ඡන්ද අයිතියෙන් පිටමං කර ඇති ඡන්ද දායකයන් ගැන නොපමාව අවධානය යොමු විය යුතුව ඇත

නූතන ලෝකය පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුව රාජ්‍ය පාලනයේ සුජාතභාවය මහජන කැමැත්ත මත පදනම් වේ. එම මහජන කැමැත්ත නිශ්චිත කාලවකවානු තුළ පවත්වනු ලබන නිදහස් හා සාධාරණ මැතිවරණයන්හි දී සර්ව ජන ඡන්ද බලයෙන් ප්‍රකාශ විය යුතුව තිබේ . එය සමාන අවස්ථා තහවුරු කරන ක්‍රමවේදයක් විය යුතු අතර අවසාන අර්ථයෙන් නිදහස් ලෙස  සිදුකරන මැතිවරණ හරහා මහජන නියෝජනය සහතික කල යුතුව ඇත. ඒ අනුව සැලකීමේ දී අප රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම තම ඡන්ද අයිතිය සැබෑ ලෙසම තහවුරු කල යුතුව තිබේ.

සර්ව ජන ඡන්ද බලය පිළිබඳව සැලකීමේ දී ලෝක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ පිළිබඳව විමසීමේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සර්ව ජන ඡන්ද බලය ලබා දී ඇති ප්‍රථම යටත් විජිතය වන්නේ ලංකාව ය. ඒ 1931 වසරේදී ය. ඉන්දියාවට අර්ධ වශයෙන් හෝ එම හිමිකම ලැබී ඇත්තේ 1935 වසරේදී වන අතර අනෙකුත් බොහෝ යටත් විජිත එම හිමිකම ලබා ඇත්තේ එයිනුත් යම් කාලයකට පසුව ය.

ඒ අනුව සර්ව ජන ඡන්ද බලය හිමිකරගත් රටක් ලෙස එකී අයිතිය ලබා ගැනීමේ ශත සංවත්සරයට  අපට තව ඇත්තේ අවුරුදු පහක් තරම් සුළු කාලයකි. ගෙවුණ දශක නමය හමාරක කාලය තුළ පුරවැසියන් ලෙස ශ්‍රී ලාංකික අප ලබාගෙන ඇති ජයග්‍රහණ බොහෝ ය. රටක් වශයෙන් සැලකිල්ලට ගත් කල්හි ජනරජයක්  ලෙස වර්ධනය කරගත් තීරණාත්මක කඩ ඉම එහි මහාර්ඝ ප්‍රතිඵලයකි. අපි එයිනුදු නොනැවතී සිටින්නෙමු. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව  ශ්‍රී ලාංකේය සමාජය තුළ අද පවා ඉතා තියුණු ඉදිරිගාමී සංවාදයක් පවතී. නිදහස් හා සාධාරණ මැතිවරණ කෙරෙහි සමස්ත සමාජයම දක්වන බලවත් උනන්දුව එහි ඉතා වැදගත් පිළිබිඹුවකි.

එය එසේ වුව ද අප රටේ දේශපාලන පක්ෂ, දේශපාලනඥයින් හා ක්‍රියාකාරී පුරවැසියන් එහි දී වඩා උනන්දුවක් දක්වා ඇත්තේ මැතිවරණ පැවැත්වීම, ඡන්ද ගණන් කිරීම, ප්‍රතිඵල කෙරෙහි යනාදී වශයෙන් ඡන්ද පැවැත්වීමේ ක්‍රියාවලිය කෙරෙහි පමණකි. එහි දී ඡන්ද හිමිකම සහිත  එහෙත් ඡන්ද දිනයේදී එහෙත් එම හිමිකම ප්‍රායෝගිකව  භාවිතා කල නොහැකි මිලියන කිහිපයක් වූ පුරවැසියන් කෙරෙහි වත්මන් සමාජය තුළ පවා ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි. එහෙත් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා  වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල්) හා  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය  වැනි සංවිධාන මේ  දිනවල ඒ කෙරෙහි දක්වමින් සිටින අවධානය අගය කල යුතු ය.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන් වන නමුත් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන පුද්ගලයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා විකල්ප ක්‍රම හදුනවා දීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ කතිකාව  මේ වන විට කරළියට එමින් තිබේ. එය යහපත් ප්‍රවනතාවයකි.

එහිදී මැතිවරණයකදී ඡන්ද පොළට ගොස්  ඡනදය භාවිතා කිරීමට  පහසුකම අවම එසේ නොමැති නම් අවස්ථා අහිමිවන පාර්ශ්ව හදුනාගැනීම ඉතා වැදගත්‍ ය.  එහිදී  මේ වන විට රජයේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කෙරෙහි වන බව පෙනේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් රජය මගින් දැනටමත් කමිටුවක් පත් කර ඇත.

ඒ අතර  සෞඛ්‍ය කෂ්ත්‍රයේ නිරතව සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ආයෝජන කලාප ආශ්‍රිත සේවයේ නියැලෙන පිරිස්, භික්ෂුණීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා, ගැඹුරු මුහුදේ රැකියා සඳහා යන ධීවරයන්, අත්‍යවශ්‍ය සේවාවන්හි නියැලෙන සේවකයන්, සුපිරි වෙළෙඳ සැල් ජාලයන්හි සේවය කරන වෙළෙඳ සහයක සහායිකාවන්, පෞද්ගලික අංශයේ ආරක්ෂක සේවාවන්හි නිරත පිරිස් ,මාධ්‍ය කර්මාන්තයේ නියැලෙන කණ්ඩායම්, නේවාසික රෝගීන් ඇතුළු තවත් විශාල පිරිසක් ඒ අතරට අයත් වෙති.

මැතිවරණ දිනයන්හිදී ඡන්දය භාවිතා කිරීමෙන් පිටමං කර ඇති සෞඛ්‍ය කෂ්ත්‍රයේ නිරත පිරිස  සැළකීමේදී වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩල පිරිසෙන් 40% පමණ සෑම මැතිවරණයකදීම  ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති හා මැතිවරණ ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ  මංජුල ගජනායක මහතා සාධාරණ ස්මාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක සඳහන් කරයි. එයට අමතරව භික්ෂුණී ශාසනය පිළිබඳව ඇති මත ගැටුමක් නිසා ජාතික හැදුනුම් පත් නොමැතිවීම හේතුවෙන් ඡන්ද හිමිකම අහිමි වී ඇති  භික්ෂුණීන් හා මෙහෙණින් වහන්සේලාගේ සංඛ්‍යාව 8000 ඉක්මවන බව සඳහන් ය.  2023 වසරේ ලියාපදිංචි බහු දින ධීවර යාත්‍රා ප්‍රමාණය සැළකිල්ලට ගනු ලැබූව ද ඒවායේ කටයුතු කරමින් සිටින 32,000කට  අධික ධීවර ප්‍රජාවෙන් 50%කට හෝ මැතිවරණයන්හි දී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ආයෝජන කලාප 13ක සේවය කරන සේවක පිරිස අතරින් දළ වශයෙන් 150000 කට ආසන්න පිරිසකට ඡන්ද  දිනයන්හි ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේ දී දුෂ්කරතා මතුවන බව වාර්තා වන බව මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි. ඒ අතරට එක්වන අනෙක් පිරිස් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සිවිල් ගුවන් සේවා සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජලසම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල සමාගම් වැනි රටට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයන්හි සේවක සේවිකාවන්‍ ය. එමෙන් ම එහිදී අවධානය යොමු විය  යුතු තවත් පිරිසක් වන්නේ සුපිරි වෙළඳ සැල් ජාලයන්හි සේවය කරන සේවක සේවිකාවන්‍ ය.

ඉහත පිරිස් සමග ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධ සහිත පුද්ගලයන්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්, බන්ධානාගාරගතව සිටින දඩුවම් නියම කර නොමැති රැදවියන්, මාධ්‍ය කර්මාන්තයේ නිරත පිරිස්  ආදී වශයෙන් සැලකීමේදී මිලියන ගණනාවක පිරිසකට සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බවට පෙනී ගොස් ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) ආයතනය මගින් ප්‍රකාශයට පත්කර ඇති “විකල්ප ඡන්ද භාවිතයේ දේශීය ප්‍රවනතා සහ අභියෝග” නැමැති වාර්තාවේ සඳහන්ව ඇති ආකාරයට පසුගිය පාර්ලිමේන්තු ඡන්දය ප්‍රමුඛව  මෑතකාලීනව  මෙරටේ පැවැති ජාතික මෙන්ම  ප්‍රාදේශීය (පළාත් පාලන) මටට්මේ මැතිවරණ හා ඡන්ද විමසීම්වල දක්නට ලැබුණ  ප්‍රමුඛතම ලක්ෂණයක් වන්නේ සැලකිය යුතු මටටමක පිරිසකට තම ඡන්දය භාවිත කිරීමේ අයිතිය උරගා බැලීමට අවස්ථාවක් හිමි නොවීමයි. එහිලා බොහෝ විට නැගෙන ප්‍රතිතර්කය වන්නේ  “තම ඡන්දය භාවිතා නොකරන පිරිසක් ද   ඕනෑම ජනසමාජයක සිටින්නේය” යන්නයි. එහෙත් ඊට අදාළ සංඛා ලේඛන හා දත්ත පිරික්සීමේදී මෙන්ම  අදාළ පිරිස් අතරින් යම් කොටසක් හමුවීමේදී සාතිශය සුපැහැදිළි කරුණක් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිලාෂයෙන් පසු වූ විශාල පිරිසක් ඊට අදාළ පහසුකම් නොලැබීම හේතුවෙන් ඡන්ද පොළට ප්‍රවේශව නැති බව යි. එය සමස්ත ඡන්ද දායකයන් හා සැසදීමේදී 20% ක පමණ වූ ප්‍රමාණයකි. එය මිලියන 4 කට ආසන්න ප්‍රමාණයකි.

මෙම තත්වයෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් තම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමේ දී මුහුණ දී ඇති එක් අභියෝගයකි. මෙකී අභියෝගය ජයගැනීම සඳහා සිදු කල යුතු කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිසංස්කරණයන් ගණනාවකි. ඒ පිළිබඳව ලාංකේය සිවිල් සමාජය තුළ යම් පමණක හෝ අවධානයක් යොමුවෙමින් තිබීම සතුටට කරුණකි. එහි දී මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද  2023 වසරෙහි දී හිටපු අගවිනිසුරුවරයෙකු වූ ප්‍රියසාද් ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ද  යහපත් අවධානයක් යොමු කර ඇත. අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක  සභාව 2004 හා 2007 යන  වසරවල දී නිකුත් කරන ලද වාර්තා දෙකකදීම ඒ බව පෙන්වා දී ඇත. එයට  අමතරව ප්‍රියසාසාද් ඩෙෆ් හිටපු අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නේ තමන් ද නියෝජනය කළ එකී කොමිෂන් සභාව ඊට අදාළව වැදගත් අවධානයක් යොමු කරමින් වටිනා නිර්දේශ ගණනාවක්ම ඉදිරිපත් කර ඇති බව ය. එහි දී ආචාර්ය නිමල්කා සඳහන් කරන්නේ මැතිවරණයක දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්ද දායකයන්ට  ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන ආකාරයට විකල්ප ඡන්ද  ක්‍රම හදුන්වා දීමේ අවශ්‍යතාවයක් ඇති බව ය.

එවැනි විකල්ප ක්‍රම වන්නේ මොනවා? මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජික  එම්.එම් මොහොමඩ් මහතා එහිදී සඳහන් කරන්නේ  එවැනි විකල්ප අවස්ථා හෝ ක්‍රම  හදුනා ගැනීම සඳහා  මුළින්ම අදාළ කණ්ඩායම් නිවැරදිව හදුනාගත යුතුව ඇති බව ය. එමෙන් ම එසේ හදුනාගන්නා ඡන්ද දායකයන්  සඳහා ඡන්ද දිනයට පෙර නිශ්චිත දිනයක හෝ දින කිහිපයක් තුළ ඡන්දය පාවිච්චි කිරීම  සඳහා අවස්ථාව ලබාදිය හැකි ක්‍රමවේද  ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් භාවිතයට ගනිමින් සිටින බව ය. එහෙත් ඒ සඳහා මැතිවරණයන්ට අදාළ නීති ගණනාවක්ම සංශෝධනය කළ යුතුව තිබේ. එය ව්‍යවස්ථාදායකයේ වගකීමකි. මැතිවරණ කොමිෂන් සභාව වෙත ද ඒ සඳහා මැදිහත්වීමේ සුවිසල් වගකීමක් ඇත.

සුනිල් ජයසේකර

Leave A Comment