චෙම්මනි – ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ සිට බෝනික්කා දක්වා
- Editor
- July 4, 2025
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
රේඛා නිලුක්ෂි හේරත් – සකුණගමගේ
යාපනයේ චෙම්මනි සමූහ මිනී වළින් කුඩා දරුවෙකුගේ යැයි සැක කරන ඇටසැකිල්ලක් ජුනි 28 වන දින සොයාගෙන තිබිණි. එම ඇටසැකිල්ලට යාබදව ඉංග්‍රීසි අකුරු කොටා ඇති නිල් පැහැති බෑගයක්, කුඩා බෝනික්කෙකු, සෙල්ලම් බඩු සහ සපත්තුවක් ඇතුළු අයිතමයන්ද හමුවී තිබේ.
ජුනි 28 දින කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් කැණීම් කටයුතුවලදී මතු කරගෙන තිබූ අතර, කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක්ද හමුවී තිබිණි.
චෙම්මනි සමූහ මිනී වළේ තෙවන අදියරේ කැණීම් කටයුතු ජුනි 26 වන දා නැවත ආරම්භ කළ අතර එම කැණීම් කටයුතු දින 15ක් පුරා සිදුකිරීමට නියමිත ය.
ජුලි දෙවන දින වන විට යාපනයේ චෙම්මනි සමුහ මිනී වළෙන් ඇටසැකිලි 33ක් සොයාගෙන තිබුණි. ඉන් ඇට සැකිලි 22ක් මේ වන විටත් ගොඩගෙන ඇත. ගොඩගත් ඇටසැකිලි අතර අලුතෙන් උපන් දරුවන්ගේ හා මාස 10ට අඩු දරුවන්ගේ ඇටසැකිලි ඇතුළත්ව ඇති බව කැණීම් නිලධාරීන් අවධාරණය කර තිබිණි.

අපරාධ ස්ථානයක්
මේ වන විට අධිකරණ නියෝගයක් මගින් චෙම්මනි සමූහ මිනිවළ ආශ්රිත ප්‍රදේශය අපරාධ ස්ථානයක් ලෙස නම් කර ඇත. වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් කැණීම් කටයුතු අධීක්ෂණය සඳහා සහභාගී වී සිටින නීතිඥ රනීතා ඥානරාජා අප වෙත අදහස් මෙසේ පැවසී ය.
දින 07ක් තිස්සේ මේ කැණීම් කටයුතු කරමින් යනවා. ඒ කැණීම්වලින් මිනිස් ශරීරවලට අයත් අස්ථි කොටස් 33ක් හමුවුණා. එම ඇටසැකිලි අතරින් සම්පූර්ණ මිනිස් ශරීරවලට අයත් අස්ථි කොටස් 30ක් හඳුනාගෙන තිබෙනවා. අනෙක් ඇටසැකිලි එකිනෙකට බැඳී තිබෙන නිසා අපිට නිශ්චිතව කියන්න අමාරුයි. ඒ අතර කී දෙනෙකුගේ ඇට සැකිලි තිබෙනවාද කියා. බෑගය එක්ක හඳුනාගත් හිස් කබල එක් දිනකදී කළ කැණීම්වලින් ගොඩගන්න පුළුවන් වුණා. මෙතන කැණීම් ඉක්මන් කරන්න ජුලි 03වන දා ඉඳලා යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ සිසුන් කැණීම් කටයුතුවලට සහභාගී වෙනවා. මේ ස්ථානය ගැන අපිට කලින් ඉඳලා සැකයක් තිබුණා.
ජුනි මාසයේදී කළ කැණීම්වලදී අස්ථි කැටි පහක් පමණ සොයාගෙන ඇති නමුත් ඒවායේ අබලි තත්ත්වය හේතුවෙන් නිශ්චිත සංඛ්‍යාව තීරණය කිරීම දුෂ්කර බව නීතිඥ රනිතා ඥානරාජා පැවසුවාය.
කැණීම්වලදී හමුවූ ද්‍රව්‍ය වෙන් කිරීමේ දී ඒවා අතර තිබී රබර්වලින් සාදන ලද කුඩා බෝනික්කෙකු, සපත්තු යුගලක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් කැණීම් නිලධාරීන්ට හමු වුණා. නීතීඥ රනීතා ඥානරාජා කියයි.
මෙම කැණීම් සඳහා අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වන බවත් අතීතය කළ කැණීම් කටයුතුවලින් අතුරුදහන් වූවන්ට යුක්තිය තවමත් ලැබී නැති නිසා මෙවර යුක්තිය ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් උත්සාහ කරන බවත් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම ස්ථානයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිසියට පූර්ණ සහාය දක්වමින් සිටින බවත් ඇය පැවසුවාය.
යාපනය පොලිසිය සහ චෙම්මනී ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී චෙම්මනි සමූහ මිනීවළ සඳහා ආරක්ෂාව සපයමින් සිටින අතර ප්‍රදේශය ආවරණය කරමින් පැය 24ක් පුරා ක්‍රියාත්මක වන සිසීටීවී කැමරා සවි කර ඇත. එම සීසීටීවී දර්ශන යාපනය අධිකරණ නිලධාරීන් යටතේ පැය 24 පුරාම අධීක්ෂණය සිදුකරන බව වාර්තා වේ.
තවද ඉදිරි කාලවල දී වැසි ඇති විය හැකි බැවින් සමූහ මිනීවළවල් ආශ්රිත ප්‍රදේශයට ජලය ගලා ඒමට ඇති ඉඩ වළක්වමින් කාණු හාරා කැණීමේ කටයුතු සිදු කරන ස්ථාන ආරක්ෂා කර ඇති බවත් දැක ගන්නට ඇත.

මොකක්ද සැකය
චෙම්මනි සමුහ මිනිවළ ගැන මුලින්ම කතාබහට ලක් වීඇත්තේ 1996 දි අධිකරණ සාක්ෂියකින් පසුවය. එහිදී යාපනය ප්‍රදේශයේ ජීවත් වූ 16 හැවිරිදි දමිළ පාසල් සිසුවියක වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 1998 වර්ෂයේදී අධිකරණයේදී පැවැති නඩු විභාගයේදී ක්‍රිෂාන්ති දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෝ හිටපු හමුදා කෝප්රල් සෝමරත්න රාජපක්ෂ අධිකරණය ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර තිබුණේ 1995 – 1996 දි හමුදාව යාපනය නැවත අත්පත් කර ගැනීමෙන් පසු අතුරුදහන් වූ දෙමළ සිවිල් වැසියන් සිය ගණනක් මරා දමා චෙම්මනි ගම්මානය අසල සමූහ මිනීවළවල්වල වළලනු ලැබූ බවත්, චෙන්මනි ප්‍රදේශයේ සමූහ මිනීවළවල්වල පුද්ගලයින් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් වළලනු ලැබූ බවත්ය.
එම නඩු විභාගය අවසානයේදී සෝමරත්න රාජපක්ෂට මරණ දඬුවම නියම වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් ය. එම හමුදා කෝප්‍රල්වරයා ලබා දුන් තොරතුරු මත පදනම්ව හා ජාත්‍යන්තර සංවිධාන හරහා එවකට පැවති රජයට එල්ල වූ පීඩාව හේතුවෙන් 1999 වර්ෂයේදී එවකට රජය අධිකරණයේ අධීක්ෂණය මත චෙම්මනි ප්‍රදේශයේ කැණීම් කිරීමට අවසර දී තිබිණි.
1999 වර්ෂයේදී සිදු කළ කැණීම්වලින් මිනිස් ශරීර 15 ක් ගොඩගෙන තිබුණු අතර ඒ අතරින් ශරීර දෙකක් 1996 දී අතුරුදහන් වූ තරුණයන් ලෙස හඳුනාගෙන ඇත. අනෙක් මළ සිරුරු 13 සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බව වාර්තා වෙයි.
ස්ථානයෙන් මිනිස් අස්ථි හමුවීමේ සිද්ධියෙන් පසුව සමඟ හමුදා නිලධාරීන් 07දෙනකුට එරෙහිව චෝදනා ගොනු කළ නමුත් නඩු කටයුතු ඉදිරියට ගොස් නොමැති බව මාධ්‍ය වාර්තා කර ඇත.
නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසින් පෙබරවාරි 20 වැනි දින ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ඉඩම් පිරිසිදු කිරීමේදී මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව සමූහ මිනීවළනැවත වරක් ප්‍රසිද්ධියට පත්විය.

අලුතින් ස්ථාන නම් කරලා
වෛද්‍ය පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමාදේව විසින් භූමදාන කළ හැකි ස්ථාන ලෙස නම් කරන ලද ස්ථානවල ජුලි 01 වන දින යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා සිසුන්ගේ සහ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබිණි.
මහාචාර්ය සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය සෙල්ලයියා ප්‍රණවන් මැයි 15 වන දින චෙම්මනි සිටුප්පති සුසාන භූමියේ කැණීම් ආරම්භ කර ඇති අතර 1990 වර්ෂයේ දී චෙම්මනී සමූහ මිනීවළේ කැණීම් කිරීමට නායකත්වය දුන් වෛද්‍ය ක්ලිෆර්ඩ් පෙරේරා එම ස්ථානයට ගොස් දැනට කැණීම් අධීක්ෂණය කරන නිලධාරීන් සමඟ පූර්ව සොයා ගැනීම් සාකච්ඡා කළ බව නීතිඥ ඥානරාජා පැවසීය.
මෙම කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන්ගේ අධීක්ෂණය යටතේ ගබඩා කිරීම හා ආරක්ෂා කිරීම සිදු කෙරේ.

මොන කාලයේද දන්නේ නැහැ
යාපනය, චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු සිදුවන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙනි.
කැණීම්වලින් මතු වූ මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් දැයි සොයා බැලීමට කාල නිර්ණය පරීක්ෂණ සඳහා යොමු කර නැති එබැවින් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් දැන්ම නිගමනය කිරීමට අපහසු බව රාජ් සෝමදේව මහතා පැවසීය. කැණීම් කටයුතුවල දී හමු වූ ළදරුවන්ගේ මරණයට හේතුව සොයා ගැනීමට වෛද්‍යවරුන් අදාළ සිරුරු විශ්ලේෂණය කරමින් සිටින බවත් කැණීම්වල දී හමු වූ සිරුරු එම ස්ථානයේ වළ දමා ඇති කාලය සොයා ගැනීමට නම් සොලෝපේන් වැනි කෞතුක වස්තු භාවිත කරන බවත්, කෞතුක වස්තු නොමැති නම් විකිරණශීලී කාල නිර්ණය විකල්පයක් ලෙස භාවිත කල හැකි බවත් ඒ මහතා පැවසීය.
සමූහ මිනීවළ යැයි අනුමාන කරන ප්‍රදේශයෙන් 40% අඩු ප්‍රමාණයක් මේ වන විට කැණීම් කටයුතු අවසන් කර ඇති බවත් චන්ද්‍රිකා ඡායාරූප සහ ඩ්‍රෝන යානා භාවිතා කර ඉහල සිට ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ හරහා සුසාන භූමිය තුළ තවත් දෙවන සුසාන භූමියක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
ඒ පිළිබඳව යාපනයේ අධිකරණයට අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් හා එය සමූහ මිනීවළක් ලෙස හඳුනාගත හැකි බව මෙන්ම ඒ හේතුවෙන් එම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අවශ්‍ය බවත් ඒ මහතා පැවසී ය.
අදියර තුනක් යටතේ සිදු කෙරෙමින් පවතින චෙම්මනී සමූහ මිනීවළෙන් කැණීම් කටයුතු සඳහා රුපියල් මිලියන 12 ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර ඇති නමුත් එම මුදලෙන් කැණීම් කටයුතු සිදු කිරීමට ලැබී ඇත්තේ ඇස්තමේන්තුවෙන් ඉල්ලා සිටි මුදලින් කොටසකි.
පසුගිය දා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් චෙම්මනී සුසාන භූමිය වෙත ගොස් අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානය කළ විරෝධතාවට සහභාගි වී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දහස් ගණනකට උපහාර දැක්වීම සඳහා සංකේතාත්මක ගිනි ගිනිදැල්ල ඉදිරිපිට මල් තබා අතුරුදහන් වූ අය සිහිකර තිබිණි.
මහා කොමසාරිස්වරයා යාපනයට පැමිණි අවස්ථාවේදී ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමින් විරෝධතාකරුවන් පෙළ ගැසී සිටි අතර, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ජාත්‍යන්තර යුක්තිය සඳහා වන ඉල්ලීම් මාලාවක් ද මහ කොමසාරීස්වරයාට භාර දී තිබිණි. වොල්කර් ටර්ක් චෙම්මනී සමූහ මිනීවළේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ නියෝජිතයින් ද හමු වී තිබුණු අතර කැණීමේ කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව විමසා ඇති බව වාර්තාවේ.
එම සාකච්ඡාවේ දී කැණීම් ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදුකර දෙන ලෙස ජනතා නියෝජිතයන් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ. අධිකරණ නියෝගයක් මත ජුලි 02 වන දින ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂඥයින් පිරිසක් චෙම්මනී මිනීවල ඇති පස් නිරීක්ෂණය සඳහා පැමිණ ඇති අතර පස් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ රැගෙන විත් ඇති බව වාර්තා වේ. තෙවන අදියරේ කැණීම් දින 15ක් කරන බවත් ජුලි 06 වන දින දහවල් 1.00ට කැණීම් කරමින් සිටින විශේෂඥයින් පිරිස එම කටයුතු නතර කර ජූලි 07 වන දින යළි ආරම්භ කරන බවත් වාර්තා වේ.

