සහල්වලින් ස්වයංපෝෂිත වීමෙන් එහාට ගොස් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම නවීකරණය කළ යුතුයි – දුමින්ද ප්‍රියදර්ශන
- Editor
- March 22, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
දුමින්ද ප්‍රියදර්ශන – අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් සහල්වලින් ස්වයංපෝෂිත වීමෙන් එහාට ගොස් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම නවීකරණය කළ යුතුයැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධි පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා අවධාරණය කළේය.
දුමින්ද ප්‍රියදර්ශන මහතා මේ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 266 වැනි කතිකාවට සහභාගී වෙමිනි,
මෙම වැඩසටහන පසුගිය ඉරිදා (15) ‘ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය’ යන තේමාව යටතේ පැවැත්විණි.
මෙම කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිකේ මහත්මිය ද සහභාගී වූවාය.
මෙම කතිකාවේ දී දුමින්ද ප්‍රියදර්ශන මහතා දක්වන ලද අදහස්වලින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
වර්තමාන ගෝලීය දේශපාලන සිතියම දෙස බලන විට මැදපෙරදිග කලාපය පවතින්නේ ගිනි කන්දක් මතය. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සෘජු හා වක්‍ර ගැටුම්කාරී වාතාවරණය හුදෙක් කලාපීය යුද්ධයක් නොව, සමස්ත ලෝකයේම පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව වැනි භූ-දේශපාලනිකව වැදගත් එහෙත් ආර්ථික වශයෙන් සංවේදී රටකට මෙම යුධමය තත්ත්වය බලපාන්නේ කෙසේද? විශේෂයෙන්ම අපගේ දෛනික ආහාර වේලෙහි සුරක්ෂිතතාවයට මෙයින් එල්ල වන තර්ජනය කෙබඳුද? මෙම අවස්ථාවේදී කුමන පාර්ශවයක් රාජ්‍ය පාලනය කළ ද විවිධ ක්‍රමවේදයන් තෝරාගෙන අවම හානියක් ඇතිවන අයුරින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුමය.
- ආහාර සුරක්ෂිතභාවය වැදගත් ඇයි ?
ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත හැකි නිර්වචනයක් නොමැති බව කී දුමින්ද ප්‍රියදර්ශන මහතා, ඔහුගේ දීර්ඝ කාලීන භාවිතය අනුව ආහාර සුරක්ෂිතභාවය යන්න මෙසේ නිර්වචනය කළේය, “ආහාර සුරක්ෂිතතාවය (Food Security) යනු හුදෙක් වෙළඳපොළේ ආහාර තිබීම පමණක් නොවේ. ලෝක ආහාර සමුළුවේ නිර්වචනයට අනුව, සෑම පුද්ගලයෙකුටම පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතිකව මෙන්ම ආර්ථික වශයෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. වර්තමානයේ පවතින මැදපෙරදිග යුද්ධයක් වැනි ගෝලීය අර්බුදයකදී මෙම ‘ප්‍රවේශ වීමේ හැකියාව’ බරපතළ ලෙස අභියෝගයට ලක් වේ”.
මෙම නිර්වචනය මත පිහිටා දුමින්ද ප්‍රියදර්ශන මහතා යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් පෙන්නා දුන්නේය.
“යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට හේතු තුනක් තිබෙනවා. ඒ අතර සැපයුම් දාම බිඳ වැටීම ඉතාම වැදගත කරුණක්. මැදපෙරදිග කලාපයේ යුද්ධය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා ඇති විය හැකි අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ග අවහිරවීමෙන් ආනයනික භාණ්ඩ ප්‍රමාද වීම හෝ අත්හිටුවීම සිදුවිය හැකියි. ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම බරපතළ තත්ත්වයක්. ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි වීම මෙහිදී සියලු දෙනාගේම අවධානය යොමු වන කරුණක්. ඒ වගේම දේශීය නිෂ්පාදනයට සිදුවන බලපෑම් යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට හේතුවක් ලෙස දැක්විය හැකියි. පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සීමා වීමෙන් දේශීය වගාවලට බලපෑම් ඇති වීම මේ අතර ප්‍රධානයි. 2022 වර්ෂයේදී රසායනික පොහොර සීමා කිරීමේ තීරණයක් සමග 40%කින් පමණ වී අස්වැන්න අහිමි වීම වැනි කාරණා පිළිබඳව වර්තමානයේ දී විශේෂ අවධානයක් යොමුවිය යුතුයි” දුමින්ද ප්‍රියදර්ශන මහතා අවධාරණය කළේය.
- ගත යුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ
මෙවැනි අවදානමකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු උපායමාර්ග පහක් දුමින්ද ප්‍රියදර්ශන මහතා හෙළි කළේය. ඒ අනුව සැපයුම්කරුවන් විවිධාංගීකරණය (Diversification) කළ යුතුය. චීනය මත පමණක් යැපෙන්නේ නැතිව රුසියාව, කැනඩාව සහ ජෝර්දානය වැනි අනෙකුත් ප්‍රධාන පොහොර නිෂ්පාදකයන් සමඟ කල්තියා ගිවිසුම්ගත වීම, රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීම් හරහා පොහොර ලබා ගැනීමට කටයුතු කිරීම ඔහු නිර්දේශ කළේය. සංගෘහිත පෝෂක කළමනාකරණය (Integrated Nutrient Management) වැදගත් අවශ්‍යතාවක් ලෙස පෙන්නා දුන් ප්‍රියදර්ශන මහතා රසායනික පොහොර සහ කාබනික පොහොර ඒකාබද්ධව භාවිතා කරන ක්‍රමවේද ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව පෙන්නා දුන්නේය. මෙම නිර්දේශයේ වාසියක් ලෙ ඔහු සැලකුවේ රසායනික පොහොර භාවිතය 25% – 30% කින් අඩු කරමින් පසේ සාරවත් බව පවත්වා ගත හැකි බවයි.
නිරවද්‍ය කෘෂිකර්මාන්තය (Precision Agriculture) වෙත යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු පසේ පවතින පෝෂක මට්ටම පරීක්ෂා කර, අවශ්‍ය ප්‍රමාණයට පමක් පොහොර යෙදීම මඟින් අපතේ යාම සහ අතිරික්ත පිරිවැය අවම කිරීම කළ හැකි බව ද සඳහන් කළේය.
පොහොර සංචිත පවත්වා ගැනීම ඔහුගේ තවත් නිර්දේශයකි. හදිසි අර්බුදයකදී භාවිත කිරීමට හැකි වන පරිදි අවම වශයෙන් එක් වගා කන්නයකට ප්‍රමාණවත් පොහොර තොග රජය සතුව තබා ගැනීම මෙන්ම පවත්නා තොග සංචිත අසාමාන්‍ය මිල ගණන්වලට අලෙවි වීමට ඉඩ නොදීම සහ ඇතිවිය හැකි අක්රමිකතාවයන් පාලනය කිරීම සහ ඉන්ධන ලබාදීම වැනි ක්‍රමවේදයක් පොහොර ලබාදීමට ද ක්‍රියාත්මක කළ යුතු බව ඔහු නිර්දේශ කළේය.
අවසාන වශයෙන් ඔහුගේ නිර්දේශ අතර වූයේ දේශීය පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමයි. මෙරට පවතින එප්පාවල පොස්පේට් වැනි සම්පත් උපයෝගී කරගෙන දේශීයව පොහොර නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු කීවේය.
තම ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් දුමින්ද ප්‍රියදර්ශ මහතා මෙසේ ද සඳහන් කළේය, “එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ අනතුරු ඇඟවීම්, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IFPRI) පර්යේෂකයින් සහ S&P ග්ලෝබල් එනර්ජි විසින් සම්පාදනය කරන ලද වෙළඳපළ දත්ත පෙන්නුම් කරන්නේ ගැටුමේ බලපෑම ඉහළ යන ඉන්ධන මිල, සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම සහ පොහොර සැපයුම් දැඩි කිරීම හරහා කලාපයෙන් ඔබ්බට පැතිර යන බවයි. ගෝලීය ආහාර නිෂ්පාදනයට ප්‍රධාන යෙදවුම් සියල්ල රුසියාව-යුක්රේන යුද්ධයෙන් පැන නගින කළු මුහුදේ සැපයුම් දාම බාධා හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පැවති අස්ථාවරත්වයකින් පසුව ගෝලීය ආහාර මිල ස්ථාවර වීමට පටන් ගත් විට පීඩනය මතුවෙමින් තිබෙනවා”.
- කළ යුත්තේ කුමක්ද ?
ආහාර සුරක්ෂිතතාවය යනු හුදෙක් කෘෂිකාර්මික ගැටලුවක් නොව එය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් බව දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය. මැදපෙරදිග යුධමය තත්ත්වය අපට පාලනය කළ නොහැකි බාහිර සාධකයක් වුව ද, එහි බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් අප සතුව තිබිය යුතු බව අවධාරණය කළ ප්‍රියදර්ශන මහතා සහල්වලින් ස්වයංපෝෂිත වීමට එහා ගොස්, සමස්ත ආහාර පද්ධතියම නවීකරණය කිරීම හරහා ඕනෑම ගෝලීය අර්බුදයකදී නොසැලී සිටිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව ද පෙන්නා දුන්නේය. ඒ අනුව ඉදරියේදී ඇති විය හැකි ආහාර අර්බුදය පාලනය කර ගැනීම වෙනුවෙන් වර්තමානයේ ඉන්ධන සඳහා ලබා දෙන රාජ්‍ය දායකත්වය, මැදිහත්වීමම රසායනික පොහොර අංශය සඳහා ද ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
“අප විසින් ආර්ථික වශයෙන් කලාපීය මේන්ම ලෝකයත් සමග පවත්වා ගෙන යන සම්බන්ධතා මෙන්ම මෙම පවත්නා යුදමය තත්ත්වය හමුවේ ඔරොත්තුදීමේ කම්පන හැකියාව සහ මෙම යුදමය තත්ත්වය තව කොතෙක්කල් පවතී ද යන්න මත මෙම සියලු සාධක වෙනස්විය හැකියි. කෙසේ වුව ද ඉදිරි සති දෙකක කාලය මෙම දැනට පවතින යුදමය තත්ත්වය මෙලෙසම පවතී නම් ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ඇති විය හැකි අර්බුදය වඩාත් තීව්රර විය හැකියි” දුමින්ද ප්‍රියර්ශන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සටහන – තුෂාල් විතානගේ

