ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා ඇති සූදානම: ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්රවීනයින් කියන්නේ කුමක් ද ?
- Editor
- June 28, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

ජාතික ජනමාධ්‍ය ප්රතිපත්තියක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට මෙරට සමාජ හා දේශපාලන අවශ්‍යතාවක්ව පැවතියේ ය. ඒ අනුව පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් වුණේ ය.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ 2024 අප්‍රේල් මස 03 වැනි දින පළ වූ ප්රවෘත්තියක මෙසේ සඳහන් විය. ‘ගරු ජනාධිපතිතුමා විසින් වරින්වර ඉදිරිපත් කළ යෝජනා හා ඒ අනුව, නිරිමාණය වූ වත්මන් රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා යටතේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ක්ෂේත්රයේ ප්‍රවීණයන්, නීතීඥයන්, විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්තෘ සංසඳයේ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී. මෙම විද්වත් කමිටුව සහ මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් ආවරණයවන පරිදි යොමුගත කණ්ඩායම් (Focus Group) අංශ 07ක් ඔස්සේ ජාතික මාධ්‍ය ප්රතිපත්තියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සිදුවිය… මෙම විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ සියලු පාර්ශ්වකරුවන්ගෙන් ලබා ගන්නා ලද අදහස්/ යෝජනා වඩා විධිමත් සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාධ්‍ය ක්ෂේත්රය තුළ දැනට නිරීක්ෂණයවන පොදු දුර්වලතාවයන් මඟ හරවා ගනිමින් මාධ්‍ය ක්ෂේත්රය නව දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය මේවන විට සාර්ථකව සිදු කරමින් පවතී“.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සම්බන්ධ කතිකාව මේ ආකාරයෙන් ඉදිරියට යද්දී පසුගිය ජූනි 21 වැනිදා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් උද්යෝගිමත් පාර්ශ්ව අතර යළි උන්නදුවක් ඇති කළේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අදාළ ප්‍රවෘත්තිය පළ කරමින් මෙසේ සඳහන් කළේය, “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළේ 2023 වසරේදීයි. දැන් එය අවසන් අදියරට ඇවිත්. මාස 03ක් තුළ එය හදා අවසන් කරනවා’යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (21) ප්‍රකාශ කළේය. මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා රැස්කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සංවිධාන සම්බන්ධ කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව හරහා මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කරන ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. මෙම සාකච්ඡාවේදී වත්මන් කෙටුම්පතේ අවශ්‍ය වෙනස්කම්, ඇතුළත් කළ යුතු නව අදහස්, මෙම ප්‍රතිපත්තිය භාෂා තුනෙන්ම ලබාගත හැකි වීමේ වැදගත්කම සහ ගැටලු විසඳීම පිළිබඳව අපි කතා කළා. මාධ්‍ය සංවිධාන විසින් බෙදා ගන්නා ලද අදහස් සමඟ මෙහෙයුම් කමිටුවේ කාර්යභාරය සහ ඉලක්ක පිළිබඳව අපි සාකච්ඡා කළා“.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 230 වැනි කතිකාව සංවාදය ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යොමු කළේය. ‘ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සඳහා ඇති සූදානම‘ නම් තේමාව යටතේ පැවැති මෙවර කතිකාව විද්වත් සංවාදයට සම්පත්දායකයින් ලෙස, කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය යූ.ඒ.ටී. උදයාංගනී සහ මාධ්‍යවේදී නුවන් ලියනගේ සහභාගී වූහ. මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතට රාජ්‍ය බලපෑම් ආවේ නැහැ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ
සේවා සපයන ක්ෂේත්රවලට අදාළ ජාතික සම්පාදනය කිරීම ලෝකය පුරා පොදුවේ දැකගත හැකි තත්ත්වයකි. මේ ආකාරයෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම තුළින් බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් තිබේ. ඒ අතර අදාළ ක්ෂේත්රය ඉදිරියට ගමන් කළ යුතු ආකාරය, ක්ෂේත්රයේ පැවැත්ම ආරක්ෂා කර ගන්නා ආකාරය සම්බන්ධ ‘සංකල්පීය පසුබිම‘ සකස් කරන්නේ කෙසේද ? යන්න ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම තුළින් අපේක්ෂා කෙරේ.
“ජනමාධ්‍ය කියන්නේ ලෝකයේ කැපී පෙනෙන ක්ෂේත්රයක්. ඒක අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු සියල්ලේම එකතුවක් වාගේ. මේ සියලු ක්ෂේත්රවල මත මහජනයා අතරට ගෙන යන, මහජන මතයට වේදිකාවක් නිර්මාණය කරන, ඔවුන්ගේ සිතුම් – පැතුම්වලට යම් යම් දේවල් එකතු කිරීම, විවිධ අරමුණු වෙනුවෙන් ඔවුන්ව මෙහෙයවන යනා දී ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන කර්මාන්ත ජනමාධ්‍යයි. මෙහිදී ජනමාධ්‍ය කියන්නේ කර්මාන්තයක් ද, සේවාවක් ද, කලාවක් ද ? යනාදී වශයෙන් විවිධ මතවාද තිබුණත් කර්මාන්තයක තිබිය යුතු බොහෝ ලක්ෂණ ජනමාධ්‍ය තුළ අන්තර්ගත නිසා ජනමාධ්‍ය ‘කර්මාන්තයක්‘ ලෙස සැලකිය හැකියි. මෙවැනි කර්මාන්තයක් පවත්වා ගෙන යා යුතු වන්නේ එකී කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්වරුවන් අතර ගැටුමකින් තොරවයි. ඒ සියලු පාර්ශ්වයන්ට ‘තමන්ගේම කොටසක්‘ හිමිවන ආකාරටයි මේක පවත්වා ගෙන යාමට සිදුවන්නේ. මොකද යම්කිසි ආකාරයකින් ගැටුමකින් තොරව මේ කර්මාන්තය පවත්වා ගෙන යා නොහැකි වුවහොත් කර්මාන්තය බිඳ වැටෙනවා. ඒ නිසා තමයි ඒකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ“. වියජානන්ද රූපසිංහ මහතා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් යනු කුමක්ද ? සහ එහි අවශ්‍යතාව කුමක්ද ? යන්න පැහැදිලි කරමින් කතිකාවට ප්‍රවේශයක් ලබා ගත්තේය.
- විවිධ මතවලට ඉඩදිය යුතුයි
ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් තුළ තනි මතයට ඉඩ නොමැති බවත්, විවිධ මතවාදවලට ඉඩ ඇති බවත් පෙන්වා දුන් රෑපසිංහ මහතා ජනමාධ තුළ ද ‘තනි මතයට‘ ඉඩක් ලබාදිය නොහැකි බව පෙන්වා දුන්නේ ය. මෙවැනි බහුත්වවාදී සමාජයක්, මතවාද නියෝජනය කිරීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට ජනමාධ්‍ය හා ජනමාධ්‍යවලට නිදහස හිමිවිය යුතු බව සඳහන් කළ රූපසිංහ මහතා ඒ සඳහා ජනමාධ්‍යවලට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ද පෙන්වා දුන්නේය.
‘විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ගත්විට විද්‍යුත් මාධ්‍ය කියන්නේ සීමිත සම්පතක්. මේ සීමිත සම්පත කිසිවෙකුට අසාධාරණයක් නොවන ආකාරයට සාධාරණය බෙදායි යුතුයි, ඒ සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණය මත පදනම් වන දෙයක්. තාක්ෂණය එක් එක් ආකාරයට මිනිසුන්ව පාලනය කරනවා. ග්‍රහණය කරනවා, සීමා කරනවා. තාක්ෂණයත් සමඟ ජනමාධ්‍ය කර්මාන්තය විවිධාකාර නව ප්රවණතා වැළඳ ගන්නවා. මෙන්න මේ නිසත් අපිට ජනමාධ්‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. සරලව සඳහන් කරන්නේ නම් මම ඉහතින් දක්වන ලද කරුණු වල පොදු එකතුව නිසා රටකට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා“ විජයානන්ද රූපසිංහ තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේය.
- ලංකාවට ඇයි ?
ශ්‍රී ලංකාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම හා සම්බන්ධ මුල්ම ලියවිල්ල 2005-2006 යුගයේ සම්පාදනය වූවකි. 2007 දී මෙම ලියවිල්ල ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය‘ නමින් ප්‍රකාශයට පත් වූ අතර, 2010 දී සහ 2015-16 යහපාලන ආණ්ඩු සමයේ දී මෙකී ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තව දුරටත් යාවත්කාලීන කරන ලදි.
“මේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පසුව මාධ්‍ය ආචාරධර්ම ලෙස සංශෝධනය වුණා. ඊට පසුවත් අවස්ථා කිහිපයකදී කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් වුණා. මේ ආකාරයේ දීර්ඝ ගමනික් පසු යළිත් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අප හමුවේ තිබෙනවා. නමුත් මේක කලින් ඒවට වඩා වෙනස්. ඒකට හේතුව තමයි මීට පෙර කිසිම අවස්ථාවක අදාළ කෙටුම්පත්කරණය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් හෝ අදහස් විමසීමක් සිදු වුණේ නැහැ. ඒ නිසාම මේ සෑම කෙටුම්පතකටම මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන, මාධ්‍යකරුවන් වගේම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඇතුළු බලපෑම්කරුවන්ගෙන් සැලකිය යුතු බලපෑමක් එල්ල වුණා. නමුත් මෙවර ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා පුළුල් ප්‍රජාවක් සම්බන්ධ වී සිටිනවා. පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව තමයි පිටු 20කින් පමණ සමන්විත වත්මන් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම සිදු වුණේ“.
ඔහුට අනුව, විශ්වවිද්‍යා ජනමාධ්‍ය ආචාර්ය මණ්ඩල, ජනමාධ්‍යවේදී සංගම්, අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්, උතුරු පළාත් මාධ්‍යවේදීන්, නැගෙනහිර පළාත් මාධ්‍ය වේදීන් සහ පාසල් මාධ්‍ය සංගම්වල නියෝජිතයින් වත්මන් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම සඳහා දායක වී ඇත.
“මේ සියලු දෙනාම එකතුව වෙලා, කලින් කතා කළ පාර්ශ්වකරුවන්ගේ අදහසුත් අරගන තමයි වත්මන් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කළේ. මේක අවසාන ලියවිල්ලක් නොවේ, මේක කෙටුම්පතක්, ඒ නිසා යළිත් අවශ්‍ය සංශෝධන කළ හැකියි. ජනමාධ්‍ය අමාත්‍යාංශය කළේ මේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් ලබාදීම, ඒ කියන්නේ කණ්ඩායමට රැස්වීමට ස්ථානයක් ලබාදීම පමණයි. මේ සඳහා කිසිම ආකාරයක බලපෑමක් හෝ මැදිහත්වීමකක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සිදු වුණේ නැහැ“ මෙහි දී විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය.
“2023 සිට මේ දක්වා ජනාධිපතිවරු, ජනමාධ්‍ය ඇමැතිවරු මාරු වුණත් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම වෙනුවෙන් පිහිටුවන ලද කමිටුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා. මේ කමිටුවේ සාමාජිකත්වය තව දුරටත් පුළුල් කළ යුතු බවට කමිටු සාමාජිකයින් තුළ අදහසක් තිබෙනවා. ඒ වගේම තමයි මේ ජාතික ජනමාධ්‍ය කෙටුම්පත් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. අවශ්‍ය කෙනෙකුට එය ලබා ගන්න පුළුවන්“.
- මහජන සේවා ජනමාධ්‍ය
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියට සමගාමීම මහජන සේවා ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ද සම්පාදනය වන්නේ දැඩි සරොජ් පතිරණ කළ විමසීමට පිළිතුරු වශයෙන් මහාචාර්ය විජයානන්ද රූපසිංහ කියා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම වෙනුවෙන් රැස් වුණ කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
“රාජ්‍ය මාධ්‍ය පිළිගන්නවාද, නැද්ද ? යන්න සම්බන්ධ ලොකු සාකච්ඡාවක් කමිටුව තුළ ඇති වුණා. ඒක තව දුරටත් සාකච්ඡා විය යුතු දෙයක්. ඒකේ මූලික ප්‍රතිපත්තිය ලෙස පිළිගත්තේ 1996 දී සම්පාදනය කළ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටු වාර්තාව මඟින් ආරම්භ කළ තත්ත්වයයි. එම වාර්තාවේ තිබෙනවා ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ‘ප්‍රතිසංවිධානය‘ කළ යුතුයි කියලා. ඒ පදනම පිළිගන්නා බැවින් අපි තාම හිතනවා ඒ ස්ථාවරය මත සිටිය යුතුයි කියලා. ඒ කියන්නේ ‘රජය මාධ්‍යකරණය තුළ නිරත වීමේ ක්‍රියාවලිය අවම කළ යුතුයි“ අවධාරණය කළ රූපසිංහ මහතා මෙහිදී පෙන්වා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත තුළ ‘එය ඒ ආකාරයෙන්ම ඇතුළත්ව නැතත්, රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් පිළිගත් මුල් නිර්ණායක අදාළ කෙටුම්පත තුළ අන්තර්තව තිබෙන බවයි.
“වෙනත් වචනවලින් කිව්වොත් ලේක්හවුස් ආයතනය රාජ්‍ය මාධ්‍යයක් බවට පත් වුණේ 1973 වර්ෂයේදී, ඒක රජයට පවරා ගැනීමක් ලෙස නොවෙයි අදාළ ප්‍රතිපාදනවල තිබෙන්නේ. ඒක මහාභාරකාරයා යටතට අරගෙන මහජනයාට කොටස් නිකුත් කරන්න කියලා තිබෙන්නේ. නමුත් ඒක කළ යුතු කාලරාමුවක් නැහැ. අවුරුදු 52ක් ගත වුණත් තාම මහජනයාට කොටස් නිකුත් කරලා නැහැ. ලේක් හවුස් ආයතනයේ කොටස්වලින් 80%ක් පමණ මහා භාරකාරයාටත්, තවත් 10-15%ක් පැරණි හිමිකරුවන්ටත්, තවත් 5%ක් පමණ සේවක සමිතිවලටත් බෙදා දීලා තිබෙනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පිළිගත් කාරණය තමයි ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත් මුල් පනතට අනුව කටයුතු කළ යුතු වීම. මේක කිසිසේත් ‘රජයට‘ කියලා කියන්න බැහැ. මහා භාරකාරයා රජය යටතේ කටයුතු කරන නිසා ‘ජනමාධ්‍ය ඇමැතිවරයාට අයිති ආයතනයක්‘ කියලා ආරෝපණය කරගෙන තිබෙනවා. මේක පනතේ තිබෙන අඩුපාඩුවක්“ යැයි කී මහාචාර්ය විජයානන්ද රූපසිංහ ‘එක රැයකින්‘ මෙකී ප්‍රතිසංස්කරණ කළ නොහැකි බව ද පෙන්වා දුන්නේ ය.
“දැනට ඉදිරිපත්ව තිබෙන යෝජනා, විසඳුම් අනුව කටයුතු කිරීම වඩාත් ප්‍රායෝගිකයි කියලා මම හිතනවා. මේක වෙනස් කරන්න ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ. තිබෙන නීතිය ක්‍රියාත්මක වීම ම ප්‍රමාණවත් කියලා මම හිතනයා“ විජයානන්ද රූපසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.
ජාතික ජනමාධ්‍ය ප්රතිපතියෙන් ජනමාධ්‍ය මර්ධනය ඉඩක් නැහැ – ආචාර්ය යූ.ඒ.ටී. උදයාංගනී
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය යනු ප්‍රතිපත්තියක් මිස ‘නීතියක්‘ නොවේ. නීතියක් සහ ප්‍රතිපත්තියක් අතර පැහැදිලි වෙනසක් ඇත. නීතියක් සම්පාදනය කරනුයේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය වන අතර එකී නීතිය උල්ලංඝණය කළහොත් අදාළ නීතියේ දක්වා ඇති දඩුවමකට යටත්විය යුතුය.
“මේ ගැන සාකච්ඡාවක් මේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම තිබුණා. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුල සිටම අනියත බියක් නිර්මාණය කරලා තිබුණා. ඉතාම පැහැදිලිව ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කළේ ස්වාධීන කමිටුවක් විසින්. ජනමාධ්‍ය අමාත්‍යාංශය කළේ ඒකට පහසුකම් සැපයීම පමණයි. මේක ව්‍යවස්ථාදයකය මඟින් සම්මත කළ නීතියක් නොවෙයි. ප්රතිපත්තියක ඇති විශේෂත්වය තමයි ‘නෛතික බැඳීමක් කිසිසේත්ම ජනිත වෙන්නේ නැහැ. නමුත් මේ හරහා මාධ්‍ය නියාමනයට යම්කිසි ඉඩප්රස්ථාවක් සැලසෙනවා. නමුත් එවැනි අවස්ථාවල අදාළ ප්‍රතිපත්තිමය අරමුණුවලට පටහැනි වුණා කියලා, ඊට පරිබාහිරව කටයුතු කළා කියලා දඩුවම් පැනවීමක් හෝ නෛතික බලපෑමක් කරන්න බැහැ. යළිත් පැහැදිලි කළොත්, ඉතාම පැහැදිලිව, ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ නීතියක් නොවෙයි, ප්‍රතිපත්තියක්. නමුත් මේ ප්‍රතිපත්තිය පාදක කරගෙන අනාගතයේ දී (සමහර විට) නීති හදන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාදායක විසින් සිදුකළ යුතු කාර්යයක්“ ආචාර්ය උදයාංගනී ජාතික ප්‍රතිපත්තියක් හා නීතියක් අතර ඇති වෙනස පැහැදිලි කළාය.
- නෛතික වගකීමක් නෑ
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය යටතේ අයිතිවාසිකම් වශයෙන් දක්වා ඇති භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට ජනමාධ්‍ය නිදහස ද ඇතුළත් වන අතර එය පිළිගනිමින් ලබා දුන් නඩු තීන්දු ගණනාවක් ද තිබේ. නමුත් මෙකී මූලික අයිතිවාසිකම ‘අසීමාන්තික අයිතිවාසිකමක්‘ නොවන අතර එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) වගන්තිය තුළ සීමා කිරීම් දක්වා ඇත.
“භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට අදාළ සීමා කිරීම් ඉතාම පැහැදිලි ලෙස 15(2) වගන්තියේ දක්වා තිබෙනවා. ඒ නිසා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ සහ එකී ප්‍රතිපත්තිය තුළ තිබෙන ප්‍රධාන අභියෝගයක් තමයි, මේ නිදහස බුක්ති විඳීම සහ අයථා ලෙස මෙකී නිදහස බුක්ති විඳීම වළක්වාලීම. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළ මේ දෙක තුලනය කිරීමට උත්සාහා ගෙන තිබෙනවා“. ආචාර්ය උදයංගනී තම අදහස තව දුරටත් පැහැදිලි කළාය.
මෙහිදී ඇය යළි පෙන්වා දුන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍ය නිදහස සීමා කිරීම හෝ පාලනය වෙනුවෙන් ගෙන එන්නක් නොවන බවයි.
“මේ හරහා ජනමාධ්‍ය වෙත සිදුවන දේශපාලන බලපෑම් සීමා කරමින් ජනමාධ්‍ය තුළ වගවීම ප්‍රවර්ධනය කරනවා සේම, යම් යම් ප්රමිතීන් නෛතිකව නිර්වචනය කර ගැනීමට ද අවස්ථාවක් ලැබෙනවා. උදාහරණක් ලෙස ‘කර්තෘ ස්වාධීනත්වය‘ දැක්විය හැකියි. කර්තෘ ස්වාධීනත්වය තහවුරු කිරීම මාධ්‍යවේදීන්ට කරන බලපෑමක් නොවෙයි. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හරහා මෙවැනි දේ නිර්වචනය කර ගැනීමට පුළුවන්. හිමිකාරීත්වය, චර්යාධර්ම පද්ධතිය ඇතුළු තවත් වැදගත් හා අදාළ බොහෝ අංශ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හරහා නිර්වචනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා“ යැයි ආචාර්ය උදයංගනී පෙන්වා දුන්නාය.
- ජනමාධ්‍ය යනු වෘත්තියක්
මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ ජනමාධ්‍ය කර්මාන්තයකට වඩා ‘වෘත්තියක්‘ ලෙස සැලකිය හැකි බවයි.
“ජනමාධ්‍ය කියන්නේ වෘත්තියක් නම් එහි නිරතව සිටින පුද්ගලයින්ට විධිමත් වෘත්තීයභාවයක්, ආරක්ෂවක්, චර්යාධර්ම පද්ධතියක් තිබිය යුතුයි. මේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළ ජනමාධ්‍ය වෘත්තිකයින්ව අමතක කරලා නැහැ. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මූලධර්ම හා ක්‍රියාමාර්ග අන්තර්ගත කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ නෛතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා“ යැයි කී ආචාර්ය උදයංගනී මෙහිදී හෙළි කළේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි කිරීමට ‘ස්වාධීන කොමිෂන් සභාවක්‘ ස්ථාපිත කිරීම දක්වා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළින් ගමන් කළ හැකි බවයි.
“මේක පදනමක් පමණයි, මේක නීතියක් නොවෙයි, මේක ප්‍රතිපත්තියක්. නමුත් මේක පාදක කරගෙන අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාවය ද එයයි“
මෙහිදී ඇය පෙන්වා දුන්නේ මෙහි සඳහන් කරන බොහෝ කරුණු ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම බොහෝ අපහසු බවයි.
“සමහර විට වෙනම විශේෂ නීති අවශ්‍ය වෙන්න පුළුවන්. මේ සඳහා යන ගමනේ මූලික පියවර තමයි ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය. එනිසා ගෞරවාන්විත මාධ්‍ය වෘත්තියක් ස්ථාපිත කිරීමට මෙහි ඇති ප්‍රතිපාදන ඉතාම වැදගත්. ඒක පදනමක් ලෙස ගෙන අපට ඉදිරියේ දී නීති සම්පාදනය කිරීමට අවස්ථාව ලබාගත හැකියි“
වත්මන් ජනමාධ්‍ය තාක්ෂණයේ පුළුල් භාවිතය සමඟ ඩිජිටල් මාධ්‍ය නියාමනය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ආචාර්ය උදයංගනී සියලුම මාධ්‍යවේදීන් මෙම කාරණයට එකඟ වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසුවාය.
“වත්මන් පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන වෙලා නැහැ. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය ආදි නීති මඟින් කටයුතු කිරීමට අවස්ථාව තිබුණත් ජනමාධ්‍ය තුළ ‘සුවිශේෂ නීති“ පද්ධතියක් අපට නැහැ. එසේම ජනමාධ්‍ය හා නව මාධ්‍ය, සමාජමාධ්‍ය හරහා සිදුවන බොහෝ දේ (ඍණාත්මක) නියාමනය කිරීම අත්‍යවශ්‍යයි. මෙ සඳහා අවශ්‍ය මූලික නියාමන ප්‍රතිපත්තිය නිර්මාණය වන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළින්. ඒ ප්‍රතිපත්තිය තුළ යම්කිසි මූලධර්ම සහ වටිනාකම් සමුදායක් හඳුනා ගෙන තිබෙනවා, ඒ මෙහි නෛතික ක්‍රියාකාරීත්වය හා වටිනාකම් සම්බන්ධයෙනුයි. ඒ අනුව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තවත් නීති හා ප්‍රතිපත්ති සමඟ සම්බන්ධ වෙනවා.
- මාධ්‍යයට අදාළ නීති නැහැ
මෙහිදී ආචාර්ය උදයංගනී පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුවත්පත් මණ්ඩල පනත වැනි නීති කිහිපයක් හැර ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ, ආවේනික නීති පද්ධතියක් නොමැති බවයි. ලංකාවේ මෙවැනි නීති පද්ධතියක් හෝ යාන්ත්‍රණයක් නොමැති වුව ද ජාත්‍යන්තර තලයේදී මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ‘සුවිශාල බැඳීමක්‘ ඇති බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
“අපි බොහෝ ජාත්‍යන්තර නීතිවලට අත්සන් තබා ඇති රටක්. ඒ නිසා එකී ජාත්‍යන්තර නීති දේශීයව ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබෙනවා. විශේෂයෙන් අයි.සී.සී.පී.ආර් වැනි නීති. මෙහි 19(2) වගන්තිය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරනවා වගේම ඒ නිදහස සීමා වන්නේ කෙසේද ? කියාත් සඳහන් කරනවා. ඒ අනුව අසීමාන්තික නිදහසක් නැහැ, තිබිය නොහැකියි, ඒ වගේම මාධ්යවේන්ට හිමි නිදහස සීමා කරන්නත් බැහැ. ඒ නිසා මේ දෙක අතර තුලනයක් තිබිය යුතුයි. මෙකී තුලනය ලබා දෙන රාමුව තමයි ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත වෙන්නේ. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හරිම අභියෝගාත්මක වන්නේ මේ නිසයි. ඒ අභියෝගය තමයි‘ සමබර කිරීම‘.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස මුහුණ දෙන අභියෝග සහ බාධාවන් ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්ව ඇති බව පෙන්වා දුන් ආචාර්ය උදයංගනී, මෙරට තුළ මාධ්‍ය නිදහස තහවුරු කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ද ඉල්ලීම් හා බලපෑම් සිදු වුණ බව සිහිපත් කළාය. ඇය මෙහිදී පෙන්වා දුන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මේ ඉල්ලීම්වලට ද ධනාත්මක ප්‍රතිචාර දැක්වීමක් ලෙස සැලකිය හැකි බවයි.
“අපට පවතින නීතිමය රාමුව නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගන්න, ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළින් ඉතාම හොඳ පසුබිමක් සකස් කර දෙනවා. එනිසා මෙය පදනමක් ලෙස සැලකිය යුතුයි. මේ පදනම මත පදනම් වෙලා තව දුර ගමනක් යන්න පුළුවන් කියන එක මේ තුළ මම දකින අවශ්‍යතාව හා වැදගත්කමයි“ ආචාර්ය උදයංගනී ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළාය.
මෙහිදී සරෝජ් පතිරණ, ජනමාධ්‍යවලට පමණක් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය කුමන පදනමක් මතද ? යනුවෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් ආචාර්ය උදයංගනී පෙන්වා දුන්නේ සෞඛ්‍යයට ද ජාතික ප්‍රතිපත්තියක් තිබෙන බවයි. ජනමාධ්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම දශක දෙකකටත් වඩා පැරණි, උඩ යමින්, යට යමින් පැමිණි යෝජනාවක් බව යළි සිහිපත් කළ ආචාර්ය උදයංගනී, මෙම ප්‍රතිපත්තිය ගෙන එන්නේ ජනමාධ්‍යවේදීන් පමණක් ඉලක්ක කරගෙන නොවන බව ද, ඔවුන් එක පාර්ශ්වයක් පමණක් බව ද පෙන්වා දුන්නාය.
“මේක පොදු ජනතාවත් සමඟත් පුළුල් ලෙස සම්බන්ධ වෙනවා. මේක අභියෝගාත්මක වන්නේ ම මේ නිසයි. ඒ වගේම අපි භූමියේ යථාර්ථයත් පිළිගත යුතුයි. වාණිජ මාධ්‍යවල පැවැත්මත් මේ තුළ අනිවාර්යයෙන් ආමන්ත්‍රණය කළ යුතුමයි. ඕනෑම රටක මාධ්‍ය ප්‍රතිපත්තිය තුළ ‘සාධාරණ තරඟය‘ කියන එක පිළිගන්නවා. මේ හරහා ජනමාධ්‍යවේදීන්ට වඩා ඍජු බලපෑම එල්ල වෙන්නේ මහජනතාවට. දුෂ් ප්රවෘත්ති, සාචද්ය ප්රවත්තී, අපහාසාත්මක ප්රවෘත්ති ආදි ඍණාත්මක මාධ්‍ය භාවිතාවන් හරහා ඍජු බලපෑම එල්ල වෙන්නේ සාමාන්‍ය ජනතාවට. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට, මේ ගැටෙන අයිතිවාසිකම් දෙකම සුරක්ෂිත කිරීම ඉතාම අභියෝගාත්මක කාර්යයක්. මේ දෙක අතර තිබෙන්නේ ඉතාම සියුම් පරතරයක්.“
ශ්‍රී ලංකාවේ සම්මත කළ හෝ ලංකාව අත්සන් තැබූ බොහෝ ජාත්‍යන්තර සම්මුතිවලදී, අයි.සී.සී.පී.ආර් සිදු වූ ආකාරයට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ද ‘අවභාවිත‘ වීමට හැකියාවක් තිබේද ? යන්න සරෝජ්ත් ප්‍රශ්න කළේය. මෙයට පිළිතුරු දෙමින් ආචාර්ය උදයංගනී සඳහන් කළේ ‘එම අදහස සමඟ තමා ද එකඟ‘ වන බවයි.
ලංකාවට ජාතික ජනමාධ්‍ය ප්රතිපතියයක් අවශ්‍යයි – මාධ්‍යවේදී නුවන් ලියනගේ
මාධ්‍ය කර්මාන්තය යනු වෘත්තිකයින් විසින් සිදුකළ යුතු කර්මාන්තයක් වන අතර එය වෘත්තීමය භාවයකින් කළ යුතු කර්මාන්තයකි. මෙය මූලික වශයෙන් වාණිජ පරමාර්ථ සමඟ බද්ධව පවතින බව ද පිළිගත යුතුය.
“මගේ පුද්ගලික අදහස, මම පුනපුනා කියන්නේ මේක වෘත්තිකයෝ විසින් සිදුකළ යුතු කර්මාන්තයක්. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ගුවන් විදුලි මාධ්‍ය නියෝජිතයෝ සහභාගී වුණා, අපි නම් කළ නියෝජිතයෝ සම්බන්ධ වුණා. ඒ වගේම රටට ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අපි නිල වශයෙන් පිළිගෙන තිබෙනවා“ නුවන් ලියනගේ සඳහන් කළේය.
සටහන – තුෂාල් විතානගේ

