පළාත් පාලන ආයතනයන් හි අනාගතය: මෙතැනින් කොතැනටද ?
- Editor
- May 4, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
ආණ්ඩුවේ සල්ලි මත යැපෙන පාළාත් පාලන ආයතනවලට අනාගතයක් නෑ – ආචාර්ය සුජාතා ගමගේ
පළාත් පාලන ආයතනවලට ස්වයං යැපීමකින් තොරව අනාගතයක් නෑ – හිටපු පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර
පළාත් පාලන ආයතනය යනු ශ්‍රී ලංකාවේ තුන්වන සහ පහළම මට්ටමේ රජයයි. (මධ්‍යම රජය සහ පළාත් සභාවලට පසුව). මාර්ග, සනීපාරක්ෂාව, කාණු, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන සහ විනෝදාත්මක පහසුකම් ඇතුළු විවිධ පළාත් පාලන මහජන සේවාවන් සැපයීම සඳහා පළාත් පාලන ආයතන වගකිව යුතු අතර ප්‍රකට නිර්වචනයකට අනුව ‘පළාත් පාලන ආයතන යනු පුරවැසියන්ගේ උපතේ සිට මරණ දක්වා සෑම අවස්ථාවකම පාහේ ඉතා සමීප සබඳතාවක් ඇති රාජ්‍ය ආයතනයකි’.
ශ්‍රී ලංකාවට පළාත් පාලන කටයුතු පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. මහාවංශයට අනුව ක්‍රි.පූ. 4 වන සියවස දක්වා දිවෙන පැරණිතම සිංහල ජනාවාස ගම් පාදක විය. මෙම ගම්මාන සිංහල රජවරුන් විසින් පරිපාලන ඒකකයක් ලෙස භාවිතා කරන ලදී. සෑම ගමක්ම ස්වාධීනව පරිපාලනය කරන ලදී. ගම් සභා ප්‍රාදේශීය කටයුතු පරිපාලනය කිරීම, ජනතාවගේ දුක්ගැනවිලි විසඳීම සහ සුළු ආරවුල් විසඳීම සිදු කළේය. ගම් පාදක පරිපාලනය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සියවස් ගණනාවක් පුරා පැවතුනි.
1818 දී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ගම් සභා අහෝසි කරන ලදී. 1833 කෝල්බෲක්-කැමරන් කොමිසම යම් ආකාරයක ගම් කමිටු ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව නිර්දේශ කළේය. 1856 අංක 9 දරන කුඹුරු ඉඩම් සහ වාරිමාර්ග ආඥා පනත මගින් කෘෂිකර්මාන්තය සහ වාරිමාර්ග අධීක්ෂණය කිරීම සඳහා ගම් සභා නැවත හඳුන්වා දෙන ලදී. ගම් සභා වල සභාපතිත්වය දැරුවේ බ්‍රිතාන්‍යයන් විසින් පත් කරන ලද රජයේ නියෝජිතයා හෝ සහකාර රජයේ නියෝජිතයා විසිනි. ඔහු ගම් සභා වල අනෙකුත් සාමාජිකයින් පත් කළේය.
යටත් විජිත පාලන සමයේ සිට මේ දක්වා පළාත් පාලනය හා සම්බන්ධ වැදගත් අවස්ථා කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
යටත් විජිත යුගය
- 1861 අංක 10 දරන මාර්ග කමිටු පනත මගින් රටේ පොදු මාර්ග පරිපාලනය කිරීම සඳහා පළාත් මාර්ග කමිටු සහ දිස්ත්‍රික් මාර්ග කමිටු නිර්මාණය කරන ලදී.
- 1865 අංක 17 දරන නගර සභා ආඥා පනත මගින් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා වගකීම ප්‍රදේශවාසීන් වෙත පැවරිණි.
- 1931 දී බලාත්මක කරන ලද ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස නගර සභා වල සියලුම සාමාජිකයින් තේරී පත් විය.
- 1871 අංක 26 දරන ගම් ප්‍රජා ආඥා පනත මගින් පළාත් පාලන කටයුතු සඳහා ගම් කමිටු සහ අධිකරණ පරිපාලනය සඳහා ග්‍රාමීය අධිකරණ හඳුන්වා දෙන ලදී.
- 1892 අංක 18 දරන සනීපාරක්ෂක මණ්ඩල ආඥා පනත මගින් කුඩා නගරවල විදුලිය, ජලාපවහනය, පොදු පහසුකම්, වෙළඳපොළ, කිරි නිෂ්පාදන, රෙදි සෝදන මධ්‍යස්ථාන සහ ජල සැපයුම වැනි මහජන සෞඛ්‍ය සේවා ගණනාවක් සැපයීම සඳහා ආයතන නිර්මාණය කරන ලදී.
- 1898 අංක 13 දරන දේශීය මණ්ඩල ආඥා පනත මගින් විශාල නගර සඳහා දේශීය සෞඛ්‍ය සහ සනීපාරක්ෂක මණ්ඩල නිර්මාණය කරන ලදී.
- 1920 අංක 11 දරන පළාත් පාලන ආඥා පනත මගින් පළාත් පාලන ආයතන වර්ග තුනක් නිර්මාණය කරන ලදී.
- 1939 අංක 61 දරන නගර සභා ආඥා පනත මගින් රටේ විශාලතම නගරවල නගර සභා නිර්මාණය කරන ලදී.
- 1946 අංක 3 දරන නගර සභා ආඥා පනත මගින් කුඩා නගර සඳහා නගර සභා නිර්මාණය කරන ලදී.
නිදහසින් පසු යුගය
- 1952 අංක 8 දරන පළාත් පාලන ආයතන බලතල පුළුල් කිරීමේ පනත මගින් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතන වෙත යම් බලතල පවරන ලද අතර නගර සභාවලට නව බලතල ලබා දෙන ලදී.
- 1980 අංක 35 දරන දිස්ත්‍රික් සභා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර දිස්ත්‍රික් සංවර්ධන සභා 24ක් නිර්මාණය කරන ලදී. දිස්ත්‍රික් සංවර්ධන සභා 1981 ජූලි 1 වන දින ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. ඒ සමඟම, නගර සභා 83ක් සහ ගම් කමිටු 549ක් අහෝසි කරන ලදී.
- 1987 අප්‍රේල් 15 වන දින පාර්ලිමේන්තුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සම්මත කළේය. 1988 ජනවාරි 1 වන දින ප්‍රාදේශීය සභා 257 ක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් පාලන ආයතන පාලනය සහ අධීක්ෂණය මධ්‍යම රජයෙන් අලුතින් නිර්මාණය කරන ලද පළාත් සභා වෙත මාරු කරන ලදී .
- 2011 ජනවාරි මාසයේදී පළාත් පාලන ආයතනවල වෙනස්කම් ගණනාවක් සිදු වූ අතර, මුළු සංඛ්‍යාව 335 දක්වා ඉහළ නැංවීය.
- 2012 ඔක්තෝබර් 10 වන දින පාර්ලිමේන්තුව විසින් 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත සහ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කරන ලද අතර, එමඟින් විවෘත ලැයිස්තු සමානුපාතික නියෝජනයෙන් පළාත් පාලන ආයතන සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණ ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට වෙනස් කරන ලද අතර එමඟින් සාමාජිකයින්ගෙන් 70% ක් පළමු පසු ඡන්දය භාවිතා කරමින් සහ ඉතිරි 30% සංවෘත ලැයිස්තු සමානුපාතික නියෝජනය හරහා තෝරා පත් කර ගනු ලැබේ.
- සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සංඛ්‍යාව නිර්වචනය කර ඇති අතර, එම විස්තර 2015 අගෝස්තු 21 දිනැති අංක 1928/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 2017 පෙබරවාරි 17 දිනැති අංක 2006/44 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
- 2016 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කළ අතර, පළාත් පාලන මැතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් 25% ක් කාන්තාවන් විය යුතුය.
- 2016 අංක 1 සහ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත්වල දක්වා ඇති පරිදි, මිශ්‍ර-මන්ත්‍රී සමානුපාතික නියෝජනය (MMPR) ක්‍රමයක් භාවිතා කරමින් පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වනු ලැබේ.
- 2017 අගෝස්තු 25 වන දින පාර්ලිමේන්තුව විසින් 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කරන ලද අතර, එමඟින්, තනතුරට පෙර සහ සමානුපාතික නියෝජනය අතර අනුපාතය 70:30 සිට 60:40 දක්වා වෙනස් කරන ලදී.
- සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සංඛ්‍යාව නිර්වචනය කර ඇති අතර, එම විස්තර 2015 අගෝස්තු 21 දිනැති අංක 1928/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 2017 පෙබරවාරි 17 දිනැති අංක 2006/44 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
- 2025 මාර්තු 1 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් නාමයෝජනා අවශ්‍යතා, තැන්පතු මුදල් සහ අවම කාන්තා සහ තරුණ අපේක්ෂකයින් සංඛ්‍යාව දක්වා ඇත.
බලතල
පළාත් පාලන ආයතන තම බලතල ලබා ගන්නේ තනි මූලාශ්‍රයකින් නොව බොහෝ පනත් සහ ආඥා පනත් මගිනි. පළාත් පාලන ආයතනයට අදාළ ප්‍රධාන පනත් වන්නේ 1947 අංක 29 දරන මහ නගර සභා ආඥා පනත, 1939 අංක 61 දරන නගර සභා ආඥා පනත සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතයි. එහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් පාලන ආයතන වර්ග තුනට තරමක් වෙනස් බලතල ඇත. නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට වඩා මහ නගර සභාවලට වැඩි බලතල ඇත.
පළාත් පාලන ආයතනවලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට, කොන්ත්‍රාත්තුවලට එළඹීමට, ඉඩම් අත්පත් කර ගැනීමට සහ කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීමට බලය ඇත. කෙසේ වෙතත්, මෙම බලතල මධ්‍යම රජයට සහ පළාත් සභාවලට යටත් වීම සහ අනෙකුත් රාජ්‍ය ආයතන ( දිස්ත්‍රික් ලේකම් වැනි ) පළාත් පාලන ආයතනයට සමාන බලතල භුක්ති විඳීම යන කරුණු මගින් තරමක් සීමා කර ඇත.
- කතිකාව 222
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 222 සංවාදය “පළාත් පාලන ආයතනයන් හි අනාගතය” යන තේමාව යටතේ පැවැත් වීය. මෙවර සංවාදයේ සම්පත්දායකයින් ලෙස ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සහ හිටපු පළාත් පාලන කොමසාරිස්වරයෙකු වන ධර්මසිරි නානායක්කාර මහතා සහභාගී වූ අතර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ආණ්ඩුවේ සල්ලි මත යැපෙන පාළාත් පාලන ආයතනවලට අනාගතයක් නෑ – ආචාර්ය සුජාතා ගමගේ
2018 පෙබරවාරී 10 වැනි දින ආසන්නතම පළාත් පාලන මැතිවරණ පවත්වනු ලැබූ අතර ඒ අනුව 2022 පෙබරාවී මාසයේ පැවැත්වීමට නියමිත තිබූ පළාත් පාලන මැතිවරණය ආර්ථික අර්බුදය සහ තවත් දේශපාලන කරුණු කිහිපයක් හේතුවෙන් කල් දැමීමට එවකට පැවැති ආණ්ඩු පියවර ගත්තේය. ඒ අනුව වසර තුනකට ආසන්න කාලයක් මහජන නියෝජිතයින්ගෙන් තොරව, රාජ්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ පැවැති පළාත් පාලන ආයතනවලට ‘යළිත් මහජන නියෝජිතයින් (සභිකයින්) අවශ්‍යද ?’ යන ප්රශ්නය යම්කිසි පිරිසක් අතර පවතී.
මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් ආචාර්ය සුජාතා ගමගේ වෙත සංවාදය ආරම්භයේ දීම ඉහත ප්රශ්නය (තව දුරටත් පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයින් අවශ්‍යය ද ?, ගෙවී ගිය වසර තුන තුළ සිදු වූ ආකාරයෙන් නිලධාරීන් මගින්ම පළාත් පාලනය පවත්වා ගෙන යා නොහැකිද ?) යොමු කළ අතර ආචාර්ය සුජාතා ගමගේ මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය.
- නිලධාරී පාලනය නුසුදුසු ඇයි ?
“පළාත් පාලන ආයතන සම්බන්ධ සෑම පනතකම එහි කාර්යභාරය කුමක්ද ? යන්න ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ කියන්නේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාර්යභාරය ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව, අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, මංමාවත් ඇතුළු පොදු උපයෝගීතා පවත්වා ගෙන යාම, එසේම ජනතාවගේ පහසුව, සුඛවිහරණය සහ සුභසාධනය පවත්වා ගෙන යාම. සමාජයේ පවතින පොදු අදහස අනුව කුණු එකතු කිරීම, ආදාහනාගාර පවත්වා ගෙන යාම වැනි කටයුතු කිහිපයකට පළාත් පාලන ආයතන සීමා වෙනවා නම් මේ තරම් සභිකයෝ සංඛ්‍යාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබ සඳහන් කළ කරුණ ඇත්ත. පසුගිය අවුරුදු තුනක පමණ කාලය තුළ මේ සේවා සම්බන්ධ ගැටලු ඇති වී නැහැ. නමුත් ඇත්ත ඒක නෙවෙයි. අපි පළාත් පාලන ආයතන සභිකයින්ගේ කාර්යභාරය ඉතාම පටු ලෙස ලඝු කරලා තිබෙනවා. මම මුලින් සඳහන් කළ ආකාරයට පුරවැසියන්ගේ පහසුව, සුඛවිහරණය සහ සුබසාධනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට තමයි මහජන නියෝජිතයින් අවශ්‍ය වන්නේ”
මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පසුගිය ශ්‍රී දළඳා ප්‍රදර්ශනය සමඟ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුළ සිදු වූ තත්ත්වය උදාහරණයට ගත්තා ය. මෙහිදී ඇය ප්‍රශ්න කළේ, මධ්‍ය ආණ්ඩුව, හමුදාව, දිසාපතිවරයෙක් සහ පළාත් ආණ්ඩුකාරවරයෙක් සිටි පමණින් තත්ත්වය යහපත් වුණා ද ? කියය.
“මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද ඇතුළුව මහජන නියෝජතයින්ගේ සක්‍රීය සහභාගීත්වය තිබුණා නම් මේක මීට වඩා සාර්ථක වෙන්න තිබුණා කියලා මම හිතනවා” ඇය අවධාරණය කළාය.
පොදු ආකල්පයක් ලෙස සරල සේවාවන් කිහිපයක් නොව පළාත් පාලන ආයතනවලට කළ හැකි ‘අපමණ සේවාවක්’ තිබෙන බව ආචාර්ය සුජාතා යළි පෙන්වා දුන්නා ය.
“ප්‍රශ්න තිබෙන්න පුළුවන්. බොහෝ දේවල් මේ දක්වා සිදු නොවුණා වෙන්න පුළුවන්. සභිකයින් මේ දක්වා, තමන්ගේ පහසුව, සුඛවිහරණය සහ සුබසාධනය සලසා ගත්තා වෙන්න පුළුවන්. නමුත් පළාත් පාලන සභිකයින් තමන්ගේ වගකීම හා කාර්යභාරය පැහැදිලිව, මනාව තේරුම් ගෙන කටයුතු කරනවා නම් විශාල වැඩ කොටසක් පළාත් පාලන ආයතන තුළින් කරන්න පුළුවන්” යැයි ආචාර්ය සුජාතා ගමගේ වැඩි දුරටත් සඳහන් කළාය.
- ප්‍රශ්න පිට ප්‍රශ්න
ලබන මැයි 06 වැනි දින පළාත් පාලන මැතිවරණය පවැත්වෙන්නේ තීරණාත්මක ආර්ථික හා දේශපාලන පසුබිමක් මැදය. වත්මන් ආණ්ඩුව බලයට පත්ව පවත්වන පළමු වැනි මැතිවරණය මෙය වන අතර පසුගිය ආර්ථික හා දේශපාලන අර්බුදයේ සෙවනැලි තවමත් තිබේ. ඒ අතර, ඇමෙරිකානු ආධාරක සංවිධානයක් වන USAID කටයුතු අවසන් කිරීම, ඇමෙරිකානු තීරු බදු අර්බුදය සහ ඉන්දු – පාකිස්ථාන් ආතතිය ද මෙරට දේශපාලන හා ආර්ථික තලය තුළ අනපේකෂිත කැළඹීම් ඇතිකර තිබේ. මෙම පසුබිම තුළ පළාත් පාලන මැතිවරණයෙන් බලයට පත්වන පළාත් පාලන ආයතනවලට කටයුතු කිරීම අභියෝගාත්මක විය හැකිය. විශේෂයෙන් USAID ආධාර අවසන් කිරීම පළාත් පාලන ආයතනවල කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ හැකිය.
මේ සියලු ප්රවණතා හමුවේ පළාත් පාලන ආයතනවලට මුහුණ දීමට සිදුවිය හැකි තත්ත්වය ආචාර්ය සුජාතා ගමගේ මෙසේ පැහැදිලි කළාය.
“USAID ආධාර අහිමිවීම පළාත් පාලන ආයතනවලට ඍජුව බලපානවා. අපි දන්නවා (විශේෂයෙන්) රජයෙන් ප්‍රාග්ධන ප්‍රතිපාදන ලබා ගැනීම කොතරම් දුෂ්කර ද කියලා. නමුත් පළාත් පාලන ආයතනවල අයවැයෙන් 1/3ක් වැය වෙන්නේ වැටුප් වෙනුවෙන්. මෙය සම්පූර්ණයෙන්ම රජය විසින් ප්‍රතිපූර්ණය කරනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ප්‍රාග්ධන දීමනා ලබා දෙන්නේ යම්කිසි සමීකරණයකට අනුව. බොහෝ විට ඒක ආදායමෙන් 1/3ක් පමණ වෙනවා. ඉතිරි 1/3ක පියවා ගැනීම පළාත් පාලන ආයතනවලට තමන්ගේම ආදායම් මාර්ග (වරිපනම්, දඩ මුදල් ආදි) තිබෙනවා. මධ්‍යම ආණ්ඩුව යම්කිසි ආකාරයක අයවැය සම්බන්ධ ගැටලු වලට මුහුණ දුන්නොත් පළාත් පාලන ආයතනවලටත් යම්කිසි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවිය හැකියි”.
මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනවලට ‘තමන්ගේම ආදායම්’ උපද්දවා ගැනීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන අදාළ පනත් මඟින් සලසා දී ඇති බවයි. මේ දක්වා මෙකී බලතල හා ප්‍රතිපාදන අනුව අවශ්‍ය තරම් කටයුතු කළ බවක් තමාට නිරීක්ෂණය නොවන බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා නව ආදායම් මාර්ග සොයා යාමට පළාත් පාලන ආයතනවලට පුළුල් අවස්ථාවන් තිබෙන බව ද මෙහිදී පෙන්වා දුන්නාය.
“වරිපනම් ආදි ආදායම් අවස්ථා සීමිත පළාත් පාලන ආයතනවලට පාරිසරික හා කෘෂි සංචාරක ව්‍යාපාරය ආදි නව ක්ෂේත්‍ර හරහා විශාල වශයෙන් ආදායම් ලබා ගන්න, සංවර්ධන හා අදාළ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්. ඒ ගැන අලුතින් සිතා බලන පාලනයක් තුළ බොහෝ අවස්ථා පුළුල් කර ගන්න පුළුවන් වුණත් මේ දක්වා මේ සම්පත්වලින් සැලකිය යුතු ප්රතිලාභ ලබන බවක් නම් දකින්න අසීරුයි’ ඇය චෝදනාත්මක ස්වරයෙන් කීවාය.
- වැරදි පූර්වා දර්ශයක්
අනපේකෂිත ආර්ථික (ඇමෙරිකානු බදු) සහ ගෝලීය දේශපාලන ආතතීන් (ඉන්දු – පාකිස්ථාන් ගැටලුම) තුළ ඉදිරියේ දී මධ්‍යම ආණ්ඩුවට යම් යම් අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය හැකිය. එහි උණුසුම පළාත් පාලන ආයතනවලට ද වඩාත් තදින් දැනෙනු ඇති නමුත් නිර්මාණශීලී පළාත් පාලන ආයතනයකට තත්ත්වය තුළ සුරක්ෂිත වීමට අවස්ථා තිබේ. මේ අතර ‘ජාතික ජන බලවේගය’ විසින් පාලන බලය දිනා ගන්නා පළාත් පාලන ආයතනවලට (පමණක්) මධ්‍ය ආණ්ඩුවේ ප්‍රතිපාදන ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රතිඥා දී තිබේ. මෙය ‘වැරදි පූර්වාදර්ශයක්’ බව ආචාර්ය සුජාතා කීවාය. කෙසේ නමුත් 2025 අයවැය ලේඛනය කළ පළාත් පාලන ආයතනවලට ‘සැලකිය යුතු සංවර්ධනයක්’ කිරීම වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් ලබා දීමට හැකියාවක් නොමැති බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නා ය.
- අනාගතය සුභ වෙන්න කළ යුතු දේ
“2010-2015 මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දී සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වන ‘මග නැඟුම, ගම නැඟුම’, 2025-2019 යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ ‘ගම්පෙරළිය’ ආදි සංවර්ධන ව්‍යාපෘති (රුපියල් බිලියන 40ක්) ක්‍රියාත්මක කළේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහායි. මේ ව්‍යාපෘති හරහා පළාත් පාලන ආයතනවලටත් යම්කිසි මුදලක් ලැබෙන විට ග්‍රාමීය සංවර්ධනයත් සිදු වුණා. නමුත් 2025 අයවැය තුළ මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නැහැ. ඒ නිසා මම පැහැදිලිව පෙන්වා දීමට කැමැතියි, අලුතින් බලයට පත්වන පළාත් පාලන ආයතන ‘ස්වයං ආදායම් උත්පාදන ව්‍යාපෘතිවලට’ යා යුතුමයි. එසේ නොකොට ඔවුන්ට ඉදිරියට යාමට අපහසු වනු ඇති බවයි මගේ නිරීක්ෂණය වෙන්නේ” යැයි කී ආචාර්ය සුජාතා ගමගේ යළිත් දැඩිව අවධාරණය කළේ ‘ස්වයං ආදායම් උත්පාදන මාර්ග වෙත යාමට ශක්තිය හා දැක්මක් ඇති පළාත් පළාන සභිකයින් පිරිසක් තෝරා ගැනීම ජනතාවගේ වගකීමක් වන අතර එවැනි පුද්ගලයින් / සභිකයින් සභාපතිවරුන් හෝ නගරාධිපතිවරුන් ලෙස නම් කිරීම අදාළ දේශපාලන නායකත්වයේ ද වගකීමක් බවයි.
“2028 දී අපිට විදේශ ණය ගෙවීමට සිදුවන විට පළාත් පාලන ආයතනවල 100%ක් මධ්‍යම ආණ්ඩුව විසින් සිදුකළ වැටුප් ප්‍රතිපූර්ණය යම් කප්පාදුවකට ලක්විය හැකියි. ඒ නිසා මම යළිත් දැඩිව අවධාරණය කරන්නේ මධ්‍යම ආණ්ඩුව මත යැපීම අඩු කරමින්, තමන් විසින් ම අදායම් උපයා ගන්නා තත්ත්වයකට පළාත් පාලන ආයතන යොමුවිය යුතුයි. ඒ වෙනුවෙන් නිසි කළමනාකාරීත්වයක්, දැක්මක් සහ හැකියාවක් සහිත සභිකයින් සහ සභාපතිවරුන් පත්විය යුතුයි. පළාත් පාලන ආයතනවල අනාගතය සුභවාදී වෙන්නේ මෙවැනි ප්‍රවේශයක් වෙත යොමු වුණොත් පමණයි. ” ආචාර්ය සුජාතා ගමගේ තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් පෙන්වා දුන්නාය.
පළාත් පාලන ආයතනවලට ස්වයං යැපීමකින් තොරව අනාගතයක් නෑ – හිටපු පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර
- සභාපති සහ උප සභාපති පත් නම් කිරීම
පළාත් පාලන මැතිවරණයේ යම්කිසි දේශපාලන පක්ෂයක් (තනි) හෝ ස්වාධීන කණ්ඩායම් අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින් සංඛ්‍යාවෙන් අඩක් (50%)ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගන්නේ නම් අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා නම් කිරීමේ බලය අදාළ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම්වරයාට හිමිවේ. අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින් සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි සභිකයින් සංඛ්‍යාවක් දිනා ගැනීමට යම්කිසි තනි දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අසමත් වුවහොත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින්, ඔහුගේ මූලිකත්වයෙන් අදාළ පළාත් පාලන ආයතනයේ ‘මුල් රැස්වීම’ පැවැත්විය යුතුය. මෙම රැස්වීමේ දී පළාත් පාලන කොමසාරිස්වරයාගේ යෝජනාවක් අනුව අදාළ සභිකයින්ගේ ඡන්දයෙන් සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්විය යුතුය.
- පුංචි විධායක ජනාධිපති
ඉහත සඳහන් කළ කුමනාකාරයකට පත් වුව ද පළාත් පාලන ආයතනයක සභාපතිවරයාට සහ නගරාධිපතිවරයාට ‘අධික බලතල’ ප්‍රමාණයක් ඇති බවත් ඔහු හෝ ඇය ද ‘පුංචි විධායක ජනාධිපතිවරයෙක්’ මෙන් අත්තනෝමතිකව කටයුතු කළ හැකි (කරන) බවටත් ප්‍රබල විවේචනයක් සමාජය තුළ තිබේ. මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ධර්මසිරි නානායක්කාර මහතා පෙන්වා දුන්නේ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙහි ‘විධායක ප්‍රධානියා සභාපතිවරයා වන්නේය’ යනුවෙන් සඳහන්ව ඇති බවයි සභාපතිවරයාට හිමි බලතල එහි පැහැදිලිව දක්වා ඇති බවත්ය.
“මේ බලතල සංශෝධනය කළොත් හොඳයි” ධර්මසිරි නානායක්කාර මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සිය අත්දැකීම් ද සහිතව තත්ත්වය පැහැදිලි කළ නානායක්කාර මහතා වැඩි දුරටත් මෙසේ ද පෙන්වා දුන්නේය, “මේ ගැටලුව තිබෙනවා. මුරණ්ඩු සභාපතිවරු ඉන්නවානේ. මුළු සභාවේම අදහස් නොතකා කටයුතු කරන ඇතැම් මුරණ්ඩු සභාපතිවරු ඉන්නවා. නමුත් පනතේ අනුව නම් මේ කටයුතු සඳහා මහා සභාවේ බහුතර අනුමැතිය තිබිය යුතුයි. සෑම යෝජනාවක්ම මහා සභාවේ ‘බහුතර ඡන්දයෙන්’ සම්මත විය යුතුයි”
මෙහිදී ධර්මසිරි මහතා පෙන්වා දුන්නේ ‘පළාත් පාලන ආයතනවල පක්ෂයක් හෝ විපක්ෂයක්’ නොහැති බවයි.
“පළාත් පාලන පනතට අනුව පළාත් පාලන ආයතනය තුළ ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් නැහැ. ඉන්නේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ සභිකයෝ පමණයි. සභාවේ අසුන් ගන්නේ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි. ‘සභාපතිවරයාගේ දකුණු පස සිට ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් අසුන් ගත යුතු බවයි’ පනතේ සඳහන් වෙන්නේ. මෙහි ඇති වැදගත්ම කරුණ තමයි, මේ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය බිඳ දැමුවොත් අදාළ සභාවේ ගන්නා වූ තීන්දු – තීරණ නීත්‍යානුකූල නැහැ. ඒත් මේක සමහර සභාවල් සලකන්නේ නැහැ. ඒ වගේම සභාපතිවරයාට උපදෙස් දෙන්නේ අදාළ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා. ඔහු විසින් සභාව පවත්වා ගෙන යාමේ නීති සහ රීති ගැන සභාපතිවරයා උපදෙස් ලබාදිය යුතුයි”.
මෙහිදී ධර්මසිරි මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සෑම පළාත් පාලන මැතිවරණයකින් පසුව තේරී පත්වන සභිකයින්ට අදාළ නීතිරිතී සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන බවයි.
- ආදායම් උපයා ගැනීම
පළාත් පාලන ආයතනවල වැටුප් සහ ඇතැම් ප්‍රාග්ධන වියදම් මධ්‍යම ආණ්ඩුව විසින් සපයනු ලැබුව ද පළාත් පාලන ආයතන ද විවිධාකාරයෙන් සිය ආදායම් උපයා ගනී. එහෙත් විවිධාකාර හේතුමත පළාත් පාලන ආයතනවල ආදායම්වල බරපතළ විෂමතා පවතී. මේ විෂමතා පළාත් පාලන ආයතනවලින් ලබා දෙන සහ අපේක්ෂිත සේවාවන්වලට ඍජුව සම්බන්ධ වේ. එපමණක් නොව ඉහත ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන් පරිදි පළාත් පාලන ආයතන වෙත මධ්‍ය ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන ‘ප්‍රතිපාදනවල’ යම් අඩුවීමක් හෝ කප්පාදුවක් වීමේ හැකියාවක්, අනතුරක් ද පවතී. මේ තත්ත්වයන්ට පළාත් පාලන ආයතන මුහුණ දිය යුත්තේ කෙසේ ද? යන්න ධර්මසිරි නානායක්කාර මහතා සිය වෘත්තීය අත්දැකීම් සමඟ මෙසේ පැහැදිලි කළේය.
“ඉදිරියේ දී පළාත් පාලන ආයතනවලට මධ්‍ය ආණ්ඩුව විසින් ලබාදෙන ප්‍රතිපාදන අඩු වීමේ හෝ සීමා කිරීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම තමයි මධ්‍යම ආණ්ඩුව පළාත් සභා හරහා තමයි මේ වන විට පවතින පළාත් පාලන ආයතන 341ටම ප්‍රතිපාදන ලබා දෙන්නේ. මහ නගර සභා සහ නගර සභාවලට තමන්ගේ ආදායමෙන් ‘යැපෙන්න’ පුළුවන්. නමුත් ප්‍රාදේශීය සභාවලට ස්වයං යැපීම බොහොම දුෂ්කරයි. ඒ නිසා ‘අනුමත’ සේවක සංඛ්‍යාව සඳහා වැටුප් ලබා දෙනවා. යම්කිසි ආකාරයකින් මධ්‍යම ආණ්ඩුව පළාත් සභා හරහා ලබා දෙන මේ ‘අනුමත වැටුප්’ නොලැබුණොත් පළාත් පාලන ආයතනවලට පවතින්න නොහැකි වෙනවා. මෙහිදී වැදගත් කරුණක් තමයි මේ අනුමත කාර්ය මණ්ඩලයට වඩා සැලකිය යුතු පිරිසක් බඳවා ගෙන තිබෙනවා. සභාව ‘උපයා ගන්නා’ මුදලින් (වරිපනම්, දඩ, ඔප්පු ගාස්තු, කඩකාමර කුලී. පොළ බදු ආදිය) තමයි මේ අයගේ වැටුප් ගෙවිය යුතු වන්නේ. මේ මුදල් (වරිපනම්, කුලී, බදු සහ දඩ වැනි) වැඩි කරන්න සභාවට යම් යම් බලතල (සීමාවන්ට යටත්ව) තිබෙනවා. මේවා බහුතරයක් වර්තමානයට ගැළපෙන්නේ නැති නිසා සංශෝධනය විය යුතුයි”
මෙහිදී ධර්මසිරි නානායක්කාර මහතා පෙන්වා දුන්නේ අදාළ ප්‍රතිපාදනවලට යටත්ව බදු, දඩ, කුලී ගාස්තු ආදිය ලබාදී ඇති සීමාවන්ට යටත්ව කඩිනමින් සංශෝධනය කර සභාවට ‘ස්වයං යැපීම්’ මාවතක් සකස් කරගත යුතු බවයි.
“2028න් පස්සේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන ප්‍රතිපාදන නොලැබී යන්න පුළුවන්. ඒකට හැඩගැසෙන්න ක්‍රමවේදයක් අපි යෝජනා කළ යුතුව තිබෙනවා. ප්‍රාදේශීය සභාවකටත් ස්වාධීනව යැපීමේ මාර්ගයක් තිබිය යුතු බවයි අපට පෙනී යන්නේ. අපි කෙසේ හෝ එය කළ යුතුයි. අපි මේ ගැන වැඩිදුර සලකන්නේ නැහැ. නමුත් එය කළ යුතුමයි ” ධර්මසිරි මහතා 2028 සිදුවිය හැකි තත්ත්වයට මුහුණ දීමට ගත යුතු පියවර පැහැදිලි කරමින් අවධාරණය කළේය.
බොහෝ සභාපතිවරුන් ‘ඡන්දය නැති වෙයි’ යන බියෙන් බදු, කුලිය ආදිය වැඩි කිරීමට කැමැත්තක් නොදක්වන බව පෙන්වා දුන් නානායක්කාර මහතා ඉදිරියේදී පත්වන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ‘මේ මග හැර වෙනත් මගක්’ නැති බව ද පෙන්වා දුන්නේ ය.
“නමුත් මේ කිසිම ආකාරයකින් ස්වයං යැපීම ප්‍රමාණවත් ආදායමක් සොයා ගන්න නොහැකි ප්‍රාදේශීය සභා තිබෙනවා. ඒවාට ආධාර දෙන ක්‍රමයක් සකස් විය යුතුමයි” ධර්මසිරි මහතා මෙහිදී දැඩි අවධාරණයකින් යුතුව පෙන්වා දුන්නේය.
- පනත වහාම සංශෝධනය විය යුතුයි
පළාත් පාලන ආයතන ස්වයං යැපීම් තත්ත්වයක් කරා යන්නේ නම් ඊට දැඩි බාධාවක් වී ඇති 1987 දී සම්මත කරන ලද පළාත් පාලන පනත් වහාම සංශෝධනය විය යුතු බව ආචාර්ය සුජාතා ගමගේ අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නාය. ඇය මෙහිදී හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු උපුටා දක්වමින් සඳහන් කළේ පනත යාවත්කාලීන නොවීම හේතුවෙන් සුපිරි වෙළෙඳසැලකින් පවා ප්‍රාදේශීය සභාවට මාසිකව අයකළ හැකි වන්නේ රුපියල් 1000ක් වැනි වරිපනම් ගාස්තුවක් බවයි. එසේම මධ්‍යම රජය එකතු කරනු ලබන ආදායම් බදුවලින් 85%ක් මධ්‍යම රජය විසින් ද 12%ක් පළාත් සභා විසින් ද වැය කරනු ලබන බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා පළාත් පාලන ආයතන වෙත ලබා දෙන්නේ 3%ක් වැනි සුළු ප්‍රතිශතයක් බව ද පෙන්වා දුන්නාය. චීනය වැනි රටවල මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රියාත්මක වන බව පැහැදිලි කළ ඇය මෙතරම් විශාල මධ්‍යම රජයක් රටට අනවශ්‍ය බවත් කීවාය.
“අපට අවශ්‍ය ජනතාවගේ පහසුව, සුඛවිහරණය සහ සුබසාධනය සහතික කිරීමට නම් ඉතාම පැහැදිලිව පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතුයි. පළාත් පාලන සභිකයින් ආණ්ඩුවේ හෝ යම් යම් දේශපාලන පක්ෂවල අවශ්‍යතා ඉටුකරන පුද්ගලයින් වීම වෙනුවට ඔවුන් තමා ජීවත් වන, තේරී පත් වූ පළාත් පාලන බල ප්‍රදේශයේ පුරවැසියන් පහසුව, සුඛවිහරණය සහ සුබසාධනය වෙනුවෙන් කැපවූ පුද්ගලයින් විය යුතුයි” ආචාර්ය සුජාතා ගමගේ තව දුරටත් පෙන්වා දුන්නාය.
මෙහිදී ඇය යළිත් දැඩිව අවධාරණය කළේ මධ්‍යම රජය කුඩා කර පළාත් පාලන ආයතන ශක්තිමක් කරනතාක් කල් අපේක්ෂිත සංවර්ධනයක් සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති බවයි.
මෙහිදී ධර්මසිරි නානායක්කාර මහතා පෙන්වා දුන්නේ ස්වයං උත්පාදක ආදායම් ශක්තිමත් කරන්නේ නම් ප්‍රාදේශීය සභා පනතේ 149සිට 152 දක්වා වගන්ති වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය කිරීමට මේ වන විට යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් නානායක්කාර මහතා මෙසේ ද පෙන්වා දුන්නේය, “ආචාර්ය සුජාතා කිව්වේ ඇත්ත, පනතේ ප්‍රතිපාදන අනුව (149 වගන්තිය) වෙළෙඳ ආයතනයකින් අය කරන්න පුළුවන් රුපියල් 1000ක් තමයි. 152 වගන්තියට අනුව රුපියල් 3000 දක්වා බදු අය කළ හැකියි. නමුත් මේ දෙකම අය කරන්නත් බැහැ. අය කළ හැකි වන්නේ එකක් පමණයි. මෙහි ඇති විශේෂත්වය තමයි මෙම ගණන්වලට වඩා අය කරන්න පනතේ ප්‍රතිපාදන නැහැ. අනික් කාරණය ව්‍යාපාරවලින් මේ අය කරන්නේ බලපත්‍ර ගාස්තුවක්. මිලියන ගණනක දැවැන්ත ලාභයක්, ආදායමක් ගන්න ආයතනයකින් රුපියල් 1000ක් හෝ රුපියල් 3000ක් බලපත්‍ර ගාස්තු ලෙස අයකර ගැනීම කිසිසේත්ම අදට ගැළපෙන්නේ නැහැ”.
මෙහිදී ධර්මසිරි නානායක්කාර මහතා අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේ පසුගිය කාලය තුළ මෙවැනි සංශෝධන සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු නොවූ බවයි.
“එදා වේල උපයා ගැනීම ගැන පමණයි සැලකිලිමත් වුණේ. ආදායම් නිර්මාණය හෝ පනතේ තිබෙන වියවුල් නිරාකරණය ගැන කිසිම අවධානයක් යොමු වුණේ නැහැ. 2028ට මුහුණ දෙන්න නම් මේ සියලුම සංශෝධන සිදුවිය යුතුමයි. ඒ වගේම දැනට මේ යෝජනා ගැන අවධානය යොමු වෙලා අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබෙන බවත් මතක් කළ යුතුයි” ධර්මසිරි නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සටහන – තුෂාල් විතානගේ

