පාස්පෝට් සහ හැඳුනුම්පත් හොර පාර

ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි.  බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිතා කරන්නේ එය වැරදි බව දැනගෙන නොවේ.  ගුවනින් පමනක් නොවේ ගොඩබිමින් හෝ මුහුදින් ද ගමන් කිරීමට එය භාවිතා කරන බැවින් එය ගමන් ලියවිල්ලකි.   ජාත්‍යන්තරව රටකට ලැබෙන අභිමානය ගමන් බලපත්‍රයකට ලැබෙන සැලකිල්ල ය.  ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ඇතැම්  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වලදී ඉදිරිපත් කල වහාම අප වෙත යොමුවන තියුණු බැල්මෙන්ම අපට ලැබෙන අන්තර්ජාතික සැලකිල්ල මැන බලා ගත හැක.

2019 ජාත්‍යන්තර ගමන් බලපත්‍ර දර්ශකයට අනුව රටවල් 199 අතරින් ශ්‍රීලංකා ගමන් බලපත්‍රය 185 වැනි ස්ථානයේ පිහිටා තිබේ.  ලොව අංක 1 ට වැටෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය ය.  ඇෆ්ගන් ගමන්  බලපත්‍රය 199 ස්ථානයේ ය.

රටක ගමන් බලපත්‍ර තොරතුරු, රටට ඇතුල්වන අය, රටෙන් පිටවන අය සම්බන්ධ තොරතුරු, උසාවි තහනමි නියෝග අඩංගු දත්ත ගබඩා වලට භාවිතා කරන නාමය Border Control  Database නොහොත් දේශසීමා පාලක දත්ත බැංකුව කියා ය.  මෙය අධි ආරක්ෂාව යටතේ පවතී.  රහස්පොලිසිය කියන්නේ  ඔවුනට Border Control Database වෙත ඇතුල් වීමට බලයක් නොමැති බවයි.  හිටපු ආගමන විගමන පාලක බඹරවානගේ මහතා පවසන්නේ රහස් පොලිසියේ එම ප්‍රකාශය අසත්‍ය බවයි.

මම 28 වසරක් මෙරට විදේශ රැකියා නියෝජිතයකු ලෙස කටයුතු කරද්දී, සාමාන්‍යයෙන් විදේශ රැකියා නියෝජිතයින් වංචා සහගත වැඩවල යෙදෙන බවට පිලිගත් පිරිස් බැවින්,  මා වෙත පැමිණෙන ඇතැම් අයද චකිතයකින් තොරවම, තමන්ට ඇත්තේ වයස අඩු කොට සෑදූ ගමන් බලපතක් බව විවෘතවම කියයි.  ඒ මම ද එවැනි දේ අනුමත කරනවාය යන ඔවුන්ගේ පූර්ව නිගමනය නිසා ය.  ඔවුන්ගේ එම ආකල්පය නිසාම විවිධ ආකාරයෙන් සාවද්‍ය ලෙස සෑදූ ගමන් බලපත් එකතුවක් මට කාලයාගේ ඇවෑමෙන් සකසා ගැනීමටත්, හැඳුනුම්පත් අංකය ගැටලුවක් නොවන ලෙස එම හොර පාස්පෝට් නිකුත් කර ඇත්තේ කෙසේද යන්න ගැන වෝහාරික (Forensic) අධ්‍යනයක් කිරීමටත්, රහස් පොලිසියට හොර පාස්පෝට් සකසන  නිලධාරීන්ට විරැද්ධව කටයුතු කල නොහැකි වීමට හේතුවත් මට විමර්ශනය කරන්න පුලුවන් වූවා.  හොර පාස්පෝට්වලට භාවිතා කරන ජාතික හැඳුනුම්පත් අංක පිළිබඳ සමීකරණයක් ද මට උපකල්පනය කරගත හැකි වූවා.

පුරවැසියෙකු ලෙස ඔප්පු කිරීමට ලියවිලි 2 ක් අවශ්‍යවේ.  පලමුව ජාතික හැඳුනුම්පත ය.  අනතුරැව විදේශ ගමන් බලපත්‍රයක් ය.  මෙම ලියවිලි දෙක හොරට හැදිය හැකිනම් කල නොහැකි දෙයක් නැති තරම් ය.   රටේ විනය පිරිහීමට පමණක් නොව රාජ්‍ය ආරක්ෂාවටද මෙය තර්ජනයකි.  ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට වුවද ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන මොහොතකින් ලාංකිකයෙකු වීම අපහසු නැත. 

වෙලේ සුදා සහ ඔහුගේ බිරියත්, මාකඳුරේ මදූෂ් සහ වෙනත් බොහෝ අපරාධකරුවන් ට ද රටින් පැනයාමට උපකාරී වූවේ මෙි හොර ගමන් ලියවිලිය.  රිසානා නෆීක් ට තිබුනේ හොර ගමන් බලපතක් නම් ඇය ගුවන් තොටින් පිටමං වූයේ කෙසේද ?  හොර ගමන් ලියවිලි කියන්නේ හොරට මුද්‍රණය කල ඒවා නොව පාස්පෝට් කන්තෝරැවෙන්ම නිකුත් කල ඒවා ය.  උදාහරණයක් ලෙස මහ බැංකුවෙන්ම නිකුත්කල මුදල් නෝට්ටුවක් ගැන  මහබැංකුවෙන් කීවොත්  එවැනි අංක සහිත මුදල් නෝට්ටුවක් ඔවුන් නිකුත් කර නොමැති බව,එසේ කී පමණින්  එය හොර නෝට්ටුවක්  විය නොහැක.  

මාකඳුරේ මදූෂ්ගේ ගමන් බලපත්‍රය සාවද්‍ය නම් ඔහු ගුවන් තොටින් පිටවූයේ කෙසේද?  පිටවූ දින ආගමන විගමන කවුන්ටරය ඔහුගෙන් ලබාගත්  “නැව් නැගීමේ කාඩ්පත”  කෝ.  එදා ඔහු ගියේ කුමන යානයකින් ද? ඒ යානයේ මගී ලේඛණය කෝ.  සාවද්‍ය ගමන් බලපත් කියා මාධ්‍ය හරහා පවසද්දී එය ජනතා බුද්ධිය හාස්‍යයට ලක්කිරීමකි.  මදූෂ් රටින් පිටවීමේදී පුරවා ඉදිරිපත් කල Embarkation පොර්මයද හාඩ් කොපි වශයෙන් දෙපාර්තමේන්තුව තබා නොගන්නවා ද?  මදූෂ්ගේ   පාස්පොට් එකේ “පිටත් විය” රබර් මුද්‍රාව නැද්ද ?  තිබෙනවානම් ඒ මුද්‍රාව තැබූ නිලධාරියා ඒ අවස්ථාවේ එම පාස්පෝට් එක සාවද්‍ය බව සොයා නොගත්තේ ඇයි ?  මෙම ප්‍රශ්න රහස් පොලිසියට යි.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලොක්කා චූලක ගුණවර්ධන බිලියන 3.4 වංචා කොට 2013.09.02 දින මල්ලව ආරච්චිගේ දීප්ති පෙරේරා යන නමින් හොර ගමන් බලපතකින් විදේශ ගත වූයේ කටුනායක ගුවන් තොටින් මිස වෙන කොහෙන් ද ?  රාජ්‍ය ආරක්ෂාවට මේවා තර්ජන බවට වෙන සාක්ෂි මොනවාට ද ?

පාස්පෝට් සහ හැඳුනුම්පත් සාවද්‍ය ලෙස සැකසීමටත්, ඒ ආශ්‍රයෙන් මුදල් අයථා ලෙස ඉපැයීමටත් පාස්පෝට් සහ හැඳුනුම්පත් කාර්යාල සූක්ෂ්ම ලෙස විද්‍යුත් හා  ක්‍රියාපටිපාටිමය යටිතල පහසුකම් සකසාගෙන ඇත. 

හඳුනාගැනීමේ සහතික ඉවත් කිරීම.

පාස්පෝට් නිකුත් කිරීමට දැනට කලකට පෙර සාමාදාන විනිශ්චයකාරවරයෙකු අත්සන් කල යුතු විය.  ඇත්තටම එය එසේම නොවීය.  රජයේ විධායක නිලධාරියෙක්, කොමිෂන් ලත් හමුදා නිලධාරියෙක්, දුම්රිය ස්ථානාධිපති, තැපැල් ස්ථානාධිපති හෝ දොස්තර කෙනෙක් යන අයට හා විවිධ තරාතිරම්වල පිලිගත් අයටද එසේ අත්සන් කිරීමට අවසර තිබුනා.   නමුත් කිසිම අවස්ථාවක රජයේ පරිපාලන ඒකකයේ පලමුවන පුරැක වූ ග්‍රාමනිලධාරියාට පාස්පෝට් ඉල්ලුම්පතක් අත්සන් කිරීමේ බලය දී තිබුණේ නැත. පුරවැසියකු හඳුනන කිට්ටුම හා එකම නිල ලත් රාජ්‍ය නිලධාරියා ග්‍රාම සේවා නිලධාරියාය.  මේ වටිනා පුරැක දම්වැලට යා කර නොගැනීමත්,  තෙවැනි පාර්ශවයක සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීමත් ආරම්භ කරමින් සාමදාන විනිශ්චයකාරවරයා පමණක් නොව අනෙක් සියලුම අය ඉන් ඉවත් කලේ දැනට වසර 10 ටත් අඩු කාලයකදීය. 

එකල පාස්පෝට් චිත්‍රයෙන් සාම විනිසුරැ ඉවත් කිරීම ගැන ජනතාව ප්‍රීති ඝෝෂා නගන්නටත්, පුවත්පත් කතු වැකි වලින් පාස්පෝට් කන්තෝරැව වර්ණනා කරන්නටත් විය.

පරිපාලන දර්ශනය

පාස්පෝට් එකක් ලබාගැනීමට තෙවැනි පාර්ශවයක සහතිකය ලබාගැනීමේ දර්ශණය වන්නේ පාස්පෝට් ඉල්ලුම්කරැ හඳුනාගැනීමට සහාය ලබාගැනීමයි.  ඒ සඳහා සාමදාන විනිසුරැ පුරැක ගලවා දමන ගමන් ඒ වෙනුවට වෙනත් ආදේශකයක් හඳුන්වා නොදීමෙන් මේ රාජ්‍ය පරිපාලන දර්ශනය නොසලකා හැරීමේ රහස,  කටයුතු සරල කිරීම හෝ කාර්යක්ෂම කිරීම නොව “තනියෙන් කෑමේ” අවශ්‍යතාවය සහ හොර පාස්පෝට් නිකුත් කිරීමේ යටිතල පහසුකම් පහසුවෙන් අල්ලා ගත නොහැකි ලෙස සංවිධානය කරගැනීමේ අරමුණ යි .

ඉස්සර හොර පාස්පෝට් සැකසීමේදී අනීවාර්යයෙන්ම ගාස්තුවෙන් කොටසක් සාම විනිසුරැ වෙත යන්නේ හොර වැඩේ ආරම්භක පුරැක ඔහු නිසාය.  සාම විනිසුරැ ගැන තිබූ තක්කඩි ආකල්පය නිසා ඔහුව චිත්‍රයෙන් ඉවත් කරනවාට කවුරැත් පක්ෂ වුවද, ඉන් පසු ඇති වන පරිපාලන දුබලතාවය වටහාගැනීමට පාලකයෝ අසමත් වූවාට වඩා ඔවුන්ගේ අයථා ලෙස ඉපැයීමේ දුෂ්ඨ චේතනාව ප්‍රබල විය.

ඇඟිලි සළකුණු

තෙවැනි පාර්ශවීය සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා යොදාගත් ඊලඟ ආවරණය ඇඟිලි සළකුණු ලබාගැනීමයි.  ලබාගන්නා ඇඟිලි සළකුණු ගමන් බලපත්‍රය ට සම්බන්ධ නොමැති නිසා ගමන් බලපත්‍රය භාවිතා කරන බැංකු, හෝටල් හෝ වෙනත් ස්ථානවලදී ගමන් බලපත්‍රය සහ හිමිකරැගේ ඇඟිලි සලකුණු සැසඳීමේ අවස්ථාවක් නැත.  ඇඟිලි සලකුණු සසඳා ගමන් බලපත් හිමියා හඳුනාගැනීමට පහසුකම් නොමැති නම් ඒ ඇඟිලි සලකුණු කුමට ද ?    ලංකාවේ පාස්පෝට් එකට ඇඟිලි සලකුණු ලබාගැනීම හුදෙක්ම ඇස් බැන්දුමකි.  තෙවන පාර්ශවයක හඳුනාගැනීම සහතික කිරීම ඉවත් කිරීමේ වංක චේතනාව අාවරණය කරගැනීමට පාවිච්චි කල දුෂ්ඨ උපායකි.

ඔරිජිනල්  ලියවිලි ආපසු දීමේ රහස

ඔබ පාස්පෝට් බලපත්‍රය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලුම්පත, ඔබේ මුල් ඡායාරූපය, උප්පැන්නයේ ඡායා පිටපත්, හැඳුනුම් පත් පිටපත්, දිවුරැම් ප්‍රකාශ ආදී සියලු ලියවිලි ඔබට අලුතින් නිකුත් කල ගමන් බලපත්‍රය සමග ආපසු දෙනු ලැබේ.  එම ලියවිලි බහා දෙන කවරයේ”නීතිමය අවශ්‍යතා සඳහා ඔබගේ මෙම ඉල්ලුමිපත්‍රය වසර 10ක කාලයක් සුරැකිව තබාගන්න”යනුවෙන් මුද්‍රණය කර තිබෙනවා.  මෙය විශ්මය ජනක රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකි.   යම් අයෙක් හොර පාස්පෝට් සාදා ගැනීමට හොර ලියවිලි ඉදිරිපත් කලා නම්, ඔහුට එම ලියවිලි ආපසු දෙනවා නම් ඔහු ඒවා වසර 10 පුරා ආරක්ෂා කර තබා ගන්නවා ද ?

සැඟවුණු රහස 

නිලධාරීන් විසින් සාදා දෙන හොර පාස්පෝට් වෙනුවෙන් කිසිදු ලේඛණයක් අවශ්‍ය නොවේ.  කොල කැබැල්ලක තමාට අවශ්‍ය නම, තමන්ට අවශ්‍ය උපන් දිනයත් සමග ඉල්ලා සිටින මුදලත් තැරැව්කාරයාට දීමෙන් එක් දිනකදී හොර ගමන් බලපත්‍රයක් ළබාගත හැක.  ඒ සඳහා හැඳුනුම් පත් අංකයක් ද අවශ්‍ය නැත.   පාස්පෝට් කන්තෝරැව සහ හැඳුනුම්පත් කන්තෝරැව හැඳුමිපත් අංකයක් “නිෂ්පාදනය” කරනු ලැබේ.  සැබෑ පාස්පෝට් වෙනුවෙන් ඉදිරිපත් කල ඔරිජිනල් ලියවිලි ස්කෑන් කර තබාගැනීමෙන් හොර පාස්පෝට් නිකුත් කිරීම පහසු කරගත්තේ සැබෑ ලියවිලි ගබඩාකර තබාගතහොත් ඒවා විනාශ කිරීම කල නොහැකි නිසා ය.  ස්කෑන් පිටපත් තිබෙන්නේ දෙපාර්තමේන්තුවේම පරිඝණක ඇතුලේ නිසාත් ඒවා වෙනත් අයෙකුට අවශ්‍ය නොවන නිසාත් වැඩෙි පහසුය.  හාඩ් කොපි ගබඩාකර තබාගතහොත් වැඩේ පහසු නැත.

අංකය  නිපදවන කලාව

පැරණි හැඳුනුම් පත් වල ඇත්තේ ඉලක්කම් 9 කි.  පලමු ඉලක්කම්  2 න් උපන් වර්ෂයත්, ඊලඟ ඉලක්කම්  3න්, උපන්දින දක්වා වසරේ ගෙවී ගිය දින ගනනත් දැක්වේ.  ඉතිරි ඉලක්කම් 4 අනුක්‍රමික අංකයයි.  මුල්වරට හැඳුනුම්පත් හඳුන්වා දුන් 1972 වසරේදී එසේ හඳුන්වාදුන් අයට කිසිදු දූෂිත චේතනාවක් තිබුනේ නැත.  අවසාන ඉලක්කම්  4 යම් දිනක සිදුවූ උපත් ප්‍රමාණය ඉක්මවා යා නොහැක.  ශතවර්ෂ ගනනක් පුරා ලංකාවේ දිනක සාමාන්‍ය උපත් සංඛව 1000 කි.  එය කිසිසේත් 9999 නොඉක්මවන නිසයි 1972 හැඳුනුම්පත් හඳුන්වා දීමේදී අවසාන ඉලක්කම් ටික ඉලක්කම් 4 කට සීමා කලේ. 

හොර පාස්පෝට් වලට යොදන හැඳුනුම්පත් අංකය වමේ සිට 6 වැනි ඉලක්කම නොහොත් දකුණේ සිට 4 වැනි ඉලක්කමේ වටිනාකම අංක 5 ට වැඩි අගයකින් සකසනවා.  5 ඉලක්කම යෙදුවොත් එදින 5000 ගනනක් උපත් තිබිය යුතුය.  එය සිදු නොවන දෙයක් නිසා පාස්පෝට් කන්තෝරැවටත්, හැඳුනුම්පත් කන්තෝරැවටත් අංක ඩුප්ලිකේට් වීමේ අවධානමකින් තොරව වැඩේ කල හැකි ය. 

පහත දැක්වෙන්නේ මා විසින් රැස්කල සහ මගේ සමීකරණයට අනුව හොර පාස්පෝට් වලට යොදාගත් හැඳුනුම්පත් අංකවල අවසාන ඉලක්කම් හතරේ කාණ්ඩයන් ය:(6977), (5719), (7297), (6080), (6756)  මේ කිසිදු දිනක 7000 ගනනක උපත් සිදුව නැත.  එක් දිනකට 7000 ගනනක් හැඳුනුම්පත් ගන්නට ආවත්, සෑම උපන් දිනයකටම අංක වෙනස් වන නිසා හැඳුනුම්පත් බලධාරීන්ට මෙවැනි අංක යෙදුම ගැන නිදහසට කරැණු නැත. (මාකඳුරේ මදූෂ්ගේ පාස්පෝටි සඳහා පාවිච්කර ඇති ජා.හැ. අංකය මට ලැබුනේ මෙම ලිපිය අවසන් කල පසුවය.  ඔහු පාවිච්චි කර ඇති ජා. හැ. අංකය  අංකය 790516478V ය. ඒ අනුව මගේ සමීකරණයේ නිවැරදි බව තහවුරැ වෙයි.) 

සාවද්‍ය පාස්පෝට් සඳහා අවසාන ඉලක්කම් 4ට 5000 ට පහල අගයන් නොයොදන්නේ ඇතැම් දිනවල ලංකාවේ දෛනික උපත් සංඛ්‍යාව 4000 ඉක්මවන  දිනද තිබිය හැකි නිසා ය.  පාසැල්වලට ජනවාරි මාසයේ ළමුන් ඇතුලත් කරගැනීමේ උවමනාවට දරැවන් නොවැම්බර් දෙසැම්බර් මාසවල උපත ලබාගැනීමට දෙමාපියන් කටයුතු කරන බැවින් මෙම කාලවල දෛනික උපත් සංඛ්‍යාව 1000 ඉක්මවිය හැක.  පාස්පෝට් කන්තෝරැ සහ ජා. හැ. පරිඝනක නිලධාරීන්ට මහා පරිමාණ මෙඝා දත්ත ඇති බැවින් මාගේ මේ උපකල්පනයට වඩා නිවැරදි තොරතුරැ ඔවුන්ට තීක්ෂණ ලෙස නිරීක්ෂණය ට අවකාශ ඇත.

ඉහත සමීකරණයට හසු නොවන සාවද්‍ය ගමන් බලපත් ද තිබේ.  වෙනත් අයෙකුගේ උප්පැන්යක්, ජා.හැ. පතක් භාවිතා කොට නිලධාරීන් නොදැනුවත්ව හෝ දැනුවත්ව සාදන පාස්පෝට් ඉහත සමීකරණයට ව්‍යතිරේකයකි.අපේ හැඳුනුම් පතේ අවසාන ඉලක්කම් 4 අගය රටේ දෛනික උපත් ඉක්මවා යා නොහැක.

හැඳුනුම් පතට අංක 12  අවශ්‍යද

අලුත් හැඳුනුම්පත් අංකයට ඉලක්කම්  12ක් හඳුන්වාදීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.   එක් දිනකට 99,999 ක උපත් සිදුවීම ක්‍රි.ව. 5000 වනතුරැවත් සිදුවිය නොහැක.  හැඳුනුම්පත් අවසානයට ඉලක්කමි 5ක් යොදා ගැනීමෙන් අංක ඩුප්ලිකේට් නොවී පහසුවෙන් ම හොර හැඳුනුම්පත් වලට අගනා යටිතල පහසුකමක් සකසාගෙන ඇත.  අගට ඉලක්කම් 5ක් යොදාගැනීමෙන්  දිනකට 99,999 උපත් සිදුවේයැයි සිතුවාද.

හොර පාස්පෝට් කියන්නේ වෙනත් කොහේ හෝ මුද්‍රණාලයක මුද්‍රණය කල ඒවා නොවෙයි.  ලංකාණ්ඩුවෙන්ම සැකසූ, දරන්නාගේ සැබෑ දත්ත වෙනුවට වෙනත් සාවද්‍ය දත්ත ඇතුලත් පාස්පෝට් වලටය.  මේවා අල්ලාගත නොහැක්කේ ඒවා අල්ලන්නට CID පාස්පෝට් කන්තෝරැවට ඇතුල්වනවාත් සමගම පාස්පෝට් SQL දත්ත බැංකුවෙන් ඒවා අන්තර්ධාන වනවා පමනක් නොව එවැනි පාස්පෝට් තම කාර්යාලයෙන් නිකුත් කර නොමැති බවට මුදුනේම ඉන්නා ලොක්කා පවසන කථාව CID යට අකමැත්තෙන් වුවද විශ්වාස කරන්නට සිදුවන නිසා ය.

උපතත් මරණයත් අතර ලේඛණ සාවද්‍ය ලෙස සැකසිය හැකි සමාජයක කිසිවක් විශ්වාස කිරීම අපහසු ය.  අම්මලාට දුවගේ කසාදයට මිනිහෙකුගේ වයස විශ්වාස කල නොහැක.  බැංකුවක ගිණුමක්, ආදායකයාගේ ගිණුමට පමණි  චෙක්පතක්, චූදියෙක් රටින් පැනයාම වලකන නියෝගයක් විශ්වාස කරන්නේ කෙසේ ද? සමස්ත  සිවිල් සමාජ අත්තිවාරමම ඉරිතලා ගොස් කුණු වූ රාජ්‍යයේ පිළිකාව සමාජයම ගිල ගනිමින් තිබේ.  

මෙම Forensic විග්‍රහය බෙහෝ කලක සිට මා සමාජගත කිරීමට කල්යල් බලා සිටියත්, රටේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇති මේ අවස්ථාවේ එය වඩාත් සුදුසු යැයි මම සිතමි.    මෙම ලිපිය පලවූ වහාම පාස්පෝට් කාර්යාල SQL දත්ත බැංකුවෙන් හොර පාස්පෝට් අන්තර්ධාන වනු නියතය.  මේ ගැන CID ය දැනුවත් කලත් ඉන් යමක් සිදුවූයේ නැත.  Border Control මෘදුකාංග සකසන අයට දක්ෂ නොව අතිදක්ෂ විශ්ලේෂණ හැකියා තිබිය යුතුය.  මෙය Border Control System Software වල දුර්වලතාවයක් හා දූෂිත නිලධාරීන් තනාගෙන ඇති දූෂිත අධිරාජ්‍ය යේ තරම පෙන්වන්නකි.  ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍යම කෙතරම් කුණු වී දුඟඳ හමන තත්වයකට පත්ව ඇත්ද යන්නට හැඳුනුම්පත් කාර්යාලයත්, ආගමන විගමන කාර්යාලයත් තවත් උදාරන දෙකක් පමණි. ජනාධිපතිගේ අවධානයට.

විජය උඳුපිටිය

Tags:

Leave A Comment