2027 දීත් ආණ්ඩුවේ ගැළවුම්කාරයා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල – කථිකාචාර්ය උමේෂ් මොරමුදලි
- Editor
- November 19, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්වක් හරහා ඩොලර් බිලියන 1.5ක් රටට නොලැබෙන්නේ නම් අවම වශයෙන් ඩොලර් බිලියන 500ක් පමණ හෝ වෙනත් මූලාශ්‍ර හරහා ශ්‍රී ලංකාවට ලැබිය යුතුය. එය කළ හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමය. වර්ධනය වෙමින් පවතින ප්රවණතා හමුවේ 2027 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමේ සම්භාවිතාවක් පවතින බව අපට පැහැදිලිව හඳුනා ගත හැකිය.
2027 අයවැය සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර අයවැයට එරෙහි විරෝධතා ද මේ වන විට සංවිධානය වෙමින් පවතී. මේ පසුබිම තුළ 2027 අයවැය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අදහස් පළ කිරීමේ දී, මෙවර අයවැයේ ප්රමුඛ කාරණා තුනක් වෙත අවධානය යොමු කිරීම වැදගත් වේ.
මෙහි දී මුලින්ම සඳහන් කළ යුත්තේ විවිධාකාර සංඛ්‍යා ලේඛන සහ දත්ත ඉදිරිපත් කරමින් ජනපතිවරයා පැය තුනකට අධික කාලයක් පුරා අයවැය කතාව කළේය. මෙය බැලූ බැල්මට ‘කම්මැලි / බෝරිං’ තත්ත්වයක් ඇති කළේය. 2027 අයවැය සම්බන්ධයෙන් මා කළ ඇතැම් විශ්ලේෂණ වලදී මේ ගැන අවස්ථා ගණනාවක දී සඳහන් කළේය.
අනෙක් වැදගත් කරුණ වන්නේ 2026 අයවැයට සාපේක්ෂව ‘ලොකු ලොකු වෙනස්කම් කිරීමට’ මෙවර පියවර ගෙන නොතිබුණේය. ඒ කෙසේ වෙතත් මෙවර අයවැය ද සම්පාදනය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් පරාමිතීන් තුළ බව පැහැදිලි කරුණකි. එය පැහැදිලි වන්නේ ප්‍රාථමික ගිනුමේ ශේෂය 2.3ක් වන ආකාරයට මෙවර අයවැය ලේඛනය සම්පාදනය කර තිබීම තුළය.
මෙය ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ ඉදිරියේ දී යම්කිසි ආකාරයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමක් වෙත යන්නේ නම් ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ඉලක්ක සහ සීමා මායිම් කඩ නොකළ යුතුය.
ආදායම් බදු සංශෝධන
පුළුල් වශයෙන් බදු සංශෝධනයක් කරනු ඇතැයි බොහෝ පාර්ශ්ව බලා සිටිය ද 2027 අයවැයෙන් එවැනි පුළුල් ආකාරයේ බදු සංශෝධනයක් සිදුකර නැත. සිදුකර ඇති බදු සංශෝධන ඉතා කුඩා, සුළු සංශෝධන වශයෙන් සැලකිය හැකිය. අනෙක් අතට මෙම බදු සංශෝධන දේශපාලන කපටිකමක් ලෙස කළ ඒවා වශයෙන් ද සැලකිය හැකිය. මේ බදු සංශෝධන මඟින් අයවැයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවීම ද විශේෂත්වයකි.
ආදායම් බදු සංශෝධන සිදුකර ඇති අතර එය ද නොසැලකිය යුතු තරම් කුඩා අගයකිනි. ආදායම් බදු ගෙවිය යුතු මාසික ආදායම් සීමාව රුපියල් 150,000 සිට 162,500 දක්වා ඉහළ දමා ඇත. මෙම අගය මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක හෝ ඊට වඩා වැඩි අගයක් දක්වා ඉහළ නොදැමීම ගැන සතුටු විය යුතුය. එසේම, ආණ්ඩුවට අනුව ආදායම් බද්ද අය කරන මුදල ඉහළ දැමිම තුළින් රජයට අහිමි වන්නේ රුපියල් බිලියන 16ක් වැනි මුදලකි. මෙම මුදල විශාල මුදලක් නොවූවත් මේ හරහා මධ්‍යම පංතියේ මැසිවිල්ල යම් පමණකට පාලනය කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති අතර එය දේශපාලනිකව ආණ්ඩුවට වාසිදායක තත්ත්වයකි.
වැට් බදු සංශෝධන
එකතු කළ අගය මත පනවා ඇති බද්ද හෙවත් වැට් බද්ද සම්බන්ධයෙන් ද සුළු සංශෝධනයක් සිදුකර ඇත. ඒ අතර වඩාත් අවධානය දිනා ගත්තේ පාසල් ලිපි ද්‍රව්‍ය මත පනවා ඇති බදු ඉවත් කිරීමය. මෙය පසුගිය මැතිවරණයේ දී ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් වන අතර, එය ආණ්ඩුවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත.
එසේම ඉන්ධන වලට අදාළ ‘බන්කරින් පහසුකම්’ මත පනවා තිබූ 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද ද ඉවත් කර ඇති අතර එය ද ධනාත්මක කරුණක් ලෙස සැලකිය හැකිය. නමුත් යළි යළිත් අවධාරණය කළ යුත්තේ මේ බදු ඉවත් කිරීම හරහා රාජ්‍ය ආදායමට සැලකිය යුතු බලපෑමක් නොවීමය.
නමුත් 2.5ක්ව පැවැති සමාජ ආරක්ෂණ බද්ද සුළු ප්‍රතිශතයක් ලෙස පෙනුණ ද එය ‘බදු මත ද පනවන බද්දකි’. උදාහරණයක් ලෙස යම් ව්‍යාපාරිකයෙක් සබන් තොගයක් ආනයනය කළොත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී 2.5%ක බද්දක් ගෙවිය යුතුය. මෙම සබන් තොගය තොග වෙළෙන්දෙකු විසින් සිල්ලර වෙළෙන්දෙකු වෙත අලෙවි කිරීමේ දී එම සබන් තොගය මත 2.5%ක බද්දක් අය කරන අතර මේ ආකාරයෙන් අදාළ භාණ්ඩය අවසන් පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා අඛණ්ඩව සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවේ. මෙහි අදහස වන්නේ එකම භාණ්ඩයට අවස්ථා කිහිපයක දී 2.5%ක් වශයෙන් දිගින් දිගටම සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවන බවය.
මීට අමතරව පැරා තීරු බදු (Para-tariffs) වැදගත් වේ. පැර තීරු බදු යනු ශ්‍රී ලංකාවේ සම්මත රේගු ආනයන බද්දට අමතරව ආනයනික භාණ්ඩ මත පනවනු ලබන අතිරේක බදු සහ ගාස්තු වේ. මේවා ආනයන භාණ්ඩවල සැබෑ බදු බර සැලකිය යුතු ලෙස ඉහළ නංවයි. සෙස් බද්ද (CESS), වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL) සහ විශේෂ භාණ්ඩ බද්ද (SCL) පැරා තීරු බදු අතර තිබේ. 2032 වන විට මෙම බදු ඉවත් කරන බවට ආණ්ඩුව පොරොන්දුවක් ලබා දී ඇති අතර, ගැසට් එකක් ද ප්‍රකාශයට පත්කර තිබේ. නමුත් මෙවර අයවැයෙන් ද පැරා තීරු බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් නිවැරදි මාවතක් පෙන්වා දී නැත. මෙය පැහැදිලිවම ගැටලුකාරී තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
මේ අනුව පුළුල් බදු සංශෝධනයක් 2027 අයවැයෙන් සිදුකර නොමැති බව පැහැදිලි වන අතර සිදුකරන ලද සුළු සංශෝධන ද රාජ්‍ය ආදායම මත සුළු බලපෑමක් පවා නොකරන බව පැහැදිලි කරුණකි.
අවදානම් සාධක
2027 අයවැය ලේඛනයේ බදු ආදායම සම්බන්ධ යම්කිසි අවදානම් තත්ත්වයක් ද පවතින බව අමතක නොකළ යුතුය. ඊට හේතු කිහිපයකි. පසුගිය වර්ෂයේ දී විශාල ලෙස බදු ආදායම ඉහළ ගියේ වාහන ආනයනය මත පනවන ලද අධික බදු ප්‍රතිශතය සහ වාහන ආනයනය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙනි. නමුත් 2027 වර්ෂයේ දී ද ඒ ආකාරයෙන් මෝටර් රථ විශාල ප්‍රමාණයක් අනයනය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඊට හේතුව ද පැහැදිලිය. පසුගිය වසරේ මෝටර් රථ ආනයනයට අවසර දීමට පෙර වසර පහකට ආසන්න කාලයක් මෝටර් රථ ආනයනය දැඩි ලෙස සීමා කර තිබුණේය. එම තහනම ලිහිල් කළ වහාම විශාල මෝටර් රථ ප්‍රමාණයක් ආනයනය කරන ලද නමුත් මේ වන විට ඒ රැල්ල දුර්වල වී ඇත.
මෝටර් රථ ආනයන බදු විශාල වශයෙන් පහළ යන තත්ත්වයක් හමුවේ ඉදිරි වර්ෂයේ දී රාජ්‍ය බදු ආදායම පුළුල් කර ගැනීමට නම් වෙනත් බදු වෙත සහ ඒවා රැස් කර ගැනීම වෙත දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවේ. මෙහි දී යළි අවධාරණය කළ යුත්තේ බදු ප්‍රතිශතය ඉහළ දැමීමක් කිසිසේත් අපේක්ෂා කළ නො හැකිය. කළ යුතු වන්නේ බදු එකතු කිරීම වඩාත් කාර්යක්ෂම කිරීමය, බදු ගෙවිය යුතු වුවත්, දැනට බදු නො ගෙවන පුද්ගලයින් සහ ආයතන බදු දැළට හසුකර ගැනීමය.
දේශීය ආදායම් අවුල
මෙය බදු ප්‍රතිශතය ඉහළ දැමීම මෙන් පහසුවෙන් කළ හැකි කාර්යයක් ද නොවන බව පැහැදිලි කරුණකි. මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද ඇතුළු අදාළ ආයතනවලට පුළුල් ශක්‍යතාවක් තිබිය යුතුය. අනෙක් අතට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ධාරිතාවක් ද නොමැති බව පසුගිය කාලය තුළ ප්‍රකට වූ කරුණකි. දෙපාර්තමේන්තුවේ බරපතළ නිලධාරී හිඟයක් පවතින අතර පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ද පිරවීමට මේ දක්වා පියවර ගෙන නැත.
අනෙක් අතට පසුගිය වර්ෂවලට සාපේක්ෂව බදු ලිපිගොනු සංඛ්‍යාව ද විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සත්‍ය ධාරිතාව ද විශාල ලෙස දුර්වල වී ඇති බව වටහා ගත යුතුය. නමුත් 2027 අයවැයෙන් මේ ගැන කිසිම අවධානයක් යොමු වී නැත. මෙය බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය යුතුය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සැලකිය යුතු ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයක් වෙන්කර තිබුණ ද එය දෙපාර්තමේන්තුව බත්තරමුල්ල වෙත ගෙන යාම වෙනුවෙන් දැරීමට සිදුවන ප්‍රාග්ධන වියදම් මිස දෙපාර්තමේන්තුවේ මානව ප්රාග්ධනය වර්ධනය කර ගැනීමට, ධාරිතාව වර්ධනය කර ගැනීමට වෙන් කරන ලද ප්‍රතිපාදන නොවේ.
මෙහි දී 2027 අයවැය කතාවේ දී ජනාධිපතිවරයා කළ ඉහත දක්වන ලද කාරණය හා සම්බන්ධ ප්‍රකාශයක් වෙත ද අවධානය යොමු කළ යුතුය. ජනාධිපතිවරයාට අනුව විදේශ ආයෝජන මෙරටට කැඳවා ගැනීම විෂයෙහි අවශ්‍ය වන නිලධාරීන්ට ඉහළ වැටුපක් ගෙවීමට ආණ්ඩුව සූදානම්ය. (ජනපතිවරයාගේ කතාවේ මූලික හරය). නමුත් ආණ්ඩුවට ඉහළම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බරපතළ මානව සම්පත් හිඟය පියවා ගැනීම වෙනුවෙන් නව පියවර වෙත යාමට රජයට අවශ්‍යතාවක් නැත. මෙය පැහැදිලිව ම ඍණාත්මක තත්ත්වයකි.
ණය කළමනාකරණය
2027 වසර වෙනුවෙන් වාර්ෂික ණය ගැනීමේ සැලසුම ද අයවැය ලේඛනයට සමගාමීව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සැලසුමට අනුව 2027 වර්ෂයේ දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවක් සිදු නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩසටහනට අනුව 2027 වසරේ දී ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරන බවට එකඟතාවක් තිබේ. මෙය අත්‍යවශ්‍ය නොවන කරුණක් වන අතර මෙය පැහැදිලිව යම්කිසි ඇඟයීමක් පමණය. ඒ අනුව මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සිදු නොවන්නේ නම් එම උපකල්පනය වෙනස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකියාව ඇත.
නමුත් මේ හරහා යම්කිසි අවදානම්, ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකිය. ශ්‍රී ලංකාවට 2027 වර්ෂයේ දී ඩොලර් බිලියන 1.5ක් නොලැබෙන්නේ නම්, ශ්‍රී ලංකාව ඉදිරියේ තබා ඇති විදේශ සංචිත ඉලක්ක වෙනස් විය යුතුය. එසේම ‘දළ විදේශ සංචිත’ වෙනස් විය හැකිය. නමුත් ‘ශුද්ධ විදේශ සංචිත’ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වෙනස් කළ නොහැකිය. ඊට හේතුව වන්නේ ශුද්ධ විදේශ සංචිත අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථාවරත්වය හා සම්බන්ධ වීමය.
නමුත් ගැටලුව අවසන් නොවේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්වක් හරහා ඩොලර් බිලියන 1.5ක් රටට නොලැබෙන්නේ නම් අවම වශයෙන් ඩොලර් බිලියන 500ක් පමණ හෝ වෙනත් මූලාශ්‍ර හරහා ශ්‍රී ලංකාවට ලැබිය යුතුය. එය කළ හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමය. වර්ධනය වෙමින් පවතින ප්රවණතා හමුවේ 2027 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමේ සම්භාවිතාවක් පවතින බව අපට පැහැදිලිව හඳුනා ගත හැකිය.
2027 වාර්ෂික ණය ගැනීමේ සැලසුමට අනුව එම වර්ෂයේ දී ශ්‍රී ලංකාව ලබා ගන්නා විදේශ ණයවලින් 75%ක් බහු පාර්ශ්වීය ණය වශයෙන් පැමිණීමට නියමිත අතර මෙම තත්ත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමකට යාමේ අවශ්‍යතාව තහවුරු කර ඇත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා ඉරුදින සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 299 වැනි කතිකාවේ දී (2027 අයවැය කොහොමද ?) කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ

