ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ජනමාධ්‍ය කෙසේ භාරගත යුතු ද ?
- Editor
- August 23, 2024
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

මැතිවරණයකදී ජනමාධ්‍ය භූමිකාව අතිෂය වැදගත් වන්නා සේම ඇතැම් විට එය ‘තීරණාත්මක‘ කාර්යභාරයක් ද ඉටුකරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. මේ තත්ත්වය තුළ මැතිවරණයකදී ජනමාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් බහුලව විවේචන සහ චෝදනා එල්ල වන අතර ඒවා ‘නියාමනය‘ හෝ ‘පාලනය‘ කළ යුතු බව ද කියවේ.
මැතිවරණයකදී ජනමතය හැසිරවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිදුකරන මෙම මැදිහත්වීම් සම්බන්ධයෙන් කාලයක් පුරා එල්ල වන බලපෑම් හමුවේ, ඒවා පාලනයට හෝ නියාමයට ගත් සාධනීය පියවරක් ලෙස ‘මාධ්‍ය උපමාන‘ සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු ජනමාධ්‍යවලට අදාළ ‘මාධ්‍ය උපමාන‘ නිකුත් කරනු ලැබේ. මෙම තත්ත්වය තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ‘මාධ්‍ය උපමාන‘ මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය ජූලි 26 වැනිදා අංක 2394 / 57 දරක අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, අවසන් වරට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5)(අ) අනුව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම මැතිවරණ උපමාන සාදන ලද බවයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන නිකුත් කළ ද, ඒවා අනුව අදාළ මාධ්‍ය කටයුතු කරන්නේ ද ? යන්න ගැන අවධානයෙන් සිටිමින් විවිධ පියවරයන් ගත්ත ද මාධ්‍ය කර්මාන්තය තුළ මෙන්ම පුරවැසියන් තුළ ද මෙකී මාධ්‍ය උපමාන ගැන ප්‍රමාණවත් දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව පැහැදිලිය. මේ තත්ත්වය තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා සිය ‘කතිකාව‘ සංවාදාත්මක වැඩසටහන් මාලාවේ 191 වැනි සංවාදයේදී ‘ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ජනමාධ්‍ය කෙසේ භාරගත යුතු ද ?‘ මැයෙන් විද්වත් සංවාදයක් කළේය. මෙම සංවාදය සඳහා මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ විශ්‍රාමික සිවිල් සේවා නිලධාරී අශෝක පීරිස් යන විද්වතුන් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය කාලය පුරා පැවැති මැතිවරණවලදී මාධ්‍ය උපමාන නිකුත් කරන ලද බවත්, මෙවර ජනාධිපතිවරණයට අදාළව අලුත් ම මාධ්‍ය උපමාන කිහිපයක් ද දැකගත හැකි බවත් කී නාලක ගුණවර්ධන මෙම මාධ්‍ය උපමාන මාධ්‍ය ක්‍රියාකාරීත්වයට (කෙරුවාවට) කොතරම් දුරට බලපාන්නේද ? යන්න මුඛ්‍ය ප්රශ්නය බව ද සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය කාලය පුරා පැවැති මැතිවරණවලදී මාධ්‍ය උපමාන නිකුත් කරන ලද බවත්, මෙවර ජනාධිපතිවරණයට අදාළව අලුත් ම මාධ්‍ය උපමාන කිහිපයක් ද දැකගත හැකි බවත් කී නාලක ගුණවර්ධන මෙම මාධ්‍ය උපමාන මාධ්‍ය ක්‍රියාකාරීත්වයට (කෙරුවාවට) කොතරම් දුරට බලපාන්නේද ? යන්න මුඛ්‍ය ප්රශ්නය බව ද සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන නිකුත් කරන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5)(අ) අනුව්‍යවස්ථාව යටතේ බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් නාලක ගුණවර්ධන මෙසේ ද සඳහන් කළේය, ‘මේ 104 ආ උප වගන්තියේ තිබෙනවා උප වගන්ති දෙකක්. එහි සඳහන් වෙන ආකාරයට ‘යම් ගුවන් විදුලි හෝ රූපවාහිනි නාළිකාවක් පවත්වා ගෙන යන්නකු, එසේ නැතිනම්, යම් ප්රවෘත්ති පත්‍රයක අයිතිකරුවෙකු හෝ ප්‍රකාශකයෙකු අදාළ කරලා තමයි මේ මාධ්‍ය උපමාන නිකුත් කරන්නේ. මේ තත්ත්වය තුළ ගුවන් විදුලි නාළිකා, රූපවාහිනී නාළිකා සහ ප්රවෘත්ති පත්‍ර මේ මාධ්‍ය උපමාන පිළිපැදීමට බැඳී සිටිනවා. මෙහිදී පුළුල් චිත්‍රය දෙස බලන විට පැහැදිලි වන පළමු කරුණ තමයි, මේ උපමානවලට අනුගතව ක්‍රියා කිරීම තමයි පරමාදර්ශී තත්ත්වය වෙන්නේ. එසේම නිවැරදිලි, සමබර සහ අපක්ෂපාතී වාර්තාකරණය මාධ්‍ය ආචාරධර්මවලට මුළුමනින් ම අනුගතයි. මැතිවරණ සමයක් කියලා ඒක හුවා දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. එසේම මුද්‍රිත මාධ්‍යවලට අදාළව ඔවුන් එකඟ වූ ‘ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ආචාරධර්ම මාලාව තිබෙනවා. මේ ආචාරධර්ම මාලාව තුළත් නිවැරදි, සමබර හා අපක්ෂපාතී වාර්තාකරණය සිදුවිය යුතු බව මුලින්ම සඳහන් කර තිබෙනවා‘
මෙහිදී නාලක පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ ‘පරමාදර්ශී‘ මාධ්‍ය කලාවක් නොමැති හෙයින් ඉහත දක්වන ලද න්‍යායික තත්ත්වය දැකගත නොහැකි බවයි. මාධ්‍ය ආචාරධර්ම අනුව මෙරට මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිදු නොවුණ ද ඒවා ගැන ඔවුන් ‘නිතර‘ කතා කරන බවත්, කතාව සහ කෙරුවාව අතර විශාල පරතරයක් පවත්නා බවත් නාලක වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නාලක ගුණවර්ධන මෙසේ ද සඳහන් කළේය, ‘මෙන්න මේ හේතුව නිසා ‘ස්වයං නියාමනය‘ කියන එක ශ්‍රී ලංකාව තුළ අසාර්ථකයි. 2003දී තමයි ස්වයං නියාමනයට අදාළ මුල්ම යාන්ත්‍රණය වන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම සහ ශ්‍රී ලංකා කර්තෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති (ආචාරධර්ම) මාලාව ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අවාසනාවට මේ ආචාරධර්ම සංග්‍රහය සම්පාදනය කිරීමට මැදිහත් වුණ කර්තෘවරුන්ගේ පුවත්පත් පවා ඒ ආචාරධර්මවලට අනුගතව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ‘මාධ්‍ය ආචාරධර්මවලට එකඟව කටයුතු කරනවා‘ කියලා සභාවල එකඟ වෙලා, ඔළුව වනලා ගියාට මදි. ඒවා අනුව කටයුතු කළ යුතුයි‘
මෙහිදී නාලක කියා සිටියේ මෙරට මාධ්‍ය කර්මාන්තය තුළ ස්වයං නියාමනය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තමා බෙහෙවින් කණස්සල්ලට පත්ව සිටින බවත් ‘එය මවාපෑමක්‘ ලෙස සැලකිය හැකි බවත්ය. මේ තත්ත්වය තුළ නීතිමය වශයෙන් ප්‍රතිවිපාක තිබිය යුතු බවත්, එසේ ප්‍රතිවිපාක තිබුණහොත්, එම නීතියට බියෙන් හෝ නිවැරදි දේ කරනු ඇති බවත් නාලක පෙන්වා දුන්නේය.
‘නීතියේ වුණත් හිල් තිබුණොත් ඒ හිල් හොයා ගෙන යන්න උත්සහා කරන මාධ්‍ය තිබෙනවා. තමන්ගේම ශික්ෂණයකින්, විනයකින්, ස්වයං නියාමනය හෝ මාධ්‍ය ආචාරධර්ම වලට අනුගතව කටයුතු කිරීම පරිණතභාවයක් තිබෙන මාධ්‍ය ලංකාවේ බොහෝ ම අඩුයි. මේ තත්ත්වය තුළ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන කොතරම් දුරට අදාළ වෙයි ද ? බලපෑමක් කරයි ද ? යන්න ප්‍රශ්නයක්‘
මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ‘නීතිමය ලෙස අනිවාර්යය ද ? නැතිනම් මග පෙන්වීමක් පමණ ද ?‘ යනුවෙන් ප්‍රශ්න කළ නාලක තත්ත්වය තව දුරටත් මෙසේ පැහැදිලි කළේය. ‘මේ පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්. මොකද මේ දක්වා භාවිතය අනුව නම් මාධ්‍ය උපමානවලට අනුගත වීම අනිවාර්ය කළේ රාජ්‍ය මාධ්‍යවලට පමණයි. ඒ සඳහා ඇති බලතල අනුව පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍යවලට සිදුකළ බලපෑම් අපි දක්කා. නමුත් පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් තත්ත්වය ඊට වෙනස්, ‘පුළුවන් නම් මේ මාධ්‍ය උපමානවලට අනුගත වෙන්න. එහෙම නොකළා කියලා ප්‍රතිවිපාක නැහැ‘ කියන තත්ත්වයක් තමයි පසුගිය කාලයේ තිබුණේ. ඉතිං අතිෂය ධ්‍රැවීකරණය වූ මේ මාධ්‍ය පරිසරය තුළ ප්‍රතිවිපාක නැතිව මේ මාධ්‍ය ආයතන මැතිවරණ උපමාන අනුව කටයුතු කරනු ඇතැයි සිතා ගන්න අසීරුයි. මොකද මේ දක්වා එවැනි කැපවීමක් අපි පොදුවේ අපේ මාධ්‍ය ක්ෂේත්රය තුළ දකින්නේ නැහැ“
මෙහිදී නාලක රාජ්‍ය මාධ්‍යවල මැසිවිලි ගැන සඳහන් කරමින් කියා සිටියේ මාධ්‍ය උපමාන හා සම්බන්ධ ගැටලුවලදී රාජ්‍ය මාධ්‍යවලින් ද නිමක් නැති මැසිවිලි වාර්තා වන බවයි.
මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ යාවත්කාලීන නොවූ පනත් අනුව කටයුතු කිරීම බව පෙන්වා දුන් නාලක ගුණවර්ධන එම තත්ත්වය තව දුරටත් මෙසේ පැහැදිලි කළේය, ‘මෙවැනි අවස්ථාවලදී පෞද්ගලික මාධ්‍යවලට මාධ්‍ය උපමානවලින් බලපෑමක් නැත්තේ ඇයි කියලා රාජ්‍ය මාධ්‍ය ප්‍රශ්න කරනවා, චෝදනා කරනවා. රාජ්‍ය මාධ්‍ය නඩත්තු වෙන්නේ මහජන මුදලින්, ඒ නිසා ඔවුන්ට අමතර වගකීමක් තිබෙන බව අමතක කරලා තමයි රාජ්‍ය මාධ්‍ය මේ චෝදනා කරන්නේ. මෙහිදී මතුවන ප්රශ්නය තමයි, ‘සියලුම මාධ්‍යවලට සමබිමක් තිබෙනවාද ? කියන එක. සමබිමක් නැති නැති තැන මේ මාධ්‍ය උපමාන ගෙනල්ලා මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ කරනවාද ? කියන ප්රශ්නය තිබෙනවා. මේ තත්ත්වයට තවත් හේතුවක් තමයි 1981 ජනාධිපතිවරණ පනත තමයි මේ දක්වා භාවිත වෙන්නේ. ඒ කාලේ (1981) පත්තර කිහිපයක් හැරෙන්න සියලුම විද්‍යුත් මාධ්‍යවල හිමිකාරීත්වය තිබුණේ ආණ්ඩුවට. ඒ කියන්නේ අවුරුදු 41ක් පැරණි නීතියක් අනුව තමයි අපි ජනාධිපතිවරණය පවත්වන්නේ. මෙම පනතේ යම් යම් සංශෝධන සිදු වුණත් මාධ්‍යවලට අදාළව සංශෝධන සිදුවුණ බවක් දැකගන්න බැහැ“
මෙහිදී නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ වත්මන් බහුමාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය උපමාන කොතරම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද ? යන්න ගැටලුකාරී බවයි. මිලියන 17කට අධික වත්මන් ඡන්දදායකයින්, විශේෂයෙන් ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මිලියනයකට අධික ඡන්දදායකයින් තොරතුරු ලබා ගැනීමට භාවිත කරන මාධ්‍ය ‘අතිශය‘ බහුවිධ බව පෙන්වා දුන් නාලක තොරතුරු ඒකාධිකාරිය තව දුරටත් නොමැති නමුත් තොරතුරුවල ‘ප්‍රමිතිය‘ සම්බන්ධ ගැටලු පවතින බව ද එය ‘බරපතළ‘ ප්‍රශ්නයක් බව ද පෙන්වා දුන්නේය.
වත්මන් ජනාධිපතිවරණය තුළ උද්ගත වන නියත ප්‍රශ්නයක් වන ඩිජිටල් මාධ්‍ය භාවිතය හා එහි අභියෝග ගැන සිය අදහස් ඉදිරිපත් කරමින් නාලක මෙසේ ද සඳහන් කළේය. ‘ලංකාවේ අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අපේ තොරතුරු මූලාශ්‍ර බහුල වෙලා තිබෙනවා. නමුත් තොරුතුර හා මාධ්‍ය සාක්ෂරතාව තවම දියුණු වෙලා නැහැ. මේ නිසා අසත්‍ය හෝ දුෂ් තොරතුරුවලින් මුලා වෙන්න තිබෙන ඉඩකඩ විශාලයි. ඒ වගේම තමයි මේවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය, යූ ටියුබ් ආදි නව මාධ්‍ය භාවිතය අති විශාල ලෙස සිදු වෙන බවක් දැකගත හැකියි. තවත් නොයෙක් ආකාරයේ සමාජ මාධ්‍ය වේදිකා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ මේ මාධ්‍ය උපමානවලින් අපට අවශ්‍ය තරම් ආරක්ෂාවක් ලබාගත හැකිද ? කියන ප්රශ්නය තිබෙනවා. එවිට මතු වන ප්රශ්නය තමයි ‘මේවාගේ තත්ත්වයක් තිබෙන්නේ නම්, මේ මාධ්‍ය උපමාන කුමකටද ? ‘ කියන එක.
වත්මන් මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ පැහැදිලි කරමින් නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ ‘එය සවිස්තරාත්මක වුව ද එකම කරුණ යළි යළි කියවෙන ස්වභාවයක් දැකගත හැකි හෙයින් එහි ‘අනවශ්‍ය‘ ලෙස විස්තරාත්මක බවක් දැකගත හැකි බවයි. එහෙත් බැඳියාවන් අතර ගැටුම (මාධ්‍ය හිමිකරුවෙක් හෝ කර්තෘවරයෙක් ඍජුව දේශපාලනයට සම්බන්ධ තත්ත්වයක් තුළ) තුලනය කර ගැනීමට අවශ්‍ය පියවර වත්මන් මාධ්‍ය උපමාන තුළ අන්තර්ගත බව ද නාලක පෙන්වා දුන්නේය.
මැතිවරණ සමීක්ෂණ වාර්තා ප්‍රකාශයට පත් කිරීම ගැන සිය අදහස පැහැදිලි කරමින් නාලක ගුණවර්ධන මෙසේ ද සඳහන් කළේය, ‘මෙහි තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල වාර්තාකරණය සම්බන්ධයෙන් දක්වා ඇති උපමාන. ඒ අනුව අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේදී එය සම්පූර්ණ වාර්තාවක්, නියැදිය කුමක්ද ? මූල්‍ය දායකත්වය ලබා දුන්නේ කවුද ? ආදි තොරතුරුත් ලබාදිය යුතු බව මාධ්‍ය උපමාන තුළ සඳහන් කර තිබෙනවා. මේක වැදගත් දෙයක්. එසේම මේ තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි දේවලුත් තිබෙනවා. ඒ අනුව මේ තත්ත්වයන් තුලනය කරමින් මේ මාධ්‍ය උපමාන හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයකට දායකත්වය ලබා දෙන්නේ කෙසේද ? යන්න සලකා බැලිය යුතුයි“
වත්මන් මාධ්‍ය උපමාන අනවශ්‍ය තරම් දීර්ඝ බවත් එහි කොටස් දෙක තුළ (මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය) වගන්ති 70ක් පවතින බවත් පෙන්වා දුන් අශෝක පීරිස්, මාධ්‍ය උපමාන සකස් කිරීමේ දී මැතිවරණ කොමිෂම ඒ ගැන බැරෑරුම් ලෙස සලකා ඇති බවක් නොපෙනෙන බව ද සඳහන් කළේය.

වත්මන් මාධ්‍ය උපමාන අනවශ්‍ය තරම් දීර්ඝ බවත් එහි කොටස් දෙක තුළ (මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය) වගන්ති 70ක් පවතින බවත් පෙන්වා දුන් අශෝක පීරිස්, මාධ්‍ය උපමාන සකස් කිරීමේ දී මැතිවරණ කොමිෂම ඒ ගැන බැරෑරුම් ලෙස සලකා ඇති බවක් නොපෙනෙන බව ද සඳහන් කළේය.
‘මාධ්‍ය උපමාන‘ යන වචනය තුළ ම ප්රශ්නකාරී ස්වභාවක් ඇති බවත්, මෙම උපමාන, නැතහොත් මග පෙන්වීම් අනුව කටයුතු නොකළහොත් ලබාදෙන දඞුවම් ගැන සඳහන් නොවීම ද ගැටලුවක් බව අශෝක පෙන්වා දුන්නේය. එසේම මෙම මාධ්‍ය උපමාන තුළ රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය යන ද්විත්වයක් පවතින බවත් ඊට හේතුව වූයේ, 1981 දරන ජනාධිපතිවරණ පනත අනුව මෙම උපමාන සම්පාදනය කිරීම බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් මාධ්‍ය උපමාන භාවිතය තුළ පවතින ප්‍රායෝගික ගැටලු සහ අභියෝග ගැන සඳහන් කරමින් අශෝක පීරිස් කියා සිටියේ යම් ව්‍යාකූල තත්ත්වයන් පැවැතිය ද මෙය වැදගත් කොට සැලකිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ අශෝක පීරිස් මහතා, ‘කිසිවක් ම නොමැතිව සිටින තත්ත්වයකට වඩා මේක වටිනවා. ඒත් තවත් පැත්තකින් මේක කාලය කා දැමීමක් බවට පත්වෙනවා. ඒකට හේතුව තමයි සියලුම මාධ්‍ය ආයතන මේ මාධ්‍ය උපමාන යටතට ගැනෙන්නේ නැහැ. කුමන හෝ කරුණක් නිසා රාජ්‍ය මාධ්‍ය පමණක් මේ මාධ්‍ය උපමාන යටතට ගෙනවිත් තිබෙනවා. අපි පැහැදිලිව දැක්කා පසුගිය 2019 ජනාධිපතිවරණයේදී මැතිවරණ උපමාන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන ආකාරයෙන් ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කළා. ඒත් ඒ ගැන කිසිම සංවාදයක් ඇති වුණේ නැහැ. ඒ වගේම තමයි පුරවැසියන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන මැතිවරණයක් නිදහස් හා සාධාරණ වීම අතිශය වැදගත්. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් ජනමාධ්‍ය භාවිතය ද අනිසි ක්‍රියාකාරීත්වයෙන් තොරව සිදුවිය යුතුයි. මේ තත්ත්වය තුළ ජනමාධ්‍ය සඳහා කිසියම් ආකාරයක මග පෙන්වීමක් සිදුවිය යුතු අතර ඒ සඳහා නිශ්චිත නීති පැනවිය යුතුයි“
ජනාධිපතිවරණ පනතේ ‘මැතිවරණය වැරදි‘ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් තිබෙන බවත් තමා විශ්වාස කරන ආකාරයට මේ වැරදි යටතට ‘ජනමාධ්‍ය අවභාවිතය‘ හා සම්බන්ධ වැරදි එක් කිරීමට හැකියාව පවතින බවත් අශෝක පීරිස් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් අශෝක පීරිස් මහතා මෙසේ ද සඳහන් කළේය, ‘මැතිවරණ කාලයේදී සමබර මාධ්‍ය භාවිතයක් සඳහා වන නීති හඳුන්වා දිය යුතුයි. මෙතනදී යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ හරහා ජනමාධ්‍ය නිදහස සීමා වෙනවා, ජනමාධ්‍ය නිදහසට බාධා කරනවා කියලා. ඒත් මාධ්‍ය නිදහස සංසන්දය කළ යුතු වන්නේ වෙනත් රටවල් සමග නොවෙයි, ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමගයි. වඩාත් ආරක්ෂා කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය ද ? ජනමාධ්‍ය නිදහස ද කියලා ප්‍රශ්න කිරීමට මම යන්නේ නැහැ. නමුත් නිවැරදි මාධ්‍ය භාවිතයක් සිදුවෙනවා නම් ජනතා පරමාධිපත්‍යය ද ? ජනමාධ්‍ය නිදහස ද ? කියන ප්රශ්නය මතු වෙන්නේ නැහැ. එසේ වුවහොත් ජනමාධ්‍ය නිදහසත්, එහි ගෞරවයත්, ජනතා පරමාධිපත්‍යත් ආරක්ෂා වෙනවා“
ජනමාධ්‍ය අවභාවිතයට දේශපාලනඥයින් උඩගෙඩි දෙන තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් අශෝක පීරිස් මහතා පෞද්ගලික මාධ්‍යවලට උපමාන හඳුන්වා දී ඇත්තේ ඒවා මහජන දේපොළක් වන ‘සංඛ්‍යාත තරංග‘ භාවිත කිරීම නිසා බවයි.
මෙම තත්ත්වය තව දුරටත් පැහැදිලි කළ අශෝක පීරිස් මහතා, ‘මෙහි තර්කය තමයි රූපවාහිනී හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජන දේපොළක් වන නිසා ඒවා භාවිතා කිරීමේ ජනමාධ්‍යවලට වගකීමක් තිබෙන බව. ඒත් ප්රශ්නය වන්නේ මේ වගකීම ඉටු නොකළහොත් දෙන දඞුවම කුමක්ද ? මේ පනත්වල තිබෙනවා ‘එවැනි කඩකිරීමක් සිදුවන අවස්ථාවල නිසි බලධාරියෙක් පත්කරන්න පුළුවන් කියලා. ඒත් මේ දක්වා එවැනි පත් කිරීමක් කරලා නැහැ. ඒත් මේ පවතින නීති යටතේ පෞද්ගලික මාධ්‍යවලට නිසි බලධරියෙක් පත් කළත් ඔහු ‘නාමික‘ චරිතයක් පමණක් වෙනවා. මම යෝජනා කරන්නේ ‘බලය‘ තිබෙන පුද්ගලයෙක් පත් කළ යුතුයි. එවැනි පියවරක් මගින් පමණයි පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් ජනමාධ්‍ය උපමාන ක්‍රියාත්මක තලයේදී සාර්ථක වෙන්නේ“
මෙහිදී අශෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වෙන් වෙන්ව දක්වන ජනමාධ්‍ය උපමාන යන්න වෙනුවට ‘මැතිවරණ සමයකදී ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධ නීති‘ ලෙස පොදු නීති මාලාවක් සම්පාදනය කිරීම වඩාත් අර්ථවත් වන බවයි.
මැතිවරණ කාලයේදී දේශපාලනඥයින්ට මෙන්ම මැතිවරණ කොමිෂමට ද මාධ්‍ය අත්‍යවශ්‍ය මෙවලමක් බව පෙන්වා දුන් ආචාර්ය නිමල්කා ප්‍රානන්දු, මාධ්‍ය නියාමනය ද ? පාලනය ද ? යන කරුණ ගැන දැඩි අවධානයක් යොමුකළ යුතු බව පෙන්වා දුන්නාය.

මැතිවරණ කාලයේදී දේශපාලනඥයින්ට මෙන්ම මැතිවරණ කොමිෂමට ද මාධ්‍ය අත්‍යවශ්‍ය මෙවලමක් බව පෙන්වා දුන් ආචාර්ය නිමල්කා ප්‍රානන්දු, මාධ්‍ය නියාමනය ද ? පාලනය ද ? යන කරුණ ගැන දැඩි අවධානයක් යොමුකළ යුතු බව පෙන්වා දුන්නාය.
මාධ්‍ය උපමාන හා සම්බන්ධ සාකච්ඡාවක දී රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය අතර වෙනස පැහැදිලි කරගත යුතු බව පෙන්වා දුන් ආචාර්ය නිමල්කා මාධ්‍ය උපමාන තුළ රාජ්‍ය මාධ්‍ය දණ්ඩනයට යටත් වුවත් පෞද්ගලික මාධ්‍යවලට එවැනි අවධානමක් නොමැති බව හෙළි කළාය.
මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කළ ආචාර්ය නිමල්කා ප්‍රාන්නදු, ‘වාරණය සහ ස්වයං වාරණය සම්බන්ධයෙන් අපි පසුගිය කාලය තුළ දීර්ඝව සාකච්ඡා කළා. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඒවා ක්‍රියාත්මක කරන, හිමිකාර සමාගම් යම් නියාමන රෙගුලාසි පනවා ඇතත්, සමාජමාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් පවතින සාක්ෂරතාවය ප්‍රමාණවත් තරමට නැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාවිතයේදී සියලු ම පාර්ශ්වකරුන් අතර යම්කිසි සාකච්ඡාවක් සිදුවිය යුතුයි. එසේම මේ ජනමාධ්‍ය උපමාන උල්ලංඝණය කළහොත් දෙන දඞුවම තමයි රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර තුනක සිර දඞුවමක්. ඇතැම් නීති සම්බන්ධයෙන් තත්ත්වය තව දුරටත් දුර්වලයි. ඒ අනුව මේ නීති සංශෝධනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක තලයට ගෙන ඒම පිණිස මැතිවරණ කොමිෂම සවිබල ගැන්විය යුතු බව අපි නිර්දේශ කර තිබෙනවා.
ආචාර්ය නිමල්කා මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවාය, ‘යම් කිසි පැමිණිල්ලක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සහ යාන්ත්‍රණයක් මැතිවරණ කොමිෂමට නැහැ. එවැනි අවස්ථාවක ඔවුන් නීතිපතිවරයාගේ සහාය ලබාගත යුතුයි. මේ තත්ත්වයට පවතින විසඳුම වන්නේ මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට මැතිවරණ කොමිෂමට බලය ලබාදීම සහ ඔවුන්ව ශක්තිමත් කිරීමයි. අපි මේ ගැන නිර්දේශ ලබාදී තිබෙනවා. මොකද මැතිවරණ කොමිෂම ස්වාධීන වුණාට ඊට අදාළ නෛතික බලතල තිබෙන්නේ නීතිපතිවරයාට. එය වෙනස් විය යුතුයි‘
මෙහිදී ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නේ තමා ද ඇතුළු කණ්ඩායම් පසුගිය කාලය පුරා ඉල්ලා සිටි වැදගත් කරුණක් වත්මන් මැතිවරණ උපමාන තුළ අන්තර්ගත කර ඇති බවයි. ජනමාධ්‍ය උපමාන නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය සඳහා කමිටුවක් පත්කරන ලෙස බොහෝ කාලයක් පුරා පැවැති ඉල්ලීම මේ හරහා ඉටුවී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.
වත්මන් ජනාධිපතිවරණය තුළ ‘ප්‍රධාන අපේක්ෂකයින් සිවුදෙනා‘ ගැන නිර්මාණය වී ඇති සංවාදය සහ ප්රවෘත්ති වාර්තාකරණය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 39 දෙනාටම අවස්ථාව ලබාදිය යුතු වීම (ජනමාධ්‍ය උපමාන අනුව) සම්බන්ධ ගැටලුම මෙම සංවාදයේදී උද්ගත වූ අතර මේ සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව ඉදිරිපත් කළ ප්රශ්නය පිළිතුරු වශයෙන් නාලක ගුණවර්ධන සඳහන් කළේ, ‘ප්රවෘත්ති වාර්තාකරණය තුළ වැදගත් වන්නේ ‘ප්රවෘත්ති වටිනාකම‘ බවයි. ඒ අනුව තේරීමක් කළ යුතුව තිබෙන බව පෙන්වා දුන් නාලක එක් එක් මාධ්‍ය සිය න්‍යාය පත්‍ර අනුව අපේක්ෂකයින් තෝරා ගනු ඇති බවත් නාලක පෙන්වා දුන්නේය.
‘න්‍යායිකව තත්ත්වය මේක වුණාට ප්‍රායෝගිකව මේක කරන්න බැහැ‘ යැයි නාලක ගුණවර්ධන සඳහන් කළේය.
මාධ්‍ය උපමාන තුළ සමාජ මාධ්‍ය අන්තර්ගත කිරීම ගැන සංවාදයේදී නාලක පෙන්වා දුන්නේ ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළ දක්වා නොමැති ‘සමාජ මාධ්‍ය‘ සම්බන්ධ උපමාන නව මාධ්‍ය උපමාන තුළ අන්තර්ගත කිරීම මැකො පියවර ගෙන ඇති බවත් එය අධිකරණමය වශයෙන් අභියෝගයට ලක්විය හැකි කරුණක් බවත්ය.
මේ සම්බන්ධයෙන් නාලක මෙසේ ද පැහැදිලි කළේය, ‘මේක සහයෝගයෙන්, හොඳ හිතින් බේරා ගන්නා තාක්කල් හොඳයි. නමුත් මේ උපමාන දැඩිව ක්‍රියාත්මක කරන්න ගියොත්, අභියෝගයක් එල්ල වුණොත් මේ උපමානවලට පදනමක් නැහැ කියලා හෙළි වෙනවා. ඒ වගේම තමයි 2014න් පසු ඉන්දියාව කියන්නේ තව දුරටත් ප්රජාතන්ත්රවාදී රටක් නොවෙයි. ඊට වඩා සාධනීය උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. අපි ඒ ගැන කතා කරමු“ යැයි ද නාලක ගුණවර්ධණ අවධාරණයෙන් පෙන්වා දුන්නේය.
සටහන – තුෂාල් විතානගේ

