ව්‍යවස්ථා අර්බුදයක් වළක්වා ගන්නේ කෙසේද?

මෙම තත්ත්වය හමුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය 188 වැනි  ‘කතිකාව‘ විද්වත් සංවාදයේ දී ‘ව්‍යවස්ථා අර්බුදයක් වළක්වා ගන්නේ කෙසේද?‘ යන මාතෘකාව යටතේ විද්වත් සංවාදයක නිරත විය. මෙම සංවාදය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය,  ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, මැතිවරණ නිරීක්ෂණ මංජුල ගජනායක යන මහත්වරුන් සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න මහත්මිය සංවාදය මෙහෙයවනු ලැබුවාය.

මෙම සංවාදයට ප්‍රවේශයක් ගනිමින් නීතිඥ ගයත්‍රී නවරත්න කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සමග විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බවත් එය ක්‍රමිකව ව්‍යවස්ථා අර්බුදයක් දක්වා ගමන් කරන බවත්ය. විශේෂයෙන් විධායකය අධිකරණ බලයට අභියෝග කිරීම හානිකර ප්‍රවණතාවක් බවත්, එම තත්ත්වය ආණ්ඩුවේ හා රාජ්‍යයේ පැවැත්මක කුමනාකාරයේ බලපෑමක් කරන්නේද ? යන්න ගැන මේ අවස්ථාවේ සැලකිලිමත් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

සංවාදයට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය විධායක සහ අධිකරණය අතර අර්බුදයක් වුවත් විධායකය (ජනාධිපතිවරයා) විසින් එය ව්‍යවස්ථාදායකය වෙත තල්ලු කිරීමට උත්සහා කළ බවය. මෙතුළින් ‘කිසිම ආකාරයක’ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වී නොමැති බවත්, පසුව ද එවැන්නක් නිර්මාණය නොවන බවත් අවධාරණය කළ ලක්තිලක මහතා අගමැතිවරයා සහ අමාත්‍යවරුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කළ ප්‍රකාශ ‘හුදු දේශපාලනික ප්‍රකාශයක්’ පමණක් බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය, ‘මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සිදුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ මූලික සිද්ධාන්ත කිහිපයක් තිබෙනවා. එකක් තමයි, ‘පරමාධිපත්‍ය සතු වන්නේ ජනතාව වෙතය‘ කියන සංකල්පය සහ එමගින් ගොඩනැගෙන රාජ්‍ය කියන සංකල්පය. ඒ අනුව මෙම සිදුවීමෙන් රාජ්‍ය කියන සංකල්පයට මෙම සිදුවීමෙන් කිසිවක් වෙන්නේ නැහැ. පරමාධිපත්‍ය හිමි ජනතාව ‘ආයතන තුනක්‘ යටතේ රාජ්‍ය පාලනය කරන්න පාලකයින්ට භාර දෙනවා. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන තුන. ඒ සමගම තවත් රීතියක් තිබෙනවා, ‘මේ අයතන තුන ස්වාධීන විය යුතු අතර එකක් අනෙක මත යම්කිසි නියාමනයක් පවත්වා ගෙන යා යුතුය‘ කියලා. මෙය බලය බෙදීමේ න්‍යායේ ප්‍රධාන කරුණක්“

මෙහිදී ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ‘සංවරණ හා තුලනයක්‘ පැවැතිය යුතු බවයි.17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ‘ව්‍යවස්ථාදායක සභාව‘ විධායකයේ කොටසක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි බවත්, අගමැතිවරයා කියන ලෙස එය ව්‍යවස්ථාදායකයේ කොටසක් ද නොවන බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා ‘ව්‍යවස්ථාදායක සභාව යනු තුලන හා සංවර්ණ ක්‍රමය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබා දුන් ‘අලුත් උපාංගයක්‘ බව සඳහන් කළේය.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කළ ලක්තිලක මහතා, ‘මෙය බිහිවෙන්නේ පාර්ලිමේන්තුවෙන් වෙන්න පුළුවන්. නමුත් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මැද එහි පැවැත්ම ඉතාම ස්වාධීනව පවතිනවා. මෙම සංවාදය ආරම්භයේදීම අපි දැක්කා සංකල්පමය කරුණු ව්‍යාකූල කිරීමේ උත්සාහයක්. එසේම මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ව්‍යවස්ථාවේ 41 වැනි වගන්තිය තුළ (21 වැනි සංශෝධනයෙන් යළි ශක්තිමත් කළ) පවතිනවා. 43 (iii) වගන්තිය තුළ ඉතාම පැහැදිලිව තිබෙනවා, ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කළ යම් පුද්ගලයෙක් ඉවත් කිරීම සම්බන්ධ ප්‍රතිපාදන. එයින් කියන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිය දුන් පසු, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද යම් නිලධරයෙක් ඉවත් කළ හැකිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සලසා තිබෙන ප්‍රතිපාදන හා නීතියට අනුව පමණක් බවයි. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන යම් නිලධරයෙක් ව්‍යවස්ථාවට සහ නීතියට අනුව ඉවත් කළ හැකියි. ඊළඟට තිබෙනවා 41 J වගන්තිය තිබෙනවා. එයින් කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුවලට කිසිම අධිකරණයකට ‘අත තියන්න බෑ‘ කියන එක. මේක තමයි මේ උලුප්පා දක්වන්නේ. නමුත් මෙහි ආරම්භයේදීම කියනවා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ඡේදයේ, ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන්න පුළුවන් කියලා. මේ අනුව අපට පැහැදිලි වන්නේ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් ‘මූලික අයිතිවාසිකම් නඩුවක්‘ පවරන්න පුළුවන්. ඒක තමයි මේ කරලා තීන්දුවක් ලබා ගෙන තියෙන්නේ. එතකොට 126 වැනි වගන්තියට අනුව නඩුවක් පැවරුවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුගමනය කරන කාර්ය පටිපාටියක් තිබෙනවා. ඒ කියන්නේ 03 වැනි පරිච්ඡේදයේ තිබෙන මූලික අයිතිවාසිකම් විධායක විසින් උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මට පෙනී යනවා නම් ඒ නඩුව ඉදිරියට ගෙන යාමට අවසර දෙනවා. පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාපිත පියවර ගෙන තිබෙනවා. ඒ කියන්නේ ‘මේ නඩුව විභාග කරන්න‘ කැමැත්ත දීලා තිබෙනවා. මෙහිදී අධිකරණයට තිබෙනවා අදාළ නඩුව විභාග කර අවසන් කර, අවසන් තීන්දුව දෙන තාක් කල් වත්මන් තත්ත්වය එසේම පවත්වා ගෙන ගියහොත් ඒක නිෂ්ඵල වෙයි ද ? කියන අදහස. එවැනි අවස්ථාවක, නිෂ්ඵලභාවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් බොහෝ නඩුවලදී ‘අතුරු තහනම් නියෝග‘ ලබාදීමක් කරනවා‘‘

මෙහිදී ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ ‘පොලිස්පතිවරයා එසේම ඉන්නවා‘ යැයි අගමැතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බවත්, පොලිස්පතිවරයා ‘නිශ්ක්‍රිය‘ කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බවත්ය.

‘පොලිස්පතිවරයා මේ නඩුවෙන් දිනුවොත් ආයේ එන්න පුළුවන්. ඒක වෙනම කතාවක්’ ශිරාල් කීවේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ අදාළ නඩු තීන්දුවේ තවත් වැදගත් කොටසක් ඇති බවත් ජනපතිවරයා එම කොටස ‘පටලවා ගෙන‘ ඇති බවත්ය.

‘ඒක කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායකයට නිකුත් කළ නියෝගයක් නොවෙයි. මං දැක්කා ජනාධිපතිතුමා කිහිප අවස්ථාවකදීම අධිකරණයට කියනවා ‘විධායකයට ඇඟිලි ගහන්න එපා‘ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්.  අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ‘රිට් ආඥා‘ නිකුත් කිරීමේ බලය දීලා තිබෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට, අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ කතාව කිසිම පදනමක් නැතිව කළ දේශපාලන කතාවක් ලෙසයි මම දකින්නේ. අගමැතිවරයා ඔය කතාව කළා කියලා දේශබන්දු තෙන්නකෝන් මහත්තයට පුළුවන් ද සිවිල් ඇඳුමින් ගිහිල්ලා හරි ඔය පුටුවේ වාඩි වෙන්න. එහෙම කළ මොහොතෙම ‘අධිකරණයට අපහස කිරීමමේ‘ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා කිසිම පදනමක් නැති, කිසිම දෙයක් වෙන්නේ නැති දේකට අපි කාලය කා දැමිය යුතු නැහැ“ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී තවත් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ ‘ ආණ්ඩුව මෙහෙම කරන්නේ ඇයි ?‘ යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ශිරාල් ලක්තිලක මහතා, ‘මේක තනිකරම දේශපාලන උප්පරවැට්ටියක්. අවශ්‍යතාව තමයි සමාජය ව්‍යාකූල කිරීම. මේ කතාවත් තව සතියකින් අමතක වෙනවා. ඒ වගේම තවත් පදනම් විරහිත මිත්‍යා ප්‍රවාදයන් කිහිපයක් සමාජමාධ්‍ය හරහා  සමාජය තුළ තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රශ්නය නිසා ආණ්ඩුවේ සුජාතභාවය නැතිකර ගත්තා. නමුත් මේ නිසා රාජ්‍යයේ සුජාතභාවයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජනපතිවරයා මේ ආකාරයෙන් විධායකයත් එක්ක ගැටෙන්න යාමෙන් බුද්ධිමත් මිනිස්සු අතර යම්කිසි කාංසාවක් ඇති වෙලා ඔහුගේ ප්‍රතිරූපයට හානියක් සිදුවෙනවා. ඒ ඇරෙන්න මේ ගැන කතා කරන්න දෙයක් නැහැ‘ යැයි ද සඳහන් කළේය.

මෙහිදී පොලිස්පතිවරයාට එරෙහි අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අසන්නන් වෙතින් (හරේන්ද්‍ර බී දසනායක)  ඉදිරිපත් වූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ගොනු කළ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ, පොලිස්පතිවරයෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයන් පැනවූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවය. වත්මන් පොලිස්පතිවරයා ඉවත් කිරීමක් සිදු නොවූ බවත්, සිදු වූයේ ‘ඔහු නිෂ්ක්‍රීය‘ කිරීමක් පමණක් බවත් පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා, යම් ආකාරයකින් පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපා නිල ඇඳුමින් හෝ සිවිල් ඇඳුමකින් පැමිණ කිසියම් හෝ රාජකාරියක් කළේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගත් හැකි බව ද පෙන්වා දුන්නේය.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් 41 ඒ වගන්තියේ ඉතා පැහැදිලිව ප්‍රතිපාදන සලසා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය‍.

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය දැඩිව ප්‍රශ්න කරමින් අදහස් දැක්වූ ලක්තිලක මහතා පෙන්වා දුන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ සැබෑ අරමුණු හා අපේක්ෂාවන් ඉටු නොවන තත්ත්වයක් තුළ ඒවාට මහජන මුදල් වැය කිරීම ප්‍රශ්නකාරී බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය, ‘මේ ස්වාධීන කොමිෂන් සභා පත්කර ගත්තේ ඒවායේ සාමාජිකයින්ට විවිධ වරප්‍රසාද ලබමින් ‘ජොලියේ‘ ජීවත් වෙන්න නෙමෙයි. පොලිස් කොමිෂන් සභාව මීට ඉස්සෙල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කළා නම් මෙවැනි අර්බුදයක් නිර්මාණය වෙන්නේ නැහැ. පොලිස් කොමිෂම මොනවද මේ කරන්නේ ? වැඩබලන පොලිස්පතිවරයෙක් අවශ්‍ය නම් පොලිස් කොමිෂමට ඒක නිර්දේශ කරන්න පුළුවන්. ජනාධිපතිවරයා එය නොකළත් පොලිස් කොමිෂමට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කළ හැකියි. ඒක සාමාන්‍ය පරිපාලන තනතුරක් පමණයි. (වෙනස් අදහස් තිබෙන්න පුළුවන්)  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ ගැන පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා. මෙවැනි අකර්මන්‍ය පොලිස් කොමිෂමක් මොකටද ? පොලිස් කොමිෂමට පඩි ගෙවන්නේ රූකඩ වාගේ හැසිරෙන්න නෙමෙයි. මේ කොමිෂන් සභා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බැහැලා ඇතිකර ගත්ත ඒවා. ඒවායේ සාමාජිකයෝ විවිධ වරප්‍රසාද ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. ව්‍යවස්ථාදායක සභාවෙත් සිවිල් සාමාජිකයින්ගේ මන්දෝත්සාහය නිසා තමයි මේ අර්බුදය මුලින්ම නිර්මාණය වුණේ.‘

මෙහිදී ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ වගකීමක් බවට පත්කර ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ යම් ආකාරයකින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයින් මෙවැනි අවස්ථාවක සිය මතය ඉදිරිපත් කිරීම කළ යුතු වුවත් අවාසනාවට මොනයම් හේතු නිසා හෝ එය සිදු නොවන බවත්, මෙම තත්ත්වය තුළ ‘මතයන් සම්බන්ධ ඒකාධිකාරියක්‘ නිර්මාණය තිබෙන බවත් ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේය.

‘මත නිර්මාණය හා සම්බන්ධ මේ ඒකාධිකාරිය බිඳ දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙනවා‘ ශිරාල් ලක්තිලක මහතා අවධාරණයෙන් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක මහතා කියා සිටියේ, පසුගිය වසර තුන තුළ පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණත් එම ඡන්ද කිසිවක් නොපැවැත්වුණ වාතාවරණයක් තුළ ජනමතය ගැන අවබෝධයක් ලබා ගැනීම මෙම ජනාධිපතිවරණය ඉතා වැදගත් එකක් බවයි. එසේම වයස අවුරුදු 18ට සම්පූර්ණ කළ, මාස තුනක් තුළ ලියාපදිංචි වූ තරුණ – තරුණියන් 76,000ක් පමණ සිය කුළුඳුල් ඡන්දය මෙවර භාවිතා කිරීම, මැතිවරණ වියදම් සීමා කරන නව නීතිය බලාත්මකව තිබීම සහ අරගලයට සහභාගී වූ පුරවැසියන්ගේ  වත්මන් දේශපාලන අභිලාෂයන් ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමටත් මෙම ජනාධිපතිවරණයෙන් අවස්ථාව ලැබෙන බව මංජුල ගජනායක මහතා පෙන්වා දුන්නේය.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මංජුල ගජනායක මහතා මෙසේ කීවේය,

‘එපමණක් නොවෙයි… මෙම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නා තවත් මැතිවරණ මාලාවක ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ඒ නිසා මේ මැතිවරණය කොතරම් වැදගත් ද යන්න තේරුම් ගැනීම අසීරු නැහැ. ඒ වගේම තමයි පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් වාරණ නියෝගය ‘වෙස්වලාගත් ආශිර්වාදයක්. ඊට හේතුව තමයි පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නෛතික ගැටලු මෙන්ම ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජය තුළ ද යම් ඍණාත්මක ආකල්පයක් තිබුණා. මැතිවරණ නිරීක්ෂකයින් ලෙස අපටත් ඔහු සමග කටයුතු කළ යුතු ආකාරය ගැන කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. එසේම මෙම නඩුව යළි කැඳවන කාලය අනුව බලන විට පොලිස්පතිවරයා ජනාධිපතිවරණ ක්‍රියාවලියෙන්ම ඈත්කර තැබීමක් සිදුවෙනවා“

මෙහිදී ගජනායක මහතා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා සම්බන්ධ තීන්දුව හරහා කිසිම ආකාරයක ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත්, එවැනි අර්බුදයක් නිර්මාණයට වීමට ‘පදනමක්‘ ද නොමැති බවත්ය.

Tags:

Leave A Comment