ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්ත්වය සොයා බලන්න – අධිකරණ ඇමැතිට ‘සාධාරණ සමාජයෙන්’ ඉල්ලීමක්
- Editor
- June 25, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තත්වය සොයා බලා සිදුකල යුතු ප්‍රතිසංස්කරණයන් නිර්දේශ කිරීම සඳහා වගකීම් සහගත කමිටුවක් පත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ නිධන්ගතව පවතින අපරාධ රාජ්‍යයේ මූල කඳවුරු, මත්ද්‍රව්‍ය ඇතුළු කළු වෙළඳ සිටුවරුන්ගේ රාජධානී මෙන්ම අවමන් සහගත උපවිඥානගත මානව විරෝධී සංස්කෘතිය යන තත්ත්වයන් සැලකීමේ දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තත්වය සොයා බලා සිදුකල යුතු ප්‍රතිසංස්කරණයන් නොපමාවම සිදු කල යුතුව පවතින බවය.
දේශපාලන සිරකරුවෙකු ලෙස දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි මො.ල සෙනෙවිරත්න මහතා සිය අත්දැකීම් පාදක කරගනිමින් ලියා ඇති කෘතියක් මගින් බාහිර සමාජයට ඇස නොගැටෙන බන්ධනාගාර පද්ධතියේ ඇතුල් පැත්ත මනා ලෙස විවරණය කර ඇති බව පෙන්වා දෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒ මගින් රටේ සමාජ ආර්ථික දේහයට මෙන්ම සිවිල් සමාජයේ ආරක්ෂාවට ද ඇති කරන දැවැන්ත බලපෑම සැලකිල්ලට ගත යුතුව ඇතැයි සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තත්ත්වය සොයා බලා සිදු කල යුතු ප්‍රතිසංස්කරණයන් නිර්දේශ කිරීම සඳහා වගකීම් සහගත කමිටුවක් පත්කරන ලෙස ද එහිදී සිරකරු අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටින සංවිධානයන්ට මෙන්ම සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් සංවිධාන හා පුද්ගලයන්ට එකී කමිටුව හමුවට ගොස් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත.

