උගතුන් – වෘත්තිකයින් පාර්ලිමේන්තුවට පත්කර යවන්න ඕනෑ කියන අදහස දේශපාලනිකව කොතරම් ප්‍රායෝගිකද කියා සිතා බැලිය යුතුයි – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
- Editor
- October 16, 2024
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
ඉන්දියානු සාගර කලාපයේ අතිෂය තීරණාත්මක ස්ථානයක පිහිටීම ගෝලීය භූ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් හෙයින්, ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාවට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ ආචාර්ය ඉන්දි අකුරුගොඩ පෙන්වා දුන්නේ ගෝලීය භූ දේශපාලනික කුණාටුව තුළ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ කෙසේද? යන්න ගැන ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.
ක්රමයේ වෙනසක් ඉල්ලා අරගල කළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක තීන්දුවක් ගෙන තිබේ. දැන් තවත් එවැනිම තීරණාත්මක තීන්දුවක් ගැනීමට අවස්ථාව හිමිවන මහ මැතිවරණය ද පැමිණ තිබේ. 225ම එපා යන්න එදා අරගලකරුවන්ගේ ප්‍රකට සටන් පාඨයක් වූයේ ජනතාව පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කළ කාර්යභාරය එමගින් නිසි පරිදි ජනතාව අපේක්ෂා කළ අයුරින් ඉටු නොවූ නිසාය. එ නිසා තම වගකීම හා කාර්යභාරය නිසි පරිදි හඳුනාගත් සහ එකී වගකීම හා කාර්යභාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් හා දැක්මක් ඇති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම දැන් ජනතාව හමුවේ පවතින වගකීම වී තිබේ. ඒ සමග රට හමුවේ පවතින අභියෝග ද අවධානයට ගැනීමට ජනතාවට සිදු වේ.
ආර්ථික අර්බුදයේ අඳුරු සෙවණැලි තව දුරටත් පවති. ආර්ථිකය ජනතාව අපේක්ෂා කරන හෝ ඔවුන්ට සතුටු විය හැකි තත්ත්වයකට තවමත් පැමිණ ඇති බවක් දැකගත නොහැකිය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත යුතු නව එකඟතා හෝ සිදුකළ යුතු වෙනස්කම් ද තිබේ. ජනතාව අතර දැඩිව අප්‍රසාදයට පත්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තීරණාත්මක කටයුත්තක් වන අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීමට පැහැර හැරිය නොහැකි අභියෝගයකි. මේ ආකාරයෙන් තීරණාත්මක හා සංකීර්ණ අභියෝග රැසක් රට හමුවේ පවතින අතර එකී සියලු අභියෝග ජය ගැනීමට ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව සතු තීරණාත්මක කාර්යයභාර්යයන් ය.
පසුගිය ඉරිදා පැවති 197 වැනි කතිකාව වැඩසටහන තුළින් අවධානය යොමු කරන ලද්දේ ඒ් ගැන ය. රට හමුවේ ඇති අභියෝග සැලකීමේදී ඊළඟ පාර්ලිමේන්තුව වෙත පැවරෙන කාර්යභාරය සහ එහිදී මහජනතාව සතු වගකීම මැයෙන් වූ මෙම විද්වත් සංවාදයට සම්පත්දායකයින් ලෙස, ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී, ආචාර්ය ඉන්දි අකුරුගොඩ සහ විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, නීතිඥ චාමර නානායක්කාරවසම් යන විද්වතුන් සහභාගී වූහ. මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. එම සංවාදයේදී ආචාර්ය ඉන්දි අකුරුගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

උගතුන් – වෘත්තිකයින් පාර්ලිමේන්තුවට පත්කර යවන්න ඕනෑ කියන අදහස දේශපාලනිකව කොතරම් ප්‍රායෝගිකද කියා සිතා බැලිය යුතුයි – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
ඉන්දියානු සාගර කලාපයේ අතිෂය තීරණාත්මක ස්ථානයක පිහිටීම ගෝලීය භූ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් හෙයින්, ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාවට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙමින් සංවාදයට එක් වූ ආචාර්ය ඉන්දි අකුරුගොඩ පෙන්වා දුන්නේ ගෝලීය භූ දේශපාලනික කුණාටුව තුළ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ කෙසේද? යන්න ගැන ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.
පසුගිය කාලය තුළ මෙරට බලයට පත් වූ ආණ්ඩු වත්මන් ගෝලීය බලවතුන් වන එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන බලවතුන් තිදෙනාගෙන් එක් පාර්ශ්වයක් වෙත පමණක් වඩාත් නැඹුරු වන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් ආචාර්ය අකුරුගොඩ පෙන්වා දුන්නා ය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඉහත දක්වන ලද සාධක ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඇය පෙන්වා දුන්නේ වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ඉන්දිය සහ ඇමෙරිකානු විරෝධී ඉතිහාසයක් ඇති බවයි. නමුත් ජජබ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවූ අතර ඊට පෙර ඔහු ඉන්දියාවේ සංචාරය කර තිබූ තත්ත්වය තුළ ඉන්දියාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය යළි සමාලෝචනය කළ යුතුව ඇති බව ද ආචාර්ය ඉන්දි අකුරුගොඩ කීවාය.
පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ශ්‍රී ලංකාව යළි සමබර විදේශ ප්‍රතිපත්තියක් වෙත ගමන් කළ බවත්, ඒ නිසාම අර්බුද සමයේ එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට පුළුල් සහායක් ලබා දුන් බවත් පෙන්වා දුන් ආචාර්ය අකුරුගොඩ 2022-24 රනිල් වික්‍රමසිංහ පාලනය තුළ මෙම රාජ්‍යයන් ත්‍රිත්වයෙන් ම සහාය ලබාගත් නමුත් තදින් බැඳුණු ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ බව තම නිරීක්ෂණය බවත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේද කීවාය, විශාල ගෝලීය භූ දේශපාලන කුණාටුවක් මධ්‍යයේ තමයි පසුගිය ජනාධිපතිවරණය පැවැත් වුණේ. ඒ නිසා ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවට ගෝලීය භූ දේශපාලන න්‍යාය පත්‍ර හා ප්‍රමුඛතා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අභියෝගය තිබෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වුණේ 42.6%ක් වැනි සුළුතරයකින්. මේ තත්ත්වය ඉදිරි මහ මැතිවරණයේදී කුමන බලපෑමක් කළ හැකි ද යන්න ගැන දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයාට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලැබෙයි ද, නැතිනම් සුළුතර ආණ්ඩුවක් ලැබෙයි ද? කියලා දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒ වගේම උගතුන් හා වෘත්තිකයින් පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා සමාජ මතයක් නිර්මාණය වෙමින් තිබෙනවා. නමුත් මේක අලුත් දෙයක් නොවෙයි. මේක කාලයක් තිස්සේ විටින් විට උඩට ආ කාරණයක්. ඒ වගේම මෙම පිරිස පාර්ලිමේන්තුවට පත්ව තිබෙනවා. නමුත් ඔවුන් පසුගිය කාලය පුරා ප්‍රතිපත්ති සම්පාදනයට දක්වන ලද දායකත්වය කුමක් ද ? ඒක ප්‍රශ්නාර්ථයක්. මොකද මේ උගතුන්ට තිබෙන, ඔවුන් කියන පොතේ පතේ දැනුම මේ මහ පොළව මත පැළ කරන්න බැහැ. අප පෙන්වා දෙන දේශපාලන න්‍යාය හෝ අනෙකුත් කතාන්දර ජනතාවට අදාළම නැහැ. ඒ නිසා අපි උගතුන්, වෘත්තිකයින් පාර්ලිමේන්තුවට යවන්න සූදානම් නම් මේ ප්‍රායෝගික කාරණා ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ.
සටහන – තුෂාල් විතානගේ

