පෝද්දල ජයන්ත: වංචා – දූෂණයට එරෙහි පෑන නිහඬ කරන්නට දැරූ තැත
- Editor
- February 12, 2025
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත 2024 අවසානෙය් දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබුණේ තමන්ට සිදු වූ අපරාධයේ විමර්ශනවල තත්ත්වය පිළිබඳව සොයා බලන්නට ය. එහිදී අනාවරණය වී තිබුණේ ඔහුට සිදු වූ අපරාධය පිළිබඳ වැදගත් ලියකියවිලි රැසක් අතුරුදන්ව ඇති බවයි. 2009 ජුනි 01 වැනිදා සිට අද වන තෙක් වසර 25ක් තිස්සේ සිදු වී ඇත්තේ එයයි. එවැනි තත්ත්වයක් යටතේ යුක්තිය පිළිබඳව වන ජනතා විශ්වාසයට කුමක් සිදුවනු ඇත්ද?
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මගින් රටේ ස්ථාපිත කළ භයානක සංස්කෘතීන් කිහිපයකි. සුදු වෑන් සංස්කෘතිය සහ දූෂණ-වංචා සීග්‍රයෙන් වර්ධනය කිරීමේ සංස්කෘතිය ඒ අතරින් ප්‍රධාන ය. රාජපක්ෂ ආණ්ඩුවෙන් දුන් අවස්ථාවෙන් කොටසක් උපරිම ලාබ ගනිද්දී, සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් කැපවූ මිනිසුන් සුදු වෑන් පැහැරගෙන යෑම්වලින් වැළකීමට උත්සාහ කරමින් සිටියහ.
එවැනි එක් පුරවැසියෙකි, පෝද්දල ජයන්ත යනු. මාධ්‍යවේදියකු ලෙස සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවූ ඔහු හිත-මිතුරන්ගේ අනතුරු ඇඟවීම් සිය ගණනක් මධ්‍යයේ වුව ද, තම වගකීම අත්හරින්නට සූදානම් වූයේ නැත. එවකට ආණ්ඩුවට අවශ්‍ය වූයේ ඇත්ත අනාවරණය වීම වළක්වන්නට ය. දූෂණ-වංචා, අපරාධ සඟවන්නට ය. ඊට පෝද්දල ජයන්තලා දැවැන්ත බාධකයක් වූහ.
එවකට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වූයේ ද පෝද්දල ජයන්ත ය. එම සංගමය යනු එවකට මාධ්‍යවේදීන් 1,200ක් සිටි සංගමයකි. ආණ්ඩුව සිටියේ එම සංගමයට බියෙනි. ඊට හේතු වූයේ එහි තිබූ ශක්තිමත් පදනමයි. රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දනයට සෘජුව එරෙහි වූ මේ සංගමය මෙහෙයවූයේ පෝද්දලත්, ලේකම් සනත් බාලසූරියත් ය. එහි ක්‍රියාකාරීන් සියල්ලන් සිටියේ තර්ජනයට ලක්ව ය. රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් මාධ්‍ය මර්දනය ප්‍රබල කරමින් සිටියේය.
තනි සංවිධානයක් ලෙස නොව එක්ව මදර්නයට මුහුණ දීම සඳහා මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන සියල්ල එක්ව මාධ්‍ය මර්දනයට එරෙහි ජාතික ව්‍යාපාරයක් බිහිකෙරිණි. පෝද්දල ජයන්ත ඇතුළු ක්‍රියාකාරීන්ට තර්ජනාතාමක දුරකතන ඇමතුම් ලැබීම මේ එකතුවෙන් පසු තවත් වැඩි විය. එහෙත් දිගටම උද්ඝෝෂණ සිදු විය.
පෝද්දල ජයන්ත ජ්‍යෙෂ්ඨ මාද්යවේදියා ම ඒ ගැන මෙසේ කියයි.
‘මමත්, සනත් බාලසූරියත් එවකට සේවය කළේ ලේක්හවුස් ආයතනයේ. එක දවසක් එහි සභාපති බන්දුල පද්මකුමාර අපි දෙන්නට කතා කර ඔහුත් එක්ක ආරක්ෂක අමාත්‍යාංශයට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ දැන්වූ බව කිව්වා. ඒ අනුව ඔහු සමග අපි දෙන්නා ගෝඨාභය රාජපක්ෂ මුණගැසුණා. කේන්තියෙන් වියරු වැටී සිටි ඔහු සියලූ උද්ඝෝෂණ ව්‍යාපාර නැවැත්වුවේ නැත්නම් සිදුවන දේ බලාගත හැකි යැයි තර්ජනය කළා. අපි ඔහුගෙ තර්ජනයට බිය වූයේ නෑ. අපි දෙන්නා එක හඬින්ම කිව්වෙ මාධ්‍යවේදීන් මරා දැමීම, තර්ජනය කිරීම, පැහැරගෙන යෑම, මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම නවතන තුරු අපේ විරෝධතා ව්‍යාපාර නොනවත්වන බව. වියරු වැටී සිටි ඔහ ‘මුන් කාට ජාතක වෙලාද’ යනුවෙන් එහි සිටි බන්දුල පද්මකුමාර, ලක්ෂ්මන් හුළුගල්ල දෙසට හැරී ඇසුවා.
අපි දුප්පත් වුණත්, අපේ මව්පියන් මැදමුලනේ වළං නොසේදූ බව ඔහුට කියාදීමට අපට සිදු වුණා. එවැනි තිරශ්චීන කතා තවදුරටත් අසා සිටීමට අපට වුවමනාවක් නොතිබුණු නිසා අපි එතැනින් නැගිට ආවා. ‘උද්ඝෝෂණය නතර නොකළහොත් වෙන දේ බලාගන්න පුළුවන්’ කියූ විට අප ඔහුගෙන් සෘජුවම විමසා සිටියේ ‘ඔබ කරන්නේ තර්ජනයක්ද?’ යනුවෙන්. එවිට ඔහු ප්‍රකාශ කළේ ‘ඒක වෙන්න ඕනෙ තැනින් වෙයි’ යනුවෙන්. එය ඉතා පැහැදිලි ජීවිත තර්ජනයක් බැවින්, ඔහුගේ කාර්යාලයෙන් පිටවී අපි දෙන්නා කොළඹ – කොටුව පොලීසියට ගියත්, අපේ පැමිණිල්ල ඔවුන් බාරගත්තෙ නෑ. මේ සිදුවීම වුණේ නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගත් දිනට පසු දින ඊට එරෙහිව කළ උද්ඝෝෂණයෙන් පසුවයි.’
සෘජු තර්ජනයෙන් පසු ගතවූයේ මාස කිහිපයකි. රුපියල් කෝටි 1,200ක ඉතිහාසයේ දැවැන්ත ම බදු වංචාව ඇතුළු ගවේෂණාත්මක වාර්තා රැසක් ඊට පෙර මෙන්ම පසුව ද පෝද්දල ජයන්තගේ පෑනෙන් ලියවිණි. ඒවා රටේ දැඩි කතාබහට ලක්විය. ඔහු ඒ පිළිබඳ අල්ලස් කොමිසමට ද පැමිණිලි කළේය. සුප්‍රසිද්ධ මිග් ගනුදෙනුව පිළිබඳ වාර්තා සන්ඩේ ලීඩර් සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත්වල දිගහැරිණි. සන්ඩේ ටයිම්ස්හි ඉක්බාල් අතාස්ට මරණ තරජන එල්ල විය. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහමග මරා දැමිණි. ලසන්ත වික්රමතුංගගේ අවමංගල්‍ය උත්සවය මාධ්‍ය සංවිධානත්, සිවිල් සංවිධානත්, බොහෝ දේශපාලන පක්ෂත් එක්වීමෙන්, දැඩි විරෝධතා මධ්‍යයේ සිදුකෙරිණි. මාධ්‍ය ක්‍රියාකාරීන්ට එල්ල වූ තර්ජන තවත් වැඩි විය. පෝද්දල ජයන්ත ඇතුළු පිරිසක් ආරක්ෂාව පතා රටින් පිට වූහ.
එහෙත් ඔහුගේ හිත තුළ සමස්ත සමාජය ඉදිරියට ගෙනයෑමේ නොතිත් වගකීමක් විය. සති 03කින් පෝද්දල ජයන්ත යළිත් සිටියේ ලංකාවේ ය. පුරුදු පරිදි කටයුතු කරමින් සිටින විට ය, 2009 ජුනි 01 වැනිදා උදා වූයේ.
වේලාව එදින පස්වරුවයි.
ඒ වන විටත් පෝද්දල ජයන්ත දිවි ගෙවූයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් ලබා දී තිබූ නුගේගොඩ, ඇඹුල්දෙනියේ ආරක්ෂිත නිවසක ය. පිටකොටුවේ සිට නුගේගොඩ දක්වාත්, එතැනින් ඇඹුල්දෙනිය දක්වාත් ගොස් බස් රථයෙන් බැස අතුරු මගක් ඔස්සේ නිවසට යන විට සුදු වෑන් රථයකින් ඔහු පැහැර ගැනිණි. ඔහු ම ඒ ගැන මෙසේ කියයි.
‘මගේ මතකයේ හැටියට ඒ සුදු වෑන් රථයේ තිබුණේ ඉදිරිපස අසුන සහ පිටුපස අසුන පමණයි. පැහැරගත් සැණින් වෑන් රථය තුළ බිම පෙරළා දෙඅත් දෙඇස් බැඳ මට පහරදෙන්නට පටන්ගත්තා. පහර දෙන අතරතුර මට කණ වැකුණු එක වදනක් වූයේ ‘ඔහොම හරියන්නෙ නෑ. මේ කොට කෑල්ල කකුලෙ යටට තියලා ගහපන්’ කියන එකයි.
හෙණ පහරක් වැදුණා. එතැනින් පසු සිදු වූ කිසිවක් මගේ මතකයේ නෑ.
එක නිමේෂයක විශාල පිළිස්සුම් වේදනාවකින් මට ඇහැරුණා. එක් අයෙක් මට කිව්වෙ ‘මීට පස්සෙ උඹ බල්ලා වගේ කට පියාගෙන හිටපං. මේක අපටත් මළ කරදරයක්’ යනුවෙන්. වාහනයේ දොර විවෘත වන හඬ ඇහුණා. මාව වාහනයෙන් එළියට ඇද දැමූ බවක් තේරුණා.’
අංගොඩ රෝහලට යාබදව පිහිටි පාළු පාරක ඔහුව දමාගොස් තිබිණි. රාත්‍රී කාලයට එතැනින් වාහන ගමන් කරන්නේ කලාතුරකිනි. ත්‍රීරෝද රථ රියදුරකු ඒ-මේ අත පෙරළෙන ගුලියක් පාර අයිනේ තිබෙනු දැක තිබිණි. ඔහු ඇතුළු පිරිසක් ය, පෝද්දල ජයන්ත ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කර තිබුණේ.
‘රෝහලට යන අතර මට විශාල කැස්සක් තිබුණා. ඒකට හේතුවෙලා තිබුණෙ මගෙ රැවුල කපා මුව තුළට ඔබා තිබීමයි. කුඩා කෙස් ගස් උගුරට යෑම නිසා කැස්ස නැවතුණේ නෑ.’
හදිසි අනතුරු වාට්ටුවේදී අනාවරණය වී තිබුණේ ඔහුගේ වම් පාදය වළළුකර අසලින් කඩා දමා ඇති බවයි. දකුණු පාදයේ අස්ථි බිඳී නැතත්, දරුණු ලෙස පහරදීම නිසා මාංශපේශිවලට බරපතළ හානි සිදු වී තිබිණි. පිළිස්සුම් තුවාල කිහිපයක් ද විය. මීට අමතරව මුගුරක් වැනි යමකින් හිසට පහරදීම නිසා හිස ද තැළී තිබිණි. ශල්‍යකර්මයකට භාජනය කර කඩා දමා තිබුණු වම් පාදයේ වළළුකර ලෝහමය තහඩුවලින් බද්ධ කරනු ලැබිණි. දින 29ක් ඔහු සිටියේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් ය. අනතුරුව මාස 03ක් සෑම දෙසතියකට ම වරක් සායනික ප්‍රතිකාර සදහා රෝහලට යෑමට ඔහුට සිදු විය. මාස 09ක් ඔහු ඇවිද ගියේ කිහිලිකරු ආධාරයෙනි.
පැහැර ගැනීමෙන් මාස 06ට පසු ජීවිතාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් පෝද්දල ජයන්ත මාධ්‍යවේදියා, බිරිඳ සහ දියණිය ඇමෙරිකාවේ පදිංචියට යවනු ලැබිණි.
මේ අමානුෂික සිදුවීමේ වධවේදනාව එතැනින් අවසන් වූයේ නැත. ඒ ගැන ඔහු මෙසේ කියයි.
‘ගෝඨාභය රාජපක්ෂලා මට මගේ ජීවිතයේ නිරෝගී මිනිසකු ලෙස ජීවත්වීමට ඉඩ දුන්නේ 2009 ජුනි 01 වැනිදා දක්වා පමණයි. මේ වධහිංසාවලට ලක්කිරීම හේතුවෙන් මට නොයෙක් අතුරු ආබාධයන්ට ලක්වීමට සිදුවෙලා තියෙනවා. ශීත සෘතුවේ ඇතැම් දිනවල සීතල ඍණ අගයට යන අවස්ථා තියෙනවා. ඉතා කෙටි වේලාවකට හෝ එළිමහනේ ගියොත් වම් පාදය අභ්‍යන්තරයේ බද්ධකර ඇති ලෝහමය තහඩුවලට සීතල එක් වූ විට ඒ ඉවසාගත නොහැකි වේදනාව දෙපතුලේ සිට හිස් මුදුන කරා ගමන් කරයි. පඩිපෙළක් නැගීමත් දුෂ්කරයි. වේගයෙන් ඇවිද යන්න බෑ. ඇවිද යන විට සමබරතාව ගිලිහෙන නිමේෂයක මතුවන වේදනාව පැයක් හමාරක් තියෙනවා.
මේ සියලු ශාරීරික වේදනා කෙසේ හෝ ඉවසිය හැකියි. තවමත් මගේ මනස රාත්‍රියට බියෙන් සලිතවීම අතහැර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ගෝඨාභයලා නිරෝගී මිනිසකු රෝගියකු බවට පත්කළා.’
2015 ජනාධිපතිවරණයෙන් පසු එළඹියේ ‘යහපාලන’ යැයි කියාගන්නා කාලයකි. මේ කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගේ නියමයෙන් ලසන්ත වික්‍රමතුංග, කීන් නොයාර් වැනි ජනමාධ්‍යවේදීන්ට අදාල විමර්ශන ආරම්භ කළ ද පෝද්දල ජයන්තගේ විමර්ශනය ආරම්භ නොවිණි. 2017 ජුනි 20 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ලට අදාලව විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ මෙම පහරදීමට සැක කවුරුන්ද යන්න ගැන ඔහු ප්‍රකාශ කළ ද එවකට නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත සැක පුද්ගලයාගේ නම සටහන් කර නැති බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මාසයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. එවකට දේශබන්දු තෙන්නකෝන් කොළඹ උතුර බාරව සිටියේය. ඔහුගේ ප්‍රකාශයේ අඩක් පමණක් සටහන් කර ගත් අතර ඉන් පසු පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමග විමර්ශන යට ගියේය. දේශබන්දු තෙන්නකෝන්ගේ උසස්වීමට අදාලව රහස් පොලිසිය වාර්තාවක් ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පොද්දල ජයන්ත සිදුවීමට අදාලව විමර්ශනයක් යන බව දැනුම් දුන්නද ඔහුට උසස්වීම් ලැබිණි.
2019 ජනාධිපතිවරණයෙන් පසු විමර්ශන සම්පූර්ණයෙන් නතර විය. යළි පෝද්දල ජයන්ත සිදුවීම ගැන විමර්ශන ආරම්භ වන්නේ එතැන්සිට වසර 05ක් ඉක්මයෑමෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුවය. 2024 වසර අවසානයේ ලංකාවට පැමිණි පෝද්දල ජයන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. එහිදී අනාවරණය වූවේ පහරදීමට අදාලව අධිකරණ වෛද්‍ය වාර්තාවක් පවා නොමැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිද්ධියට වසර ගණනාවක් ගතවී ඇති හෙයින් විමර්ශන තරමක් සංකීර්ණ තත්ත්වයක ඇති බවයි. මීට පෙර විමර්ශනයට සම්බන්ධ වූ රහස් පොලිස් නිලධාරියෙක් කීවේ ‘දැන් සාක්කි ගොඩක් විනාස වෙලා. ඒ නිසා සැකකාරුවන් නීති ඉදිරියට ගේන්න පුලුවන්වෙයිද දන්නෑ’ කියාය.
සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම පෝද්දලට පමණක් නොව ජනමාධ්‍ය සමාජයට ද යුක්තිය ඉටු කිරීමේ දී බරපතල කරුණක් වුවද මෙම සිද්ධියේදී නීතිය ඉදිරියට නොගෙනාවද සැකකරුවන් කවුරුන්ද යන්න රටම දනී. 2022 ගාලුමුවදොර අරගලයේදී ඒ ගැන කියැවිණි. පෝද්දල තවමත් යුක්ති පතා සටන් කරමින් සිටියි.

