ලංකාවේ දැනට පවතින අධිකරණයට අපහාස කිරීමේ නීතිය යම් යම් ක්ෂේත්‍ර තුළ නැවත සංශෝධනය විය යුතුයි – නීතිඥ ශිරාල් ලක්තිලක
- Editor
- November 5, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
ලංකාවේ දැනට පවතින අධිකරණයට අපහාස කිරීමේ නීතිය යම් යම් ක්ෂේත්‍ර තුළ නැවත සංශෝධනය විය යුතුයි කියන කාරණය අපි නීතිඥ සංගමයටත් යෝජනා කළා. ඒකට හේතුව තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම්කිසි ආකාරයකින් දේශපාලන ඇතුළු වෙන්න පුළුවන්, එවැනි ප්‍රවණතාවක් අපි දකිනවා. ඒ වගේම සමාජයේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් මේ දැලේ පැටලෙන්න පුළුවන්. මේ ආකාරයට ප්රජාතන්ත්රවාදී සමාජයක් පවතින්න බැහැ. කවුරු හරි කියනවා නම්, ‘මේ ආකාරයට තමයි නීතියේ ආධිපත්‍ය පවත්වා ගෙන යන්නේ’ කියලා අපි ඒකට එකඟ නැහැ.
- අධිකරණයට අපහාස කිරීමේ නීතිය ගැන සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති බව පැහැදිලි කරුණක්. ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද ඇතුළු පාර්ශ්ව පවා මේ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දැඩි ස්වයංවාරණයක් සහිතව බව පේනවා. මේ පසුබිම තුළ අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත තුළින් පැහැදිලි භාවයක් ලැබෙනවා ද ?. ඒ වගේම අධිකරණ බලතල සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අතර සාධාරණ සමතුලිතභාවයක් තිබෙනවා ද ?, මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
මේ ගැන සාකච්ඡා කළ යුත්තේ කිසියම් දාර්ශනික පදනමක සිටයි. මෙහි දී අප මූලික වශයෙන් අවධානයට යොමු කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි අධිකරණය අභ්‍යාස කරන්නේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය ද, එසේ නොමැති නම් පාර්ලිමේන්තුව සතු බලය ද කියන එක අපි නිරවුල් කර ගත යුතුයි.
1971 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අධිකරණයට භාර දීලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය නොවෙයි (මගේ අදහස අනුව). පාර්ලිමේන්තුව විසින් තමයි නඩු විභාග කරන්න අධිකරණයට බලතල දීලා තියෙන්නේ. පුරවැසියන්ට මේක තේරුම් ගන්න අපහසු වුණාට මේක බරපතළ තත්ත්වයක්.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ එස්.බී දිසානායක සහ රන්ජන් රාමනායකගේ නඩු සමඟ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එස්.බීගේ නඩු තීන්දුව ලබා දුන්නේ පරණ නීතිය යටතේ, ඒ වගේම රන්ජන්ගේ නඩු තීන්දුව ලබා දුන්නේ අලුත් නීතිය යටතේ. ඒ දවස්වල අපට තිබුණ සිත් තැවුල නිසාම අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ අලුත් පනත් කෙටුම්පතක් සකස් කරලා, චම්පික රණවක මන්ත්‍රීවරයා හරහා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සභා ගත කළා. නමුත් ඒ ගැන තැකීමක් නොකර තමයි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහත්තයා 2024 දී මේ පනත සම්මත කර ගත්තේ.
- කොටස් තුනක්
2024 අංක 08 දරන අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ගැන සාකච්ඡා කිරීමට නම් මේ පනත ප්‍රධාන කොටස් තුනකට වෙන්කර ගැනීමට සිදුවෙනවා. එක, අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයකට එරෙහි වෙනවා නම්, ඒක අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා පරීක්ෂණ පවත්වලා දඬුවම් ලබා දෙන්න පුළුවන්. මේක හැමදාම අධිකරණයට තිබුණ බලයක්, බොහෝ දුරටත් දිස්ත්‍රික් උසාවි තුළ ක්‍රියාත්මක වන බලයක්. අංක දෙක, අධිකරණය ඉදිරියේ කරන අපහාසාත්මක ප්‍රකාශ. ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටිනේ මේ ආචාරයේ චෝදනාවක්, අධිකරණය ඉදිරියේ අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අංක තුන, අධිකරණයෙන් පරිබාහිරව අධිකරණයට කැළලක් වීම කියන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන්. විමල් වීරවංශ, ගම්මන්පිල, දිලිත් ජයවීර ඇතුළු පස් දෙනෙකුට පවරලා තිබෙන නඩුව මේ නඩු වර්ගයට උදාහරණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම සිවු වෙනිව නීතිඥ වෘත්තියේ යෙදෙමින් අධිකරණය ඉදිරියේ සිදුකරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූ බවට චෝදනා කරන්න පුළුවන්. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට විරුද්ධව මේ යටතේ නඩුවක් පවරා තිබෙනවා.
- විස්තාරණ බලයක්
මේ කාරණා දෙස බලන විට අපට පේනවා අධිකරණ බලය යම්කිසි ආකාරයකට විස්තාරණය වෙමින් තිබෙන බව. නමුත් මේ බලය ඉතාම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) වගන්තිය සමඟ ඍජුව ගැටෙනවා, ඒ කියන්නේ පුරවැසියන් සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සමඟ මේ නීතිය ගැටෙනවා.
මෙහි දී තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ‘අධිකරණය විවේචනය කිරීමට පුරවැසියන්ට පුළුවන් ද ?’, මගේ අදහස අනුව නම් පුළුවන්. නමුත් එවිටත් සීමාවක් එනවා. ඒ කියන්නේ අධිකරණ විනිශ්චයක අධිකාරියක් යම්කිසි ආකාරයකින් සමාජය ඉදිරියේ අසීරුතාවට, අවඥාවට ලක් නොකළ යුතුයි. ඒක පිළිගත යුතුයි. නමුත් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිතූමතේ නඩු දාන්න ගියොත්, උදාහරණයක් විදිහට විමල් වීරවංශලාට දැම්ම නඩු වාගේ ඒවා දාන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බව අපි අත්දැකීමෙන්ම දන්නවා.
- නොතීසි නිකුත් කිරීම
ඊළඟ අප හමුවට එන ප්රශ්නය තමයි මහේස්ත්‍රාත්වරයෙක් මෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා කියලා අභියාචනාධිකරණයට ලියා එව්වාම නොතීසි නිකුත් කරනවා ද, නැද්ද කියන කාරණය එන්නේ බැලූ බැලුමට නඩුවක් තිබෙනවා ද, නැද්ද ? කියන කාරණය මතයි. මෙතනදී අලුත් පරීක්ෂණයක් තිබෙනවා. මේ වන විට අධිකරණයට අපහාස කළ බවට චෝදනා කර තිබෙන විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු පිරිසේ නඩුව නැවතිලා තියෙන්නේ මේ පරීක්ෂණ නිසා. ඒ කියන්නේ චූදිත පාර්ශ්වයට පුළුවන් ‘මෙතන බැලූ බැල්මට නඩුවක් නෑ’ කියලා කරුණු ඉදිරිපත් කරන්න. ඒ පරීක්ෂණයෙන් අභියාචනාධිකරණය සෑහීමට පත් වුණොත් පමණක් අදාළ නඩුකරය සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ. මෙවැනි තත්ත්වය හමුවේ අභියාචනාධිකරණයට විශාල අභිමතයක් තිබෙනවා. මෙහි දී නොතීසි නිකුත් කිරීමට විරුද්ධ වීම හෝ නොවීම යළිත් අධිකරණ බලය පාවිච්චි කිරීමක් ලෙස සැලකිය හැකියි.
නමුත් මෙතන දී තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි ‘තමන්ගේ නඩුව තමන්ව විසඳීම’ කියන ප්රශ්නය. මේක 22 වැනි සංශෝධනයේ දී ගත්ත ස්ථාවරයම තමයි.
කරුණු එසේ නම්, නොතීසි නිකුත් කරන්නේ කුමනාකාරයට ද කියලා සාකච්ඡා කළ යුතුයි. ඒක කරන්නේ කුමන පදනමකින් ද කියලා සොයා බැලිය යුතුයි. අපි කොහොමද බැලූ බැල්මට මෙතන නඩුවක් තිබෙනවා කියලා තීරණය කරන්නේ. අධිකරණයට අපහාස කිරීමේ පනත දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීම සිදුවෙන්නේ මෙන්න මේ අවස්ථාවේ දී.
- පරණ ලෝකය නියෝජනය කරන පනතක්
මේ සාකච්ඡාවේ සිවුවැනි තලයේ දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකුත් තිබෙනවා. ‘මේ පනතින් පනවන දඬුවම් කරන ලද වරදට අනුපාතිකද ?’ කියන එක අපි සාකච්ඡා කළ යුතුයි. ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය අධිකරණයට අපහාස කිරීම ඒ තරම් සීරියස් ලෙස සලකන්නේ නැහැ. එවැනි අවස්ථාවක ලබා දෙන දඬුවම මාස හයකට පමණ සීමා කරලා තියෙන්නේ. ඒ වගේම සිවිල් යුද්ධයට පෙර අධිකරණයට අපහාස කිරීම ඇමෙරිකාවේ වරදක් ලෙස සැලකුවේ නැහැ. ඒ අනුව මට නම් මේ පනත පරණ ලෝකය නියෝජනය කරන පනතක්.
මම එසේ කියන්නේ ඇයි ?, අධිකරණය භාවිතා කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නම් යම් යම් සීමාවන්ට යටත්ව ජනතාවට අධිකරණය විවේචනය කළ නොහැකි ඇයි ?. අධිකරණය විසින් තමන්ගේ ගෞරවය උපයා ගත යුතුයි. ඒ ගෞරවය තමන් විසින් නැති කරගත් පසු දඬුවම් දීම තුළින් ඒ ගෞරවය යළි ලබා ගත නොහැකියි.
ලංකාවේ දැනට පවතින අධිකරණයට අපහාස කිරීමේ නීතිය යම් යම් ක්ෂේත්‍ර තුළ නැවත සංශෝධනය විය යුතුයි කියන කාරණය අපි නීතිඥ සංගමයටත් යෝජනා කළා. ඒකට හේතුව තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම්කිසි ආකාරයකින් දේශපාලන ඇතුළු වෙන්න පුළුවන්, එවැනි ප්‍රවණතාවක් අපි දකිනවා. ඒ වගේම සමාජයේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් මේ දැලේ පැටලෙන්න පුළුවන්. මේ ආකාරයට ප්රජාතන්ත්රවාදී සමාජයක් පවතින්න බැහැ. කවුරු හරි කියනවා නම්, ‘මේ ආකාරයට තමයි නීතියේ ආධිපත්‍ය පවත්වා ගෙන යන්නේ’ කියලා අපි ඒකට එකඟ නැහැ.
මේ පසුබිම තුළ අපි ජනතාවගෙන්, නීතිඥ ප්‍රජාවෙන්, මේ රටේ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නීතිය යම්කිසි වැරදි පුද්ගලයෙක් අතට පත් වුණොත් බරපතළ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණය අවධානයට ගන්නා ලෙසයි. ඒ නිසා මේ නීතිය කඩිනමින් සංශෝධනය විය යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.
අධිකරණ අපහාස නීතිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ විශාල කතාබහක් පැවැතියේය. විශේෂයෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලත් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීම හරහා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මෙම කතිකාව තව දුරටත් පුළුල් කළේය. මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 297 වැනි කතාව “අධිකරණ අපහාස නීතිය” භාෂණයේ නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය යන මාතෘකාව යටතේ පසුගිය දා (01) පවත්වන ලද්දේය. මෙම කතිකාවේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සටහන – තුෂාල් විතානගේ
