‘හෙට දවසේ ශ්‍රම බලකායට එක්වන ලක්ෂ 50ක නැවුම් තරුණ පිරිස මේ රටේ වෙනසකට නිසැකවම මුල පුරනවා’ – ධනනාත් ප්‍රනාන්දු – Advocata ආයතනයේ විධායක අධ්යක්ෂ
- Editor
- September 24, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මේ පිරිස තමයි ඉදිරි මැතිවරණයකදී තම පළමු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත පිරිසට අයත් වෙන්නේ. ඕනෑම මැතිවරණයක මේ පිරිස වෙනුවෙන් විශේෂ අවධානයක් වගේම ඔවුන්ව ඉලක්ක කරගත් ප්රචාරක ව්‍යාපාරයකුත් දියත් වෙනවා. විශේෂත්වය තමයි මේ ප්රචාරක ව්‍යාපාරය විශාල පිරිසක් මෙවර ඉලක්ක වෙනවා. මිලියන පහකට ආසන්න පිරිසක් ඉදිරි මැතිවරණයකට මූලික වශයෙන් මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. මේ මිලියන පහ ලංකාවේ හිටියොත් තමයි ඔවුන් කුළුඳුල් ඡන්දදායකයෝ බවට පත්වෙන්නේ.
- මහාචාර්ය රොහාන් සමරජීව – 2024 ජන සංගණනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ එහි ප්රවණතා ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ධනනාත් ප්‍රනාන්දු – ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේ සිදුකළ ජන සංගණනය අනුව වයස අවුරුදු 15-18 අතර ජනගහණය දළ වශයෙන් මිලියන 1.8ක පමණ වෙනවා. මේ වාර්තාව නිකුත් කළේ 2024 වර්ෂයේ දීයි. ඒ කියන්නේ මේ වන විට, 2026 වන විට මේ පිරිස ශ්‍රම බළකායට එක්වෙලා ඉන්නේ. එහි අදහස තමයි ලක්ෂ 18ක් ශ්‍රම වෙළෙඳපොළට මේ වන විට එකතු වෙලා තිබෙනවා. සමස්තයක් ලෙස මේ ප්‍රමාණය වර්තමාන රාජ්‍ය සේවයේ නිරතව සිටින පිරිසට වඩා වැඩි ප්‍රමාණයක්. මේ කාණ්ඩයෙන් පසුපසට ගියොත්, වයස අවුරුදු 10-14 අතර වයස් කාණ්ඩය දෙස අවධානය යොමු කළොත්, ඒ වගේම වයස අවුරුදු 19-24 වාගේ වයස් කාණ්ඩයක් වෙත අවධානය යොමු කළොත් මේ පිරිස අතර මිලියන 5ක් පමණ ජනගහණයක් සිටිනවා. මෙහි අදහස තමයි ඉදිරි අවුරුදු කිහිපයේ දී විශාල පිරිසක් ශ්‍රම බළකායට එකතු වීමට නියමිතව තිබෙනවා.
ඒක වාසියක්. මම එහෙම කියන්නේ ඇයි ?, ශ්‍රම බළකායට අලුතින් එකතු වන පිරිස පරණ පිරිස වගේ නෙමෙයි. ඔවුන් අතර අන්තර්ජාලය භාවිතා කරන පිරිස ඉතාම වැඩියි. ඒ වගේම උසස් පෙළ විභාගය සමත් වීමේ ප්‍රතිශතය මීට කලින් තිබුණේ 40%ක පමණ අගයක, නමුත් මේ වන විට එම ප්‍රතිශතය 75%ක් වාගේ ඉහළ අගයක් දක්වා ගිහින් තිබෙනවා. ඒ වගේම ඔවුන් අතර ඉංග්‍රීසි භාෂාව භාවිතා කළ හැකි පිරිස, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය භාවිතා කළ හැකි පිරිසක් වැඩියි. ඒ කියන්නේ ඉහළ අධ්‍යාපන මට්ටමක් තිබෙන, ඉංග්‍රීසි භාවිතා කළ හැකි, අන්තර්ජාලය හරහා හෝ යම් තරමකට ලෝකය දැකලා තිබෙන පිරිසක් ඉදිරියේ දී අපේ ශ්‍රම බළකායට එකතු වීමට නියමිතව තිබෙනවා. මේ පිරිස වෙනුවෙන් රැකියා බිහි කරන්න පුළුවන් නම් අපට ඔවුන්ව කර්මාන්ත ක්ෂේත්රය තුළ රඳවා ගන්න පුළුවන්. නමුත් මෙහි අනතුරක් තිබෙනවා, ඔවුන්ට ගැළපෙන රැකියා අවස්ථා බිහි කරන්න නොහැකි වුණොත් තත්ත්වය සංකීර්ණ වෙනවා. විය හැකි දේවල් තමයි, එක්කෝ ඔවුන් රැකියා සොයා ගෙන විදේශ ගත වෙනවා. නමුත් වර්තමාන සංක්‍රමණ නීති හේතුවෙන් ඔවුන්ට සංක්‍රමණය අසීරු වුණොත් මේ ගැටලුව පුපුරා යාමට වැඩි ඉඩක් තිබෙනවා.
- මහාචාර්ය රොහාන් සමරජීව – අපි උපකල්පනය කරනවා 2028 හෝ තවත් අවුරුදු දෙකකින් පමණ ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්. ඒ වගේම මේ අතරතුර තවත් මැතිවරණ කිහිපයක් එනවා. මේ අතරතුර අලුත් ඡන්දදායකයෝ නේද මේ බිහිවෙන්නේ ?

ධනනාත් ප්‍රනාන්දු – මේකෙන් දේශපාලනයත් වෙනස් වෙනවා. ඉහත ප්‍රස්තාරයේ රෝස පාටින් තිබෙන්නේ පිරිමි ජනගහණය, පහත (දම්පාට) තිබෙන්නේ කාන්තා ජනගහණය. මේ පිරිස අතර අවුරුදු 10-15 තර වයස් කාණ්ඩයේ විශාල පිරිසක් සිටිනවා. මේ පිරිස තමයි ඉදිරි මැතිවරණයකදී තම පළමු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත පිරිසට අයත් වෙන්නේ. ඕනෑම මැතිවරණයක මේ පිරිස වෙනුවෙන් විශේෂ අවධානයක් වගේම ඔවුන්ව ඉලක්ක කරගත් ප්රචාරක ව්‍යාපාරයකුත් දියත් වෙනවා. විශේෂත්වය තමයි මේ ප්රචාරක ව්‍යාපාරය විශාල පිරිසක් මෙවර ඉලක්ක වෙනවා. මිලියන පහකට ආසන්න පිරිසක් ඉදිරි මැතිවරණයකට මූලික වශයෙන් මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. මේ මිලියන පහ ලංකාවේ හිටියොත් තමයි ඔවුන් කුළුඳුල් ඡන්දදායකයෝ බවට පත්වෙන්නේ.
මෙහි දී සිදුවන තවත් දෙයක් තමයි ඉදිරියේ මැතිවරණවලදී ඡන්දදායකයින්ට ආමන්ත්‍රණය කළ යුතු තේමාවන් වෙනස් වෙනවා. ඔවුන්ට අදාළ ප්‍රශ්න සහ ඒවාට ලබා දෙන විසඳුම් ගැන කතා කරන්න සිදුවෙනවා. පරිගණක භාවිතා කරන, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන, අන්තර්ජාලයේ සැරිසරණ තරුණ ප්‍රජාව ගැළපෙන තේමා මැතිවරණ වේදිකාවට ගෙන ඒමට සිදු වෙනවා.
- මහාචාර්ය රොහාන් සමරජීව – ඔබ කියන ආකාරයට තේමාවන් පමණක් නොවෙයි, ඔවුන්ට ආමන්ත්‍රණය කරන ආකාරයත් වෙනස් වෙනවා නේද ?
ධනනාත් ප්‍රනාන්දු – හරියටම හරි. තේමාව, සන්නිවේදන විධික්රම පමණක් නොවෙයි, ඒවා ඔවුන්ගේ අවශ්‍යතාවයන්ටත් අදාළ විය යුතුයි. මේ සමඟ තවත් කරුණක් වෙත අවධානය යොමු විය යුතුයි. 2022 ජන සංගණනය අනුව අලුත් උපත් වල, ළමයින්ගේ සැලකිය යුතු අඩුවක් වාර්තා වෙනවා. 2012 සහ 2024 සංගණනය ගත් විට අවම වශයෙන් ළමයි ලක්ෂ පහක් පමණ අඩු වෙලා තිබෙනවා. මෙහි අදහස තමයි වත්මන් තරුණ ප්‍රජාව දරුවන් හදන එක අඩු කරලා තිබෙනවා. මේ බව පහත ප්‍රස්තාරයේ මනාව පැහැදිලි කරනවා.

දැන් අපි සොයා බැලිය යුතුයි, මේ අය ළමයි හදන එක අඩු කළේ ඇයි ?, ඒකට හේතු මොනවා ද ? කියලා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. දරුවෙක් හදන්න යන වියදම වැඩියි, නිවාස වල වියදම වැඩියි, ජීවන තත්ත්වය වෙනස් වෙලා, ආකල්ප වෙනස් වෙලා, ඔවුන් ළමයි දැන දකින කෝණය වෙනස් වෙලා. ඉදිරි මැතිවරණ වලදී මේවාට ආමන්ත්‍රණය කිරීමට සිදුවෙනවා. මේ ප්‍රවණතාව තුළ දේශපාලන වේදිකාවේ දී ඉස්මතු කළ යුතු දේශපාලන තේමාව, සන්නිවේදන විධික්රම පමණක් නොවෙයි ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ද යෝජනා කළ යුතුව තිබෙනවා.
- මහාචාර්ය රොහාන් සමරජීව – වත්මන් තරුණ පරම්පරාවට නිවසක් ඉදිකිරීම පමණක් නොවෙයි තමන් රැකියාව කරන ස්ථානයට සමීපව නිවසක් කුලියට ගැනීම පවා අසීරු වෙලා තිබෙනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඉදිකිරීම් අමුද්‍රව්‍ය මත පැරා තීරු බදු පැනවීම හේතුවෙන් ඒවායේ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේවද අලුත් ප්‍රශ්න ලෙස ඔබ දකින්නේ ?
ධනනාත් ප්‍රනාන්දු – වත්මන් තරුණ පරම්පරාව දරුවන් බිහිකිරීම අඩු කිරීමට හෝ ප්‍රමාද කිරීමට හේතු මොනවද ? කියන්න තරම් අප සතුව ප්‍රමාණවත් දත්ත නැහැ. නමුත් අපි පසුගිය දා තරුණයින් කණ්ඩායමක් සමග ඉලක්ක ගත සම්මුඛ සාකච්ඡා කිහිපයක් කළා. එහි දී අපි ප්‍රශ්න කළා, ‘රැකියාවක් කර නිවසක් හිමිකර ගැනීමට හැකි වෙයි කියලා ඔබ විශ්වාස කරනවා ද ?’ කියලා. අපත් සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වූ තරුණයින් අතරින් 100%ක්ම මේ ගැන අවිශ්වාසය පළ කළා. උදාහරණයක් ලෙස කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියන 50ක් පමණ අවශ්‍ය වෙනවා. අපිත් සමඟ සාකච්ඡාවට එක් වූ කිසිම තරුණයෙක් එවැනි මුදලක් උපයා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කළේ නැහැ. මේ පිරිස අතර උපාධිධාරීන් ද ඇතුළුත් තරුණ ප්‍රජාවක් හිටියා. ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවක් වන නිවසක් පවා ඉදිකර ගැනීම අසීරු බව ඔවුන් වටහා ගෙන තිබෙනවා. මෝටර් රථයක් වාගේ අවශ්‍යතා එක් වූ පසු තත්ත්වය තවත් සංකීර්ණ බව ඔවුන් කියනවා. මේකත් එක හේතුවක් වෙන්න පුළුවන් ඔවුන් දරුවන් හැදීම පමා කරන්න.
අනෙක් දත්ත වලින් පැහැදිලි වන කාරණයක් තමයි සාමාන්‍යයෙන් කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරන වයස අවුරුද්දකින් පමණ පසුපසට ගිහින් තිබෙනවා. ඒක පොදුවේ ගත් විට ලොකු අගයක්. ඒකට හේතුව තමයි බොහෝ කාන්තාවන් ආර්ථික වශයෙන් ස්ථාවර වුණාට පස්සේ තමයි දරුවෙක් ගැන හිතන්නේ.
මහාචාර්ය රොහාන් සමරජීව – ලංකාවේ 2002-2012 වර්ෂවල අමුතු සිදුවීමක් වුණා. ඒ අවුරුදු 10 තුළ යම්කිසි අසාමාන්‍ය හේතුවක් මත දරු උපත් වැඩි වුණා. ඒ පිරිස තමයි ධනනාත්ට අනුව 2022 වන විට ක්‍රමයෙන් ශ්‍රම හමුදාවට එකතු වෙමින් සිටින්නේ. නමුත් මේ ආකාරයෙන් විශාල පිරිසක් කෙටි කාලීනව ශ්‍රම බළකායට එකතු වීම ගැටලුවක් නොවෙයි. අපි ඒකට කියනවා ‘ශ්‍රම බළකායේ ලාභාංශය’ කියලා. මේ තරුණ ශ්‍රම බළකායට ආර්ථික වර්ධනයට දායක කර ගන්න පුළුවන්. ධනනාත්ට අනුව ඔවුන් සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා තිබෙන, ඉංග්‍රීසි දන්න, අන්තර්ජාලය භාවිතා කළ හැකි, අලුත් තාක්ෂණයට අනුගත වුණ, ලෝකය ගැන දන්න ප්‍රජාවක්. දරු උපත් අඩු වීම ලංකාවට පමණක් සීමා වුණ ප්‍රශ්නයකුත් නොවෙයි. මේ අර්බුදය මුලදී බටහිර ලෝකය, ජපානය සහ පසුකාලීනව දකුණු කොරියාව දක්වා ගමන් කළා. වර්තමානය වන විට ඉන්දියාවේ පවා දරු උපත් අඩුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. විශේෂයෙන් ඉහළ ආර්ථික වර්ධනයක් තිබෙන දකුණු ඉන්දියාවේ ප්‍රාන්තවල මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. මෙහි දී අපි කල්පනා කළ යුතු කාරණය තමයි ඉදිරියේ දී අඩු ශ්‍රම බළකායකින් වැඩ කරන්නේ කොහොමද ? කියන එක. අද අපට කරන්න වෙන්නේ අගය එකතු කිරීමක් නේද ?.
ධනනාත් ප්‍රනාන්දු – ඔව්, අගය එකතු කිරීම ගැන අපි වෙනත් කෝණයකින් බැලිය යුතුයි. ජනගහණය අඩු වීම, ජනගහණ වර්ධනය සීමා වීම ලෝකය පුරාම සිදු වෙමින් පවතින දෙයක්. නමුත් මීට සමගාමීව තාක්ෂණික වශයෙන් විශාල පරිවර්තනයකුත් සිදු වෙමින් තිබෙනවා. අගය එකතු කිරීම සම්බන්ධයෙන් ගත් විට ලංකාවේ සන්දර්භය මීට වෙනස්. ළමා ජනගහණය අඩු වීමට සමගාමීව විශාල තරුණ ශ්‍රම බළකායක් ආර්ථිකයට එකතු වෙමින් සිටිනවා. මේ තරුණයින්ට රැකියා ලබා දීමට අගය එකතු කිරීම අත්‍යවශ්‍යයි. දැනට තිබෙන කර්මාන්ත පුළුල් කිරීමෙන් පමණක් ලක්ෂ 40කට ලක්ෂ 50කට රැකියා ලබාදීමට හැකියාවක් නැහැ.
- මහාචාර් රොහාන් සමරජීව – ඒ වගේම තරුණයින්ගේ රැකියා ආකල්පත් වෙනස් වෙලා නේද ?, ඉදිකිරීම් කර්මාන්තය තුළ විශාල ශ්‍රම ගැටලුවක් තිබෙනවා නේද ?. ඒ වගේම අපේ ඇඟළුම් ක්ෂේත්රයේ පිරිස් රස්සා, ඒ කියන්නේ යාන්ත්‍ර සූත්‍ර එකක් කටයුතු කරන රැකියා වලට අවශ්‍ය ශ්‍රමිකයින් නැහැ නේද ?
ධනනාත් ප්‍රනාන්දු – එය සාමාන්‍යයෙන් අපේක්ෂා කළ යුතු තත්ත්වයක්. අධ්‍යාපන මට්ටම ඉහළ යන විට, ඉංග්‍රීසි, පරිගණක හැකියා වර්ධනය වන විට කාර්මික හෝ කය වෙහෙසා කරන රැකියාවලට ඇති උනන්දුව, කැමැත්ත අඩු වෙනවා. ඒ අනුව කර්මාන්තශාලා, ඉදිකිරීම් ආදි ක්ෂේත්රවල රැකියාවලට ඇති ඉල්ලුම වේගයෙන් අඩු වෙනවා. ඔවුන් ඉල්ලන්නේ කාමරයක පරිගණකයක් ඉදිරිපිට වාඩි වෙලා කරන සුදු කර පටි රැකියා. මෙවැනි රැකියාත් ආර්ථිකය තුළ නිර්මාණය විය යුතුයි. නමුත් කර්මාන්තශාලා රැකියා ගැන වඩාත් අවධානය යොමු විය යුතුයි. කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්රය සංවර්ධනය නොවුණොත් අනෙක් අංශ දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්ෂේත්‍ර දෙකම තුලනය කරගත යුතුයි. ඒ වගේම සේවා අංශය ගැන වැඩි උනන්දුවක් යොමු කිරීම ප්‍රශ්නයක් නැහැ. කර්මාන්ත වෙනත් රටක තිබෙන්න පුළුවන්. ඒ කර්මාන්තවලට අවශ්‍ය සේවා අංශය ලංකාවේ හදා ගන්න පුළුවන්.
- මහාචාර්ය රොහාන් සමරජීව – බොහෝ දෙනෙකුට අනුව අපේ කර්මාන්ත වඩාත් ඉහළ වටිනාකමක් ඇති අගය එකතු කිරීමක් කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ වඩාත් ඉහළ වැටුපක් ලබා දෙන්න පුළුවන්. අපි ඒ ඵලදායීතාවය වර්ධනය කර ගත යුතුයි. මේ වන විට අපේ ඇඟළුම් කර්මාන්තය ඒ දෙසට ගමන් කරලා තිබෙනවා. අරගලයට කලින් මෘදුකාංග ක්ෂේත්රයේ රැකියා ගත් විට ඔවුන්ගේ සාමාන්‍ය වැටුප රුපියල් 80,000ක් පමණ වෙනවා. මේ වන විට මේ මුදල රුපියල් 120,000ක් පමණ වෙලා තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ මෘදුකාංග ක්ෂේත්‍රයත් අනිවාර්යයෙන්ම ඉහළ අගය එකතු කිරීමක් වෙත ගමන් කළ යුතුයි. මේක කෘෂිකාර්මාන්තයටත් අදාළයි. මේවා නේද අනාගතයේ අපි හමුවේ තිබෙන අභියෝග ?
ධනනාත් ප්‍රනාන්දු – අපි කළ යුතු දේ සහ අප හමුවේ ඇති අභියෝගයත් ඒකම තමයි. නමුත් අපි අගය එකතු කිරීමක් කරද්දී හාවර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ න්‍යායක් ගැන අවධානය යොමු කළ යුතුයි. සිංහල භාෂාවෙන් මේ න්‍යායට ‘වඳුරන්ගේ න්‍යාය’ කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වඳුරන් කරන දේ තමයි ඔහු ආසන්නයේම තිබෙන ගසට පැනීම. ඌ කරන්නේ නැග ගත්ත ගහේ ඉහළම අත්තට නැගලා ඒකට ආසන්නයේම තිබෙන ගසට පැනීමයි. ලංකාවේ ඇඟළුම් කර්මාන්තය මේ න්‍යාය අනුගමනය කරමින් ඉහළට ගිහින් තිබෙනවා. ඒ අනුව තමයි අද ලංකාවේ ඇඟළුම් ක්ෂේත්රය තුළ ඉහළ මට්ටමේ අගය එකතු කිරීමක් වෙන්නේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානයක කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 291 වැනි කතාවේ දී (ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ වෙනස්වීම් තුළ මුහුණදිය යුතු අභියෝග’ යන තේමාව යටතේ පැවැති 291) මහාචාර්ය රොහාන් සමරජීව සහ අඩ්වකාටා ආයතනයේ විධායක අධ්යක්ෂ ධනනාත් ප්‍රනාන්දු අතර පැවැති සංවාදය අසුරින් සම්පාදිත ලිපියකි

