අධිකරණයට අපහාස කිරීමට තනි කරුණක් ලෙස සාකච්ඡා නොකළ යුතු සංකීර්ණ කාරණයක් -නීතිඥ තරුෂි දිශාරා ප්‍රනාන්දු
- Editor
- November 5, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

මෙහි දී අපි තේරුම් ගත යුතු දේ තමයි මෑත කාලීනව සම්මත කරන ලද පනතක කුමක් සඳහන් වුණත්, අධිකරණ සංවිධාන පනතේ කුමක් සඳහන් වුණත් ඇත්තටම අධිකරණයට අපහාස කිරීමක් කියලා කියන්නේ, අධිකරණයේ යම්කිසි කාර්යභාරයක් තිබෙනවා, ඒක ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක්ක, මූලික අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වූ යම්කිසි කාර්යභාරයක්. ඒ කාර්යභාරයට යම්කිසි මැදිහත්වීම, බාධා කිරීම, විවේචනය කිරීම හෝ යම්කිසි අකීකරු වීම යන කාරණා හැරුණු විට අනෙක් සෑම කරුණක්ම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකීම අපහසුයි. ඒකට හේතුව තමයි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධන කිරීම කරන ආයතනයම ඒ අයිතිවාසිකම් සීමා කිරීම
- අධිකරණයට අපහාස කිරීමේ නීතියේ මූලික අරමුණ කුමක් ද ?. එහි අරමුණ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම ද , එසේ නැතිනම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිවලට සිදුවන බාධා සිදුවීම වැළැක්වීම ද ?
අධිකරණයට අපහාස කිරීමේ නීතිය ඉතාම වැදගත්. අපි රාජ්‍යයක බල කේන්ද්‍ර තුන අතර තිබෙන විධායකයට, ව්‍යවස්ථාදායකයට අපහාස කිරීම බරපතළ ලෙස සලකන්නේ නැහැ. නමුත් අපි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානයක් යොමු කරනවා. නමුත් අපි ඇයි අධිකරණයට අපහාස කිරීම ගැන මේ තරම් කල්පනා කරන්නේ. මේ අදහස සමඟ ‘අධිකරණ ස්වාධීනත්වය’ කියන සංකල්පය සම්බන්ධ වෙනවා.
විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන්නේ ජනතාව නියෝජනය කරන තැනක්. නියෝජන ප්රජාතන්ත්රවාදය අනුව මහජනතාවගෙන් ඡන්දයෙන් තමයි විධායකයට සහ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත්වෙන්නේ. නමුත් ජනතාවට ඍජුවම ඉල්ලීම් සහ සාධාරණත්වය කියන ප්‍රතිකර්ම කියන දෙක ලබා ගැනීමට හැකියාව පවතින ස්ථානය තමයි අධිකරණය කියලා කියන්නේ. අධිකරණය කියලා කියන්නේ ජනතාවට ඍජුවම සහන ඉල්ලන්න, තමන්ගේ සබඳතාවය ගොඩනගා ගන්න පුළුවන් ස්ථානයක් තමයි අධිකරණය කියලා කියන්නේ.
මේ පසුබිම තුළ අධිකරණය ස්වාධීන වීමත්, අධිකරණ ක්‍රියාකාරීත්වයට බාධා නොකිරීමත් තුළ තමයි අධිකරණයට අපහාස නොකිරීම කියන සංකල්පය බිහි වන්නේ. මෙය අධිකරණයට පමණක් නොවෙයි යුක්තිය පසිඳලන වෙනත් විනිශ්චය සභා සම්බන්ධයෙන් අදාළ වන සංකල්පයක්.
මේ සංකල්පය හුදකලාව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. ඒ අනුව ‘අධිකරණය ස්වාධීන වන්නේ කාගෙන් ද ?’ යන කරුණ වෙත අපි අපේ අවධානය යොමු කළ යුතුයි. අධිකරණය ස්වාධීන වෙන්නේ විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන්. ඒක ක්‍රියාත්මක වෙන්නේ ‘බලතල බෙදීමේ’ න්‍යාය මතයි.
මීළඟට අධිකරණය ස්වාධීන කළ යුත්තේ ඇයි ? කියන ප්රශ්නය පැන නගිනවා. ඒකට හේතුව තමයි ‘බලය’ කියන එක එකතැනකට ගොනු වීමට වඩා එය බෙදා තිබිය යුතුයි. මෙවැනි බලය බෙදා හැරීමක් සිදුවන තත්ත්වයක් තුළ තමයි අවම දූෂණයක් සිදුවෙන්නේ. නැතිනම් දූෂණයෙන් තොර වෙන්නේ. ඒ අනුව සංවරණය තුලනයක් සිදු වීමට නම් බලතල බෙදා හැරීමක් සිදුවිය යුතුයි.
නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා, ‘අධිකරණය ස්වාධීනයි’ කියලා. ඒ කාගෙන් ද ?, විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන්. නමුත් අධිකරණය ‘පක්ෂයි’. ඒ ජනතාවට. මේ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ‘ජනතාවගේ අධිකරණ බලය’ තමයි අධිකරණය විසින් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා තමයි අධිකරණ ජනතාවට පක්ෂපාතී වෙන්නේ.
ඒ වගේම තමයි වැදගත් කරුණක් තිබෙනවා. ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අධිකරණය බැඳී සිටිනවා. එවිට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වෙනවා. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය, පක්ෂපාතීත්වය කියන කාරණා දෙක සමඟ තමයි අපට අධිකරණයට අපහාස කිරීම කියන කාරණය කියවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ.

- අධිකරණයට අපහාස කිරීම
මෙහි දී තවත් වැදගත් කරුණක් නිර්මාණය වෙනවා. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් යම්කිසි විවේචනයක් කිරීම, අධිකරණ කටයුතුවලට මැදිහත් වීම, අධිකරණ ක්‍රියාකාරීත්වයට බාධා කිරීම යන කාරණා තුන සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීම, යම්කිසි ක්‍රියාකාරකමක යෙදීම, කිරීමක් හෝ නොකිරීමක් සිද්ධ කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකනවා.
2024 අංක 08 දරණ අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත මේ සම්බන්ධයෙන් පුළුල් අර්ථ නිරූපණයක් කරනවා.
මෙහි තවත් වැදගත් කරුණක් තිබෙනවා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා විනිශ්චය කිරීමට අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට බලතල ලබාදී තිබෙනවා. මේ ආයතන දෙක තමයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නේ.
නමුත් අපි යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බලන විට පැහැදිලි වෙනවා, ඒ ශ්‍රේෂ්ඨාධිකරණයම තමයි පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තනි, අනන්‍ය වූ බලයක් සහිත ආයතනය බවට පත්වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයම තමයි පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බැඳී සිටින ආයතනය බවට පත්වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118, 126 එක්ව කියවා ගත් විට අපට පැහැදිලි වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණය තමයි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේ කියලා. ඒ වගේම ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයට සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසු වෙනවා. ඒ අනුව මේ ශ්‍රේෂ්ඨාධිකරණයටම තමයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට බලතල ලබාදී තිබෙන්නේ.
- අපි තේරුම් ගත යුතු දේ
මෙහි දී අප තේරුම් ගත යුතුයි, අධිකරණයට අපහාස කිරීමක් සිදුවෙන්නේ කොහොමද කියලා 2024 අංක 08 දරන පනතේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධ නීති අධිකරණ පනතේ තිබෙනවා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති තුළ මේ සම්බන්ධ විවිධ අර්ථ කථන දැක ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මෙහි දී අපි තේරුම් ගත යුතු දේ තමයි මෑත කාලීනව සම්මත කරන ලද පනතක කුමක් සඳහන් වුණත්, අධිකරණ සංවිධාන පනතේ කුමක් සඳහන් වුණත් ඇත්තටම අධිකරණයට අපහාස කිරීමක් කියලා කියන්නේ, අධිකරණයේ යම්කිසි කාර්යභාරයක් තිබෙනවා, ඒක ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක්ක, මූලික අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වූ යම්කිසි කාර්යභාරයක්. ඒ කාර්යභාරයට යම්කිසි මැදිහත්වීම, බාධා කිරීම, විවේචනය කිරීම හෝ යම්කිසි අකීකරු වීම යන කාරණා හැරුණු විට අනෙක් සෑම කරුණක්ම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකීම අපහසුයි. ඒකට හේතුව තමයි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධන කිරීම කරන ආයතනයම ඒ අයිතිවාසිකම් සීමා කිරීම.
මේ පසුබිම තුළ අධිකරණයට අපහාස කිරීම තනි තනි කාරණයක් ලෙස සාකච්ඡා නොකොට අධිකරණය සමඟ ජනතාවට තිබෙන බැඳීම සහ ඒ බැඳීම ක්‍රියාත්මක වන ආකාරය එක්ව ගෙන සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව තමයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට සිදුවන්නේ.
අධිකරණ අපහාස නීතිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ විශාල කතාබහක් පැවැතියේය. විශේෂයෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලත් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීම හරහා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මෙම කතිකාව තව දුරටත් පුළුල් කළේය. මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 297 වැනි කතාව “අධිකරණ අපහාස නීතිය” භාෂණයේ නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය යන මාතෘකාව යටතේ පසුගිය දා (01) පවත්වන ලද්දේය. මෙම කතිකාවේ දී නීතිඥ තරුෂී දිශාරා ප්‍රනාන්දු විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සටහන – තුෂාල් විතානගේ

