ඉක්ෂුපාක මදිරා හෝ නාරිකේල මදිරා ඩ්රෑමයක්! – කරුණාරත්න අමරසිංහ
- Editor
- September 4, 2025
- තීරු ලිපි, සිංහල Header
- Columns
- 0 Comments

එකල මෙකල මෙන් ගුවන් විදුලි ආයතනය ඉදිරිපිට ඇති මහ පාර වසා නොතිබුණි. එදා එය ප්‍රධාන බස් පාරකි. ඒ මඟ ඔස්සේ එදා තනි තට්ටුවේ බස් මෙන්ම තට්ටු දෙකේ බස් දිව ගියේ ය. එකල මා සේවය කළේ ආචාර්ය එන්.එම් පෙරේරා සහෝදරයා පාලන භාරය ඉසිලු “ජන දින” පුවත්පත් ආයතනයේ ය. එය පිහිටියේ සන්තබස්තියමේ පැරැණි ඕලන්ද උසාවි ගොඩනැගිල්ලට හා අධිකරණ කොමිෂන් සභා කාර්යාල ගොඩනැගිල්ලට නුදුරුව ය.
“ජන දින” කන්තෝරුව පැවති දෙමහල් ගොඩනැගිල්ලට අල්ලපු කුඩා ගොඩනැගිල්ලක එකල ලන්ඩන් විද්‍යාලය නමින් තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයක් විය. පසු කල මෙලක කීර්තිමත් ප්‍රබන්ධ කර්තෘවරයකු මෙන්ම සාහිත්යධරයෙක්ද වූ කේ.ජයතිලකයන්ගේ ජීවන පදවීතිහාරය ආරම්භ වූයේ ඔහු සතු එම තැපැල් මාර්ගික ලන්ඩන් විද්‍යාලයෙනි.
එකල ලන්ඩන් විද්‍යාලයේ සිංහල අංශයක් විය. එය භාරව සිටියේ මහදුරු චාල්ස් ගොඩ කුඹුරේ සූරීන් යැයි සිතමි. ගුවන් විදුලියේ මුල් අවධියේ, එනම් 1939 අවුරුද්දේ (මා භුවංගත වු වසරය.) පමණ සිංහල ළමා වැඩසටහන ඉදිරිපත් කළේ චන්ද්‍රා රන්හොටි මෙනවියයි. ඇය එය ඉදිරිපත් කළේ “දමයන්ති අක්කා” යන ආදර නමිනි. පසුව මහැදුරු ගුණපාල මලලසේකර මහාශයන්ගේ ආරාධනයෙන් එම ළමා වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා යූ.ඒ.එස්. පෙරේරා කවියා දමයන්ති අක්කාට එක් වුණි. ඉන්පසු ළමා වැඩසටහන ඉදිරිපත් වූයේ “සිරි අයියා සහ දමයන්ති අක්කා” යන යුගල නාමයෙනි. පසු කලක මහැදුුරු චාල්ස් ගොඩකුඹුරේ සූරීන්ගේ පාදපරිචාරිකාව බවට පත් වූයේ මේ දමයන්ති අක්කා ය.
එවක ලන්ඩන් බීඒ උපාධිධාරින් වීමට ලංකා විද්‍යාර්ථයන්ට අවස්ථාව සලසා තිබුණි. කේ. ජයතිලකයන් සහ මහගමසේකරයන් ලන්ඩන් බීඒ් උපාධිධාරින් වූයේ එහි ඵල වශයෙනි.
එකල පුවත්පත් කලාවේදීන් හා ලේඛකයන් නිරන්තරයෙන් මධු මද මුදිතව අල්ලාප සල්ලාපයේ හා වාද විවාදයේ යෙදුණු සුන්දර සන්ථාගාරයක් වන ක්‍රවුන් හෝටලය විරාජමාන වූයේ කේ. ජයතිලකයන්ගේ ලන්ඩන් විද්‍යාලයට යාබදව ය.
සන්තබස්තියමේ උසාවිය පාරේ පිහිටි ජන දින පුවත්පත් ආයතනය වෙත යාමට මා බසයෙන් බසින්නේ ටෙක්නිකල් කොලීජිය පිහිටි හතරමං හංදියෙනි. එසේ බසින මගේ ඇසට බසයකින් විත් එතැන බසින දුර්ලභ ගණයේ මහා පඩි රුවනකගේ රුව නිරන්තරයෙන් දෘශ්‍යමාන වෙයි. එතරම් නූස් නොමහත් සිරුරින් සැදි, සුදු කලිසම් කබා හැදි, ටයි පටියක් ගෙල බැඳි, මදක් අවුල්ව ගිය සුදු කෙසින් හා පහන් සිරි පැහැයෙන් යුත් ඒ රුව අනිත් කෙනෙකුගේ නොව ත්‍රිපිටකය හා පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික ප්‍රාඥ ආචාර්ය ඒ.පී.ද සොයිසා මහාශයන්ගේ ය. ඔහුගේ ධර්ම සමය කාර්යාලය සහ යන්ත්‍රාලය පිහිටියේ සන්තභස්තීමේ කන්ද පාරේ වූ ලැටිස් ගෙවල් පේලියකට අයත් ගේක ය. එදා අප දෙදෙනාම එකට ඇතුළු වුණු සන්තබස්තියමේ කන්ද පාරේ දී ඒ ප්‍රාඥයාට කතාකොට ආශ්‍රයක් ඇති කර ගැනීමට බැරිවීම ගැන මම අද ද බලවත් සේ පසුතැවිලි වෙමි.
සපුරා අතීතයේ වැලලී ගොස් තිබෙන එහෙත් අදට ද අප්‍රමාණ ලෙස වැදගත්කමක් ඇති එක්තරා සිද්ධියක් මෙවෙලේ ඔබට හෙළි කිරීම එහෙකැයි හඟිමි. ආචාර්ය ඒ.පී ද සොයිසා මහාශයෝ වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දකුණු කොළඹ කොට්ඨාසයේ මන්ත්‍රීශ්වරයා වූහ. එකල ඔහු ලංකාවම හෙල්ලෙන එක්තරා අභීත යෝජනාවක් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. “ලංකාවේ නීත්‍යානුකූල ගණිකා නිවාස පිහිටුවිය යුතුය” යනු ඒ අභීත යෝජනාවයි. ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික ගෞරවාර්හ පිටකෝට්ටේ සෝමානන්ද හිමියෝ ද එකල මේ යෝජනාවම ඉදිරිපත් කළේ අභීත ලෙස ය. ආචාර්ය ඒ.පී ද සොයිසා මහාශයන්ගේ යෝජනාවේ අවසන් ඵලය වූයේ ඊළඟ රාජ්‍ය සභා මැතිවරණයේදී ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි වීමය. පිටකෝට්ටේ සෝමානන්ද හිමියෝ ද දසදිග්භාගයෙන්ම නොනැවත එල්ල වූ ප්රචණ්ඩ ප්රහාරයන්ට ගොදුරු වූහ.
ගුවන් විදුලියේ මගේ සමකාලීනයකු මෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයෙක් වූත් ගුවන් විදුලි බහුශ්‍රැත, පරිනත, කෘතහස්ත විශිෂ්ටයන් අතලොස්සෙන් කෙනෙක් වූත් ඩී.එස් දයාරත්නයන් සමඟ පිටකෝට්ටේ සෝමානන්ද හිමියන් කළ සම්මුඛ සාකච්ඡාවක් දයාරත්නයන්ගේ අභිනව කෘතිය වන “මතක මාවතේ සැරිසර” ග්රන්ථයට ඇතුළුව ඇත. 2024 වසරේ එළිදුටු එම ප්රශස්ත පුස්තකය සේරී ප්රකාශනයකි. සෝමානන්ද හිමියන්ගේ යථෝපිත යෝජනාව ගැන උන්වහන්සේ එම සාකච්ඡාවේදී දයාරත්නයන්ට සසාධකව, සකාරණව, තර්කානුකූලව, ඉතා විවෘතව කරුණු ඉදිරිපත් කරන්නේ එකල උන්වහන්සේ හා යුද වැදුණු බොරු සුචරිතවාදී අමනයන්ගේ හෙළුව නිර්භයව හෙළි කරමිනි.
ඩී.එස්. දයාරත්න මාධ්‍ය විශිෂ්ඨයාගේ මේ අභිනව මහාර්ඝ ග්රන්ථ නිධානයෙහි පිධානය හැර එහි ගර්භය ගතව පවත්නා මෙවැනි අතිශය දුර්ලභ ගණයේ අප්‍රකට අනුභූති, වෘත්තාන්ත ආදී බුද්ධි ධාතු සම්භාරය උකහා ගනිත්වා. මතක මාවතේ සැරිසර කෘතිය ඥාන පිපාසයෙන් පෙළෙන්නන්ට ප්‍රාණ පානයක් වැන්න. එය ඔබගේ ඥානය නයනෝන්මීලනය කරනු ඒකාන්තය.
ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිටින් දිවෙන දැන් බස් නොදිවෙන මහපාර අනිත් පැත්තේ එම ගොඩනැගිල්ලට මුහුණලා අද පිහිටා ඇත්තේ රූපවාහිනී සංස්ථාව ය. එම පාර මෑතකදී ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ලෙස නම් කෙරුණි. එය වූ කලී ලිපිනයන් සහිත ගෙවල් දොරවල්වලින් තොර හුදු නාම මාත්‍ර අනුස්මරණ මාවතක් පමණි. එය දැන් එකී උභය සංස්ථාවන් වෙත එන යන අයට තම වාහන සුරක්ෂිතව නවතා තැබීමේ භාග්‍යය අත්පත් කර දෙන භූමි භාගයක් බවට පත්ව ඇත.
අද රූපවාහිනි සංස්ථාව පිහිටා ඇති තැන එදා තිබුණේ දිගු පුළුල් රමණීය තණ බිමකි. එහි නිදහස් චතුරස්‍රය පැත්තේ කෙළවරෙහි ශාලාවක් සහ කාමර කිහිපයක් සහිත ගොඩනැගිල්ලක් විය. එය එකල හැඳින්වුණේ කාන්තා හොකී ක්‍රීඩා සමාජය ( Ladies Hockey Club) යන නමිනි. එකල එම තණ බිමේ බුලස් පාර (අද බෞද්ධාලෝක මාවත) පැත්තෙ කෙළවරේ පිහිටි උස් විසල් නුග රුක මගේ සමකාලීන ගුවන්විදුලි මිතුරන්ගේ සහ හිතවතුන්ගේත් අතීත අමර සැමරුම් පොබයා ලමින් අද ද එහි ප්රතාපවත් වනස්පති රාජයකුගේ විලාසයෙන් අභිමානවත් ලෙස විරාජමාන වන්නේ කවර පුණ්‍ය මහිමයක් නිසා දැයි නොදනිමි. කොන්ක්‍රීට් ප්‍රාසාදයන්ගේ ප්රාදේහූර් භාවය සමඟ සත්පුරුෂයන් හා සමාන වෘක්ෂ රාජයන්ගේ විනාශභාවය ඒකාන්ත වන හෙයිනි.
සනාතන සත්‍යයක් සනාථ කරන අගනා සංස්කෘත ශ්ලෝකයක් මෙවෙලේ මගේ සිහියට නැගෙයි.
ඡායාමන්යස්ය කූර්වන්තී – තිෂ්ඨන්ති ස්වයමාතපේ
ඵලාන්යපි පරාර්ථාය – වෘක්ෂාඃ සත්පුරුෂාඃ ඉව
එහි සරල භාවාර්ථය මෙසේය.
තමා අව්වේ තැවෙමින් අනුනට සෙවණ ඇති කරයි. ගෙඩිද දෙන්නේ අනුන්ගේ යහපත පිණිසම ය. ඒ අනුව වෘක්ෂයෝ සත්පුරුෂයන් හා සමානයහ.
මිනිසුන් අතර අද එකී වෘක්ෂයන් හා සමාන සත්පුරුෂයන් සුලභ වෙති කාට නම් කිය හැකිවේද?
අද පරපුරේ වෙසෙන වැඩි දෙනෙකු නොදනිති සිතෙන තවත් වැදගත් තැන් දෙකක් ගුවන් විදුලි සංස්ථාව පසෙකින් හා රූපවාහිනි සංස්ථාව පසෙකින් පිහිටා ඇත. ඒ වූ කලී මහා මන්දිර යුග්මයකි. ඉන් එකක අද මහා භාරකාර කාර්යාලය පිහිටා ඇත. අනික් මන්දිරය තුළ අන්තර්ජාතික පාසලක් පැවැත් වේ.
විසි වන සියවසේ මේ රටේ ක්ෂේත්‍ර දෙකක අභ්‍යන්තර කීර්තියට පාත්රව සිටි පුරුෂ ශ්‍රේෂ්ඨයන් දෙදෙනකුගේ වාස භවනයක් බවට පත්වීමට වාසනාව ලද මේ අලංකාර මන්දිර යුග්මය අද ද පෙර වූ අයුරින්ම විරූප නොවී විරාජමාන වීමට, අර කාන්තා හොකී ක්‍රීඩා සමාජ භූමියේ උස් විසල් නුග රුක සේම වාසනාවන්ත වී ඇත. කවර පිනකින් දැයි නොදනිමි.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක (එය එකල වත්මන් රාජ්‍ය නායක ධූරයට සමාන වූවකි) වූද, භාෂාන්තර සමයාන්තර ඥානයෙන් සමන්විත දුර්ලභ පණ්ඩිත රත්නයක් වූ ද ශ්‍රීමත් ඩී බී (ඩොන් බාරොන්) ජයතිලක මහාශයන්ගේ එකල නිල වාස භවන වූ කලී මෙකල මහා භාරකාර කාර්යාලය පිහිටි මනහර මන්දිරයයි. දැන් එය ඉදිරිපිට ගෙවූයනේ ජයතිලක ශ්‍රීමතානන්ගේ ශරීර ප්‍රමාණයේ ප්‍රතිමාවක් අභිමානයෙන් විරාජමාන වෙයි. ගුවන් විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට ඇතුළුවන ප්‍රධාන දොරටුව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත අයිනේ පිහිටි එම මැදුර දෑලෙන් බුලස් පටුමග සහ ටොරින්ටන් මාවත විහිදෙයි.
ගුවන් විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට පිවිසෙන ප්‍රධාන දොරටුව පසුකොට බම්බලපිටිය දෙසට යාර දහයක් පමණ ඇවිද ගිය විට වම් අත පැත්තේ දැකිය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට යාබද වත්තේ ඇත්තේ, දැන් අන්තර්ජාතික පාසලකට සෙවන දෙන, සුන්දර විචර්ලි මන්දිරයයි. එය එංගලන්තයේ කොටේජ් ගණයේ නිවාසයක ස්වරූපයෙන් ඉදිකරන ලද්දක් යැයි සිතමි. කීර්තිමත් ලාංකික වෛද්‍යවරයකු මෙන්ම මෙරට වැදි ජනතාව සමීපව ඇසුරු කොට ඔවුන්ගේ දිවි පෙවෙත හා සිත් සතන් මැනවින් දැන හැදෙන ඒ අරභයා ඉංග්‍රීසි භාෂාවෙන් ග්රන්ථ රාශියක් (කෘතහස්ත පරිවර්තකයකු වන ඒ.පී ගුණරත්නයන් විසින් සිංහලට නඟන ලද වන සරණ, මැකී ගිය දඩ මං වැනි කෘතින් ඊට නිදසුන්ය) සම්පාදනය කළ සම්භාවනීය ලේඛකයාණන් කෙනෙක් වූද ආර්.එල්.ස්පිටල් දොස්තර මහත්මානන් එකල සිය වාසභවන කොට ගෙන සිටියේ එකී සුන්දර විචර්ලි මන්දිරයයි. අධම නාගරික ස්ත්‍රී ධූර්තයන්ගේ මදන මදය නිසා එකල සමාජ රෝගයට ගොදුරු වුණු වැදි කාන්තාවන් සුවපත් කරනු වස් ස්පිටල් දොස්තර මහතා තම ධනය, වෛද්‍ය ඥානය හා ශ්‍රමය කැප කළේ උත්තම ජීවකයෙකු මෙනි.
එක් පසෙක වූ ගුවන් විදුලි සංස්ථාව දොරකඩින් නිදහසේ බස් දුවනු දිස්වුනු කාලයේ අනිත් පස රූපවාහිනි සංස්ථාවක් නොදිස් වුණි. ගුවන් විදුලි සංස්ථා පැරැණි ගොඩනැගිල්ල මෙන් ම ඊට අයත් ඉදිරිපස අංගනයද එදා දිස් වූයේ අද දිස්නා ස්වරූපයෙන් නොවේ. මෙම රමණීය මන්තරයට අපූර්ව අනන්‍ය ලක්ෂණයක් ආරෝපණය කළ එහි නිර්මාතෘවරුන් කෙරෙන් ප්‍රකට වුණු ස්වතන්ත්‍ර ගෘහ නිර්මාණ කලාව වර්තමාන මෝඝ පුරුෂයන්ගේ නීච රුචිය කාරණ කොටගෙන අද අභ්‍යන්ත දූෂණයට පාත්රව ඇත.
සංස්කෘත සාහිත්‍ය බැබළ වූ භාර්තුහරි කවියාගේ නීති ශතකයේ එන සනාතන අගයක් ඇති ශ්ලෝකයක් මේවෙලේ මගේ සිහියට නැගීම කෙසේ වළකම්ද?
සාහිත්‍ය සංගීත කලා විහීනං – සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ
තෘණඃ නඛාදන්නපි ජීවමානස් තද්භාගධේයං පරමං පශූනාම්”
(නීති ශතක – භර්තුහරි – 12 වැනි ශ්ලෝකය)
එහි අර්ථය දැන දැන ගනිමු.
“සාහිත්‍ය සංගීත කලාවෙන් තොර තැනැත්තා අං වල්ග නැති ගොනෙකු වැනි ය. ඔහු තණ කොළ නොකෑම ගොනුන්ගේ වාසනාවකි”.
නිදහස් චතුරස්රයට යාබද භූමියේ දැන් තිබෙන ගුවන් විදුලි මධ්‍යස්ථානය කෙසේ පහළ වූයේද යන්න දන්නා අය අද ඉතා විරල වන බැවින් ඒ පිළිබඳ ආදී තතුවලින් බින්දු මාත්‍රයක් වුව හෙළි කිරීම මැනවැයි හඟිමි. ඉහත කී දිම් කඩෙහි මුලින්ම ඉදිකිරීමට යෝජිත වූයේ නව මැදිරි භාගයක් සහ පාලන මැදිරියක් පමණි. ඒ නඩරාසා සහ ඩී.සී ජයසේකර යන ශූර ඉංජිනේරුවරුන් දෙදෙනා ඉදිරිපත් කළ සැලසුම් යෝජනා ඊට පාදක විය. ඒ සඳහා පැළෑන ඇඳ ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ (P.W. D.) ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා විසිනි. මැදිරි තුළ ශබ්ද පාලනය (acoustics) පිළිබඳ කාර්යයන් නිම කළේ ඩී.පී ජයසේකර ඉංජිනේරුවරයාය. ඩබ්ලියු. ඊ. ද සිල්වා ඉංජිනේරුවරයා අතින් නිම වූයේ කතා හා සංගීත විකාශන ක්‍රියාවලිය හා පාලන මැදිරියේ ක්‍රියාවලියයි.
නවීන පහසුකම්වලින් සජ්ජිත අභීනව ලංකා ගුවන්විදුලි මධ්‍යස්ථාන බිහි කිරීම උදෙසා තම ශූර ඉංජිනේරු ඥානය සහ ශ්‍රම ශක්තිය නොමසුරුව පරිත්‍යාග කළ ඉහත සඳහන් දේශීය ඉංජිනේරු ත්‍රිමූර්තිය ලංකාවාසී ජනතාවගේ අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර විය යුතු නොවේද?
නඩරාසා සහ ජයසේකර ඉංජිනේරුවරුන් හා සාකච්ඡා කොට නව ගුවන්විදුලි මධ්‍යස්ථානයේ පළමු මැදිරි හය ඉදිකළ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ටී.එන්.විනි ජොන්ස් (T.N.Wynne Jones) මහතා ය. එච්.ජේ.බිලිමෝරියා (H.J.Billimoria) මහතා ඔහුගේ දෙවැනියා විය. විනී ජෝන්ස් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු බිලිමෝරියා මහතා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී තනතුරට පත් විය.
මෙම නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ දී යට කී ඉංජිනේරු ත්‍රිමූර්තිය, ඉංජිනේරු සහ වැඩසටහන් අංශවල සේවක පිරිස් ගැන මෙන් ම ශිල්පීන් හා අමුත්තන් ගැන ද විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. සැලසුම් අනුව මුලින්ම මෙම ගොඩනැගිල්ල තුළ පිහිටුවා තිබුණු ශිල්පීන්ගේ හා අමුත්තන්ගේ විවේකාගාර දෙක ඊට සාක්ෂි දරයි. එකල ඒ දෙකෙහිම ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන වැඩසටහන් අසා සිටීමට ස්පීකර දෙකක්ද සවි කොට තිබුණි. මා මුලින්ම ගීතයක් ලිව්වේ එකල සුප්‍රකට ගුවන් විදුලි ගායකයෙකු, ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශූර මැන්ඩෙලීන් වාදකයෙකු මෙන් ම මගේ ගමේ කුලු පග මිතුරෙක් ද වූ ලේසිලි අශෝකාගේ සරල ගී වැඩසටහනකට ය. එම වැඩසටහන සජීව ලෙස ප්‍රචාරය වුණු රාත්‍රියේ ලෙස්ලිගේ කුළුදුල් දියණිය, යමුනා විනෝදිනි බිලිදිය, උකුලේ හොවා ගත් ඔහුගේ පතිනිය ශ්‍රීමා සමග මා ගුවන් විදුලි විවේකාගාරයේ ස්පීකරයෙන් එය අසා සිටි සැටි මේ වෙලේ මගේ සිහියට නැගෙන්නේ ඉබේ ය.
එකල කාන්තා විවේකාගාරය (Ladis Rest Room) පිහිටියේ ගුවන්විදුලි පිළිගැනීම් කවුන්ටරය ඇති ශාලාවට පසුව ඇති මැද ශාලාවේ දකුණු පසු කෙළවරේ ය. දැන් එය සභා ශාලාව (Board Room) බවට පත් කරගෙන ඇත. එදා එම මැද ශාලාවේ වම් පස කෙළවරේ පිහිටියේ පුරුෂ විවේකාගාරයයි. අද එහි සභාපතිවරු හා අධ්‍යක්ෂක ජෙනරාල්වරු විරාජමාන වෙති.
ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සහිත පැරැණි ගුවන් විදුලි ගොඩනැගිල්ලේ ඉදිරිපස දිස්වුණු අභිමානවත් ස්වරූපය වැසී යන පරිදි මෑත කාලයේ ඒ ඉදිරි ටික ආගන්තුක ගොඩනැගිල්ලක් ඇටවුණි. ඉන්පසු එය ප්‍රධාන ප්රවේශස්ථානය බවට පත්කොට පිළිගැනීමේ කවුන්ටරය ද එතැනටම ගති. අනතුරුව ඒ ඉදිරිපිටට බුදුපිළිමයක්ද වඩම්මා උන්වහන්සේ වීදුරු සිර මැදිරියක රිමාන්ඩ් කළේ උත්සවාකාරයෙනි. කලකට පසු ඒ ආගන්තුක ගොඩනැගිල්ල කන්තෝරු කාමර පෙළක් බවට පත් කොට යළිත් පැරැණි අභිමානවත් ද්වාරයෙන්ම ගුවන් විදුලි මධ්‍යස්ථානයට පිවිසීම ආරම්භ කෙරුණි. අනන්‍ය ගෘහ නිර්මාණ කලාවක් අනුව දැණුනු පැරණි මන්දිරයේ අලංකාර රූ සපුව කෙලෙසන කැළලක් මෙන් අරකන්තෝරු ගොඩනැගිල්ල තවමත් ඒ අභියස ඇසේ රුදා නංවමින් දිස්වේ.
පැරණි ගුවන් විදුලි මන්දිරයේ ප්‍රධාන ද්වාරයෙන් පිවිසුණේ පුළුල් ආලින්දයකට ය. එහි වම් පස කොනක දිස් වුණු, ඔප දැමූ තේක්ක ලෑල්ලෙන් නිමවූ, අර්ධ වෘත්තාකාර උස් පිළිගැනීමේ කවුන්ටරයද උදාරත්වයක් උද්වහනය කරන්නකි. එදා එහි වැජඹුණු එකම පිළිගැනීම් නිලධාරිනිය ද සිය රුසිරු රූ සිරියෙන් අතිථි ජන චිත්තය මථනය කරන කාන්තා රත්නයකි.
පැරණි ගුවන් විදුලි මන්දිරය ඉදිරිපස වූ දිගු පුළුල් අංගන එකල මනකල් මල් පඳුරුවලින් අලංකෘත ය. බස් පාරත් එම අංගනයත් වෙන් වන සේ එවක දිගට බැඳ තිබුණේ මිටි තාප්පයකි. එය වූ කලී එම මන්දිරයට ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ශෛලියටම අනුකූල වූ ස්වරූපයෙන්ම තැනුනකි. ගුවන් විදුලි අංගණයට පිවිසෙන අමුත්තා ඇතුළු විය යුත්තේ තාප්පය දකුණු පස වූ ගේට්ටුවෙනි. වම් පස වූ ගේට්ටුවෙන් පිටවූව මනාය.
එකල ගුවන් විදුලි මධ්‍යස්ථානයේ ඉදිරිපිට පාර දෙපැත්තෙන් පිහිටි සොඳුරු තැන් දෙකක් ගුවන් විදුලිය හා සමීප සම්බන්ධකම් පැවැත්වූ අපේ කාලයේ උදවියට කිසිසේත් අමතක විය නොහැක. ඒ ලෑලි කඩ දෙකකින්. එකක් තනා තිබුණේ ගුවන් විදුලි මධ්‍යස්ථානයට ඇතුළුවන දොරටුවට නුදුරින් තාප්පය අයිනට වෙන්නට ය. අනික පාර අනිත් පැත්තේ කාන්තා හොකී ක්‍රීඩා සමාජ ශාලාවට නුදුරින් වූ ජෑම් ගස අසල ය.
එදා ගුවන් විදුලි ආයතනයේ සේවය කළ බොහෝ නිෂ්පාදකයන්ගේ, නිවේදකයන්ගේ, සංගීත ශිල්පීන්ගේ මෙන්ම බාහිර ශිල්පීන්ගේ හා අමුත්තන්ගේ ද ප්‍රණීත බොජුන්හල් දෙක සේම අවන්හල් දෙක වූයේ ද ඒ ලෑලි කඩ දෙක ය. ඉක්ෂුපාක මදීරා හෝ නාරිකේල මදිරා ඩ්රෑමයකින් දෙකකින් ඔද වැඩෙනු වස් දවසේ නිකල්හී හෝ ඒ අවන්හල් දෙකෙන් කවරකට හෝ වැදෙන උන්ගෙන් එකල ඒවා නොහිස් විය.
එකල මදීරා ඩ්රෑමය එකයි පනහකි. කෑම බාගය ශත හැත්තෑ පහකි. ප්ලේන්ටිය සතහයකි. තේ එක සත දහයකි. ගුවන් විදුලියේ අපේ නාට්‍ය ශිල්පී ගාස්තුව රුපියල් 15කි. ගුවන් විදුලි නාට්‍ය රචක ගාස්තුව රුපියල් හැටකි.
එකල ගැටවරයන්, තරුණයන් පමණක් නොව මැදිවියේ වූවන් ද ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති කාන්තා හොකී ක්‍රීඩා සමාජ ශාලා භූමියේ කටුකම්බි වැට අද්දරට වී අන්දර ගස් අස්සෙන් එකී හොකී ක්‍රීඩා පුහුණුවේ යෙදෙන දිස්න දෙන වටොරැති, හිත් කලඹන නිතඹ බිඹු ඇති ලස්සන ගැටිස්සියන් ඉස්සි ඉස්සි පාන දස්කම් විස්කම් නරඹමින් ඇස් ලැබූ පිණින් තොස්වන විලස් එදවස් හවස් සමයේ වෙසෙස් දසුනකි.
හිකි හිකි හඬින් සිනා නගමින් හොකී ක්‍රීඩා පුහුණුවේ යෙදුණු එකී ගැටිස්සියන්ගේ දස්කම් බලා සිටින කවරෙකුගේ වුව ඇසට ඒ නාඹර බඹරියන්ගේ පුන් පියයුරු සැලුමත් පුළුලුකුළු රැගුමත් වට සුමට දෙවටොරෙහි කිරි ගරුඩ කැල්මත් එක් වරම හසු වුණේ ඉබේ ය.
කිසියම් ගුවන්විදුලි වැඩසටහනක් අවසන් වීමෙන් පසු හැන්දෑ සමයේ ගුවන් විදුලියෙන් පිට වුණු දවසක ඒ විසේ ඇති වියේ ගැටිස්සියයන්ගේ මනකල් හොකී ක්‍රීඩා පුහුණුව මද කලක් හෝ නොනරඹා යෑමට අපේ දෙපා ද ඉඩ නොදුන්නේ මන්දැයි කවුරු දනිද්ද?
මාත්, සුනන්ද මහේන්ද්‍ර, අශෝක කොළඹගේ, දයාරත්න රණතුංග, අජන්තා රණසිංහ, බණ්ඩාර විජයතුංග, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, මට නියත විවරණ දුන් පසු කලක මගේ කුලුපගයෙකු බවට පත් තිලක සුධර්මන් අයියා යන මගේ බඩ බැඳගත් ගුවන් විදුලි සිද්ධි විහාරිකයනුත් එසේ ඇස් ලැබූ පින් ඵල නොමදව වින්ද උන් නොවූහයි කටකින් කිව හැකිද?
ගුවන් විදුලි මධ්‍යස්ථානය අබියස වූ එම කාන්තා හොකී ක්රීඩාශාලාව මතකයට නැගෙන විට දැනුදු මගේ ඇඟ කිලි පොලා යන අතීත බිහිසුණු අත්දැකීමක් මා ඉදිරියේ වහා මැවී යන්නේ ඉබේ ය. එදා ඒ අති භයංකර සිද්ධිය ඒ අයුරින්ම සිද්ධ වී නම් ජේ.එච්. ජයවර්ධන, සමන් බොකලවෙල, ලෙස්ලි බොතේජු සහ මම අද ජීවතුන් අතර නැත. මතු ලියැවෙන හිතක මතක වතකින් එහි තතු ඔබ නෙත සතු වනු ඇත.

