දියවන්නා ඔයේ කුණු රොඩු ඉවත් කිරීමෙන් පමණක් ‘පාර්ලිමේන්තුව‘ ශුද්ධ කරගත නොහැකිය
- Editor
- March 3, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
සුනිල් ජයසේකර
රට පිරිසිදු කල යුතු බවත් ඒ සඳහා මුළු මහත් ජාතියම පෙරට ආ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේ මේ වසරේ පළමු රාජකාරිය එය ලෙස සලකමිනි. එය වැදගත් ඉල්ලීමකි. මැතිවරණයට පෙර ද ඔහු ජනතාවගෙන් එවැනිම තවත් ඉල්ලීමක් කරන ලදී. ඒ මේ රටේ පාර්ලිමේන්තුව සුද්ද කර දෙන ලෙසටය. ජනතාව එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගය අපේක්ෂා කළ මට්ටමකටත් වඩා වැඩි බලයක් ඔවුන්ට ලබා දෙමිනි. ඒ අනුව සැලකීමේදී පාර්ලිමේන්තුවට අදාළව ජනතාව තම වගකීම හැකි උපරිමයෙන් ඉටු කර හමාර ය.
ඒ අනුව දැන් ඉතිරි කටයුතු සිදු කල යුත්තේ ආණ්ඩුව ය. ඒ සඳහා නායකත්වය දිය යුත්තේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ය. ඒ සඳහා ඔහුට ශුද්ධ වූ අයිතියක් ඇතිවාක් මෙන්ම ඉහළම බලය ද තිබේ. එහිදී නව ආණ්ඩුව බලයට පත්කළ රටේ මහජනතාව පමණක් නොව ජනතා වරමින් බලයට පැමිණි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ද තේරුම් ගත යුතුව ඇති වැදගත්ම කරුණක් තිබේ. එනම් අලුත් පාර්ලිමේන්තුව තුළ නවක මුහුණු බහුල වූ පමණින් පාර්ලිමේන්තුව සුද්ද නොවන බවය. අතීතයෙහි පාර්ලිමේන්තුව කිළිටි කළ, අපිරිසිදු චරිත වෙත ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගන්නා තුරු පාර්ලිමේන්තුවේ ගරුත්වය තහවුරු කරගත නොහැකි වනු ඇත. නවක මන්ත්‍රීවරුන්ගෙන් බහුල පාර්ලිමේන්තුවක ආරම්භක කාලසීමාව තුළ ප්‍රදර්ශනය වන විනය ගරුක බව කාලයත් සමග ඒ ආකාරයටම අපේක්ෂා කල නොහැකිය. ඒ බව අප රටේ අතීත පාර්ලිමේන්තු අත්දැකීම් තුළ මැනවින් පැහැදිළි වේ. ඒ කෙසේ වෙතත් මෙයට මාස දෙකකට පමණ පෙර අප තෝරා පත්කර ගත්තේ සදාකාලික මන්ත්‍රීවරුන් පිරිසක් ද නොවන නිසා අනාගතයේ කිසියම් දවසක හෝ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානිකර විය හැකි කිසිවක් සිදු නොවන බවට අද දවසේ කිසිවෙකුට හෝ සහතිකයක් දිය නොහැකි ය. එසේ නම් කල යුතු ක්‍රියාමාර්ග දෙකක් ගැන රටක් ලෙස අප අවධානය යොමු කල යුතුව ඇත.
ඉන් පළමුවන ක්‍රියාමාර්ගය විය යුතුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත හෝ විනයානුකූලව හැසිරෙන්නේ නැති නම් අනාගතයේ දී එවන් තත්වයන් ඇති නොවීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි වන ආකාරයට පාර්ලිමේන්තුව තමන් විසින්ම නීති සම්මත කර ගැනීම ය. එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවීම සඳහා වන උත්සාහයක් ගැන 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී අසන්නට ලැබිණ. එහිදී කියවුණේ ඒ සඳහා විශේෂ පනතකට යොමුවීමේ ක්‍රියාමාර්ගයකට ආණ්ඩුවේ ඇති සූදානමක් ගැන ය. පාර්ලිමේන්තුවේ විනය හා ගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සකස් කරගෙන ඇති නීති පිළිබඳව අවධානයට ගනිමින් එම කෙටුම් පත සකස් කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. එයට සිදු වූ දෙය පැහැදිළි නැතත් එවැනි නීතියක් රටට අවශ්‍ය වී ඇති බව සිය පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පවරා දෙන මහජනතාව පොදුවේ විශ්වාස කරන දෙයකි.
ඒ සමගම පාර්ලිමේන්තුව සැබෑ ලෙසම ශුද්ධ කිරීමට වත්මන් ආණ්ඩුවට සැබෑ උවමනාවක් ඇත්නම් ඒ සඳහා ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් ද තිබේ. ඒ සඳහා පසුගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව තුළදීම අපහාස කළ, තමන් තෝරා පත්කර එවන ලද ජනතාවට ද නින්දා සහගත ලෙස ක්‍රියා කළ සියළුම මැති ඇමතිවරුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කිරීම ය. එහිදී මෑත ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවේ ගරුත්වයට බරපතළ ලෙස හානි කරමින් පමණක් නොව රටේ මහජන දේපොළවලට අලාභ හානි සිදු කළ බවට පැහැදිළි සාක්ෂි සහිත මන්ත්‍රීවරුන් ගණනාවක්ම සිටින බව ඉතා පැහැදිළිය.
මෑත ඉතිහාසයට අදාළව සැලකීමේදි එවැනි මන්ත්‍රීවරුන් ගැන පැහැදිළි තොරතුරු ඉදිරිපත් වන්නේ 2018 වසරේ දී එවකට සිටි ජනාධිපතිවරයා විසින් දුන් අනීතික නියෝග ප්‍රකාරව එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී තත්ත්වය තුළ ය. එම වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දින තුන අතර කාලයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම් බොහෝ පාර්ශ්ව හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සිය ඉතිහාසයේ ඇති කළ දැවැන්තම කළු පැල්ලම ලෙසට ය.


මෑත ඉතිහාසයට අදාළව සැලකීමේදි එවැනි මන්ත්‍රීවරුන් ගැන පැහැදිළි තොරතුරු ඉදිරිපත් වන්නේ 2018 වසරේ දී එවකට සිටි ජනාධිපතිවරයා විසින් දුන් අනීතික නියෝග ප්‍රකාරව එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී තත්ත්වය තුළ ය. එම වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දින තුන අතර කාලයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම් බොහෝ පාර්ශ්ව හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සිය ඉතිහාසයේ ඇති කළ දැවැන්තම කළු පැල්ලම ලෙසට ය. එහිදී පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත්ව පොලිස් නිළධාරීන් ගණනාවකට තුවාල සිදු විය. එයට අමතරව එවකට කතානායකව සිටි කරු ජයසූරිය මහතාට පහර දීමට ගනු ලැබූ උත්සාහයන් සහ විවිධ හිංසාකිරීම් , පාර්ලිමේන්තුවේ දේපළ විනාශ කිරීම් වැනි සිදුවීම් ගණනාවක්ම ඒ අතර වූ අතර එයට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් එසේ කර ඇත්තේ ඉතාමත්ම සංවිධානාත්මක ලෙස හා චේතනාන්විතවම වන බවට ද පැහැදිළි සාක්ෂි ඉදිරිපත්ව තිබේ.
එම සාක්ෂි තහවුරු කරගෙන ඇත්තේ එකී කාලය තුළ පාර්ලිමේන්තුව තුළ ඇති වූ තත්වයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එවක කතානායක කරු ජයසූරිය මහතා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවක් විසිනි, එකී කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ එවකට නියෝජ්‍ය කතානායක ධුරය දැරූ ආනන්ද කුමාරසිරි මහතා විසිනි. එකී විමර්ශන කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ රංජිත් මද්දුමබණ්ඩාර,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චමල් රාජපක්ෂ සහ චන්ද්‍රසිරි ගජධීර සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක හා දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරු කමිටුවේ කටයුතුවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලද හෙයින් පත් කරන ලද අනෙකුත් කමිටු සාමාජිකයන් විසින් අදාළ විමර්ශණය විධිමත් ලෙස ලෙස සිදුකර තිබේ. ඔවුන් පාර්ලිමේන්තුවේ සභා ගැබ තුළ සවිකර තිබූ කැමරාවලින් සහ එකී සිදුවීම් වාර්තා කළ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ලබාගත් සංස්කරණය නොකළ දර්ශන නරඹා සිය වාර්තාව කතානායකවරයා වෙත භාර දී තිබුණි.
එකී පරීක්ෂණ වාර්තාවට අනුව පාර්ලිමේන්තු(බලතල හා වරප්‍රසාද) පනතේ වගන්තිවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කර තිබිණ. එසේ නම් සඳහන් මන්ත්‍රීවරුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙන්කුගේ ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 04 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද විය. එකී සමස්ත මන්ත්‍රීවරුන් අතරින් විවිධ චෝදනා යටතේ වැඩිම වාරයක් සටහන්ව ඇති නම වන්නේ එක්සත් ජනතා නිදහස් පෙරමුණ නියෝජනය කළ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ නම ය. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රමාණය 12 කි. ඔහුට අමතරව වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ලවී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.
එහිදී චෝදනා එල්ල වී ඇති අනෙකුත් මන්ත්‍රීවරුන් හා ඒ ඒ චෝදනාවන්හි ස්වභාවය තේරුම් ගැනීම වැදගත් ය. ඒ අනුව කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම දිළුම් අමුණුගමගේ සහ ආනන්ද අලුත්ගමගේ. කතානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමාගැසීම, පොතකින් ගැසීම ඉන්දික අනුරුද්ධ. කතානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම මහින්දානන්ද අලුත්ගමගේ. කතානායකවරයාගේ අසුනට ජලය වක්කිරීම ප්‍රසන්න රණවීර. පිහියක් වැනි යමක් අතදැරීම පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක.


එම චෝදනා එල්ල කර ඇත්තේ 2018 ඔක්තෝබර් 15වැනි දිනයේ සිදුකර ඇති වරදවල් ලෙසටය.
ඔක්තෝබර් 16 වැනි දිනයේ සිදුකර ඇති වරදවල් හා ඒවාට වගකිව යුතු මන්ත්‍රීවරුන් ලෙස දක්වා ඇත්තේ, කතානායක පුටුවේ අසුන් ගැනීම අරුන්දික ප්‍රනාන්දු. කතානායකවරයාගේ මේසය මත තිබූ මයික්රෆෝනයට හානිකිරීම, පොලිස් නිළධාරීන්ට පුටුවකින් පහර දීම, පොත්වලින් පහරදීම ජොන්ස්ටන් ප්‍රනාන්දු. පොලිස් නිළධාරීන්ට පහර දීම හා ඔවුන්ට යම් දියර වර්ගයකින් පහර දීම ප්‍රසනන රණවීර. පොලිස් නිළධාරීන්ට තර්ජනය කිරීම නිරෝෂන් ප්‍රේමරත්න. සෙංකෝලය තබන මේසය පෙරළා දැමීම නිශාන්ත මුතුහෙට්ටිගම හා රන්ජිත් සොයිසා. තමන්ගේ සපත්තුවෙන් යමක් ගෙන වතුර කෝප්පයක් තුළ වතුර සමග මිශ්‍ර කිරීම හා පසුව (ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ විජිත හේරත් දෙසට) එයින් දමා ගැසීම,පද්ම උදයශාන්ත.
ඉහත දක්වා ඇත්තේ ඒ අතර අන්තර්ගත සිදුවීම් කිහිපයකි. එයට අමතරව එකී කාලය තුළ පාර්ලිමේන්තුවේ දේපොළවලට සිදුව ඇති හානිය බදු නොමැතිව රුපියල් 325,000 ක් පමණ වෙතැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිගමනය කර ඇතැයි ද අදාළ කමිටුව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.
දැන් මතුවන ප්රශ්නය වන්නේ වගකීමක් සහිත පාර්ලිමේන්තු කමිටුවක් විසින් තම වාර්තාවක් මගින් ලබදී ඇති තොරතුරු අනුව පාර්ලිමේන්තුව තුළ සාපරාධී ක්‍රියා සිදු කර ඇති පිරිසකට ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද යන්නය. ඒ ගැන මෙම ලියුම්කරු එම කාලය තුළ කතානායක ධුරය හෙබ වූ කරු ජයසූරිය මහතාගෙන් විමසා සිටි අවස්ථාවක දී ඔහු ප්‍රකාශ කළේ කතානායකවරයා ලෙස තමන් තම වගකීම ඉටුකරමින් පාර්ලිමේන්තුවේ ගරුත්වයට මෙන් ම රාජ්‍ය දේපොළවට සිදුවී ඇති හානිය ප්‍රතිපූරණය සඳහා අවශ්‍ය කටයුතු නොවලහා සිදු කළ බව ය . ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද වෙනම ම විමර්ශණයක් සිදු කර ඇති අතර එහි අවසන් පියවර ලෙස නියමිතව තිබී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකරමින් නඩු පැවරීම ය.
එය ඉටු නොවී ඇති ආකාරය ද ඉතාමත්ම ජුගුප්සාජනක ය. ඉතාමත්ම විශ්වාසදායක ආරංචි මාර්ගයන්ට අනුව එය වැළකී ඇත්තේ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිකරගත් එකගතාවයක් හේතුවෙනි. ඒ අනුව එකී පාර්ලිමේතුවේ ඉතිරි කාලය තුළ යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගන්නා බවට සඳහන් කරමින් චෝදනා ලත් කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවදුරටත් ක්‍රියා කිරීමට අදහස් නොකරන බව ඔවුන් විසින් කතානායකවරයා දැනුවත් කර ඇත. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකයා එවැනි ස්ථාවරයක් ගන්නා පසුබිමක කතානායකවරයාට කළ හැකි දෙයක් තිබිය නොහැකි ය.
එහෙත් මෙහිදී රටක් ලෙස ප්‍රශ්න කල යුතු කරුණු දෙකක් තිබේ. පළමුවන කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සිදුවන ඕනැම ක්‍රියාවකට හෝ ප්‍රකාශයකට අදාළව මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රී කණ්ඩායමකට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මගින් රැකවරණයක් ලැබෙන්නේද යන්නය. පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ හරය වන්නේ පාර්ලිමේන්තුවේ භාෂණය, විවාද කිරීමේ කටයුතු ද ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස පමණකි. එමගින් අපරාධ ක්‍රියාවලට මුක්තියක් නොතිබිය යුතු ය. තිබිය නොහැකිය.
ප්‍රශ්න කළ යුතු දෙවැනි කාරණය වන්නේ මේ ආකාරයේ සාපරාධී වරද ගණයට අයත්වන ක්‍රියාකාරකම්වලට අදාළ පූර්වාදර්ශ අභියෝගයට ලක් කරන හා ඒවාට දණ්ඩ මුක්තිය ලබා ගෙන ඇති පිරිසකට කුමන හෝ ත්ත්වයන් තුළ නැවත පාර්ලිමේන්තුවට ඒමට අවකාශ සලසා තබමින් පාර්ලිමේන්තුව සුද්ද කළා යයි කිව හැක්කේ කාට ද යන්නය.
ඒ අනුව පාර්ලිමේන්තුව යම් දවසක සැබෑ ලෙසම සුද්ද කළා වන්නේ පාර්ලිමේන්තුවේ ගරුත්වය හා අභිමානය කෙලෙසමින් සාපරාධි ක්‍රියාවන්හි නිරත වූ මෙකී පිරිසට දඩුවම් ලබා දුන් දවසට ය. ඒ තුළ වත්මන් පාලනයෙහි වගකීම වන්නේ පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත ප්‍රකාරව යමින් පෙර සිදු කළ විමර්ශන කමිටුවේ නිර්දේශ මත කටයුතු කිරීමය. පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් ලබාදෙන නිර්දේශ අනුව යමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් පැමිණවිය හැකිය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට පවා, සහ අතීතයට ද බලපාන්නා වූ නීති සම්පාදනය ද කරගත හැකි ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තිය ප්‍රකාරව) බලයක් සහිත පාර්ලිමේන්තුවට එය කළ හැකිය. විශේෂයෙන්ම තුනෙන් දෙකක අති මහත් බහුතර බලයක් ලබා දී ඇති ආණ්ඩුවක් සහිත වර්තමාන පාර්ලිමේන්තුවට එය නිසැකවම කළ හැකි ය. අනාගතයේ හෝ පාර්ලිමේන්තුව ශුද්ධ වනු ඇත්තේ එවිට ය. එසේ නොමැතිව දියවන්නා ඔයේ පාවෙන පාසි හා කුණු රොඩු ඉවත් කිරීමට ශ්‍රමදාන සංවිධානය කිරීමෙන් පමණක් පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කර ගත නොහැකි වනු ඇත.

