නව වසර ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ලෝකවාසී ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන සාමය හා සෞභාග්‍ය පිරි සමෘද්ධිමත් වසරක් වේවා – කරු ජයසූරිය

2025 වසර ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ලෝකවාසී ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන සාමය හා සෞභාග්‍ය පිරි සමෘද්ධිමත් වසරක් වේවායි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ගරු සභාපති, හිටපු කතානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කියයි.

නව වසර වෙනුවෙන් Midpoint.lk  වෙත විශේෂ සුභ පැතුම් පණිවුඩයක් එක්කරමින් කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ සාමය, සංහිඳියාව සහ අනෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් ‘ශ්‍රී ලාංකික ජාතියක්‘ ලෙස ගොඩනැඟීමට මෙම වසරේ දී සියලු දෙනා ම අධිෂ්ඨාන කරගත යුතු  බවයි.

රට මුහුණ දෙමින් සිටින සියලුම අභියෝග හා ගැටලු මෙම වසරේදී ජයගැනීමට සියලු දෙනා හට ශක්තිය හා ධෛර්යය ලැබෙනු ඇති බවට ද ජයසූරිය මහතා සිය විශ්වාසය පළ කළේය.

මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතින යුධ බිය ඇතුළු මනුෂ්‍යත්වයට හා පරිසරයට විපත්තිදායක සියලු ව්‍යසන හා අභියෝග කඩිනමින් නිරාකරණය කර ගෙන සමස්ත ලෝකවාසීන්ට ම සාමයෙන් හා සතුටින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වේවායි ප්‍රාර්ථනා කළ කරු ජයසූරිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Leave A Comment