අහගෙන ඉන්න… සමන් කියයි..
- Editor
- May 14, 2025
- තීරු ලිපි, සිංහල Header
- Columns
- 0 Comments
අරුණ ජයවර්ධන

සාහිත්‍ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ප්‍රධාන දේශනය යනු එහි කාර්යාවලියේ කූටප්‍රාප්තියයි. එබැවින් ප්‍රධාන දේශනය පවත්වන්නා මත පැවරෙන වගකීම සුළු පටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ. සංවිධායකයන්ට බැණුම් අසන්නට සිදු වේ. බොහෝ උත්සව සංවිධායකයන් ප්‍රධාන දේශනය සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරුවීම වැළැක්වීමට ය. බනින්ට බලා සිටින ශ්‍රවණාගාරයේ කටවල් වැසීමටය. සමන් වනාහි ප්‍රධාන දේශනයේ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශනය දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත්‍ර ය. එබැවින් එය රසවත් ය.
මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබදු හරවත් රසවත් දේශන මාලාවකි. යනුවෙන් “සමන් කියයි…” පොතේ පසු වදන ලියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ය. පොතේ කර්තෘ කවුදැයි පිට කවරයෙහි හෝ අන්තැන්වල හෝ සඳහන් නොවේ. එහෙත් පොතේ අඩංගුව ඇත්තේ සමන් අතාවුදහෙට්ටි වරින් වර කළ චරිතාභිනන්දන කතා දහයක් නිසා පොතේ කර්තෘ ද සමන් අතාවුදහෙට්ටි ලෙස විය යුතු ය.
‘චරිතාභිනන්දන‘ යැයි කීවේ සමන්ට බොහෝ විට පැවරෙන්නේ ජීවත්ව සිටින හෝ නැති විවිධාකාර නාමධාරීන්ගේ උපහාර හෝ ස්මරණෝත්සවවල ප්‍රධාන දේශනය පැවැත්වීමේ වගකීම නිසා ය. එය බොහෝ විට අදාළ අයගේ චරිතය අභිනන්දනයක්ම වෙයි. (ඉන් හෙමිහිට වෙනස් වන අවස්ථාද තිබේ) මේ කාර්යයෙහි නම් දරා සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න හැරුණු විට සමන් අතාවුදහෙට්ටි එසේ නම් දැරීමට සුදුස්සෙකි.
“සමන් කියයි…” සුවිශේෂ පුද්ගලයන් දස දෙනෙකු ගැන වරින් වර සමන් කළ කතාවල එකතුවකි. මාදුළුවාවේ සෝභිත හිමි, සුගතපාල ද සිල්වා, ආර්. ආර් සමරකෝන්, ජැක්සන් ඇන්තනි, ඩබ්. ජයසිරි, රම්‍යා වනිගසේකර, ලක්ෂ්මන් විජේසේකර වැනි අප අතර නැතිවුන් මෙන්ම තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රේමසර ඈපාසිංහ හා නිලාර් එන් කාසිම් යන අප අතර වැජඹෙනවුන් ගැන ද කතා මෙහි තිබේ.
මේ කතාවල හෙඩිම් කියවීමෙන් වුව ද සමන්ගේ බස් – බූටිටි බව මැනවින් දැනේ. “වාසනාව ගැන නොතැකූ ලකී”, “ටිකක් ලියා හුඟක් කියූ ආර්.ආර් සමරකෝන්”, “සිළුමිණ” පත්තර අතර සිළුමිණ කළ පත්තර කාරයා, “හැමදාමත් ඉගෙන ගත් සුගත්”, “සිංහල බෞද්ධ මුසල්මානුවා”, “කලාවේ අසිරි සිරි මතු කළ ඩබ්ලිව ජයසිරි” එයින් කිහිපයකි. ඔහුගේ භාෂා විශ්මය එතෙකින් නොනැවතියි. තමාගේ කතාව අසාගෙන සිටිනවුන් අඛණ්ඩව උත්තේජනය කරමින් අවසානය තෙක් ප්‍රබෝධමත්ව තබා ගැනීමට සමන් සිය භාෂා හැසිරවීමෙන් උත්සාහ දරයි. ඒ භාෂාව රසාලිප්ත ය. සරල ය. හෘදයාංගම ය. අසාගෙන සිටින උන්ට අවධානය වෙනතක යෙදීමට බැරි ය. කතාවේ රසවත්ම කොටසක් මගහැරෙනු ඇත.
කවරෙකු හෝ ගැන කතාවක් පවත්වන්නට සමන් භාර ගන්නේ ඒ සඳහා සැලකිය යුතු කාල වේලාවක් තිබෙන්නේ නම් පමණකැයි අප අසා තිබේ. මේ කාල වේලාව ඔහුට අවශ්‍ය වන්නේ ප්රස්තුත පුද්ගලයාගේ දිවිසැරියේ එළිපෙහෙළි තැන් මෙන්ම අහුමුළු ද සිසාරා ගමන් කොට පූර්ණ වාක්‍ය චිත්‍රයක් ඇඳගන්නට බව පෙනේ. ඒ මහන්සියේ ප්‍රතිඵලය අදාළ පුද්ගලයා ගැන දැනටමත් දැනගෙන සිටින දේ චමත්කාර ජනක ලෙස පුනරුච්චාරණය කිරීමක් පමණක් නොවී ඔහුගේ/ ඇයගේ ජීවිතයේ බොහෝ දෙනකු නොදන්නා අලුත් අලුත් දේද සමන්ගේ කතාවට ඇතුළු වීමයි. සමන් අතාවුද යනු සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වල රස්තියාදු ගැහීම ජීවිතාරමුණක් කරගත්තෙකු වීම නිසා, මෙවැනි අනේක දේ ඔහුගේ අත්අඩංගුවට පත්වීම අහම්බයක් නොවේ. ඒ නිසා මේ පොතේ එන සියලූම පාහේ චරිත සමන්ට කොතැනකදි හෝ හමුවුණ චරිතම මිස ආගන්තුක ඒවාද නොවේ.
(ආර්.ආර් සමරකෝන්ගේ) ආර් ආර් අකුරු දෙක ගැන නම් විවිධ කතා තියෙනවා. සමරකෝන් නම් කිව්වේ ආර් ආර් යෙදෙන්නේ ලෝකයේ විශිෂ්ටතම පුද්ගලයන් හා නිෂ්පාදන ගැන කියලයි. ඔහු විවිධ උදාහරණ ගෙනහැර දැක්වූවා. රෝල්ස් රොයිස්, රොනල්ඩ් රේගන්, රැලෙක්ස් රණසිංහ, රවින්ද්‍ර රන්දෙණිය.
එක්දහස් නවසිය හැත්තෑවේ ප්‍රේමා ගනේගොඩ හමුවෙන්න ඇගේ නාරාහේනපිට පුංචි ගෙදරට ගිය වෙලාවේ සමරකෝන් කිව්වේ වෙනස් කතාවක්. පේමක්කා ඔහුගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ‘මොකක්ද අනේ ආර්.ආර් කියන්නේ ?‘
‘රෑට රවුම් ගහන‘ සමරකෝන් උත්තර දුන්නා.
හැබැයි ඊට සෑහෙන කාලෙකට පස්සේ ඔහුගේ සමහර මිත්‍රයෝ ආර් ආර් අර්ථ දැක්වූයේ වෙනස් විදිහකට. ‘රම්‍යාට රැවටුන…‘
ඒ ආර් ආර් සමරකෝන් ගැන සමන්ගේ කතාවේ කොටසකි.
එහෙත් පොතේ පසු තැනක ආර් ආර්ගේ බිරිය රම්‍යා වනිගසේකර ගැන (ඇය ලියූ පොතක් එළි එළිදැක්වුණ දා) කියන විට සමන් මෙසේ කියයි.
පොත කියවූවාට පසු ඔබට හිතෙයි ආර් ආර් කියන්නේ රම්‍යාට රැවටුණු හෝ රම්‍යා රැවටුණු කියන එක නෙවෙයි කියලා.
ආර් ආර් කියන්නේ රම්‍යා රැකගත්.
ආර් ආර් කියන්නේ රම්‍යාව රැකගත්.’
මේ සමරකෝන් ගැන තවත් කතාවකි.
නිවේදකයා මෙහෙම ඇහුවා ‘ඔබේ නවතම කෘතිය ජේලර් උන්නැහේ තුළින් ඔබ ප්‍රේක්ෂක ජනතාවට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?‘
සමරකෝන් උත්තර දුන්නා. ‘මම නාට්‍යවලින් පණිවිඩදෙන්නෙ නෑ. පණිවිඩ දෙන එක නාට්‍යකරුවාගේ කාර්යභාරයක් නෙවෙයි. ජනතාවට පණිවිඩ ගිහින් දෙන්න තැපැල් කන්තෝරුවල පියුන් මහත්තුරු ඉන්නවනේ. ඒ හොඳටෝම ඇති‘.
තමන්ගේ අත්අඩංගුවට පත්වන කරුණු කාරණා කොයි තරම් රසවත් දැයි සමරකෝන් ගැන කතාවේම පහත කොටස කියවීමෙන් පෙනෙනු ඇත.
“දෙබරෙක් කාලා තිබුණත් ඇගේ මැස්සෙක්වත් වහලා නැති විදිහට හැසිරෙන්න ඕනෑ.” සුරංගනාවියක් වගේ පින් පාට ප්‍රේමක්කා ප්‍රේමා ගනේගොඩ එදා වේදිකාවේ ඉඳන් මේ වචන ටික කියනකොට අපේ හිතේ ඇඳුනු සිතිවිලි කන්දරාව ලෝකයක් තරම් විශාලයි. .. තවත් දෙබස් කිහිපයක් මං මතක් කරන්නම්…
අස්පයට සැටිපිකඩ් දීල වැඩක් නෑ. අස්පයා රැජිනිගේ වුණත් ගේම දෙන්නේ ජොකියා.
මං ගිය සුමානෙ බැලුවා ටොප් කතන්දර දෙකක්. සැනසුම කොතනද? අල්ලපු ගෙදර.
මං බඳිනවා නම් බඳින්නේ ඉස්කෝප්ප රැජිනි. මොකද දන්නවද ඒකි පැටව් ගහන්නෙ නෑ.
සිවුරු පොරවගත්තු බිස්නස් කාරයොයි, සමාජවාදයට කත් අදින ඇම්බැට්ටයොයි දැන් මේ රට කාලා ඉවරයි. අපිට කන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
හරි හමන් ගෑනියකුට නම් ඇඳගෙන ගිය වස්තරේ ඉඹලා කිව්ව හැකි තමන්ගෙ මිනිහා කොහෙන් හරි සාංඝික දානයක් හොරෙන් කාලා ඇවිල්ලද නැද්ද කියල.
සමරකෝන් ගැන සමන් කතාව පටන් ගන්නේ ඔහුගෙ “ඩිංගිරි අම්මා” නමැති නාට්‍යයේ තිබුණු දෙබසක් මතක් කරමිනි. ඒ මෙසේය.
“එකෙක් අහනවා මෙහෙම… ඇයි මේ මේකට අබුද්ධස්ස යුගයක් කියන්නේ?.
“එතකොට අනික උත්තර දෙනව මේක අබුද්ධස්ස යුගයක් තමයි අද බල්ලො හිනාවෙනවා. සිංහයෝ හිඟා කනවා. කොටි සිල් ගන්නවා. බූරුවො රස්සාවල් කරනවා. මී හරක් රජ කරනවා.
එහෙත් සමන් එතැනින් කතාව නොනවත්වයි. මේ කොටස ඔහුගේ අතිනි.
සමරකෝන් අද හිටියා නම් ඒ දෙබසට තවත් කොටසක් එකතු කරන්නට ඉඩ තිබුණා.
අද බල්ලෝ හිනාවෙනවා. සිංහයෝ හිඟා කනවා. කොටි සිල් ගන්නවා. බූරුවෝ රස්සාවල් කරනවා. මී හරක් රජ කරනවා. නිවේදකයෝ, නළුවෝ දේශන පවත්වනවා.
සමරකෝන්ගේ ජීවිතයේ අහු මුළු එළිය කරන සමන් එය කරන්නේ රසාලිප්ත්ත කාරණා රැසක් තවරමින් ය.
මේ කාලයේ සමරකෝන්ගේ ගෙදරත් තිබුණෙ අවුල් පරිසරයක්. විවාහ ජීවිතයේ හැල හැප්පිලි බොහොමයි. නොගැලපීම් එමටයි. දවසක් සුගත් අයියා (සුගතපාල ද සිල්වා) කියූ කතාවක් අද වගේ මට මතකයි. ගේ – දොර ප්‍රශ්න ගැන සමරකෝන් සන්තාපයෙන් පවසද්දී සුගත් අයියා කීවේ ‘අපේ ගෙදර නම් එහෙම නෙමෙයි‘ කියලා. ඇත්තටම මේ ගෙවල් දෙකටම ආ ගිය මට සුගත් අයියලා ගෙදර නම් එහෙම නෙවෙයි කියල දැනිලා තිබුණා.
සිගරට්ටු අළු හෙප්පුවේ ඇනලා පස්සට වැටෙන කොන්ඩෙ දෑතින් බැඳලා කුණ්ඩිකරලා නාසික හඬේ ඉහළම ස්වරයෙන් සුගත් අයියා ඒකට හේතුවත් කිව්වා. ‘අපේ ගෑණිට නාට්‍ය තේරෙන්නෙ නෑ. සාහිත්‍ය තේරෙන්නේ නෑ. කලාව තේරෙන්නේ නෑ. ඒත් මාව තේරෙනවා‘.
තිලකරත්න කුරුවිට බණ්ඩාර ගැන කතාවට ප්‍රවේශ වන්නට සමන් තෝරාගත්තේ කුරුවිට බණ්ඩාර මුල් කාලයේ ලියූ කවියකි.
බම්බලපිටිය ස්ටේසම ළඟ
ඈත මුහුදේ දියඹ දක්වා දෑස් දල්වා බලා හිඳ
ඇස ඉවත් කළ සැණින්
හෘද බන්ධය පිණිස සැරසෙන
විසේ කෙල්ලක් බලයි මා දෙස
“පිරුණු සුදු දෙකම්මුල්
රතු පළල් දෙතොල් පෙති
සුදෝ සුදු පිරි වටොර
මන බඳින අඟපසඟ!
ප්‍රේමයෙන් ආසක්ත වෙයි මසිත
ඇඳි සියලු වත් උනා ලිහා දා
මුළු සිරුර ඇසින් අල්ලා ගතිමි
ඇය සිනාසෙන්නටත් ප්‍රථමයෙන්
මම සිතින් දූෂණය කළෙමි ඇය”
මේ කවිය කිසිදා මගේ හිතෙන් ඈත් කරන්න බැරි කවියක්. ඒ කවියත් එක්ක තමයි මේ කවි පොත ලියූ තිලකරත්න බණ්ඩාර කියන නමත් මගේ හිතේ රෙජිස්ටර් වුණේ. දැන් ඔබ සමහරවිට අහයි ‘ඇයි මේ කවිය මගෙ හිතට මේ තරම් කිඳා බැස්සෙ‘ කියලා. මම ඒකට ඔබෙන් පෙරලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්රශ්නය මම අහන්නේ මේ සභාවේ ඉන්න පුරුෂ පක්ෂයෙන්. ජීවිතේ කිසිම අවස්ථාවක කාන්තාවක් සිතින් දූෂණය නොකළ පිරිමියෙක් මේ සභාවේ ඉන්නවා නම් කරුණාකරලා අත උස්සන්න. (සභාවේ කිසිදු අතක් එසැවෙන්නේ නැත)
කුරුවිට බණ්ඩාරගේ ජනමාධ්‍ය ජීවිතය ගැන සමන් සටහන් කරන මේ කරුණු ඉතා වැදගත්ය.
1967 දි විතර ලේක් හවුසියේ සියලු බලතල රංජිත් විජේවර්ධනට දීල එස්මන්ඩ් වික්‍රමසිංහ (රනිල් වික්‍රමසිංහගේ පියා) ආයතනයෙන් ඉවත් වෙනවා. ඔහු අලුත් පත්තර සමාගමක් පටන් ගන්නවා මේ සමාගමේ අනෙත් කොටස් හිමියා තමයි ජේ.ආර්. ජයවර්ධන. සමාගමේ නම ‘සීමාසහිත සංදේශ‘.
ලේක් හවුසියේ සේවය කළ නමගිය පත්තර කාරයන් ගණනක් එස්මන්ඩ් සමග මේ අලුත් කම්පැනියට එකතු වෙනවා. තිලක්ගේ දස්කම් අවබෝධකරගත් ඩේලි නිව්ස් පත්තරේ පිලිප් ප්‍රනාන්දුත් සිළුමිණේ තිස්ස ගුණතිලකත් ඔහුට ආරාධනා කරනවා මේ අලුත් කොම්පැනියට එන්න. ලේක් හවුසිය කියන්නේ කඩා වට්ටන්න බැරි ආයතනයක්. එහෙමයි ඒ කාලේ හැමෝම කිව්වේ. අදත් ඒ විශ්වාසය බොහෝ අයට තියෙනවා. ඒත් එහෙම තැනක් අත්හැරලා අනාගතයක් ගැන විශ්වාසයක් නැති අලුත් ආයතනයකට යන්න තිලක් තීරණය කරනවා.
එහෙත් ටික කාලයකින් සීමා සහිත සංදේශ වැහුණේ ය. කුරුවිට බණ්ඩාර ආයෙත් ලේක් හවුසියට ගියේය.
සමන් විස්තර කරන විදිහට තිලකරත්න කුරුවිට බණ්ඩාර 1993 ජුනි 16 වැනි දා සිළුමිනේ කර්තෘ පදවියට පත් විය. ඒ කාලයේදී සිළුමිණ අන්තර්ගතයෙන් හා අලෙවියෙන් උසස් කරන්නට කුරුවිට බණ්ඩාරට හැකි විය. 1994 ආණ්ඩු පෙරළියත් සමග ඔහු සිළුමිණෙන් ඉවත් කෙරිණ. සරසවි පුවත්පතට යැවිණ. 2002 දි නැවත ඔහුට සිළුමිණ ලැබිණ. ඉතිරිය ගැන සමන් මෙසේ කියයි.
‘2004 මැතිවරණ සමයට පෙරාතුව එවක ජනාධිපතිනිය ආණ්ඩුවේ මාධ්‍යය තමන් යටතට පවරාගන්නවා. එවැනි පසුබිමක තිලක් වගේ පත්තර කලාවේදීන්ට ආයුෂ අඩුයි. ජනමාධ්‍ය දේශපාලන මෙවලම් විදියට පාවිච්චි කරන දේශපාලනඥයන්ට තිලක් වගේ ස්වාධීනව හිතන පත්තර කලාව බාල්දු නොකරන මිනිස්සු දිරවන්නේ නෑ. තිලක්ව ආයෙම සිළුමිණෙන් ඉවත් කරනවා. තිලක් තමන්ගේ අඩුම කුඩුම බ්‍රීෆ් කේස් එකේ දාගෙන ලේක් හවුස් ජීවිතයට ආයුබෝවන් කියලා 115 බස් එකේ නැඟලා ගෙදර එනවා‘.
තිලක් අන්තිමට කළේ 2004 මාර්තු 28 වැනිදා සිළුමිණ පත්තරේ. ඒ පත්තරේ අදත් තිලක්ගේ පුද්ගලික ලිපිගොනුවක තියෙනවා. ඒ පත්තරේ මුල් පිටුවට ස්ටෙප්පල් කරලා අමුණපු කොලේකුත් තියෙනවා. ඒ කොලේ තිලක් මෙන්න මෙහෙම ලියලත් තියෙනවා.
‘මුල් පිටුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡායාරූපය පමණක් කොලම් 8 ප්‍රමාණයෙන් පළ කරන්නැයි ජනාධිපතිනිය කළ ඉල්ලීම වෙනුවට මා මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ දෙකේම අවසන් රැලි පිළිබඳ සමබර ඡායාරූප ඵල කිරීම නිසා සිළුමිණ කර්තෘකමින් ඉවත්වීමට සිදුවිය‘.
මෑත ඉතිහාසයේ අනෙකුත් ඉරිදා පත්තර මැද සිළුමිණ පත්තරේ අතර සිළුමිණ බවට පත්කළ පත්තරකාරයෙකුට ලංකාවේ දේශපාලනය සැලකුවේ අන්න එහෙමයි. ඔබ සියලු දෙනා අද මේ පරිශ්‍රයට පැමිණ ඇත්තේ ඒ අසාධාරණයට සාධාරණය ඉෂ්ට කරන්නයි. තිලක් පත්‍ර කලාවේ සිළුමිණ බව යළි යළි තහවුරු කිරීමේ සාක්ෂිකරුවන් වෙන්නයි.
මේ සුගතපාල ද සිල්වා ගැන ලියූ පොතක් දොරට වැඩීමේ දී කළ කතාවෙනි.
හැම දෙනාම වගේ ඔහුට කිව්වෙ සුගතපාලද සිල්වා කියලා. ඔහොම නිෂ්පාදනය කරපු ගුවන් විදුලි වැඩසටහන් අවසානයේදීත් නිවේදනය කළේ නිෂ්පාදනය සුගතපාලද සිල්වා කියලා. මමත් මුල් දවස්වල එහෙම්මයි කිව්වේ.
බණ්ඩාර කේ. විජයතුංග තමයි මට පෙන්නලා දුන්නේ නම උච්චාරණය කරන හරි විදිහ. සුගත්ලා, සිල්වලා නෙවෙයි යකෝ ද සිල්වලා. නමක් අනවුන්ස් කරනකොට හරියට කියන්න ඉගෙන ගනිං. සුගතපාලද සිල්වා නෙවෙයි. සුගතපාල ද සිල්වා කියලා. මට කියාපු බණ්ඩාරේ හරි විදියට නම කියන හැටි මට කීප වරක්ම ප්‍රගුණ කෙරෙව්වා. එදා ඉඳන් අද වෙනකන් මම එනවුන්ස් කරන්නේ සුගතපාල ද සිල්වා කියලා.
සුගතපාල ද සිල්වා පසු කලෙක සමන් අතාවුද හෙට්ටිගේ ප්‍රාණ සම මිතුරෙක් විය. එහෙත්,
සුගත අයියාගේ ගුවන් විදුලි රඟමඩල හා කෙටි කතාව වැනි වැඩසටහන් සිය ගණනක් සඳහා මම සහභාගී වෙලා තියෙනවා. කෙටි කතාව වැඩසටහන සඳහා නිර්මාණ ගණනාවකුත් එක් කරලා තියෙනවා. එහෙව් මම ගුවන් විදුලි රඟමඩල සඳහා නාට්‍යයකුත් දවසක් ලිව්වා. ලියල සුගත් අයියාට ගිහින් දුන්නා.
දවස් දෙක තුනකට පස්සේ සීල් කරපු තරමක ලියුම් කවරයක් සුගත් අයියා මට දුන්නා. මේක ඇතුලෙ නාට්‍ය පිටපත ඇති. ඔහු කිව්වා. වෙන වචනයක්වත් කිව්වේ නෑ. මම ගෙදර ගිහින් කවරය ඉරා නාට්‍ය පිටපත එළියට ගත්තා. එහි ඉහළ කෙළවරේ සුගත්තයියා මෙහෙම ලියා තිබුණා.
“මේ නාට්‍ය හොඳයි. මගේ රේඩියෝ සිලෝන් එකක් දාපු දවසට මේක අරන් වරෙන්.”
මමත් ඉතින් සුගත් අයියා රේඩියෝ සිලෝන් එකක් දානකන් බලන් හිටියා. රස්සාවෙන් විශ්‍රාම ගන්නකල්ම සුගත් අයියාට එයාගෙම රේඩියෝ සිලෝන් එකක් දාගන්න බැරි වුණා. ඒ නිසා ගුවන් විදුලි රඟමඩලට නාට්‍යයක් ලියන්න මටත් බැරි වුණා. සමන් මේ රසවත්ව කියන්නේ සුගතපාල ද සිල්වා තම වෘත්තීය ප්‍රමිතියට දැක්වූ ගෞරවය ගැන ය.
අගමැති ප්‍රේමදාස සුගතපාල ද සිල්වාට ගෙයක් දුන්නේය. ඒ බලෙන්ම වාගේය. එහෙත් නිලධාරීන් සුගත්ට දෙන්නේ අගමැතිවරයා දෙන්නට යැයි කියූ නිවසට වඩා කුඩා නිවසකි. සුගත්ට එය ගානක් නොවිය.
සුගත් අයියා අර පුංචි ගෙදර යතුර භාර ගන්න ගමන් අගමැතිතුමාට මෙහෙම කියනවා.
‘මට ගෙයක් දුන්නාට බොහොම ස්තූතියි. ඒත් ගේ දුන්නා කියලා යූඑන්පියට මගෙන් ඡන්ද නම් බලාපොරොත්තු වෙන්න එපා‘.
අගමැතිවරයා මෙහෙම උත්තර දෙනවා.
‘සුගත් ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නකොට මම උදව් කළේ ඡන්දෙ බලාගෙන නෙවෙයි. සුගත්ගේ හොඳ නිර්මාණ බලාපොරොත්තුවෙන්‘.
නිලාර් එන් කාසිම් ගැන තැනක සමන් මෙසේ කියයි. (රඹුකන) සිද්ධාර්ථ හාමුදුරුවෝ තමයි යෝජනා කරන්නේ නිර්රූල් නිලාර් කියන නම කට පැටලෙන නමක් නිසා වෙනස් කරමු කියලා. මොනවද නමේ තියෙන අනිත් කෑලි හාමුදුරුවෝ අහනවා.
“මොහොමඩ් කාසීම් නිර්රුල් නිලාර්” අපේ කතා නායකයා කියනවා.
ඒ පාර සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ මුසල්මානුවාව ගංගාරාම පන්සලේදී කාසිම් නීලර් නමින් බෞතීස්ම කරනවා. ඒත් කාසීම් නිලර් තුළ ඉන්න කවියා මේ නමේ ධ්වනි රිද්මයෙන් සෑහීමට පත්වෙන්නේ නෑ. ටික දවසකින් ඔහු නිලාර් එන් කාසීම් වෙනවා.
නිලාර් කවර අභියෝග මධ්‍ය වුණත් වාර්ගික ආගමික හා සංස්කෘතික සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටියා. යුද්ධය පැවති වකවානුවේ යුද්ධයට ආවඩන්නට රූපවාහිනී පූරකයන්ට සිදු වුණා. යුද වාර්තාකරණය හා යුද්ධයට ආවැඩීම දෙකක්. පීටර් ආනට් වැනි යුද වාර්තාකරුවන් කිසි දිනක යුද්ධයට ආවැඩුවේ නැහැ. ඔහු ඇති සැටියෙන් යුද්ධය වාර්තා කළා. ඔහු පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද්දේ ඒ නිසයි.
නමුත් ඒ කාලයේ අපේ මාධ්‍ය බොහෝමයක් කටයුතු කළේ යුධ වාර්තාකරණය වෙනුවෙන් නෙවෙයි. යුද්ධයට ආවඩන රූපවාහිනී පූරකයන්ගේ ගොන්නට එක් වීමට නිලාර් කැමති වුණේ නෑ. ඔහු ඒ කාලේ වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියා. එවැනි අදීන තීරණයක් ගැනීමේ ශක්තිය ඇති රූපවාහිනී පූරකයන් හිටියේ අතලොස්සයි.
රම්‍යා වණිගසේකර ගැන කියන විට ගේහසිත ජීවිතයේ අහුමුළු ද සමන් වචනයට පෙරලයි.
රම්‍යාගේ කුඩා අවදිය වගේම විවාහ ජීවිතය තුළත් ඇය විවිධාකාර අභියෝග සහ හැලහැප්පීම්වලට මුහුණ දෙනවා. (ඇගේ සැමියා) ආර්.ආර් සමරකෝන් එක්තරා අන්දමක මුරණ්ඩු චරිතයක්. ඒ මුරණ්ඩුව ඇතිවෙන්නේ ඔහු ඉතා සංවේදී මනුස්සයෙක් නිසා. පොඩි දෙයකින් ඔහුට රිදෙනවා. ඒ අවස්ථාවන්හි මතවාද වචන හුවමාරු ඇතිවීම සාමාන්‍ය දෙයක්.
මං දන්න තරමින් රම්‍යාට ඊරිසියා කළ එකම කෙනා සමරකෝන්. ඒ ඊර්ෂ්‍යාව මතු වුණේ ආදරේ වැඩිකමට. දවසක් බුද්ධිකා (දියණිය) ගෙදර බිම වතුර ඉහිරුණු තැනක් රම්‍යාගේ පරණ ගවුමක් ගෙනත් දමා කකුල් දෙකෙන් පාගමින් තෙත මාත්තු කරනවා සමරකෝන් දැක්කා.
‘ඇයි පුතේ අම්මා හැමදාම ඇඳපු ගවුමක් නේද ඔය ඔයාට පුළුවන්ද අම්මව බිම දාල පාගනවා වගේ ඕක කරන්න‘. ඔහු දුවගෙන් ඇහුවා.
මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන සමන්ගේ කතාවක් මෙසේය.
ඒ 2002 වසරේ දිනක්ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය අතර අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සෝභිත හාමුදුරුවොත් මේකට සහභාගී වුණා. සාකච්ඡාව පැවැත්වුණේ බුදු දහම ආරක්ෂා කිරීම සහ නඟා සිටුවීම සම්බන්ධව. සාකච්ඡාව අවසන් වුණාට පස්සේ අපේ අස්ගිරියේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හාමුදුරුවන්ව වාහනයට ඇරලන්න මම පිටතට ආවා. මහා නායක හාමුදුරුවෝ වාහනයට නැගලා පිටත් වුණාට පස්සේ අපේ හිතවත් හාමුදුරු නමක් මං ළඟට ඇවිල්ලා ඇහෙන නෑහෙන ස්වරයෙන් මෙහෙම කිව්වා.
‘සමන් මහත්තයා අපේ අගමැතිතුමාට කියන්න බුද්ධාගම ආරක්ෂා කරල නඟා සිටුවන්න නම් ඉස්සෙල්ලාම අපේ රටේ ඉන්න සමහර හාමුදුරුවරු බුද්ධාගමට හරවා ගන්න කියලා‘.
පස්සෙන්දා උදේ සෝභිත හාමුදුරුවන් එක්ක දුරකථනයෙන් කතාබහ කරද්දි මම ඔන්න ඔය කතාව කිව්වා. සෝභිත හාමුදුරුවො ගත් කටටම කිව්වේ,
“අම්මපා මහත්තයෝ කතාව ඇත්ත කියලා.”
සෝභිත හාමුදුරුවන් ගැන කියද්දි සමකාලීන භික්ෂු සමාජයේ එක් මුහුණුවරක් ගැන සමන් තම විවේචනාත්මක මතය කියයි.
මීට අවුරුද්දකට විතර කලින් හෝමාගම උසාවියක් ඉදිරියේ සිදු කළ උද්ඝෝෂණයක වීඩියෝ පටයක් මට නරඹන්න ලැබුණා. අනේ එතන හිටපු සංඝ සමාජයේ උදවිය කියපු කුණුහරුප තොගය. ලංකාවේ කුණුහරුප ගැන සිදුකළ සමීක්ෂණ ගණනාවක වාර්තා මම කියවා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගිහි සමාජයේ උදවිය කියන කුණුහරුප ඕනෑ තරම් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් බරපතල කුණුහරුප ගැන අපේ ගම්වල කියන කතාවක් තියෙනවා. “යකෝ අරූ කියපු කුණුහරුප ඇහුවනම් ගෑනු බඩ වෙනවා.” කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ එදා හෝමාගම උසාවිය ඉදිරියේ අපේ සංඝ සමාජයේ උදවිය කියපු කුණුහරුප ඊටත් වඩා සැර බවයි.
මේ යහපත් ලක්ෂණ නෙවෙයි. පරිහානියේ ලක්ෂණ. වඩාත්ම සැලකිල්ලට ගත්ත යුතු කරුණ නම් බොහෝ දෙනෙක් රට ජාතිය ආගම වගේ කඩතුරාවන්ට මුවාවෙලා මේ කටයුතු සිදු කිරීමයි.
සමන් අතාවුද හෙට්ටි කියන මේ කතා ඉහත ලියැවුනු වචන වලින් නතර වෙන්නේ නෑ. ඊට සමන්ගේ වාග් විලාසයද මුහු විය යුතුයි. මන්දයත් සමන් නිවේදකයෙකි. හඬ නළුවෙකි. පූරකයෙකි.

