනු ලබන කාලය ‘අවම‘ කිරීම සඳහා වන වැඩපිළිවෙළකට යන්න. උදාහරණයක් ලෙස කාර්යසාධන බළකායක් ලෙස, පළපුරුදු ගුරුවරු සියලු දෙනාම උත්තර පත්‍ර ඇගයීමට සහභාගී කරවා ගන්න පුළුවන් නම් පිළිතුරු පත්‍ර ඇගයීමේ කාලය අවම කර ගත හැකියි. ලකුණු ඇගයීම සඳහා විශාල කාලයක් ගත වුණත් මේ උත්තර පත්‍ර ඇගයීම් කාලය අතරතුර ලකුණු පරිඝණක ගත කර ගන්න පුළුවන් නම් සැලකිය යුතු කාලයක් අඩුකර ගත හැකියි. අපි මේ ක්‍රමය මීට පෙර අත්හදා බලා තිබෙනවා. ඒ ක්‍රමය ඉතාම සාර්ථකයි. මෙවැනි උපක්‍රමශීලී වැඩ තුළින් අපට කාලය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට අවස්ථාව උදා වෙනවා“

මෙම සංවාදයට එක් වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කියා සිටියේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් සෞන්දර්ය අධ්‍යාපනය ‘කපා දමා‘ ඇතැයි තමා තුළ තිබූ බිය මේ වන විට පහව ගොස් ඇති බවයි. සෞන්දර්ය අධ්‍යාපන ක්‍රමය සම්බන්ධ ‘සමස්ත ආකල්පමය ප්‍රශ්නයක්‘ ලංකාව තුළ ඇති බවත් එම ආකල්පය තිබෙන තාක් කල් සෞන්දර්ය අධ්‍යාපනයට නිසි ඇගයීමක් නොලැබෙන මහාචාර්ය තේනුවර කීවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්යවරයා, ‘ගණිතය, විද්‍යාව විශිෂ්ඨ විෂයන් ලෙසයි හැමෝ ම කල්පනා කරන්නේ. බොහෝ දැන උගත් පුද්ගලයින් පවා චිත්‍ර, නාට්‍ය, සංගීතය ආදි සෞන්දර්ය විෂයන් හුදු විනෝදාස්වාදය සඳහා ඉගෙන ගන්නා විෂයන් ලෙසයි කල්පනා කරන්නේ. ඉතිං මුලින්ම මේ ආකල්පය වෙනස් විය යුතුයි“

මෙහිදී මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පෙන්වා දුන්නේ මේ වන විට දෘශ්‍ය කලා විෂයධාරාව යටතේ විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන සිසුන්ගේ සංඛ්‍යාව වසරින් වසර අඩුවන බවයි. දැනට වසර තුනකට පමණ පෙර සිසුන් 750ක් පමණ ඉල්ලුම් කළ බවත් මේ වන විට එම සංඛ්‍යාව 500 දක්වා පහත වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය වැඩි දුරටත් පැහැදිලි කළ මහාචාර්යවරයා, ‘අපි හිතනවා මේ විදිහට ගියොත් තව ටික කාලයක් ගතවිට විට සිසුන් 100ක් පමණ අපට ලැබෙයි කියලා. ඒකත් තව ටික කාලයක් ගත වන විට ක්ෂය වෙලා යයි. මේක වෙන්නේ සෞන්දර්ය විෂය සම්බන්ධයෙන් තිබෙන ආකල්පය නිසා. මේක වෙනස් කිරීමකින් තොරව ගමනක් නැහැ‘ යැයි කීවේය.

Tags:

Leave A Comment