කාරක සභා ‘කතා සාප්පුවක්‘ නොවෙන්න නම් දැඩි වෙනස්කම් සිදුවිය යුතුයි – චම්පික රණවක
- Editor
- December 23, 2024
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මෑත ඉතිහාසය තුළ බලයට පත් වූ ‘අධි බහුතර බලයක්‘ සහිත එකම ආණ්ඩුව වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුව වීම හේතුවෙන් රාජ්‍ය පාලනයේ බොහෝ අංශ හා අංග යම් ආකාරයක රැඩිකල් වෙනසකට භාජනය වනු ඇතැයි විශ්වාසයක් සමාජය තුළ පවතී. ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ද යම් කිසි වෙනසකට ලක් වනු ඇතැයි අපේක්ෂා කරන පිරිසක් සිටින අතර තවත් පිරිසක් යෝජනා කරන්නේ ආණ්ඩුව තම අධි බහුතර බලය හමුවේ කමිටු / කාරක සභා ක්‍රමය නො සලකා හෝ නො කතා කටයුතු කරනු ඇතැයි බවට ය. මේ තත්ත්වය පුළුල් සමාජ සංවාදයකට ලක් කළ යුුතු බව කල්පනා කළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය 207 වැනි කතිකාව සංවාදයේ දී ‘අධි බහුතර ආණ්ඩු පක්ෂයක් ඇති පාර්ලිමේන්තුවක කමිටු ක්‍රමය සාර්ථක කර ගැනීමේ අභියෝගය‘ සම්බන්ධයෙන් පුළුල් විද්වත් සංවාදයක් කළේ ය.
මෙම සංවාදය සඳහා සම්පත්දායකයින් ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ ආචාර්ය සුජාතා ගමගේ සහභාගී වූහ. මෙම සංවාදයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

කාරක සභා ‘කතා සාප්පුවක්‘ නො වෙන්න නම් දැඩි වෙනස්කම් සිදුවිය යුතුයි – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක
අවශ්‍ය බලතල හා නිසි කාර්යභාරයක් නොමැති වීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් කාරක සභා ‘කතා සාප්පු‘ බවට පත්ව ඇති බවත් ඒවා මෙම ඍණාත්මක තත්ත්වයෙන් ගළවා ගැනීමට අවශ්‍ය නම් ‘දැඩි වෙනස්කම්‘ සිදු කිරීමේ අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව හමුවේ පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය.
පසුගිය ආණ්ඩුවලට සාපේක්ෂව වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ‘අධි බහුතර බලයක්‘ ඇති තත්ත්වයක් තුළ කාරක සභා වෙත නියෝජිතයින් පත් කිරීමේ දී ආණ්ඩුව ‘යම්කිසි‘ ආකාරයක පරිත්යාගශීලීභාවයක් පෙන්නුම් කිරීම ද වැදගත් වේ. සාම්ප්‍රදායක් ලෙස ඇතැම් කාරක සභාවල සභාපති ධූරය විපක්ෂයට ලබා දිය යුතු වුවත් එම තත්ත්වය තව දුරටත් පුළුල් කරමින් විපක්ෂයට වැඩි නියෝජනයක් ලබාදීමට හැකි බවත් චම්පික රණවක මෙහිදී පෙන්වා දුන්නේ ය.
සිය අදහස තව දුරටත් පැහැදිලි කරමින් හිටපු අමාත්‍ය චම්පික රණවක මෙසේ ද සඳහන් කළේ ය. ‘‘නීති සම්පාදනය කිරීමේ පූර්ණ බලතල සහ රාජ්‍ය මුදල් පාලනය සම්බන්ධ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුවට පවරා දී තිබෙනවා. පාර්ලිමේන්තුවට හිමි මේ නීති සම්පාදනය කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පවරා දී තිබුණ ද සුළු බහුතර බලයකින් හෝ ඇතැම් අවස්ථාවල 2/3කබලයකින් එකී බලතල යළි තමා වෙත පවරා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුව තිබෙනවා. ඒ නිසා රටේ ඉහළ ම අධිකරණය හා ඉහළ ම නීති සම්පාදකයා වන්නේ පාර්ලිමේන්තුව.
පාර්ලිමේන්තුව සතු මෙකී නීති සම්පාදනයේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට මේ කාරක සභා / කමිටු ක්‍රමය හරහා අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් ලෙස යම් කිසි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඒක ඒ විෂයට හෝ අමාත්‍යාංශයට අදාළ කාරක සභාවේ, (විශේෂ කාරක සභාවක හෝ උපදේශක කාරක සභාවක විය හැකියි) සාකච්ඡාවට භාජනය කර, අදාළ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සාමාන්‍ය පිළිගත් සම්ප්රදාය යි. මුදල් පනත් සම්බන්ධයෙන් ද මේ ආකාරයට කටයුතු කිරීම සිදුවෙනව‘‘.
කාරක සභා ක්රමයේ ඉතිහාසය සහ ගමන් මඟ පැහැදිලි කරමින් චම්පික කියා සිටියේ වර්තමානය වන විට ‘මූලික කාරක සභා‘ හයක් ක්‍රියාත්මක වන බවයි.
‘‘ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ යුගයේ සිට ක්‍රියාත්මක වූ ‘මූලික කාරක සභා‘ හයක් තිබෙනවා. 1923 දී මුලින්ම ආරම්භ කළ, සියලුම රාජ්‍ය ආයතන අයත් වන, විගණකාධිපතිවරයා විසින් ලබා දී ඇති වාර්තා සම්බන්ධයෙන් විමර්ෂණය කරන ‘කෝපා‘ කමිටුව, රජයට අයත් අධිකාරී, මණ්ඩල වැනි ‘අර්ධ රාජ්‍ය ආයතන‘ සම්බන්ධයෙන් කටයුතු කරන ‘කෝප් කමිටුව‘, 2015 දී ස්ථාපිත කළ, රාජ්‍ය මුදල් කාරක සභාවක් වන, එසේ ම සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ම ලබා දිය යුතු ‘කොප් කමිටුව‘, පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්ථාපිත කළ, රජයේ ප්‍රධාන ආදායම් ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලය මූලික වශයෙන් පැවරී තිබෙන ‘ක්‍රම සහ විධි කාරක සභාව‘ සහ රාජ්‍ය බංකු සම්බන්ධයෙන් සොයා බලන ‘ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කමිටුව‘ මේ අතර තිබෙනවා“
මෙම කාරක සභා සම්බන්ධයෙන් යම් විවේචන ඇති බවත්, එයින් ප්‍රධාන විවේචනයක් වන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනකුට 80ක් තරම් ‘කාරක සභා විශාල සංඛ්‍යාවක්‘ ඇති බවට කරන චෝදනාව බවත් චම්පික පෙන්වා දුන්නේ ය. මෙතරම් විශාල කාරක සභා සංඛ්‍යාවකට රැස්වීමට රැස්වීම් ශාල 09ක් වැනි සීමිත සංඛ්‍යාවක් ඇති අතර නිලධාරී හිඟය, විශේෂයෙන් පර්යේෂණ නිලධාරීන්ගේ ‘දැඩි හිඟය‘ (පර්යේෂණ නිලධාරීන් සිටින්නේ 12 දෙනකු පමණක් වන අතර මෙම පර්යේෂණ නිලධාරීන් විශේෂඥ දැනුමින් තොර වීම ද බරපතළ ගැටලුවකි) උපකරණ හා සම්පත් හිඟය මෙම කාරක සභාවල කටයුතු වල ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි ලෙස බලපා තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ පැහැදිලි කරමින් චම්පික මෙසේ ද ප්‍රකාශ කළේය, ‘‘එක් එක් කාරක සභාවල වගකීම් නිශ්චිත නොවීම හේතුවෙන් ද ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ඇතැම් ආයතන කමිටු විශාල සංඛ්‍යාවකට කැඳවීමට හැකියාව තිබෙනවා. එක ම ප්‍රශ්නයකට කමිටු ගණනාවක් හමුවේ පිළිතුරු බැඳීමට සිදුවීම හේතුවෙන් අදාළ ආයතනවල නිලධාරීන් දැඩි පීඩාවකට පත්වීම සිදුවෙනවා. පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවක දී කමිටුවල බලතල හා කාර්යභාරය නිශ්චය කර දෙන ලෙස කොතරම් ඉල්ලීම් කළ ද මේ දක්වා එය ඉටු නොවීම ද වත්මන් ආණ්ඩුවේ සැලකිල්ලට ලක්විය යුතු කරුණක්. මේ ගැටලුව නිරාකරණ කිරීම වත්මන් පාර්ලිමේන්තුව හමුවේ පවතින බරපතළ වගකීමක් වන අතර මේ තත්ත්වය වත්මන් තාක්ෂණික භාවිතාවන් තුළ පහසුවෙන් විසඳා ගත හැකියි. මේ සඳහා ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතා ද පවතින අතර මේ සම්බන්ධයෙන් කළ විමර්ෂණයකට අදාළ වාර්තාවක් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා“
පාර්ලිමේන්තු කාරක සභා හරහා සොයා ගන්නා කරුණු ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් නොතිබීම ද කාරක සභා ක්‍රමය මුහුණ දෙන බරපතළ ගැටලුවක් ලෙස සැලකිය හැකිය. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කර දඞුවම් දීමේ ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වුව ද එය කිසිසේත් ප්රමාණවක් නොවේ. එසේම ඇතැම් තීරණාත්මක සිදුවීම්වල දී බලවත් රාජ්‍ය ආයතන හා නිලධාරීන් කමිටු හමුවට පැමිණී ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පැවතීම ද බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
“මෙවැනි බරපතළ හා තීරණාත්මක අඩුපාඩු හා දුර්වලතා රැසක් පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක වීමේ දී සුලභව උද්ගත වන අතර මෙම දුර්වලතා වලට තිරසර විසඳුම් ලබාදීමකින් තොරව මෙම කමිටුවලින් සාධනීය මැදිහත් වීමක් හෝ කාර්යභාරයක් ඉටුකරවා ගැනීමට හැකි වෙතැයි සිතීම ගැටලු සහගත යි. මෙම ගැටලු සහ අභියෝග ජය ගැනීමට අවශ්‍ය නම් කරුණු කිහිපයක් ඉටුවිය යුතුයි. එයින් වැදගත්ම කරුණ වන්නේ ‘කමිටු සංඛ්‍යාව අඩුකර ගැනීම‘යි. එසේම අදාළ කමිටුවලට ප්‍රමාණවත් තරම් මානව හා භෞතික සම්පත් ලබාදීම, විශේෂයෙන් පුහුණු පර්යේෂණ නිලධාරීන් ලබාදීම තීරණාත්මක ලෙස වැදගත් වෙනවා. ඊට හේතුව වන්නේ පසුගිය කාලය තුළ කාරක සභා වෙත විවිධ ජාත්‍යන්තර සංවිධානය විසින් (USAID වැනි) විවිධ නිලධාරීන් අනුයුක්ත කිරීම හේතුවෙන් ගැටලු සහ අර්බුද රැසක් නිර්මාණය වීම යි“ චම්පික රණවක වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.
කාරක සභා විසින් යම් කිසි කරුණක් සොයා ගත්තේ නම් (යම්කිසි දූෂණයක් වැනි) ඊට එරෙහිව නියෝග ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා අධිකරණය දක්වා යාමට පවා අවශ්‍ය බලතල කාරක සභා වෙත ලබාදිය යුතු ය. මේ සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගන්නා බවට පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවක දී පොරොන්දු ලබා දී තිබුණ ද ඒවා මේ දක්වා ඉටු වී නොමැත.
මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කළ හිටපු අමාත්‍යවරයා, “මෙහි දී අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ‘කාරක සභා විසින් ලබා දෙන ඇතැම් නියෝග ක්‍රියාත්මක නොවන තත්ත්වයක දී ඊට එරෙහිව ගත හැකි කිසිම ක්‍රියාමාර්ගයක් නොතිබීම ය. කාරක සභා විසින් ලබා දුන් ඇතැම් ‘බරපතළ හා දැඩි‘ නියෝග පවා ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ අවස්ථා ගණනාවක් ආසන්න කාලය තුළ වාර්තා වුවත් එම ආයතන හෝ නිලධාරීන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට කමිටුවලට නොහැකි වුණා. මෙවැනි සිදුවීම් කමිටු ක්‍රමය හෑල්ලුවට ලක්කරන බරපතළ තත්ත්වයක් බව පැහැදිලි යි. එසේම කාරක සභා වෙත ‘නිශ්චිත ඉලක්ක‘ ලබාදීම ද වැදගත් වෙනවා. ඒ සඳහා ඔවුන් වෙත පවරා ඇති බලතල හා කාර්යභාරය ද පැහැදිලි විය යුතු යි“
පෙර යුගවල පැවැති ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ‘අති බහුතර බලයක්‘ ඇති තත්ත්වයක් තුළ කාරක සභා වෙත පත් කිරීම් කිරීමේ දී ආණ්ඩුව ‘යම්කිසි‘ ආකාරයක පරිත්යාගශීලීභාවයක් පෙන්නුම් කිරීම ද වැදගත් වේ. සාම්ප්‍රදායක් ලෙස ඇතැම් කාරක සභාවල සභාපති ධූරය විපක්ෂයට ලබා දිය යුතු වුවත් එම තත්ත්වය තව දුරටත් පුළුල් කරමින් විපක්ෂයට වැඩි නියෝජනයක් ලබා දීමට හැකි ය.
“මෙහිදී ආණ්ඩුවට වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි. පසුගිය ආණ්ඩු සිය ‘බහුතර බලය‘ කමිටු නියෝගවලට එරෙහිව සුලභ ව ක්‍රියාත්මක කළා. ඒ හරහා කමිටු ක්‍රමය ‘නොවැදගත්‘ දෙයක් බවට පත් කළා. කාරක සභාවල සභාපති ධූරය ලබා ගැනීමට ගැටුම්වලට පවා ගියා. මෙවැනි තත්ත්වයක් තව දුරටත් ක්‍රියාත්මක වුවහොත් කමිටු ක්‍රමය තව දුරටත් අභාවයට යාම සිදුවන අතර එය නොවැදගත්, කාලය කා දමන, ධනය හා ශ්‍රමය විනාශ කරන තැනක් බවට පත්විය හැකි යි“ හිටපු අමාත්‍ය චම්පික රණවක අවසාන වශයෙන් පෙන්වා දුන්නේ ය.
සටහන – තුෂාල් විතානගේ

