ඇමෙරිකානු බදු හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය – රැකියා සහ විකල්ප: බලපෑමට ලක්වන අංශවල ප්‍රවීණයින්ගේ අදහස් මෙන්න !

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් මස 02 වැනිදා ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවකට තීරු බදු පැනවීම නිවේදනය කළ අතර එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීම සිදු කළේය.

කෙසේ වෙතත් අප්‍රේල් මස 08 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ තීරු බදුවලින් පීඩාවට පත් රටවලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක විරාමයක් නිවේදනය කළේය.

එක්සත් ජනපද තීරු බදු හමුවේ පීඩාවට පත් රටවල් සිය තීරු බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට හෝ සහන ලබා ගැනීම එක්සත් ජනපදය සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කළ අතර විකල්ප වැඩපිළි‍වෙළ ද සොයා බැලීම කළේය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් ‍මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් මස 07 වැනිදා පැවැති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

එක්සත් ජනපද තීරු බදු අඩුකර ගැනීම හෝ ඊට මුහුණ දීමට විකල්ප අවස්ථා සොයා බැලීමට ශ්‍රී ලංකා රජය ද දැඩි අවධානයකින් කටයුතු කළ අතර ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද ඇතුළු ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය. එමෙන්ම නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් වොෂිංටනය බලා පිටත්ව  ගොස් ඇමරිකානු බලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බට ද වාර්තා විය.

එක්සත් ජනපද ජනපතිවරයා විසින් නිවේදනය කළ මාස තුනක සහන කාලය ජූලි මස 08 වැනි දින අවසන් වීමට නියමිත අතර එක්සත් ජනපද ජනාපතිවරයා යළි යම් වෙනසක් නොකළහොත් මෙම බදු පැනවීම එදින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. මෙම තත්ත්වය හමුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 231 වැනි සංවාදය පවත්වනු ලැබුවේ ද ඇමෙරිකානු බදු හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය – රැකියා සහ විකල්ප යන තේමාව යටතේ ය. එහි සම්පත්දායකයින් ලෙස ශ්‍රී ලංකා වානිජ  මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය අනුර ඒකනායක, කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සහභාගී විය. සමාජ – දේශපාලන විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබීය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

අපි සතුව කිසිම නිවැරදි තොරතුරක් නැහැ – හරීන්ද්‍ර බී. දසනායක

හරීන්ද්‍ර බී. දසනායක

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බද්ද සම්බන්ධයෙන් මේ දක්වා පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාර හෝ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරු අප හමුවේ නැති හෙයින් මෙම බද්ද ක්‍රියාත්මක වීමට නියමිත එළැඹෙන ජූලි 09 වැනිදා කුමක් සිදුවේද? කියා අනාවැකි පළ කිරීම ද දුෂ්කරය.

ලංකවේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පැහැදිලි කළා, ආණ්ඩුවේ නියෝජිත පිරිසක් එක්සත් ජනපද බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව කියමින්. නමුත් මේ නියෝජිත පිරිස නම් කළ ආකාරය සම්බන්ධයෙන් පාරදෘශ්‍යභාවයක් නොමැති නිසා සහ තොරතුරු ලබාදීමක් සිදු නොවන නිසා ඇත්තටම සිදුවන්නේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් අප කාටවත් නැහැ. නමුත් අපට වැටහෙන දේ තමයි මේ වන විට ඇමෙරිකානු ආණ්ඩුව දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මේ තත්ත්වය තුළ ට්‍රප්ම් තීරු බදු කෙටි කාලීනව කුමනාකාරයෙන් ප්‍රකාශයට පත් වුණත් අපි එක්සත් ජනපදයට කරන අපනයන ආදායම අඩුවීමට ඉඩ තිබෙනවා. සංවාදයට ප්‍රවේශයක් ගනිමින් හරීන්ද්‍ර බී. දසනායක පැහැදිලි කළේය.

ආචාර්ය අනුර ඒකනායක

කවදා – කොහොම අවසන් වෙයිද කියලා කියන්න බැරි අර්බුදයක් – ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය අනුර ඒකනායක

ජූලි 09 වැනිදා එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිතභාවයක් නැතහොත් සැක පහළ වී තිබේ. ඊට හේතුව වන්නේ ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජනපද වාණිජ ලේකම්වරයා කරන ප්‍රකාශ අතර පරස්පරතා දැකගත හැකි වීමය.

වාණිජ ලේකම් කියනවා ජූලි 08 වැනිදා එතරම් ප්‍රශ්නයක් නොවෙයි, සැප්තැම්බර් පළමු වැනිදා වන විට අපිට මේ තීරු බදුවලට අදාළ සියලු කරුණු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා. ඒ අතර ජනපති ට්‍රම්ප් කියන්නේ ගැටලු නිරාකරණය කර ගැනීමට තිබෙන්නේ රටවල් 20-30ක් සමඟ පමණක් හෙයින් ජූලි 08 වැනිදාට පෙර එම ගැටලු නිරාකරණය කරගෙන අනෙක් සියලුම රටවල ජූලි 08 වැනි දා දින තීරු බදු ක්‍රියාත්මක වන බව ලිඛිත දැනුම් දීමක් කළ යුතු බවයි. මේ තමයි අලුත්ම තත්ත්වය. ඒ නිසා ජූලි 09 වැනිදා වන විට ට්‍රප්ම් බදු ක්‍රියාත්මක වෙයි ද කියලා අවිනිශ්චිතභාවයක් තිබෙනවායැයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති අනුර ඒකනායක මහතා සඳහන් කළේය.

  • තීරු බදුවල ඇත්ත කතාව

මෙහිදී ඒකනායක මහතා පෙන්වා දුන්නේ ට්‍රම්ප් තීරු බදු පැනවීමට පෙර ද ලංකාවෙන් අපනයනය කළ ඇතැම් භාණ්ඩ සඳහා එක්සත් ජනපදය 20-22%ක් ආදි විවිධ ප්‍රතිශතවලින් තීරු බදු අය කළ බවයි. මෙම තීරු බදු වලට අප්‍රේල් 09 වැනිදා යළිත් 10%ක අතිරේක තීරු බද්දක් පනවන ලද බව ද ඒකනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් අනුර ඒකනායක මහතා මෙසේ ද සඳහන් කළේය. අපි බොහෝ විට කතා කරන්නේ අපට පනවා තිබෙන තීරු බදු ප්‍රතිශතය ගැන පමණයි. නමුත් ඊට වඩා වැදගත් වන්නේ (තීරු බදු ප්‍රතිශතය ද ඉතා වැදගත්) අපේ තරඟකාරී රටවලට කොපමණ බදු ප්‍රතිශතයක් පනවා තිබෙනවාද කියන එකයි. ඊට හේතුව වන්නේ අපිට වඩා අඩු තීරු බදු ප්‍රතිශයක් තිබෙන හෙයින් අදාළ රටවල භාණ්ඩ මිල අඩුවීම සහ ඒවා ආනයනයට ඇමෙරිකානු සමාගම් පියවර ගැනීමයි. මෙය අපට පැහැදිලිව අවාසිසහගත තත්ත්වයක්. එනිසා අපේ බදු ප්‍රතිශතය ගැන වගේම අපේ තරඟකරුවන්ගේ බදු ප්‍රතිශතය ගැනත් අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

  • ට්‍රම්ප් නින්දෙන් ඇහැරුණාද?

ට්‍රම්ප් තීරු බදු සම්බන්ධයෙන් සිදුවන බොහෝ සාකච්ඡාවල එකී බදුවලට කිසිම ආකාරයක පදනමක් නොමැති බවත්,  ට්‍රම්ප් නින්දෙන් අවදි වී මෙම බදු පැනවීම කළා වැනි චෝදනා එල්ල වන බව ද පෙන්වා දුන් ඒකනායක මහතා එම චෝදනාවලට පදනමක් නොමැති බව ද සඳහන් කළේය.

ඒ බව පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ පසුගිය කාලයේ එක්සත් ජනපදයේ බොහෝ කර්මාන්ත වැසී ගිය බවත් තවත් බොහෝ කර්මාන්ත වැසී යාමේ අනතුරකට මුහුණ දී සිටින බවත් ය.

2000 වන විට 16%ක් පමණ වූ නිෂ්පාදන කර්මාන්ත මේ වන විට 10% දක්වා වැසී ගොස් තිබෙනවා. මේ පහත වැටීම එක්සත් ජනපද ආර්ථිකයට අති විශාල පීඩනයක්. මේ පීඩනය තවත් තීව්‍රර වුණේ දේශීය නිෂ්පාදන නොමැති විට ඒවා ආනයනය කිරීමට සිදුවීම තුළ අපනයන සහ ආනයන අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වීම නිසයි. මේ හේතුවෙන් ඩොලර් බිලියන 800-900ක් පමණ වන දැවැන්ත වෙළෙඳ ශේෂ පරතරයකට මුහුණ දීමට එක්සත් ජනපදයට සිදු වුණායැයි කී අනුර ඒකනායක මහතා ඇමෙරිකාව මෙම වෙළෙඳ ශේෂ පරතරය පියවා ගැනීම වෙනුවෙන් ඩොලර් මුද්‍රණය කිරීමට එක්සත් ජනපදයට සිදු වූ බවත් මේ වන විට එක්සත් ජනපද රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නිෂ්පාදනයෙන් 120%ක් වැනි අගයක පවතින බවත් පෙන්වා දුන්නේය.

  • ආදායම් විෂමතාව පුළුල් වීම

එක්සත් ජනපදය මුහුණ දෙමින් සිටින ණය අර්බුදය තවත් තීව්‍රර කරමින් ආදායම් විෂමතාව තවත් පුළුල් වූ බව ද පෙන්වා දුන් ඒකනායක මහතා වර්තමානය වන එම තත්ත්වය තව දුරටත් පුළුල් වූ බව ද මෙහිදී හෙළි කළේය.

එක්සත් ජනපද දේශපාලනඥයින්ට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වය ඉතාම පැහැදිලියි. මේ තත්ත්වය තුළ නව තීරු බදු ද ඇතුළු වත්මන් අර්බුදය කෙටි කාලීනව විසඳා ගන්න පුළුවන් අර්බුදයක් නොවෙයි යැයි කී ඒකනායක මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ නිදහස් වෙළෙඳපොළ මත පදනම් වූ ගෝලීය ආර්ථිකය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

නිදහස් වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකයේ මුරදේවතාවා ලෙස එක්සත් ජනපදය මේ දක්වා ක්‍රියාත්මක වූ අතර ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හරහා එක්සත් ජනපදය මෙම ක්‍රියාවලියට නායකත්වය දුන්නේය. ට්‍රප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ මෙම ආයතනය ගොළු වී ඇති අතර ඊට හේතුව වන්නේ අදාළ ක්‍රියාවලියට නායකත්වය දුන් ඇමෙරිකාව විසින් ම අදාළ ක්‍රියාවලිය කඩාබිඳ දැමීම ය.

මෙම තත්ත්වය තව දුරටත් විග්‍රහ කරමින් අනුර ඒකනායක මෙසේ ද පෙන්වා දුන්නේ ය.

දෛවෝපගත ලෙස අද නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී ඉන්නේ නිදහස් වෙළඳාමේ මුරකරු බවට පත්ව සිටින චීනයයි. මේක මීට කලකට පෙර විශ්වාස කිරීමට පවා අපහසු දෙයක්. මේ නිසා මම යළි අවධාරණය කරන්නේ ට්‍රම්ප් බදු හමුවේ ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ළඟ තිබෙන කඩුල්ල පමණක් පැනයාම ප්‍රමාණවත් නැහැ, ඊට වඩා සුදුසු තත්ත්වයකට කල්පවතින තත්ත්වයකට අපේ ආර්ථිකය හදා ගන්න වෙනවා.

  • ස්වංපෝෂිත ආර්ථිකය මිත්‍යාව

ට්‍රම්ප් බදු හමුවේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන යළි සංවාදයක් නිර්මාණය වෙමින් පවතින බව කී අනුර ඒකනායක එය යථාර්තවාදී නොවන සිහිනයක් බව ද මෙහිදී අවධාරණය කළේය.

මේ අර්බුදය ක්ෂණිකව ඇති වුණ කෙටි කාලයකින් පහව යන අර්බුදයක් නොවෙයි. මේක ගෝලීය ආර්ථිකය තුළ විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන බරපතළ ගැටලු අතරින් සමනය විය යුතු ප්‍රශ්නයක්. මේක කවදා කුමනාකාරයෙන් සමනය වෙයිද? කියලා සිතා ගත නොහැකි තත්ත්වයක තමයි අපි ඉන්නේ. දැන් අපි ජූලි 08 වැනිදාට ළං වුණත් සැප්තැම්බර් 01 වැනිදා ගැනත් කතා වෙනවායැයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති අනුර ඒකනායක මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.

ඇන්ටන් මාකස්

මේක ජාතික ප්‍රශ්නයක් – ඇන්ටන් මාකස්

ට්‍රම්ප් තීරු බදු ක්‍රියාත්මක වීම ආරම්භ වී නැතත් මේ වන විටත් ඇතැම් සමාගම් සේවකයින්ගේ සුභසාධන වියදම් ඇතුළු සහන කප්පාදු කරමින් සහ ඒ සඳහා සැලසුම් කරමින් සිටින තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය තුළ සිය නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟ කිරීම අසීරු බවත් ය.

ඉතාම පැහැදිලිව පෙනී යන දෙයක් තමයි අපි එක්සත් ජනපදයට අපනයනය කරද්දී ඒ සඳහා ගෙවිය යුතු තීරු බද්ද ඉහළ යනවා කියන්නේම ඒ නිෂ්පාදන මිල ඉහළ යාමයි. නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවි කර ගැනීම දුෂ්කර වෙනවා. ඒ හරහා අපේ නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට සිද්ධ වෙනවා. මේ තත්ත්වය ඍජුව සේවක කපප්පාදුවක් හෝ ඒ හා සමාන තත්ත්වයක් නිර්මාණය කරනවා. මේක තමයි තිත්ත ඇත්ත. මේ වගේ දෙයක් නොවෙයි කියලා කියනවා නම් අපි අපිවම රවටා ගැනීමක්.

ට්‍රම්ප් තීරු බදු මෙරට අපනයන කර්මාන්තවලට පමණක් නොව සමස්තයක් ලෙස ජාතික ආර්ථිකයටම බලපෑම් කරන බවත් පෙන්වා දුන් ඇන්ටන් මාකස් මෙය කිසිසේත්ම වෘත්තීය සමිති ප්‍රශ්නයක් පමණක් නොවන බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු තව දුරටත් මෙසේ ද සඳහන් කළේය,

“යම්කිසි කෙනෙක් මේක වෘත්තීය සමිති ප්‍රශ්නයක් කියලා හිතනවා නම් ඒක වැරදියි. ජාතික වශයෙන් සලකා බලා මේකට විසඳුම් සෙවිය යුතුයි. ට්‍රප්ම් ඉල්ලා සිටිනේ මේ සඳහා වන අපේ ජාතික විසඳුම කුමක් ද? කියලයි. අපි ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින්නේ, අලුත් අත්හදා බැලීම් කරන්න පුළුවන් තත්ත්වයක නොවෙයි අපි ඉන්නේ. අපේ අදහස නම් මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සලසා විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුයි.”

මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ බුද්ධිමතුන්, වෘත්තිකයින් සහ සේවා යෝජකයින් සමඟ  පමණක් එක්ව මෙම අර්බුදයට විසඳුම් සොයාගත හැකි බව ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය මිත්‍යාවක් පමණක් බවයි.

අපි මෙහෙම කියන්නේ අපි පසුගිය දිනවල දැක්කා ආණ්ඩුව කටයුතු කළ ආකාරය. මේ ගැටලුවේ බලපෑමට ලක්වන අනෙකුත් ක්ෂේත්‍රවල කිසිවෙක් අදාළ කමිටුවේ හිටියේ නැහැ. ඒක නිසයි අපි ආණ්ඩුවට කියන්නේ මේක පළල් ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නයේ බලපෑමට ලක්වන සියලුම පාර්ශ්ව නියෝජනය කරන ජාතික කමිටුවක් නිල වශයෙන් පත් කළ යුතුයි.

  • ක්ෂණික බලපෑම

ට්‍රම්ප් බද්දේ ක්ෂණික බලපෑමට ගොදුරුවන්නේ අදාළ කර්මාන්තවල සේවකයින් වන අතර රැකියා අහිමි වීමේ, වැටුප්, අතිකාල, සුභසාධන සේවා කප්පාදු කිරීමේ ආදි වශයෙන් පුළුල් අවදානමක් සේවකයින් වෙත තිබේ. මේ සම්බන්ධයෙන් භූමියේ යථාර්ථය පැහැදිලි කරමින් ඇන්ටන් මාකස් පෙන්වා දුන්නේ වත්මන් අර්බුදය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය දැඩිව ප්‍රශ්න කරන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය.

මේකේ ඍජු හා ක්ෂණික බලපෑම එල්ල වෙන්නේ ඇඟළුම් කර්මාන්තය. මේ වන විට 350,000කට අධික ඍජු සේවා නියුක්තියක් සහ මිලියනයකට අධික යැපුම් කණ්ඩායම් මේ කර්මාන්තය තුළ සිටිනවා. මේ තත්ත්වය හේතුවෙන් මේ අභියෝග ජයගැනීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

  • කොවිඩ් කාලේ වගේ බෑ

කොවිඩ් 19 වසංගත සමයේ ඇඟළුම් ද ඇතුළු පීඩාවට පත් කර්මාන්තවල සේවක – සේවිකාවන් මුහුණ දුන් අර්බුදය වැනි අර්බුදයකට වර්මානයේ මුහුණ දිය නොහැකි බව පෙන්වා දුන් ඇන්ටන් මාකස් ඇඟළුම් ද ඇතුළු අපනයන කර්මාන්වලින් සහ ඒ ආශ්‍රිත වක්‍ර රැකියාවලින් ඉවතට විසිවෙන සේවකයින්ට රැකියා ලබාදීමට හෝ විකල්ප රැකියා අවස්ථා සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමේ හැකියාවක් හෝ වැඩපිළිවෙළක් තිබේ දැයි ප්‍රශ්න කළේය.

හොඳට මතක තියා ගන්න අවුරුදු 40කට අධික කාලයක් ගත වුණත් මේ දක්වා ඇඟළුම් කර්මාන්තය යැයි කියන ක්ෂේත්‍රය නිවැරදිව කර්මාන්තයක් ලෙස ගොඩනඟලා නැහැ. බොත්තමේ සිට මහන මැෂිම දක්වා සියලු අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ආනයනය කරන මෙහි එකලස් කිරීමේ හා යළි අපනයනය කිරීමේ කර්මාන්තයක් පමණයි අපට තිබෙන්නේ. අපිට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට නම් මේක කර්මාන්තයක් ලෙස ස්ථානගත කළ යුතුයි. එසේ නොකරන තාක් කල් මේ අර්බුදය තිබෙනවා.මේක අපේ සංවර්ධන මාලිදිය ප්‍රශ්න කිරීමක් ඔහු අවධාරණය කළේය.

  • ආණ්ඩුව කරන්නේ කුමක් ද?

සේවකයින් මෙතරම් සංකීර්ණ අර්බුදයක ගොදුරක්ව තිබිය දී ආණ්ඩුව කම්කරු නීති ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටින බවට චෝදනා කළ ඇන්ටන් මාකස් අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව සකස් කළ කම්කරු නීති අහෝසි කර අලුත් කම්කරු නීති ගෙන ඒමේ සූදානම ද ප්‍රශ්න කළේය.

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

කාන්තාවන්ට යන එන මං නැති තත්ත්වයක් නිර්මාණය වෙනවා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

ට්‍රම්ප් තීරු බදු ඇඟළුම් කර්මාන්තයට පමණක් නොව වැවිලි කර්මාන්තයට ද ඍජුව බලපාන අතර සමස්ත රබර් අපනයනවලින් 11%ක් මිලදී ගනු ලබන්නේ ඇමෙරිකාව විසිනි. රබර් කර්මාන්තයේ නියැලී සිටින වැවිලිකරුවන්ගෙන් 70%ක් පමණ කුඩා රබර් වතු හිමියන් වන අතර ඒ ආශ්‍රිත බහුතරය කාන්තාවන් ය.

මේ සියලුම අංශවල සේවා නියුක්තියෙන් වගේම වක්‍ර රැකියාවලින් ද බහුතරය නියෝජනය වන්නේ කාන්තාවන්. එසේම මේ ආශ්‍රිත සේවා සහ නිෂ්පාදන අංශවල ද බහුතරය කාන්තාවන් අතින් තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ ඉතාම පැහැදිලිව ට්‍රම්ප් බද්දේ වැඩිම බලපෑමක් ඍජු බලපෑමක් එල්ල වන්නේ කාන්තාවන්ට. මේ අර්බුදය හේතුවෙන් අදාළ කර්මාන්තවල සේවය කරන හෝ වක්‍ර සේවා නියුක්තියක නියැලී සිටින කාන්තාවන්ට අදාළ වෘත්තීන්ගෙන් ඉවත් වෙන්න සිද්ධ වුණොත් කුමක්ද වෙන්නේ – ඔවුන් සේවා නියුක්ති කරන්න හෝ ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග සොයා ගැනීමට ඇති විකල්ප මොනවාද? මෙහිදී ආචාර්ය නිමල්කා ප්‍රශ්න කළාය.

ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ කාන්තා සේවා නියුක්තිය සිදුවන්නේ වයස අවුරුදු 15-35 අතර වයස් කාණ්ඩයෙන් බව පෙන්වා දුන් ආචාර්ය නිමල්කා මෙම සේවිකාවන් ද දීර්ඝ කාලයක් රැකියාවේ නිරත නොවන බව කීවා ය.  වසර 10 -15ක් සේවය කිරීමෙන් පසු මෙම කාන්තාවන් සේවයෙන් ඉවත්ව යන බවත් චක්‍රීයව මෙහි සේවා නියුක්තිය සිදුවන බවත් ඇය මෙහිදී වැඩි දුරටත් සඳහන් කළාය.

ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් වෙත ගමන් නොකොට විදේශ ආයෝජන මත යැපෙන ආර්ථිකයක් නිර්මාණය කරගත් බවත් මේ දක්වා වැඩි අවධානයක් යොමු වන්නේ ද විදේශ ආයෝජන සොයා ගැනීම වෙත බවත් පෙන්වා දුන් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු  ආයෝජන ප්‍රවර්ධන කලාප නාමයෙන් පවත්වා ගෙන යන මෙම කර්මාන්ත ශාලා වැසී ගියහොත් ඒවායේ සේවය කරන කාන්තාවන්ට විකල්ප රැකියා හෝ ආර්ථික ක්‍රියාකාරකම්වල පවතීදැයි ප්‍රශ්න කළාය.

ලංකාවේ ඇඟළුම් වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟ කිරීමට අවස්ථාව හිමි වුණේ මහා පරිමාණ නිෂ්පාදන වෙනුවෙන් සන්නාම මත පදනම් වූ නිෂ්පාදනවල නිරත වීම නිසා යැයි පෙන්වා දුන් ආචාර්ය නිමල්කා මෙම විශේෂඥතාව සෙසු කර්මාන්තවලදී හිමිකර ගත හැකි දැයි ප්‍රශ්න කළාය.

සංචාරක ව්‍යාපාරය තුළ නව රැකියා අවස්ථා උදා වෙනවා කියලා කියනවා. දැන් වැඩිම අවධානයක් යොමු වෙන්නේ සංචාරක කර්මාන්තයට. ඒත් ඇඟළුම් කර්මාන්තය තුළ මෙන්ම විශේෂඥතාවක් පවත්වා ගැනීමට අපිට පුළුවන්ද? මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් මේ දක්වා සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ රැකියා සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ද කිසිම සාකච්ඡාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ කොවිඩ් කාලේ වාගේ සාමූහිකව මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් ද?  ඇය යළිත් ප්‍රශ්න කළාය. 

මෙහිදී ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නේ කර්මාන්තශාලා වැසීමේ දී හෝ වසා දැමීමේදී කම්කරු නීති අනුව කටයුතු කළ බවත් ඒ සඳහා අවශ්‍ය නීති ලංකාව සතුව පවතින බවත් ය.

මට තිබෙන ප්‍රශ්නය තමයි අපේ ශක්තීන් සහ අවස්ථා ගැනවත් අපි මුහුණ දෙන අභියෝග සහ ඒවා ජයගත හැකි ක්‍රමවේද පිළිබඳවත් කිසිම සාකච්ඡාවක් සිදු නොවීම ආචාර්ය නිමල්කා යළිත් සිහිපත් කළාය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment