සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියන්නේම උභතෝකෝටිකයක් –  නීතිඥ හෂානි පතිරණ

මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි.

පොදුවේ ගත් විට පොදු ජන සමාජයට මේ පනත් ගැන සැලකිය යුතු අවබෝධයක් නැත. ඔවුන් මේ පනත් දෙක එකක් ලෙස සලකන අවස්ථා ද දැක ගත හැකිය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

මේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ‘කතිකාව’ 295 වැනි සංවාදයේ දී නීතිඥ හෂානි පතිරණ කරන විශ්ලේෂණයයි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මේ වන විට ගැසට් කර තිබෙනවා. නමුත් මේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සමාජයට වැඩි වැටහීමක් නැති බවක් පේනවා. බොහෝ දෙනෙක් අහනවා මේ දෙක එක පනතක් ද කියලා. ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

නීතිඥ හෂානි පතිරණ:  ඉතාම පැහැදිලිව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියන්නේ දෙකක්. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ලෙස, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත තියෙන්නේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් ලෙස. සංවිධානාත්මක අපරාධයකට ත්‍රස්තවාදය වගේම පාතාල කල්ලියක සාමාජිකත්වය ගැනීම වැනි කාරණාත් ඇතුළත් වෙනවා. නමුත් සංවිධානාත්මක අපරාධයක් කියන්නේ ඉතාම පුළුල් ක්ෂේත්‍රයක්. උදාහරණයක් ලෙස යම්කිසි වනාන්තරයක සිදුවිය හැකි අපරාධයක් පවා සංවිධානාත්මක අපරාධයක් ලෙස සැලකෙනවා.

මේ සම්බන්ධ ලැයිස්තුවක් පනත් කෙටුම්පතේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතින් ආවරණය නොවන අපරාධ මේ පනතෙන් ආවරණය කිරීමේ අරමුණක් තිබෙන බව පේනවා. ‍

මේ පනතට අනුව අපරාධයකට ත්‍රස්තවාදී සංවිධානායක සමාජිකයෙකු වීම ම අවශ්‍ය නැහැ. මේ නිසා මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්විය හැකියි. මොකද මේ පනත හරහා මානව හිමිකම් කඩවීම් සිදුවිය හැකි බවට අභියෝග කළ හැකියි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතත් ගැසට් කර තිබිය දී ඇයි ආණ්ඩුව මෙවැනි පනතක් ද සම්මත කර ගැනීමට යන්නේ ?. ශ්‍රී ලංකා රජය අත්සන් කළ, හෝ එකඟ වූ එක්සත් ජාතීන්ගේ සම්මුතීත් මේ පනත ගෙන ඒමට පසුබිම් වුණා කියලා අදහසක් තිබෙනවා. මේ හරහා රටක සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙනුත් එක්සත් ජාතීන් මේ තරම් උනන්දු වෙනවද කියන අදහසක් ඇති වෙනවා. ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විවිධ සම්මුතීන්වලට එකඟ වෙනවා, ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ආකාරයේ සම්මුතීන්ට එකඟ වූ පමණින් හෝ අත්සන් කළ පමණින් ඒවා රටක් තුළ නීතියක් බවට පත්වෙන්නේ නැහැ. සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සම්මත කර ගන්නේ 2000 වර්ෂයේ ජූලි මාසයේ දීයි. 2006 සැප්තැම්බර් 22 තමයි ලංකාව මේ සම්මුතියට අත්සන් තැබුවේ. ඒ කියන්නේ දශක දෙකක පමණ කතාවක් මෙතැන තිබෙනවා. අනෙක් අතට මෙතැන සිද්ධ වෙන්නේ ඒ එකඟත්වයට සම්පූර්ණයෙන් අනුගත වීමක් නො වෙයි. නමුත් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට පසුගිය කාලයේ කළ විවිධ සංශෝධන වලට එක්සත් ජාතීන්ගේ සම්මුතියේ සඳහන් නොයෙකුත් විධිවිධාන ඇතුළත් වෙලා තිබෙනවා.

නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. අපරාධවල වර්ධනයක් වගේම ඒවාට යම් යම් ජාත්‍යන්තර සම්බන්ධතා ද එකතු වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපරාධ වර්ධනයට ජාත්‍යන්තර සබඳතා ද පුළුල් ලෙස දායක වෙනවා. එවැනි පසුබිමක් තිබෙන තත්ත්වයක් තුළ එක්සත් ජාතීන් සංවිධානාත්මක අපරාධ පිළිබඳ සම්මුතිය වඩාත් වැදගත් වෙනවා විය හැකියි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස, දේශපාලන අදහස ගැන මට වැටහීමක් නැහැ. නමුත් මෙහි නෛතික තත්ත්වය, පසුබිම ගැන පැහැදිලි කළ හැකියි.

  • අපරාධ වළක්වා ගැනීම සඳහා ලංකාවේ නෛතික රාමුව තුළ යම් යම් නීති තිබෙනවා. එවැනි පසුබිමක් තිබිය දීත් ඇයි නව නීති සම්මත කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ ?

ඒකට විවිධ හේතු තිබෙන්න පුළුවන්. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය තිබිය දී තමයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත එන්නේ. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නඩු විභාග කිරීම වැනි කාරණාවලට අදාළව තමයි මේ නව නීති එන්නේ. උදාහරණයක් විදිහට යම් කිසි පුද්ගලයෙකුගේ ගිනුම් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරලා, ඒ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් පරිදි තමයි අපට අදාළ පුද්ගලයාගේ ගිනුම් පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම විදේශ ගමන් තහනම් ගැනීම ආදි සියල්ලටම මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය, නියෝගය අවශ්‍යයි. නමුත් නව පනතින් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් තොරව පවා විමර්ශන කටයුතු කරන්න පුළුවන්. මේකේ හොඳ සහ නරක යන දෙකම තියෙන්න පුළුවන්. පුද්ගලිකත්වය අහිමි වීම, පුද්ගලික ආරක්ෂාව, පුද්ගලික දත්ත වෙත රජයට තිබෙන ප්‍රවේශය බරපතළ කරුණු ලෙස සැලකිය හැකියි. අපි මේවා ගැන කතා කළ යුතුයි.

මම මෙහි දකින බරපතළ තත්ත්වය තමයි, සාමාන්‍ය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 37 වන වගන්තිය කියනවා අත්අඩංගුවට ගත් ඕනෑම සැකකාරයෙක් අත්අඩංගුවට ගෙන පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුුතුයි කියලා. නව පනත අනුව පොලිසියට පැය 72ක් යම්කිසි සැකකාරයෙක් රඳවා ගන්න පුළුවන්. නමුත් මේ බව පැය 24ක් ඇතුළත ‘ළඟම ඥාතියෙකුට’ අනිවාර්යෙන්ම දැනම් දිය යුතුයි. නමුත් මෙතන පොලිසියට යම්කිසි සහනයක් දීලා තිබෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව දන්නවා පොලිසිය මේවා ක්‍රියාත්මක කරන ආකාරය. මේක අපි කාටවත් අලුත් දෙයක් නොමෙයි. මේක තමයි ප්‍රායෝගික තත්ත්වය. මේක මතභේදාත්මක තත්ත්වයක්. අපරාධ යුක්තිය ඉටුවීමටත් මේක බලපානවා.  නව නීතිය අනුව පැය 72ක් රඳවා ගෙන, පැය 24ක් ඇතුළත ළඟම ඥාතියෙකුට මේ ගැන දැනුම් දීමට හැකියාවක් නැති නම් ඒ ගැන පොලිස් පොතේ සටහනක් දැමිය යුතුයි. මේක බරපතළ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒ වගේම මේ නව ප්‍රතිපාදන සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අතර පරස්පරතාවකුත් නිර්මාණය කරනවා. මේ ගැන සමාජය පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි. ජනතාව මේ ප්‍රතිපාදන ගැන මනාව දැනුවත් විය යුතුයි කියලා මම හිතනවා.

  • යම් නීතියක හෝ පනතක සඳහන් කාරණා අර්ථ නිරූපණය කරන ආකාරය ඉතාම වැදගත්. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත තුළ පවා මේ අර්ථ නිරූපණය සම්බන්ධ ගැටලු තිබෙනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ‘සංවිධානාත්මක අපරාධ’ අර්ථ නිරූපණය කරලා තිබෙන්නේ කොහොමද ?

මේ පනතේ පරමාර්ථය වෙන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල, ඒවාට සම්බන්ධයක් තිබෙන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වැළැක්වීම, මර්දනය සහ මැඩපැවැත්වීම. ඒ වගේම අදාළ විමර්ශන පැවැත්වීමෙන් වරදකරුවන්ට දඬුවම් කිරීම. මේක ඕනෑම පනතක තිබෙන දෙයක්. ඒ වගේම ජාතික සහ අන්තර්ජාතික සහයෝගය වර්ධනය කිරීම, මේකත් මෑත කාලීනව ආපු පනත් බොහෝමයක තිබෙන සුලභ දෙයක්. මේකට හේතුව පැහැදිලියි. වර්තමානයේ සිදුවන බොහොමයක් අපරාධවලට  වෙනත් රටවල පුද්ගලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. මේකත් සාමාන්‍ය තත්ත්වයක්. අපරාධකරුවෝ සහ කල්ලිත් සංවිධානය වෙනවා, වෙන්න පුළුවන්. අපරාධ විද්‍යාවේ කියන ආකාරයට යම් අපරාධයක් නිර්මාණය වෙන්න ඒ රටේ හෝ සමාජයේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය ඍජුව අදාළ වෙනවා. මීට කලකට පෙර අධිකරණවල දී විදේශීය ජාතිකයින් දකින්නට ලැබුණේ නැති තරම්. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා, චීන, රුසියානු, යුක්ක්‍රේන ආදි රටවල් බොහොමයක පුද්ගලයින් අද අපේ අධිකරණවල සැකකරුවන් ලෙස ඉදිරිපත් කරනවා.

මේ පනත් කෙටුම්පතේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ පනතේ සංවිධානාත්මක අපරාධයක් යනු කුමක්දැයි අර්ථ දැක්වීම තමයි වැදගත්. මේ පනතේ කියනවා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්නේ කොහොමද කියලා. පනතේ අර්ථ දැක්වීම අනුව යම් පුද්ගලයෙක් ශාරීරිකව යම් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් නොවෙන්න පුළුවන්. නමුත් පනත් කෙටුම්පතට අනුව ‘අතත්‍ය මාධ්‍ය’ ඒ කියන්නේ ඔන්ලයින් විදිහටත් මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

උදාහරණයක් විදිහට යම් කිසි අපරාධයක්, සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කියන්න පුළුවන්, ‘මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධයි කියලා. මොහුගේ මිතුරෙක් ඔන්ලයින් හරහා සිය මිත්‍රත්වය පවත්වා ගෙන යන්න පුළුවන්. ඔහු මේ කිසිවක් ගැන දන්නේ නැහැ. නමුත් යම්කිසි අවස්ථාවක පොලිසියට කියන්න පුළුවන්
 “මොහු අදාළ සංවිධානාත්මක අපරාධකරු සමඟ ඔන්ලයින් හරහා කතා කරලා, සාකච්ඡා කරලා තිබෙනවා’ කියලා. එවිට අදාළ පුද්ගලයාට අධිකරණයේ දී ඔප්පු කරන්න වෙනවා අදාළ අපරාධකරු සමඟ ඔන්ලයින් හරහා සම්බන්ධ වුණාට ඔහුගේ අපරාධ වලට කිසිම සහයෝගයක් හෝ අනුබලයක් නොදුන් බවට. අපරාධ මනසකින්, චේතනාවකින් ඔහු සමඟ කටයුතු නොකළ බවට අධිකරණය හමුවේ ඔප්පු කිරීමට අදාළ පුද්ගලයාට සිදුවෙනවා.

ඒ වගේම, ‘කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයින්’ කියලා අර්ථ නිරූපණයක් තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් කියලා ඔන්ලයින් හරහා අපි හඳුනා ගන්නේ කොහොම ද, ඒ වගේම මේ සම්බන්ධතාව තුළ කිසිම අපරාධමය සම්බන්ධයක් නැහැ, ඒක සද්භාවයෙන් කළ එකක් කියලා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට සිදුවෙනවා.  උදාහරණයක් විදිහට යම් ප්‍රදේශයක ප්‍රකට පුද්ගලයෙක් තවත් ප්‍රදේශයක අපරාධකරුවෙක් ලෙස ප්‍රකට වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන නොදැන ඉන්න පුළුවන්. නමුත් අපි ඔහු සමඟ භෞතිකව සම්බන්ධ නොවී ඔන්ලයින් හරහා සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියා වෙන්න පුළුවන්.

එපමණක් නොවෙයි, සංවිධානාත්මක අපරාධකරුවෙක් වර්තමානයේ අයෙක් නොවෙන්න පුළුවන්, ඔහු ඊට කලින් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන්නත් පුළුවන්. අපි කොහොමද යම්කිසි පුද්ගලයෙක්ගේ ඉතිහාසය ගැන දැන ගන්නේ, මේක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. වර්තමානයේ පුනරුත්ථාපනයට ලක් වූ හිටපු ත්‍රස්තවාදී සාමාජිකයින් ද සිටිනවා. නීතිඥවරියක් ලෙස මට තිබෙන ප්‍රශ්නය තමයි මේ ආකාරයෙන් පුනරුත්ථාපනයට ලක් වූ හිටපු ත්‍රස්තවාදී සාමාජිකයින්ට මේ පනත යටතේ යම් අගතියක් වෙන්න පුළුවන් ද කියන කාරණය.

මේක තවත් සරල උදාහරණයකින් පැහැදිලි කළොත්, එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක්. එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින් විශාල පිරිසක් පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළින් පුනරුත්ථාපනය වෙලා අදටත් අපේ සමාජය තුළ ජීවත් වෙනවා. මේ යෝජිත නීතියට අනුව ‘ඔවුන්ටත් නැවත යම් බලපෑමක් තිබේ ද ?’ කියලා මට සැකයක් තිබෙනවා.

ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙනවා. ‘කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයින්’ ගැනත් තිබෙනවා. යම් කිසි සංවිධානාත්මක අපරාධ කල්ලියක ‘ප්‍රකට සාමාජිකයින්’ සහ ‘අප්‍රකට සාමාජිකයින්’ අපි හඳුනා ගන්නේ කොහොමද ?. මෙහි දී අදාළ පුද්ගලයින් පාවිච්චි කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්‍රා, පච්ච සටහන් ඇතුළත් වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේ පච්ච සටහන් ගැන අවබෝධයක් නැති පුද්ගලයෙක් මෙවැනි පච්චයක් කොටා ගත්තොත් කුමක් වෙයි ද, වාගේ ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා.

ඒ වගේම ප්‍රකට සාමාජිකයින් සමඟ සම්බන්ධ වීම, සංවිධානාත්මක අපරාධ කල්ලියකට බඳවා ගැනීම ගැන අපට හිතා ගන්න පුළුවන්. නමුත් කවුද දන්නේ මේ කණ්ඩායම සංවිධානාත්මක අපරාධ කල්ලියක් කියලා. ඔවුන්ට විවිධ වේෂයන්ගෙන් පෙනී සිටිමින් සාමාජිකයින් බඳවා ගන්න පුළුවන්. නමුත් කවුද දන්නේ ඔවුන් කවුද කියලා ?. උදාහරණයක් විදිහට සාහිත්‍ය ගැන කතා කරන කණ්ඩායමක් ගනිමු. මේ කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගන්න පුළුවන්. ඔවුන් අපරාධමය අරමුණකින් සංවිධානය වෙලා සිටින බව පසුව තමයි දැන ගන්න ලැබෙන්නේ. යම්කිසි ආකාරයකින් මේ කණ්ඩායම සංවිධානාත්මක අපරාධ කල්ලියක් ලෙස සැක කළොත් අර සාහිත්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණ පුද්ගලයින්ටත් වගකියන්න වෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මේ පනතේ තියෙන දේවල් කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙයි ද කියලා.

තවත් පැත්තක් ගනිමු, යම් ස්ථානයක් යම් තැනැත්තන් පුරුද්දක් ලෙස පැමිණෙන ස්ථානයක් ද ?, යම් යම් තැනැත්තන් පුරුද්දක් ලෙස ඒ ස්ථානයට පැමිණෙනවා ද ?. මේ ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයෙක් අදාළ ස්ථානයට ගියොත් වැරදිකරුවෙක් වෙනවා ද ?, මේ වාගේ උභතෝකෝටික ප්‍රශ්න ටිකක් මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. අපි පුරවැසියන් ලෙස මෙවැනි උභතෝකෝටික තත්ත්වයන් ගැන කතා කළ යුතුයි.

මෙහි දී වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. අපි මේ විවේචන තුළින් කිසිම ආකාරයකින් කියන්නේ නැහැ අපරාධ වැළැක්වීමට පියවර ගන්න එපා, නීති ගේන්න එපා කියලා. එහෙම නැතිනම් අපරාධ අඩු වුණොත් නීතිඥයෙක් ලෙස මගේ ආදායම අඩු වෙයි කියලා අදහසක් මට නැහැ. නමුත් මෙවැනි නීති මඟින් පුරවැසියන්ගේ පුරවැසි අයිතිවාසිකම්, මානව හිමිකම් කොතරම් දුරට කඩවෙනවා ද, ඒවට කොතරම් බලපෑම් වෙනවා ද කියන එක ගැන අපි මීට වඩා හිතන්න ඕනෑ. ඒ වගේම මෙවැනි තත්ත්වයන්ට යම් කිසි නිශ්චිත සීමාවන් දැක්විය යුතුයි.

උදාහරණයක් ලෙස ප්‍රකට පුද්ගලයින්, සංවිධාන නම් කළ යුතුයි. අපි දන්නවා එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් කියලා. නමුත් අනික් සංවිධාන මොනවද කියලා අපි දන්නේ නැහැනේ. එසේ නම් රජය විසින් අදාළ සංවිධාන, කණ්ඩායම් ගැන නිල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළ යුතුයි, එම සංවිධානවල, කණ්ඩායම්වල සාමාජිකත්වය (ප්‍රකට) ගැන දැනුවත් කිරීමක් කළ යුතුයි.  මෙවැනි නිල දැනුවත් කිරීමක් තිබුණොත් ජනතාවට අදාළ සංවිධානවලට සම්බන්ධ නොවී සිටිය හැකියි. නමුත් එවැනි නිල දැනුවත් කිරීමකින් තොරව මේ නීති සම්මත වුණොත් ජනතාව කොහොම ද කටයුතු කරන්නේ.

මේ විවේචනවලට ආණ්ඩුවට හෝ මේ පනතට සම්බන්ධ ආයතනවලට විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත් ඇත්ත තත්ත්වය මීට වඩා හානිකරයි. මෙවැනි චෝදනාවකට ලක් වුණ පුද්ගලයෙක්ට ඇප ලබා ගැනීම පවා කොතරම් දුෂ්කර ද කියලා අපි දන්නවා.

ඉතිරි කොටස හෙට

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානයක කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 295 වැනි කතිකාවේ දී (සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන විමසුමක් )  නීතිඥ හෂානි  පතිරණ විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

මෙම කතිකාව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවන ලදි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment