නත්තල කියන්නේ ලෝක වාසීන්ගේ ආගමික උත්සවයක් මිස දේශපාලන හෝ සංස්කෘතික උත්සවයක් නොවෙයි – ඉදල්ගස්හින්න මීසම් සේවක සමීර පෙරේරා පියතුමා

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘රංගිරි‘ ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ‘සුභාවිත‘ සජීවී සංවාද මාලාවේ මෙවර සංවාදය වෙන් වූයේ නත්තල් උත්සවය වෙනුවෙනි. නත්තල වෙනුවෙන් ම වෙන් වූ මෙම විශේෂ සංවාදය සඳහා  ඉදල්ගස්හින්න මීසම්සේ වක සමීර පෙරේරා ගෞරවණීය පියතුමාණන් සහභාගී වූහ. ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි! ශුද්ධවර ලූක් සුභාරංචියේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන සඳහන් කරද් දී ලූක් සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ 10 වන වගන්තියේ අපට අසන්නට ලැබෙනවා, එවතට බලාපොරොත්තු නැති ව ඒ මහා සීතලේ මධ්‍යම රාත්‍රියේ හරියට ඉන්න හිටින්න තැනක් නැති ව හිටපු ඒ එඩේරුන්ට ස්වර්ග දූතයින් දර්ශනය වෙලා තියෙනවා. ‘බිය නොවන්න ! මෙන්න සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. ‘සකල ජනයා හට ආනන්දජනක මංගල පුවතක්‘ කියන මේ වචනය මේ ප්‍රකාශය, අපට ඒත්තු ගන්වනවා ස්වාමීන් වහන්සේගේ ඉපදීම එක ජනතාවකට, එක කුලයකට, එක භාෂාවකට, එක වංශයකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියලා. උන් වහන්සේගේ ඉපදීම සකල ජනතාවට ම, සකල ලෝකවාසී සියල්ලට ම ආනන්දජනක මංගල පුවතක්. බොහෝ දෙනෙකුට නැත්තම් සමස්තයට එක සේ සතුටු වෙන්නට පුළුවන් කාරණාවක්. මේ සතුට ගොඩනැගෙන්නේ, මේ සතුට බිහි වෙන්නේ පරිත්‍යාගය හේතු කොට ගෙන.

ශුද්ධ බයිබලයේ ජෙසායා ජේසුවරියගේ පොතේ පැහැදිලි ව සඳහන් කරනවා 50 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ දුක්විඳින සේවකයෙක් ගැන. ඒ කතන්දරයේ කියනවා උන් වහන්සේ උසුලා ගත්තේ අපේ පාපය යි. උන් වහන්සේ දරා ගත්තේ අපේ වේදනාව යි. මේ අපේ පාපය, අපේ බර, අපේ වේදනාව උසුලා ගෙන දරා ගෙන තමන්ව පරිත්‍යාග කළේ තමන්ගේ යහපත, තමන්ගේ සතුට, තමන්ගේ දේවත්වය නැත්තම් තමන්ව ම පරිත්‍යාග කළේ බොහෝ දෙනාගේ මිදීම උදෙසා යි. එහෙම නම් මේ නත්තලේ බෙදා ගැනීම කියලා කියන කතන්දරේ දී අපි නිරන්තරයෙන් සිහිපත් කළ යුතු වෙනවා. මගේ පරිත්‍යාගය තුළ තව කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් ද? මගේ පරිත්‍යාගය තුළ, මගේ දරා ගැනීම තුළ, මගේ කැපවීම තුළ තව කෙනෙකුට සතුටක් ගෙන දෙන්න පුළුවන් ද? මිදීමක් ගෙන දෙන්න පුළුවන් ද? තව කෙනෙකුගේ ජීවිතයට සාමයක්, සැනසීමක් ළඟා කර දෙන්නට පුළුවන් ද? මෙන්න මේ කාරණාවල් අපි හිතන්නට ඕන. නත්තල හා බැදිච්ච අපි බොහෝ දෙනෙක් දන්න, කතා කරන චරිතයක් තමයි නත්තල් සීයා. මේ නත්තල් සීයා කියන චරිතය ගොඩනැගෙන්නේ බෙදා ගැනීම හේතු කොට ගෙනයි. ශාන්ත නිකොලස් කියන පියතුමා, මේක ප්‍රබන්ධයක් නෙවෙයි. ඉතිහාස කතාවක්, යථාර්ථවාදී කතාවක්. මෙතුමා තමන් සතු දේවල්, තමන් සතු දේපළ, වස්තුව බොහෝ දෙනෙකුගේ සතුට වෙනුවෙන්, යහපත වෙනුවෙන් පරිත්‍යාග කළා. විශේෂයෙන් දුප්පතුන්ගේ හා කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ධනය පරිත්‍යාග කරපු පුද්ගලයෙක්.

දෙවියන් වහන්සේ මුලින් ම පාපෙට වැටිච්ච අවස්ථාවේ ජනතාවට පොරොන්දු වුණාට, මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ මොහොත වෙනකල් මේ ජනතාව ඒ ගැන බලාපොරොත්තුවෙන් හිටියා කියලා කිව්වට ඒ හැමෝම යහපත් ලෙස ඊට සූදානම් වෙච්ච මිනිස්සු නෙවෙයි. නැවත වැටීම්, නැවත නැවත වැට්ටවීම්, භේදභින්න වීම්, යුධ කෝලාහල, අසමගිය, මිනීමැරුම් ලෝකයේ අප දකින සෑම ආකාරයේම විනාශයන්, ව්‍යාකූලතාවයන් එක්ක මේ මිනිස්සු ජීවත් වුණා මේ කාල පරාසය තුළ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව උපත ලබන කොට උන් වහන්සේ ජනතාවගේ ඊයේ දවස, පෙරේදා දවස මේවා ගැන මෙනෙහි කර කර හිටියේ නැහැ. ශුද්ධ වූ බයිබලයේ අපිට අසන්නට ලැබෙනවා ලස්සන කියමනක්. ” ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාපය ගණන් ගන්නා සේක් නම්, කාහට ගැලවිය හැකි ද? ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පාපය ගණන් ගන්නා සේක් නම්, කාහට ගැලවිය හැකි ද?”

ඒ වචනය තුළ ම ගැබ් වෙනවා, අන්තර්ගත වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා උන් වහන්සේ ලෝකයට ගැලවීම ගෙන දෙන කොට, ලෝකය නිදහස් කරන කොට, ලෝකය මුදව ගන්න කොට, ඒ ලෝකයේ පාපය ගැන ගණන් කර කර ඉන්නේ නැහැ. මිනිසුන්ගේ දුර්වලකම ගැන උන් වහන්සේ ගණන් කර කර ඉන්නේ නැහැ. උන් වහන්සේට අවශ්‍ය වන්නේ ජනතාව මුදා ගැනීමයි. එහෙම නම් මේ නත්තලත් එක්ක අපි අපේ රටේ, අපේ සමාජයේ අපි හැරිලා බලන කොට අපි හිතන්නට ඕන කාරණාව, අපි මෙනෙහි කරන්න ඕන කාරණාව වෙන මොනවත් නෙවෙයි. අපි කරන දේවල් වල දී අපේ අරමුණ තුළ තියෙනවා ද මිනිසුන්ට ජීවිතය වෙනස් කර ගෙන ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කිරීමේ ආකල්පයක්, අරමුණක්. එහෙම නැත්තම් අපි සතුට, සාමය, සැනසීම ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා ගෙනත් දුන්නට සමස්ත ප්‍රජාවට අපි මේ සාමය, සතුට, සැනසීම දකින්නේ මගේ ජාතිය, මගේ ආගම, මගේ පක්ෂය, මගේ කුලය, මගේ භාෂාව වැනි පටු බැඳීම් තුළ පමණක් ද? නමුත් නත්තල කියන්නේ නැවතත් මතක් කරනවා සකල ජනයා හට ආනන්දජනක මංගල පුවතක්.

නත්තල ආගමික උත්සවයක්. මේක සංස්කෘතික උත්සවයක් නෙවෙයි. දේශපාලනමය උත්සවයක් නෙවෙයි. මේක ජාතික උත්සවයක් නෙවෙයි. මේක ආගමික උත්සවයක්, විශ්වීය උත්සවයක්. ලෝක වාසීන්ගේ උත්සවයක්. මේ ලෝකවාසී ජනතාව එදත් අදත් කවදත් සියලු සතුටින්, සියලු සැප සම්පත් වලින් පිරිලා යහපත් කල් ක්‍රියාව තුළ ජීවත් වෙච්ච ප්‍රජාවක් නෙවෙයි. හැල හැප්පීම් එක්ක, වැටීම් නැගිටීම් එක්ක ජීවත් වෙච්ච ජනතාවක්. වෙනස් වෙමින්, අලුත් වෙමින්, විවිධ දේවල් අත්හදා බලමින් ඉදිරියට යන්නට උත්සාහ කරන ජනතාවක්. මේ විදිහට අපි ලෝකය දකින්න හදන සෑම මොහොතකම මේ නත්තල අපිට මතක් කරනවා. ස්වාමීන් වහන්සේ ආවේ බලාපොරොත්තු නැති වෙච්ච මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න. ස්වාමීන් වහන්සේ ආවේ වැටිච්ච මිනිස්සුන්ව නැගිට්ටවන්න. ස්වාමීන් වහන්සේ ආවේ පව්කාරයන්ව මුදව ගන්න. එහෙම නම් අපි මේ නත්තලේ ප්‍රාර්ථනා කරන වෙනස, අපේ රටේ වෙනස, සමස්ත ලෝකයේ වෙනස මේක ආර්ථික වෙනස, සමාජීය වෙනස, දේශපාලන වෙනස, සංස්කෘතිකමය වෙනස මේ හැමදෙයක් තුළ සිදු විය යුතු ප්‍රධාන වෙනස මිනිසුන්ගේ ජීවිත වෙනසයි.

නත්තලේ උන් වහන්සේ ගෙනත් දුන්නේ මිදීම නම්, සතුට නම්, සැනසීම නම්, මේ සතුට සැනසීම සදාකාලික වෙන්නට ඕන. ඒ සදාකාලික සතුට සැනසීම වෙනුවෙන් තමයි අපි වෙහෙසෙන්නට ඕන. වැය වෙන්නට ඕන. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම තුළ, පණිවිඩය තුළ ගැබ් වෙලා තියෙන ප්‍රධාන ම දේ, මේ නත්තලේ අපි දකින ප්‍රධාන ම දේ, දෙවියන් වහන්සේ මිනිසාගේ පාපයට සමාව දීලා ඒ පාපයට තමා විසින් වන්දි ගෙවලා මිනිසුන්ව මුදා ගත්තා. එහෙම නම් නත්තලේ දී අපිට සිද්ධ වෙනවා එකිනෙකට සමාව දීලා සමඟි වීමේ ක්‍රමවේදයක් ගැන හිතන්නට. සමාව දීලා, සමාව ලබා ගෙන, යළි මිත්‍ර වෙලා, එක්සත්ව, එක්සිත්ව, උද්දාමයට පත් වන, ප්‍රීතියට පත් වන, සැනසීමක් දකින, සාමය අත් දකින සමාජයක් නිර්මාණය කරන්නට කැප වෙන්නට, වැය වෙන්නට සමස්ත ජනතාවට වගකීමක් පැවරෙනවා.

අවසාන වශයෙන් මං ඔබ සියලු දෙනාට නැවතත් මතක් කරනවා, නත්තල ආගමික උත්සවයක්. මේ ආගමික උත්සවය තුළ අපිට කාලා, බීලා, සතුටු වෙන්නට පුළුවන්. හැබැයි ඒ සතුට කෑමට බීමට එහා ගිය ආධ්‍යාත්මික සභ්‍යත්වයක් කරා අපව මෙහෙයවන්නට ඕන.  ඒ නිස නත්තලේ දී ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා, සමස්ත ලෝකවාසී සියලු දෙනාට මේ නත්තල සුබ ම සුබ, භාග්‍යවත්, ශුද්ධවත් නත්තලක් වේවා.

Leave A Comment