ප්‍රදීපන් දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 271 වැනි කතිකාව පසුගිය 26 වැනි ඉරිදා ‘දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?” යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන්, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහභාගී වූ අතර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේ. මෙම ලිපිය එම සංවාදය ඇසුරින් සකස් කර ඇත.

  • ප්‍රදීපන් දීදීපචෙල්වන් කවුද ? සිදු වුණේ කුමක් ද ?

පසුගිය දිනවල ශ්‍රී ලාංකික කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන් සම්මානිත දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් වෙනුවෙන් පෙරට පැමිණියේය. ඒ ඔහු විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අවස්ථාවේදී ඒවා ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගැනීමත් සමඟය.

පසුව ශ්‍රී ලංකා රේගුව මෙම කෘති සම්බන්ධයෙන් අප්‍රේල් 20 වන දින අදාළ කෘති ආනයනය කළ ආයතනය වෙත නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව මෙම කෘතිවලින් දෙකක් හැර රඳවා ගෙන ඇති කෘති තොගයේ ඇති අනෙකුත් කෘති සමග “පයන්ගරවාදී” සහ “සයිනයිඩ්” යන කෘති නිදහස් කරන බව ය.

කෙසේ වෙතත් මෙම නිර්දේශ මත පදනම්ව “එලුත්තල් යුද්ධම් සෙයිගරේන්” සහ “ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්” යන කෘති දෙකේ රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) B උපලේඛනය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට තුඩු දෙන කරුණු අඩංගු බව සොයාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි යැයි රේගුව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

“මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළා. කලා මණ්ඩලය, සාහිත්‍ය අනු මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව බොහෝ පාර්ශ්ව අදහස් ඉදිරිපත් කළා. මේ සිදුවීම හෙළා දකිමින් නිවේදන සහ ප්‍රකාශ නිකුත් කළා” මෙවර කතිකාවේ අරමුණ පැහැදිලි කරමින් ලසන්ත ද සිල්වා පැවසුවේය. මෙහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ දීපචෙල්වන් දකුණේ සිංහල පාඨකයින්ට ද ආගන්තුකයෙක් නොවන බවත් ඔහුගේ නවකතා සහ කාව්‍ය සංග්‍රහ කිහිපයක් මේ වන විට සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙන බවත් ය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති විවිධ ජාත්‍යන්තර සම්මුති හා ප්‍රඥප්ති තුළින් ද එම නිදහස තහවුරු කර ඇත. නමුත් ඒ හා සමානව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසේ සීමා මායිම් සලකුණු පෙන්වා දී ඇත.

“නිදහස සහ සීමාවන් පැහැදිලියි. ඒත් පරිකල්පනයේ නිදහස සීමා කරන්නේ කෙසේ ද, එහි සීමා මායිම් මොනවා ද ?. මොකද ඒ තුළ භාෂකයාගේ හෘදය සාක්ෂියත් තිබෙනන් පුළුවන්. එවැනි තත්ත්වයක් තුළ මේක බැරෑරුම් කාර්යයක් වෙනවා. ඒ වගේම දීපචෙල්වන් නියෝජනය කරන්නේ ධ්‍රැවීකරණය වුණ සමාජයක් කියන එකත් රහසක් නොවෙයි. මෙවැනි පසුබිමක් තුළ දීපචෙල්වම්ගේ පරිකල්පනය සීමා කළොත් අපට භාෂණයේ නිදහස කියන එක දකින්න ලැබෙන්නේ කොහොම ද ?’ ලසන්ත ආචාර්ය අතුලසිරිගෙන් ප්‍රශ්න කරමින් කතිකාව අරමුණ සමඟ නාභිගත කළේය.

ලසන්තගේ දීර්ඝ පැහැදිලි කිරීම සහ සංකීර්ණ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආචාර්ය අතුලසිරි පැවසුවේ ‘පරිකල්පනය සීමා කිරීමේ අයිතිය තිබෙන්නේ කාටද ? යන්න ප්‍රශ්නයෙන්ම කතිකාව ආරම්භ කළ යුතු බවයි.

“ලේඛකයෙක් සහ රාජ්‍ය අතර ඇති වී තිබෙන මේ ගැටුම ගත් විට, සිය පුරවැසියන්ගේ පරිකල්පනය සීමා කිරීමට රාජ්‍යයට පුළුවන් ද ? කියන ගැටලුව ඇති වෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන්නේ පශ්චාත් යුද සමාජයක. යුද්ධයෙන් පස්සේ ශ්‍රී ලාංකික රාජ්‍යයේ දෘෂ්ටිවාදය ගමන් කළ දිශාව කුමක් ද කියන ප්‍රශ්නය නැවත මේ හරහා, දීපචෙල්වන්ගේ කෘති රේගුව භාරයේ රඳවා තබා ගැනීම හරහා එළියට ආවා. අපි දන්නවා රේගුව කියන්නෙත් රාජ්‍ය ආයතනයක්, රාජ්‍ය මෙහෙයවන උපකරණයක්. නමුත් රේගුව පැත්තකින් සිට රාජ්‍යයේ දෘෂ්ටිවාදය පාලනය කරන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. මේ ගැටලුවේ මුල මෙතනයි” ආචාර්ය අතුලසිරි මෙහි දී පෙන්වා දුන්නේ දීපචෙල්වන් සම්බන්ධ අර්බුදය තේරුම් ගත යුතු වන්නේ “මෙකී පදනම මත සිට” බවත්ය.

  • වාරණයේ ස්වභාවය සහ හැඩතල

“මේ සිද්ධ වෙමින් පවතින සම්පූර්ණ ක්‍රියාව මඟින් අපට මතක් කරලා දෙනවා වාරණයේ ස්වභාවය සහ හැඩතල. එක පැත්තකින් වාරණය ක්‍රියාත්මක වෙනවා. මේ කාරණය කියලා දෙන්නේ, රාජ්‍යයේ ජාතිකවාදය, ජාතිමාමකත්වය, නැතිනම් රාජ්‍යය අයිති වෙන්නේ කාට ද?, රාජ්‍යයක අතීත මතකයන් කියන්නේ මොනව ද ?, ඒවා සිහිකරන්න පුළුවන් කාට ද ? යනාදියයි. මේ සියල්ල සමඟ රාජ්‍ය බලය සම්බන්ධ වෙන අවස්ථාවක් ලෙස අපට දීපචෙල්වන්ගේ කෘති වාරණය වීම සලකන්න පුළුවන්. නමුත් මේක රාජ්‍යයේ වාරණයක් නොවෙයි, මේ ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීතන්ත්‍රවාදයක්, නැතිනම් පරිපාලනතන්ත්‍රවාදයක්”.

අතුලසිරි සමරකෝන් මෙහිදී පෙන්වා දුන්නේ අදාළ කෘති වාරණය කළ හේතුව රාජ්‍යය විසින් පැහැදිලි නොකරන බවය.

“අද දක්වාම මේ සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් දක්වා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ එකම හේතුව වුණේ ‘ජාතික සමගිය’කියන කාරණය. නමුත් සමාජයක සමගිය කියන එක, නැතිනම් සාමූහික ජීවන පැවැත්ම කියන එක තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ කාටද ?, මේ ප්‍රශ්න සියල්ලම දීපචෙල්වන්ගේ කෘති වාරණය කිරීම සම්බන්ධ කාරණයේ දී සලකා බැලීමට සිදුවෙනවා. ඒ නිසා හුදු වශයෙන් ප්‍රකාශනයේ නිදහස, එසේ නොමැති නම් ජාතික ආරක්ෂාව කියන තර්ක දෙක අතරේ පවතින කාරණයක් ලෙස නොසැලකිය යුතු බවයි මගේ අදහස” ආචාර්ය අතුලසිරි පැහැදිලි කළේය.

“ජාතික සමගියට මේ කෘති දෙක බරපතළ හානියක්, බලපෑමක් කරනවා කියලා මේ කෘති වාරණය කිරීම සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම කියනවා. නමුත් ප්‍රගතිශීලි කලාකරුවන් කියන්නේ ‘මේක ජාතික සමගියට හානිකර විය හැකියි’ කියලා. නමුත් ප්‍රශ්නය තමයි අපි මේ කෘති කියවන්නත් ඉස්සර, සමාජයෙන්, දේශපාලනිකව මේ කෘති ගැන විචාරයක් පැමිණීමටත් පෙර අපි වෙනුවෙන් මේ කෘති යම්කිසි පුද්ගලයෙක් කියවා අවසන්” යයි කී ආචාර්ය අතුලසිරි ‘මේ කෘති අපි වෙනුවෙන් කියෙව්වේ’ කවුදැයි ප්‍රශ්න කළේය.

“ඒ කියෙව්වේ ආණ්ඩුවේ සංස්කෘතික ඇමැතිතුමා ද , නැතිනම් රේගු අධිකාරීවරයා ද, ආරක්ෂක හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ද ? කියලා අපට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම තමයි අපි  වෙනුවෙන් මේ කෘති කියවීමට ඔවුන්ට බලය දුන්නේ කවුද ?, අදාළ කෘතිය කියවා අපි යම්කිසි අදහසක් ලබා ගැනීමට පෙර ඒක කියෙව්වේ කවුද ?. මේ කෘතිය අපි කියවීම තුළින් පමණයි අපට පරිකල්පනය අවධි කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. මගේ පරිකල්පනයට තිබෙන අයිතිය අද යම් ප්‍රමාණයක් අහුරා තිබෙනවා. මට ඒ කෘති කියවන්න දෙන්නේ නැහැ. මේ තර්කය අපට පිිළිගන්න බැහැ. ජාතික එකමුතුකමට හානියක් වෙනවා කියන එක පිළිගන්න බැහැ” අතුලසිරි දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

  • ජාතික සමගි නැවත අර්ථ දැක්වීම

මෙහි දී ආචාර්ය අතුලසිරි පෙන්වා දුන්නේ වර්තමානය වන විට ජාතික සමගිය යන්න නැවත අර්ථකථනය කරමින් තිබෙන බවය.

“ජාතික සමගිය, ජාතික එකමුතුකම, ජාතික ආරක්ෂාව කියන මේ සියල්ල නැවත අපට පැහැදිලි කරනවා. නමුත් මේ පැහැදිලි කිරීම නිර්පාක්ෂික තත්ත්වයක් නොවෙයි. ඒක ස්වාධීන නියුට්‍රල් තත්ත්වයක් නොවෙයි. රාජ්‍යය ඒ හරහා ජාතික සමගිය කියලා නව අර්ථකථනයක් මේ අවස්ථාවේ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. නමුත් මේක දෘෂ්ටිවාදීමය ගැටලුවක්”.

ආචාර්ය අතුලසිරි දැඩිව අවධාරණය කළේ ‘මෙය දෘෂ්ටිවාදීමය ගැටලුවක්’ බවය.

“රාජ්‍යයේ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මකව පැවැති තත්ත්වය වර්තමාන ආණ්ඩුව තුළත් ඉතාම කනගාටුදායක ලෙස ප්‍රකාශයට පත්වෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. නමුත් මේක මහින්ද රාජපක්ෂ යුගයේ හෝ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදු වුණා නම් අපට දැඩිව පහර දෙන්න තිබුණා” ආචාර්ය අතුලසිරි පැවසුවේ.

මෙහි දී ඔහුගේ තර්කය වූයේ දීපචෙල්වන්ගේ කෘති තුළ අතීත මතකයන් තිබෙන්න හැකියාවක් ඇති බවයි.

“ආණ්ඩුව අපට කියනවා ඔහුගේ කෘතිය තුළ යුද්ධයට සම්බන්ධ අතීත මතකයන් තිබෙන්න පුළුවන්, ඒක ජාතික සමගියට බාධාවක් කියලා. ඔහු යුද්ධය පිළිබඳ, ලේ වැගිරීම් පිළිබඳ කඳුල පිළිබඳ ලියලා තිබෙනවා කියලා. නමුත් අපි ඇත්තටම මේවා දැකලත් නැහැ. නමුත් ආණ්ඩුව කියනවා, මේ නිසා මේක ජාතික සමගියට බාධාවක් වෙන්න පුළුවන් කියලා. “ඔබ කියන්නේ (ආණ්ඩුව) අපට කියන්නේ මේ තර්කය පිළිගන්න කියල ද ?’ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා”.

  • දීපචෙල්වන් දෙමළ ජාතිකයෙක්

දීපචෙල්වන් යනු දමිළ ජාතිකයෙක් බව ආචාර්ය අතුලසිරි යළි සිහිපත් කළේය. ඔහු උරුම සංස්කෘතියක්, ඔහුට උරුම සිතීමේ නිදහස සහ පරිකල්පනයේ සීමාවක් ඇති බව ආචාර්ය අතුලසිරි පෙන්වා දුන්නේය.

“ඔහුට අත්දැකීම් සම්භාරයක් සහ ඔහුටම හිමි මතකයන් තිබෙනවා. මෙන්න මේවා ඔහු, ඔහුගේ සාහිත්‍ය හරහා අපට ප්‍රකාශ කරනවා. නමුත් ජාතික කතිකාව අපට ඇවිත් කියන්නේ වෙනම කතාවක්. මම ප්‍රශ්න කරන්නේ දීපචෙල්වන්ගේ ගේ පරිකල්පනය ජාතික කතිකාවට අදාළම නැද්ද ?, ඔහු මේ ජාතික කතිකාවෙන් බාහිර කෙනෙක් ද ?, මේ තත්ත්වය තුළ අපට කියන්න වෙන්නේ,  දීපචෙල්වන්ලා නියෝජනය කරන ජනවර්ගය මේ ජාතික කතිකාවෙන් දිගින් දිගටම බැහැර කරන බවයි. ඒක තමයි මෙතන තිබෙන දේශපාලනය”.

“මේ පසුබිම තුළ ඔහුගේ කෘති රඳවා ගන්නවා කියලා කියන්නේ ඒවායේ අන්තර්ගතය පාලනය කිරීමක් පමණක් නොවෙයි, ඒ කෘතිවලින් අර්ථකථනය කරන දේවල් ද පාලනය කිරීමක්. නමුත් ප්‍රශ්නය තමයි, මේ කෘතිවලට අර්ථ දෙන්නේ කවුද ?, දීපචෙල්වන්ගේ වචනවලට, දමිළ භාෂාවෙන් කියන කතාවලට කවුද අර්ථ දක්වන්නේ ?. ඒක පාඨකයාගේ අයිතියක්” ආචාර්ය අතුලසිරි යළිත් අවධාරණය කළේය.

මෙහිදී ආචාර්ය අතුලසිරි තර්ක කළේ යුද සමයේ වාරණය කරන ලද ඇතැම් ගීත යළි ශ්‍රවණය කරන විට ජනවාර්ගික වෛරයක් හෝ ද්වේශයක් ඇති වෙනවා වෙනුවට යුද්ධයේ බිහිසුණු භාවය මෙනෙහි කළ හැකි බවයි.

  • රාජ්‍ය සහ සිවිල් සමාජය

“මනුෂ්‍යත්වය පිළිබඳ මේ කතාවට රාජ්‍යය ඉඩ දෙන්නේ නැහැ. අපට පේනවා මේ ආණ්ඩුව රාජ්‍යයේ මර්දනකාරී පැත්ත වෙනුවෙන් යම්කිසි ආකාරයකින් පෙනී සිටිනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් ලෙස සැලකිය නො හැකියි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි දෙයක්. ඒ නිසා අපි කියනවා, මේ වාරණය නිසා විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා, පරිකල්පනය රාජ්‍ය විසින් සීමා කරනවා. මම යළි අවධාරණය කරනවා දීපචෙල්වන්ගේ කෘතිවල භාෂාව, අර්ථය, සංඥා, රූපකවල අර්ථය දැනිය යුත්තේ මට, විචාරකයාට. නමුත් ඒ විචාරකයාට තිබෙන අයිතිය මේ වන විට උදුර ගෙන තිබෙනවා. ඒක දීපචෙල්වන්ගේ පමණක් නොවෙයි, අපේ සමස්ත සමාජයේම අයිතියට පහරක්. යුද්ධයෙන් පසු රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ සමාදානයට, එකමුතුකමට සහ සහජීවනයට නොවෙයි, නැවත අපව බෙදා වෙන් කිරීමට කියන එක ඉතාම පැහැදිලියි. ජාතික මතකය, ජාතික දෘෂ්ටිවාදය, මේ සියල්ල තීරණය කිරීම, නිර්වචනය කිරීමේ අයිතිය එක පාර්ශ්වයකට පමණක් ලබා දෙන්න බැහැ. ඒක ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට හිමි දෙයක් නොවෙයි, ඒක අපි සියලු දෙනාටම අයිති දෙයක්” යැයි දැඩිව අවධාරණය කළ ආචාර්ය අතුලසිරි මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය සහ රජය ගැඹුරු සංවාදයකට යා යුතු බව ද අවධාරණය කළේය.

  • යුක්තිය අහිමි කිරීම

“මෙන්න මේ අපට තිබෙන අයිතිය තමයි අද අහිමි වෙලා තියෙන්නේ. දීපචෙල්වන්ගේ කෘති කුමන හෝ බලවේගයක් මඟින් වාරණය කරලා තිබෙනවා. ඒක නීතිය ඉදිරියට ගිහින් නැහැ. නමුත් මීට පෙර (රනිල් වික්‍රමසිංහ යුගය) මෙවැනි බොහෝ කෘති නීතිය ඉදිරියට ගියා, නඩු දැම්මා. නමුත් අවසානයේ උසාවිය මේ සියලු නඩු ප්‍රතික්ෂේප කළා. ස්වස්ථික සත්කුමාර ආදී ලේඛකයින් නිදොස් කර නිදහස් කළා. නමුත් දීපචෙල්වන්ට නීතිය ඉදිරියේ හෝ යුක්තිය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරලා තිබෙනවා” යැයි කී අතුලසිරි බියට පත් හෝ තැති ගැන්වීමට ලක් වුණ කිසියම් කණ්ඩායමක් විසින් මෙම පියවර ගෙන ඇති බව කීවේය.

මෙහි දී ඔහු තර්ක කළේ අදාළ පිරිස තමන්ගේ රාජ්‍ය බලයට හෝ ආණ්ඩු බලයට කිසියම් හානියක් වේයැයි බියට පත්ව මෙම පියවර ගන්න ඇති බවයි.

“මේ පිරිස යම්කිසි ආකාරයක භීතියක් පරිකල්පනය කරලා, ඒ පරිකල්පිත අනතුරක් මුවාවෙන් අපේ සංස්කෘතික අයිතිවාසිකම්, කලාව රස විඳීමට අයිති අයිතිය, විචාරක අයිතිය, ප්‍රකාශන අයිතිය ආදි සියල්ලම අහිමි කරලා තිබෙනවා. මේකට එරෙහි විය යුත්තේ ආණ්ඩු විරෝධයක් මුල්කර ගෙන නෙමෙයි. මනුෂ්‍ය සමාජයේ තිබෙන පරිකල්පන නිදහස වෙනුවෙන්. අපේ පරිකල්පනයට ඇති නිදහස සීමා කිරීමට රාජ්‍යය ගන්න උත්සාහයට අභියෝග කිරීම වෙනුවෙන්” මෙහි දී ආචාර්ය අතුලසිරි දැඩිව අවධාරණය කළේ මෙකී කෘති වාරණයට ලක් කිරීමේ අවස්ථාව රාජ්‍යයට ලබා නොදිය යුතු බවය.

“කලාව සම්බන්ධයෙන් වන සමස්ත වාරණය අපි පිටුදැකිය යුතුයි. ඒ වගේම පරිකල්පනයට හිමි සීමාව ජාතික අනතුරකට මුවා වෙලා සීමා කිරීමට ඉඩ නොදිය යුතුයි. මම යළි අවධාරණය කරනවා, දීපචෙල්වන් මේ සමාජයේ කොටසක්, මේ රාජ්‍යයේ කොටසක්. ඔහු මේ රාජ්‍ය තුළ කොටසක් වීමට කැමති නිසා තමයි මේ රාජ්‍ය තුළ ජීවත් වෙමින් කෘති පළ කරන්නේ. මේක හරහා ප්‍රකාශනය වෙන්නේ දීපචෙල්වන්ගේ කෘතිවලට ඇති නිදහස පමණක් නොවෙයි, මුළු රාජ්‍යයේම දෘෂ්ටිවාදයයි. මේක රාජ්‍යයේ දෘෂ්ටිවාදය යම්කිසි පිරිසක් විසින් අර්ථ දක්වන අවස්ථාවක්. ඒ නිසා අපි ඒකට එරෙහි විය යුතුයි.” ආචාර්ය අතුලසිරි සමරකෝන් දැඩිව අවධාරණය කළේය.

මෙහි දී කතිකාව සංවාදය මෙහෙයවනු ලබන ලසන්ත ද සිල්වා ආචාර්ය අතුලසිරිගෙන් මෙසේ ප්‍රශ්න කළේය, “මේ වගේ සංවේදී කාරණා පිළිබඳව යම් යම් පාර්ශ්ව විසින් අධිකාරීමය තීන්දු ගැනීම තුළ, ජාතික සමගිය, ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීමට වඩා දීර්ඝ කාලීනව බිඳ වැටීමක් නේද වෙන්නේ ?.

ලසන්තගේ මෙම ප්‍රශ්නය පිළිතුරු වශයෙන් ආචාර්ය අතුලසිරි සමරකෝන් සඳහන් කළේ මේ හරහා දීර්ඝ කාලීනව බිඳ වැටීමක් සිදුවන බවයි.

“මෙතන බිඳ වැටීමක්  සිදුවෙනවා. මෙහි දෘෂ්ටිවාදීමය දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. පටිපාටිමය ක්‍රියාවලියක මුවාවෙන් තමයි මේක එන්නේ. මේකට වරාය, රේගුව, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත් වෙනවා” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

“ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, ඔබ සිනමාවේදිනියක්, සිනමාවේදිනියක් ලෙස ඉටුකරන කාර්යභාරයේ දී ඔබ පරිකල්පනයේ ප්‍රකාශිකාවක්. ඕනෑම මාධ්‍යයකින් යම් කිසි අන්තර්ගතයක් ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමට පෙර එය නිර්මාණකරුවාගේ පරිකල්පනය බවට පත්වෙනවා. දීපචෙල්වන්ගේ සිද්ධියේ දී අපට දැක ගන්න පුළුවන් වෙන්නේ හුදු ප්‍රකාශන වාරණයක් වුණාට, ඇත්තටම මෙහි දී සිදුවෙලා තියෙන්නේ දීපචෙල්වන්ගේ පරිකල්පනය සීමා කිරීමක්  හෝ අවහිර කිරීමක් නේද ?” ලසන්ත ඉනෝකා සත්‍යාංගනීගෙන් විමසුවේය.

ලසන්තගේ ප්‍රශ්නය පිළිතුරු දෙමින් ඉනෝකා සත්‍යාංගනී පැවසුවේ වර්තමානයේ උද්ගතව පවතින මෙම තත්ත්වය අතීතයේ බොහෝ ඈතට ගිය අඳුරු සෙවණැලි ඔස්සේ පැමිණ ඇති කළ කලු පැල්ලමක් ලෙස තමා දකින බවයි.

“මම මේ තත්ත්වය දකින්නේ මේ රජය විසින් ඉතාම නිර්දය ලෙස ඇති කළ බලපෑමක් ලෙස පමණක් නොවෙයි. නිදහස දිනා ගත් දා සිට මේ රටේ බහුතරයක් කතා කරන සිංහල භාෂාව මේ රටේ හඬ විය යුතු බව විශ්වාස කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම මෙහි කඩඉම් පියවරක් වුණා. ඊට පසුව රජයේ රැකියාවලට ඉල්ලුම් කිරීමේ දී ආදි වශයෙන් විවිධාකාර අවස්ථාවලදී දමළි භාෂාව නොසලකා හරින තත්ත්වයක් නිර්මාණය වුණා. ‘අපි සහ ඔවුන්’ කියන මේ බෙදීම දීර්ඝ කාලයක් පුරා පැවති තුවාලයක ප්‍රතිඵලයක්. උතුරේ වර්ගවාදී ගැටුම් ඇති වෙන්නෙත් මේ පදනම තුළයි” කතිකාවට ආරම්භයක් ගනිමිනි ඉනෝකා සත්‍යාංගනී පෙන්වා දුන්නා ය.

  • මතක සුවඳට කතා කිරීම

“දීපචෙල්වන් කතා කරන්නේ මේ තුවාලයෙන් ගළපු ලේ වල මතක සුවඳට. ඔහු ලංකාවේ දී උපත ලබන්නේ 1983දී, මේක ඉතාම තීරණාත්මක වර්ෂයක්. 1983 දී තමයි ලංකාවේ ජනවාර්ගික ගැටුම නිල වශයෙන් ආරම්භ වෙන්නේ. ඔහු උපත ලද දිනයේ සිට ඔහුගේ ජීවිතයට මේ ගැටුම්කාරීත්වය, මේ විභේදනය, ‘අනෙකා’ කියන ලේබල් එක ඔහුට අත්දකින්න සිදුවෙනවා.  එයින් ඔහු උකහා ගත් අත්දැකීම් සහ ඔහුගේ චිත්තාවේගයන්, නැතිනම් හැඟීම් එළියට මුදා හරින්නේ මේ පසුබිම ඔස්සේ” දීපචෙල්වන් බිහි වීමේ සහ ඔහුගේ මතවාද පෝෂණය වීමේ පසුබිම පැහැදිලි කරමින් ඉනෝකා පැවසුවාය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇතත් එය සීමා කරන ව්‍යාතිරේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම පවතින බව ඇය පෙන්වා දුන්නාය.

“නමුත් ඒ සියලු කාරණා මධ්‍යයේ නිර්මාණකරුවෙකුගේ ඇසින් බැලුවොත් තත්ත්වය වෙනස්. නිර්මාණකරුවා කියන්නේ සාමාන්‍ය සමාජයේ ජීවත් වන මිනිසුන් අතරේ සිටිමින් වඩා සංවේදීව, වෙනත් කෝණයකින් පරිසරය දෙස බලන පුද්ගලයෙක්, ඒ දේ විවරණය කරන පුද්ගලයෙක්. ඇත්තටම නිර්මාණකරුවා යථාර්ථයේ කැඩපත කියලා කියන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි අනෙක් අය මතුපිටින් දකින දේ ඔහු අභ්‍යන්තරිකව විනිවිද දැකලා තමයි තේරුම් ගන්නේ. දීපචෙල්වන් කියන මේ ළදරුවා යුද්ධත් එක්කම උපත ලබලා යුද්ධත් එක්කම තමයි වැඩිහිටි වියට පා තබන්නේ”.

මෙහිදී ඉනෝකා පෙන්වා දුන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති දීපචෙල්වම්ගේ නවකතා කියවන විට ඒවා ඉතාම පැහැදිලිව ඔහුගේ අත්දැකීම් බව හැඟී යන බවයි.

“ඔහු මාධ්‍ය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡා ඔස්සේ, ඔහු විසින් ප්‍රකාශයට පත් කළ යම් යම් ආත්ම ප්‍රකාශන ඔස්සේ මේ බව මනාව පැහැදිලි වෙනවා” ඇය කීවාය.

  • තවත් එක කලා කෘතියක් නොවේ

වාරණයට ලක්ව ඇති කෘති ‘තවත් එක කලා කෘතියක්’ ලෙස තමා නොසලකන බව ඇය කීවාය.

“භාෂණයේ නිදහස කියන ටැග් එක යටට එනවට වඩා, එතැනින් තවත් බහු මානයකට බැහැලා, ‘මේක තවත් එක මනුෂ්‍යයෙකුගේ හදවත ගැහෙන, තමන්ගේ ජීවිතයේ රිද්මය කියලා සැලකීමට අපට හැකියාව තිබෙනවා” ඉනෝකා තවත් මානයක් පෙන්වා දෙමින් සඳහන් කළාය.

“අපි අවසාන නිගමනයට පැමිණෙන්නේ මනුෂ්‍යයෙකුට ජීවත් වීමට ඇති අයිතිය, එසේ නොමැති නම් හෘද සාක්ෂියේ අයිතිය කියන තැන සිටයි. එවිට ‘ප්‍රකාශනයේ නිදහස’ කියන ඉහළ මානයෙන් නොබැලුවත්, තවත් මනුෂ්‍යෙයෙකුගේ හෘද සාක්ෂියේ හඬ තමයි මේ කෘති තුළින් අපට දැකගත හැකි වෙන්නේ” ඉනෝකා පෙන්වා දුන්නාය.

සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ මේ කතිකාවේ දී වාරණයට එරෙහිව දැඩිව පෙනී සිටි අතර අදහස් දැක්වීමට ද නොපසුබට වුණේය. එසේම ඔහු ‘කලා පොලීසිය’ ලෙස හඳුන්වන ස්ථානවලත් සිය නියෝජනය සනිටුහන් කළේය.

“සඳුන් ඔබ දීපචෙල්වම් යන මග අනුකරණය කරනවා, ඒකට රැචි කරනවා. අද දීපචෙල්වම්ගේ කෘති වාරණය කිරීමට පක්ෂව කතා කරන පුද්ගලයින්ගේ හා කණ්ඩායම්වල අතීත මතක ඔබ ප්‍රශ්න කළා. එතැනින්ම ඔබේ අදහස් දැක්වීම කරන්න පුළුවන් ද ?” සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේට කතිකාව වේදිකාව විවර කරමින් ලසන්ත පැවසුවේය.

  • ප්‍රතිපත්තියක් නැති කල්ලියක්

“මම මේක සලකන්නේ අතිෂය ලැජ්ඡා සහගත මොහොතක් කියලා. අපි ඉතාම පැහැදිලිව දන්නවා කලා මණ්ඩල ඇතුළු මේ සියලු මණ්ඩල නියෝජනය කරන පිරිස අපි දන්න කියන ප්‍රගතිශීලී කතිකාව නියෝජනය කළ, යම් යම් අවස්ථාවල අපිත් එක්ක විරෝධතා වලට එක් වුණ පිරිසක්. නමුත් අද මේ වාරණය වෙනුවෙන් ඉදිරියට පැමිණ අදහස් දක්වන්නේ මේ පිරිසම තමයි. මේක සිදුවුණේ ‘පක්ෂපාතීත්වය පිළිබඳ ගැටලුව’ නිසයි. මේකෙන් පේන්නේ කුමක් ද ?, කලාව සම්බන්ධයෙන් වේවා. යම්කිසි දේශපාලන අදහසක් සම්බන්ධයෙන් වේවා කිසිම ස්ථාවර අදහසක් ඔවුන්ට තිබිලා නැහැ. අපි පසුගිය කාලය පුරාම පුද්ගලයෝ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. අපි යමක් දෙස ලැබුවේ කලා කෘතියක්, සාහිත්‍ය නිර්මාණයක් යන අර්ථයෙන්. නමුත් වර්තමානයේ දී දැක ගන්න ලැබෙන තත්ත්වය තමයි මේ පිරිස තමන්ගේ පක්ෂපාතීත්වය වෙනුවෙන් කටයුතු කිරීම” සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ පෙන්වා දුන්නේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය බලය ලබා ගත් පසු මර්දන උපකරණවලින් මෙවැනි මර්දනයක් හැර කළ හැකි අන් කිසිවක් නොවන බවයි.

“රාජ්‍ය බලය ලබාගත් පසු, රාජ්‍යයට හිමි වන මර්දන උපකරණ වලින් මීට වඩා කළ හැකි දෙයක් නැති බවට අදහසක් අපට කලින්ම තිබුණා. නමුත් වයස මාස 18ක් වාගේ ළදරු ආණ්ඩුවක් මෙවැනි දේවල් කිරීමට පෙලඹීම පුදුමාකාරයි. මේ ආණ්ඩුව නිර්මාණය වුණේ වාම ප්‍රගතිශීලී බලවේග කිහිපයකින්. එයම තමයි අපට ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ.

මෙහි දී ඔහු පෙන්වා දුන්නේ වත්මන් තත්ත්වය උද්ගත වීම ස්වභාවික තත්ත්වයක් වශයෙන් කල්තියා දැන සිටි බවයි. නමුත් මෙතරම් අනලජ්ජිත ආකාරයට, තමන් පෙර සිටි ආකල්ප පාවා දෙන ආකාරයට මෙතරම් පහසුවෙන් මෙම පියවර ගැනීම පිළිබඳව තමා තුළ ‘යම්කිසි ආකාරයක විස්මයක්’ පවතින බව  සඳුන් ප්‍රියංකර විතානගේ පැවසුවේය.

“මිනිස්සුන්ට මෙහෙම වෙන්න පුළුවන් ද ?” කියලා අපි කල්පනා කරනවා.

මෙහිදී ඔහු සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගේ වත්මන් ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කළ අතර ඔහුගේ වත්මන් භාවිතය සම්බන්ධව සිය විමතිය පළ කළේය.

“බලයේ සිටි අන්ත දක්ෂිණාංශික සංස්කෘතික අමාත්‍යවරයෙක් වත් නොකරන අන්ත දක්ෂිණාංශික ප්‍රකාශයක් ඔහු දීපවෙල්වම්ගේ කෘති වාරණය සම්බන්ධයෙන් කළා. ඔහු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා මේකට තම අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ, ඒක කලේ රේගුව සහ ආරක්ෂක අමාත්‍යාංශය කියලා” සඳුන් පැවසුවේය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment