ස්වාධීන කොමිෂන් සභා දුර්වල නොකළ යුතුයි – සුනිල් ජයසේකර, මහ ලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

සුනිල් ජයසේකර, මහ ලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතා අවධාරණය කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අක්‍රියභාවයට පත් කිරීම සිදු නොවිය යුතු දෙයක් බවය. මේ තොරතුරු කොමිෂම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවල වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන් සුනිල් ජයසේකර සමඟ කළ විශේෂ සාකච්ඡාවකි.

ඇත්තටම ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒකට හේතුව තමයි, තොරතුර දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත කියන්නේ මහජනතාව බල ගැන්වීම සඳහා ස්ථාපිත කළ ප්‍රධාන පනතක්. එම පනත බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ලෙස ස්ථාපිත කළ තොරතුර දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ ගත් විට මේ රටේ දූෂණය වැළැක්වීමට ඉතාම තීරණාත්මක  මැදිහත් වීමකට උදව් කරන ආයතනයක්. මේ වාගේ ආයතනයක් මාස ගණනක් තිස්සේ නිවැරදි ලෙස බලාත්මකව නොතිබීම අපි සලකන්නේ මේ රටේ මහජන අයිතියට කළ දැඩි හානිදායක තත්ත්වයක් ලෙසයි. මේ වන විට නිල වශයෙන් කොමිෂමක් තිබෙනවා, නමුත් ඒක පූර්ණ වශයෙන් බලාත්මක නැහැ. මේ තත්ත්වය නිවැරදි කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක්.  මේක රටේ නීතියට සම්බන්ධ කොටසක්. තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන්නේ මූලික අයිතිවාසිකමක්. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වාම සභාපතිවරයෙක් නොමැතිව තොරතුරු කොමිෂම පවත්වා ගෙන යාමට ඉඩ හැරීම බරපතළ වරදක් ලෙස තමයි අපි සලකන්නේ.

ඔව් කොමිෂම ක්‍රියාත්මක වෙනවා, පනතට අනුව කොමිෂමේ විෂය පථය සහ බලතල ක්‍රියාත්මක කරන්න කොමසාරිස්වරු තිදෙනකුගේ සහභාගීත්වයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් නියමිත සාමාජික සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් සහිතව කටයුතු කිරීමේ දී කොමිෂමේ වැඩ කටයුතු ප්‍රමාද වීම වළක්වන්න බැහැ, ඒ වගේම තමයි කොමිෂම විසින් ගන්න තීන්දු – තීරණ අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කිරීමට ඇති ඉඩ ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ, තොරතුරු පනතට, නීතියට අනුව කොමිෂමේ නිල මුද්‍රාව තබන්න පුළුවන් සභාපතිවරයාට පමණයි, සභාපතිවරයා එය කළ යුත්තේ ද තවත් කොමසාරිස්වරු දෙදෙනකු ඉදිරිපිටයි.  නමුත් මේ වන විට  තොරතුරු කොමිෂමට තවත් සාමාජිකයෙකු පත් කළ යුතුයි. සභාපතිවරයාගේ වගේම කොමසාරිස්වරයෙකුගේ ද පුරප්පාඩුවක් තිබෙනවා. මේ තත්ත්වය තුළ කොමිෂම ගන්න තීන්දු – තීරණ, කරන විභාග, කරන පරීක්ෂණ නිසි පරිදි සිදු වෙනවා කියලා විශ්වාසයක් තැබිය නො හැකියි. එපමණක් නො වෙයි, ඇතැම් අවස්ථාවල අඩු සාමාජික සංඛ්‍යාවකින් ගන්න තීන්දු – තීරණ වලංගුත් නැහැ.

මේකම තමයි අපටත් තියෙන ගැටලුව. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම සාධාරණ හේතුවක් දක්වලා නැහැ. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජයෙන් ඇතුළු බලපෑම් කණ්ඩායම්වලින් එල්ල වන පීඩනය හෝ ඔවුන් කරන ඉල්ලීම් ආණ්ඩුව කිසිම සැලකිල්ලකට නොගන්නා බව ඉතාම පැහැදිලියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම මාධ්‍ය නිවේදන ඇතුළු තවත් ආකාර කිහිපයකින් ආණ්ඩුවට කරුණු දක්වා තිබෙනවා. මේ දක්වා මේ කිසිවකට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ, මේක කනගාටුදායක තත්ත්වයක්.

පැහැදිලිවම, එවැනි තත්ත්වයක් තිබියදීත්, කිසිම සාධාරණ හේතුවක් නැතිව මේ කටයුතු කරන ආකාරය අපටත් පුදුමයක්.  තොරතුරු කොමිෂමේ හිටපු සභාපති, උපාලි අබේරත්න ඉල්ලා අස් වුණේ පසුගිය මාර්තු 04 වැනිදා,  මේ දක්වා කාලයක් ගත වෙලා තිබියදීත් තොරතුරු කොමිෂමට සභාපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නොවෙයි. මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරන්නේ මොකක්ද  කියන එක අපට පැහැදිලි නැහැ. මේ අපැහැදිලි වාතාවරණය හමුවේ පවා අපට පෙනී යන කාරණය තමයි තොරතුරු කොමිෂම ගැන ආණ්ඩුව කිසිම අවධානයක් යොමු නොකරන බව. ඒක ඉතාම නරක තත්ත්වයක්. ඒක වහාම නිවැරදි කළ යුතු බවයි අපේ ඉල්ලීම.

අනෙකුත් රාජ්‍ය ආයතනවලට අදාළ ගත්විට එවැනි පත් කිරීමක් කළ හැකියි. නමුත් තොරතුරු කොමිෂන් සභාවට එවැනි පත් කිරීමක් කළ නොහැකියි. නමුත් තොරතුරු කොමිෂමේ සභාපති ධුරයට සුදුසුකම් තිබෙන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. තොරතුරු අයිතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පෙනී සිටිය, ඒ ගැන මනා පරිචයක් ඇති පුද්ගලයින් විශාල පිරිසක් මේ අතර සිටිනවා. ඒ නිසා තොරතුරු කොමිෂමට සභාපතිවරයෙක් සොයා ගැනීම අසීරු දෙයක් නොවෙයි. ඒ වගේම මේ වන විට තොරතුරු කොමිෂමට පත්කර සිටින කොමසාරිස්වරුනුත් ඉතාම කීර්තිමත් පිරිසක්. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් වන ඩී. එන් සමරකෝන්, මේ රටේ අති දක්ෂ මාධ්‍යවේදිනයක් හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥවරියක් ද වන කිෂාලි පින්තෝ ජයවර්ධන, ඒ වගේම තොරතුරු පනත ගැන විශාල හැදෑරීමක් කළ නීතිඥ ජගත් ලියනආරච්චි වැනි අය කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරනවා. මේ අතරින් අයෙක් පවා සභාපතිවරයා ලෙස පත් කළ හැකියි. එහිදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව පේනවා තොරතුරු කොමිෂමේ සභාපති පදවිය මේ දක්වා හිස්ව පවතින්නේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කිසිම අවශ්‍යතාවක්, අවධානයක් නැතිකම නිසා බව. මේක ඉතාම නරක තත්ත්වයක්.

එවැනි නරක පූර්වාදර්ශ නිසා තමයි අපට බියක් ඇති වෙලා තිබෙන්නේ, මේ උත්සාහය තොරතුරු කොමිෂම අක්‍රිය කරන්න, දුර්වල කරන්න, නැතිනම් බෙලහීන කරන්න ආණ්ඩුවට වුවමනාවක් තිබෙනවාද කියලා අපි සැක කරනවා. ආණ්ඩුවට එවැනි වුවමනාවක් තිබෙනවා නම් ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒකට හේතුව තමයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, මේ රටේ දූෂණය වැළැක්වීම සඳහා සක්‍රීයව මැදිහත් වෙනවා කියලා කියන රජයකට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ, ඒ වගේම කිසිම යුක්තිසහගත අයිතියක් නැහැ මෙවැනි ආයතන මේ ආකාරයට දුර්වල කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයත්, ආණ්ඩුවත් මැතිවරණයට පෙර පෙනී සිටි ප්‍රතිපත්ති හා අරමුණු සාක්ෂාත් කර ගන්න කටයුතු කරනවා කියලා ප්‍රදර්ශනය කළ යුතුයි. එය කළ හැකිවන්නේ මෙවැනි ආයතන වඩ වඩාත් සක්‍රීය කිරීම තුළින් පමණයි. නමුත් අවාසනාවට සිදුවෙමින් තිබෙන්නේ මෙවැනි ස්වාධීන ආයතන සක්‍රීය කරනවාට වඩා දුර්වල කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි.

තොරතුරු කොමිෂමට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ඉතාම උනන්දුවෙන් මැදිහත් වෙලා, කෙටුම්පත් කරලා, බලාත්මක කර ගැනීමට මැදිහත් වුණ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම සහතික කර ශක්තිමත් කිරීමේ විශාල වගකීමක් වර්තමාන ජනාධිපතිවරයාට තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍ය හරහා එළියට එමින් තිබෙන තොරතුරු දෙස බැලූ විට, විශේෂයෙන්ම මේ ස්වාධීන කොමිෂන් සභාවල අරමුණුවලට පටහැනිව යම් යම් ක්‍රියාමාර්ග ගන්න යම් උත්සාහයක් ආණ්ඩුවට තිබෙනවද කියලා යම් සැකයක් අපට තිබෙනවා. උදාහරණයක් විදිහට ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම (තොරතුරු කොමිෂමට අමතරව) කිසියම් ආකාරයකට විකෘති කරන්න, නැතිනම් වෙනස් කරන්න ආණ්ඩුවට වුමනාවක් තිබෙනවාද ? කියන සැකය බැහැර කරන්න අපට බැහැ. ආණ්ඩුවට එවැනි උත්සාහයක් තිබෙනවා නම් ඒක මේ රටට කරන විශාලම හානියයි. මොකද, මේ රටේ තනි, අත්තනෝමතික තීන්දු තීරණ ගන්න පාලනය ක්‍රමය යම් ප්‍රමාණයකට හෝ පාලනය කරන්න හැකියාව ලැබුණේ මේ ස්වාධීන කොමිෂන් සභා නිසා. එවැනි කොමිෂන් සභා අක්‍රිය කරන්න මේ ආණ්ඩුවට තියා කිසිම ආණ්ඩුවකට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි ඒක සලකන්නේ මේ රටට ද්‍රෝහි වීමක් ලෙසයි. උදාහරණයක් විදිහට ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ආණ්ඩුව සිය අසතුටට පත් කළ අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි වත්මන් අගවිනිසුරුතුමා පත් කිරීමට පෙර වෙනත් පුද්ගලයෙක් ඒ තනතුරට ගේන්න ආණ්ඩුවේ යම් සැලසුමක් තිබුණා. නමුත් නීත්‍යානුකූල ලෙස එම ක්‍රියාපටිපාටිය සිද්ධ නොවුණ නිසා ඒක ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම විගණකාධිපතිවරයා පත්කර ගැනීමට ආණ්ඩුව යම් උත්සාහයක් ගත්තා. ඒකත් ඉටුකර ගන්න නොහැකි වුණා. මේ අවස්ථා දෙකම ආසාර්ථක වුණේ මෙවැනි පත් කිරීම් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන්ගෙන් වෙනස්ව ආණ්ඩුව කටයුතු කළ නිසා. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ එවැනි වැරදි නිවැරදි කර ගනිමින් මේ ආයතන ශක්තිමත් කිරීමයි. එහෙම නැතිව තමන්ට වුවමනා පුද්ගලයින් මෙවට පත් කිරීමට නොහැකි නම් ඒවා දුර්වල කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒක මේ රටේ ජනතාවට කරන විශාලතම හානියක්. ඒ වගේම ජනතාව දැඩි අරගලයකින් දිනාගත් ඒ අයිතිවාසිකම් කප්පාදු කිරීම ඇත්තටම සාපරාධි ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණා කරලා මෙවැනි ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරනවා මිස එවැනි ආයතන දුර්වල කරන්න කටයුතු කරන්න එපා, ආණ්ඩුවටත්, පෙදුවේ ජන සමාජයටත් එහි ප්‍රතිවිපාක ඉතාමත් දරුණු වෙන්න පුළුවන්.

සිවිල් සමාජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එමඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළට අපේ සතුට සහ සහයෝගය ප්‍රකාශ කළා. මෙහිදී අපි (සාධාරණ සමාජය) අවධාරණය කරන කරුණු දෙකක් තිබෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා නම් ඒ සඳහා පාදක කරගත හැකි හොඳම මාර්ගය තමයි 2015-2019 කාලයේ ලාල් විජේනායකගේ ප්‍රධනත්වයෙන් රට පුරා ගිහින් ජනතාවගේ අදහස් විමසලා සම්පාදනය කළ යෝජනාවලිය, මගේ අදහස අනුව ඒක ඉතාම හොඳ යෝජනාවලියක්.  ඒ වගේම ලාල් විජේනායක කියන්නේ වත්මන් මාළිමා ආණ්ඩුව නියෝජනය කරන කඳවුර තුළ ඉන්න ප්‍රබල සාමාජිකයෙක්. ඔහු වැනි පුද්ගලයෙක් මැදිහත් වෙලා මේ රටේ විශාල පිරිසකගේ දායකත්වයෙන් සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පදනම් කරගෙන වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට කිසිම අපහසුවක් නැහැ. දෙවැනි කාරණය තමයි, ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීරගේ නායකත්වයේ සිට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක දක්වා සියලු නායකයින් පෙනී සිටි ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ කියන කාරණය නව ව්‍යවස්ථාවට පදනම් කරගත යුතුයි. අපි අවධාරණය කරන තෙවැනි කාරණය තමයි, ජනතා විමුක්ති පෙරමුණ ද මැදිහත් වෙලා සම්මත කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ගොඩනැගූ ස්වාධීන කොමිෂන් සභා දුර්මුඛ කරන්න, අඩපණ කරන්න හෝ දුර්වල කරන කිසිවක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නොතිබිය යුතුයි. මේ කාරණා අපි අවධාරණය කරමින් තමයි අපි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ. සමස්ත සිවිල් සමාජයම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. අපි ආණ්ඩුවේ මේ ක්‍රියාවලියට සුභපතනවා, සහයෝගය දක්නවා, ඒ වගේම මම මුලින් සඳහන් කළ සාධනීය අරමුණු, ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙලා තිබෙන කරුණු බැහැර නොකර, මේ රටේ අනාගතය යහපත් කළ හැකි අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණයකට ආණ්ඩුව මුල පුරයි කියලා අපි විශ්වාස කරනවා.

සංවාද සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment