අයවැය කතාව කියන්නේ අයිස් බර්ග් එකක උඩට පේන කුඩා කොටස පමණයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජාතික ජන බලවේගය රජයේ තෙවැනි අයවැය ලේඛනය, 2027 අයවැය ලබන 12 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විට 2027 අයවැයට අදාළ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර අයවැය කතාවේ දී සමස්ත අයවැය සම්බන්ධයෙන් වඩාත් පුළුල් චිත්‍රයක් ලබා ගැනීමට හැකිවනු ඇත. මේ පසුබිම තුළ බොහෝ දෙනකු තුළ කුතුහලයක් ඇති කරන අයවැය කතාවට පූර්විකාවක් වන ආදායම් සහ වියදම් ලියවිලි තේරුම් ගැනීමේ උත්සාහයක් ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා කරන මේ විග්‍රහය වැදගත් වේ.

  • මහාචාර්යතුමනි, ලබන 14 වැනිදා 2027 වසරට අදාළ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වර්තමානය වන විට අයවැය කතාවට ජනතාවගේ අවධානයක් තිබෙනවා ද ?, අයවැය කතාවට පූර්විකාවක් වන ආදායම් සහ වියදම් ලියවිලි අපි තේරුම් ගන්නේ කෙසේද?

මට මතකයි අපි පුංචි කාලේ අයවැය කතාවට ජනතාව අතර විශාල උනන්දුවක් තිබුණා. නමුත් වර්තමානය වන විට අයවැය කතාවට තිබෙන වැදගත්කම බොහොම අඩුයි. නමුත් මෙයින් අදහස් වෙන්නේ නැහැ අයවැය කතාවට වැදගත්කමක් නැහැ කියලා, නමුත් කාලයකට පෙර තිබුණ තරම් ජනතාවගේ අවධානයක් නැහැ.

මෙහි ඔබ ඇසුවා විසර්ජන පනත ගැන, විසර්ජන පනත මීට මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පනතින් තමයි රාජ්‍ය ආදායමට සහ වියදමට අදාළ මූලික කරුණු කාරණා තීන්දු වෙන්නේ. උදාහරණයක් ලෙස අපට පසුගිය විසර්ජන පනත ගන්න පුළුවන්. සිර ගෙවල් වල තිබෙන තදබද සම්බන්ධයෙන් මගේ විශාල උනන්දුවක් තිබෙනවා. මම හිතුවා පසුගිය වර්ෂයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන වියදම් අඩු කරලා තිබුණා කියලා. ඒ කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ප්‍රාග්ධන වියදම් ලෙස දීලා තිබුණේ රුපියල් බිලියන 3.6යි. නමුත් අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා මේ ප්‍රාග්ධන වියදමට තවත් රුපියල් බිලියන දෙකක් එකතු කළා. රුපියල් කෝටි 200ක් කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් කෝටි 560ක් තිබෙනවා. ඒක 2025ට වඩා විශාල මුදලක්.

  • අයවැය කතාව වැදගත් ද ?

මේ හරහා අපට තේරුම් ගන්න පුළුවන් විසර්ජන පනත කොතරම් වැදගත් ද කියලා. රාජ්‍ය ආදායම සහ වියදමට අදාළ මූලික දේවල් අන්තර්ගත වෙන්නේ විසර්ජන පනතේ. අයවැය කතාවෙන් කෙරෙන්නේ ආණ්ඩුව අදාළ වර්ෂයේ කරන්න යන දේවල් ගැන යම්කිසි ඉඟියක්, දිශානතියක් පෙන්වීමයි. ඊට අමතරව ප්‍රවෘත්ති මැවෙන ආකාරයට අදාළ දේවල් තෝරා ගෙන, ඒ ගැන කතා කරනවා. ඒ වගේම අයවැය කතාවේ තිබෙන අදාළ අයවැය ලේඛනයට අදාළ අලුත් යෝජනා. නමුත් සමස්තයක් ලෙස අයවැය කතාවෙන් ආවරණය වෙන්නේ සමස්ත රාජ්‍ය ආදායම් සහ වියදම් සම්බන්ධ කතාවෙන් සුළු ප්‍රමාණයක් පමණයි.

මේ කතාව හරහා අයවැය කතාවට අවධානය යොමු කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. නමුත් අයවැය කතාව දෙස බැලීමෙන් පමණක් සමස්ත අයවැය ගැන අදහසක් ලබා ගන්න බැහැ. නමුත් බොහෝ විට අලුත් බදු පැනවීම වැනි දේවල් විසර්ජන පනතට ඇතුළත් කරන්නේ නැහැ, ඒවා අයවැය කතාවේදී තමයි කියන්නේ. නමුත් මෑත කාලයේ දිය අයවැය කතාවේ දී කියන්නේ ජනතාවට සතුටක් ඇති වෙන සුන්දර කතන්දර, වැටුප් වැඩි කිරීම්, සහනාධාර වාගේ ජනතාවගේ සිත්ඇද ගන්නා දේවල් තමයි සාමාන්‍යයෙන් දැන් අයවැය කතාවට කියන්නේ.

නිහඬ ලියවිලි

අයවැය කතාව හයියෙන් කිවව්ට ඊට කලින් එන ලියවිලිවල යම් වැදගත්කමක් තිබෙනවා. උදාහරණයක් ලෙස පසුගිය 2026 වර්ෂයේ අයවැය කතාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන කිව්ව කතාව ගන්න පුළුවන්. ඒ කතාව අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමට, බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව ගුවන් යානා මිල දී ගැනීම සහ ශ්‍රීලංකන් සමාගමේ ණය ප්‍රති ව්‍යුහගත කරනවා කියලා කිව්වා. නමුත් වියදම් ඇස්තමේන්තුවක් ඇතුළු කිසිම සැලසුමක් අයවැය කතාවේ නැහැ.

  • සුන්දර කතා පමණයි

ජනාධිපතිවරයා මේ ආකාරයේ සුන්දර කතාවක් අයවැය කතාවේදී කළා. මම බැලුවා මේවා කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විසර්ජන පනතේ තිබෙනවා ද කියලා. තිබුණේ නැහැ, ඇත්තටම වුණේ මොකක්ද ?, අයවැය අනුමත වෙන්නේ දෙසැම්බර් මාසයේනේ. නමුත් ඊට මාස හයකට පස්සේ, බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් රුපියල් බිලියන 42ක් වැය කරලා, ශ්‍රීලන්කන් එක ලබා ගෙන තිබුණ එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ණයක් ගෙවලා දැම්මා. මේ මිලියන 175ක ණය මුදල ගෙවලා දැම්මට පස්සේ තමයි ලංකාව නිල වශයෙන් බංකලොත්භාවයෙන් ඉවත් වුණේ, ඉහළ ණය ශ්‍රේණිගත කිරීමකට ඇතුළත් වුණේ.

මේ සුභ ආරංචියත් එක්ක අසුභ ආරංචියකුත් ආවා. ඒ අසුභ ආංරචිය තමයි ශ්‍රීලන්කන් එකේ මුළු ණය ගොඩම ආණ්ඩුව තමන්ගේ ණයක් ලෙස භාර ගන්නවා. ඒ කියන්නේ ශ්‍රීලන්කන් එකේ ණය රජයේ ණයක්, වගකීමක් බවට පත්වෙනවා, රජය බාහිර ආයතනවලින් ලබා ගත්ත ණයවල කොටසක් ලෙස මේක තියෙනවා.

  • විසර්ජන පනතේ හෝ අයවැයේ නැති වැඩ

මේක අපි තේරුම් ගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ කියන දේත් එක්කයි. මේ වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ සමස්ත වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් ශ්‍රීලන්කන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කිසිම දෙයක් කළ බවක් අපට පේන්නේ නැහැ. මේ ගැන විසර්ජන පනතේ තිබුණේ නැහැ, අයවැය කතාවේ තිබුණේ නැහැ. නමුත් කැබිනට් මණ්ඩලය, විධායකයේ ප්‍රධාන ආයතනය තීරණය කරනවා මහජන මුදල් වලින් රුපියල් බිලියන 42ක් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය ගෙවීමට ලබා දෙන්න. එපමණකුත් නොවෙයි, තවත් ඩොලර් මිලියන 30ක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් වැය කරනවා, ඒ තීරණය ගන්නේ මේ වසරේ, 2026 මැයි මාසයේ. ඒ කියන්නේ මහජන බදු මුදලින් රුපියල් බිලියන 52කට ආසන්න මුදලක් ශ්‍රීලන්කන් ගුවන් සේවය කියන මකර කටට දාලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේක කොහොම වුණා ද කියලා අපි දන්නේ නැහැ.

මුදල් අමාත්‍යාංශය

2027 වර්ෂයට අදාළ විසර්ජන පනතේ වියදම් දෙස බලන විට මුදල් අමාත්‍යාංශයට වෙන් කළ මුදල විශේෂයෙන් අවධානයට යොමු විය යුතුයි. 2027 වර්ෂයට අදාළව මුදල් අමාත්‍යාංශයට අති විශාල මුදලක් වෙන් කරලා තියෙනවා, රුපියල් බිලියන 233ක් පුනරාවර්තන වියදම් ලෙස මුදල් අමාත්‍යාංශයට වෙන් කරලා තිබෙනවා, රුපියල් බිලියන 35ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරලා තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ණය පියවන්න ආදි වශයෙන් දැවැන්ත මුදලක් වැය කරන්නේ මුදල් අමාත්‍යාංශයට වෙන් කළ මේ මුදල් හරහා බව පැහැදිලියි. මේ හරහා අපට පේනවා රජයට අයත් ආයතන ඉතාම රහසිගත ලෙස, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් හෝ දැනුවත්භාවයකින් පවා තොරව, හංගලා මේ වැඩ කරගෙන යනවා කියලා.

2027 වර්ෂයට අදාළ විසර්ජන පනතේ පවා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය ගෙවීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමක් කරලා නැහැ. මං හිතන ආකාරයට ඒක තියෙන්නෙත් මුදල් අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන තුළයි. මේ මුදල් සම්බන්ධයෙන් තීන්දු – තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශය සහ විෂයභාර අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවට එහි වගකීමක් ඇත්තේ නැහැ. ඉතාම පැහැදිලිව මේක පාර්ලිමේන්තුවේ අධීක්ෂණයකින් තොරව කරන දෙයක්.

මේ හරහා පැහැදිලි වන දේ තමයි බොහෝ දෙනෙක් අයවැය කතාව ගැන අවධානය යොමු කරලා අයවැය කතාව ගැන හෙඩ්ලයින්ස් ලියනවා. නමුත් ඇත්තම වැඩේ තියෙන්නේ විසර්ජන පනත තුළයි. මේ ක්‍රියාවලියට අදාළ, සම්බන්ධ ලියවිලි ගණනාවක් තිබෙනවා. ඒවා ගැන කිසිම අවධානයක් නැතිව, ඒවා කියවන්නේ නැතිව අයවැය කතාව ගැන පමණක් අවධානය යොමු කරනවා. ඒක හරියට මුහුදේ පාවෙන අයිස් කන්දක උඩ කොටස දිහා බලනවා වාගේ වැඩක්. යට තියෙන දේ ගැන කිසිම අවධානයක් නැහැ. මේ අනුව සරල භාෂාවකින් කිව්වොත් අයවැය කතාව කියන්නේ අයිස් බර්ග් එකක උඩට පේන කොටස. මේකේ වැදගත්ම, ලොකුම කොටස තියෙන්නේ පතුලේ.

  • රාජ්‍ය සේවක වැටුප්

විසර්ජන පනත තුළ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ඍජු, පැහැදිලි සටහනක් නැහැ. නමුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, මණ්ඩල සහ කොමිෂන් ආදියේ පුනරාවර්තන වියදම් දක්වලා තිබෙනවා. ඒවා තුළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළ කිසිම තොරතුරක් සොයා ගන්න බැහැ.  නමුත් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන මධ්‍ය වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරලා තිබෙනවා. එම වාර්තාවට අනුව මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභාවල සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට වැය වන මුදල පැහැදිලිව දක්වා තිබෙනවා. උදාහරණයක් ලෙස 2025 පළමු මාස හයට සමස්ත රාජ්‍ය සේවක වැටුප් ලෙස රුපියල් බිලියන 555කුත්, 2026 පළමු මාස හයට රුපියල් බිලියන 621කුත් වැය කරලා තිබෙනවා. මේ අනුව සමස්තයක් ලෙස 2026 වර්ෂයේ දී රාජ්‍ය සේවක වැටුප් ලෙස පමණක් රුපියල් බිලියන 1242ක් පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව පේනවා.  2027 ජනවාරී මාසයේ දී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තෙවන අදියරත් ක්‍රියාත්මක වන නිසා ලබන අවුරුද්දේ රාජ්‍ය සේවක වැටුප් ලෙස මීට වඩා සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවෙනවා. ඒ වගේම 2025ට සාපේක්ෂව 2026 ද රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට කරන වියදම 12%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහි අදහස තමයි සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වීමට වඩා වැඩි ප්‍රතිශතයකින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට වැය වන මුදල වැඩි වී තිබෙනවා කියන එක.

  • විශ්‍රාම වැටුප්

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් 100%ක්ම වැය බර දැරීමට රජයට සිදුවෙනවා. එහි ප්‍රතිලාභ ලබන කිසිවෙක් ඒ වෙනුවෙන් වැය කිරීමක් නොකරන තත්ත්වයක් තමයි ලංකාවේ තිබෙන්නේ. ඒ අනුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීමට 2025 පළමු මාස හයට රුපියල් බිලියන 208කුත්, 2026 පළමු මාස හයට රුපියල් බිලියන 240කුත් වැය කරලා තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 15%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලි වෙනවා සමස්ත රාජ්‍ය වියදම වැඩිවීම වන 7%ට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම දෙගුණයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව.

මේ තත්ත්වය පොදුවේ අපගේ අවධානයට යොමු විය යුතුයි, මේ සිදුවෙන්නේ කුමක් ද කියලා අපි කල්පනා කළ යුතුයි. ඒ වගේම සමස්තයක් ලෙස විසර්ජන පනතට, අයවැය කතාවට වඩා වෙනස් කතාවක් රාජ්‍ය වියදම් තුළ සිදුවන බව අපට මේ අනුව පැහැදිලි වෙනවා. ඒකට හොඳ උදාහරණය තමයි ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අදාළ රුපියල් බිලියන 52ක ණය ආවරණය කිරීම. මේ මුදල සමස්ත රාජ්‍ය සේවක වැටුප් ගෙවීම්වලින් 10%කට ආසන්න ප්‍රමාණයක්. කිසිමදාක ශ්‍රීලන්කන් ගුවන් යානයක නොගිය මිලින ගණනක් සාමාන්‍ය ජනතාව පවා මේ ණය කන්ද ගෙවා දැමීමට දායක වෙලා තිබෙනවා.

මම හිතන ආකාරයට මෙවැනි වියදම් පාරදෘශ්‍යව සිදුවි යුතුයි, ඒ වගේම මාධ්‍ය මේ ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.  නමුත් විසර්ජන පනත හෝ අයවැය කතාව වැනි තනි ලියවිල්ලකින් මේ ගැන අදහසක් ලබා ගත නොහැකි බවත් පැහැදිලි කළ යුතුයි.

  • සුරංගනා කතා නෑ

මම මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාවට කැමතියි. ඒකට හේතුව තමයි ඒකේ සුරංගනා කතා නැහැ. එම වාර්තාවේ ‘ඇත්තටම කළ වියදම්‘ සටහන් කරනවා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියනවා, ලංකාවේ ජනගහනයෙන් 1000ක් පමණ ආවරණය වන ආකාරයට ‘ආරෝග්‍යා‘ මධ්‍යස්ථාන 100ක් ස්ථාපිත කරනවා කියලා. ඒකට රුපියල් මිලියන 150ක් වෙන් කරනවා. නමුත් පසුගිය කාලේ ඒක 25ක් දක්වා අඩු වුණා. ඒ 25 වෙනුවෙන් වෙන් කරලා තිබුණේ රුපියල් මිලියන 50යි. පුදුමේ කියන්නේ මේ 25 පවා විවෘත කරලා නැහැ, එකක් දෙකක් පමණයි විවෘත කරලා තියෙන්නේ. අනෙක් අතට මේ මුදල් වෙන් කිරීම් ප්‍රමාණවත් නැහැ. රුපියල් මිලියන 2ක් වාගේ මුදලකින් ආරෝග්‍යා මධ්‍යස්ථාන හදන්න පුළුවන් ද කියලා අපි කල්පනා කළ යුතුයි.  ඒ වගේම ආරෝග්‍යා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වාර්තා හෝ අදාළ ලියවිලි ඇත්තෙත් නැහැ.

ඒ වගේම මේ දවස්වල ජනාධිපතිවරයා වැව් ප්‍රතිසංස්කරණය ගැන කතා කරනවා. නමුත් මේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් කරලත් නැහැ. විශාල වැව් අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලත් නැහැ. කුඩා වැව්වල අයිතිය තිබෙන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටත් ප්‍රාග්ධන වියදම් ලෙස සැලකිය යුතු මුදලක් වෙන් කරලා නැහැ. සමස්තයක් ලෙස පරණ පවු ගෙවන ශ්‍රීලන්කන් වෙනුවෙන් වෙන් කරන තරම් මුදලක් වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කරලා නැහැ.

  • අවසානය

මේ සමස්ත කරුණු අනුව අපට අවසානයේ දී එන්න වෙන නිගමනය තමයි සමස්තයක් ලෙස අයවැය කතාව දෙස පමණක් බලලා සත්‍ය රූපයක් දැක ගන්න බැහැ. මේ හා සම්බන්ධ අනෙක් වාර්තා ද පරිශීලනය කළ යුතුයි. නමුත් මේවාගෙන් ද අපට සමස්ත චිත්‍රය බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපට මේ මුළු චිත්‍රයම බලා ගන්න නම් තවත් ගැඹුරට කරුණු කාරණා සොයා බැලීමට සිදුවෙනවා.

මම සතුටු වෙනවා ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතීත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාව මේ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් මේ වන විට ගැඹුරට කරුණු විමසීමක් කරනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළ පනත නිකුත් කළත් ඒක තවම පිහිටුවීමට පියවර ගෙන නැහැ. එවැනි දේවල් ද ස්ථාපිත කළ පසු පමණයි අපට අයවැය, රාජ්‍ය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රයක් ලැබෙන්නේ. මෙවර ඇයවැය කතාව අහන්න වෙන්නේ මේ ගැන අදහසකුත් සමඟයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ “අයවැය කතාවට පූර්විකාවක් වන ආදායම් සහ වියදම් ලියවිලි තේරුම් ගන්නේ කෙසේද?” යන තේමාව යටතේ පැවැති වැඩසටහනේ දී මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment