යෝජිත අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයේ හරය කාලීන ද? යතාර්ථවාදී ද?

රජය විසින් නව අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණ යෝජනා එළිදක්වා ඇත. එහි ආරම්භ අවස්ථාවේ සිට සුපුරුදු පරිදි පක්ෂ – විපක්ෂ නානාවිධ තර්ක – විතර්ක, අදහස්වලින් සහ යෝජනාවලින් සමස්ත චිත්‍රය පින්තාරු කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහා ගත් අතර අවසානයේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදුවිය. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළ ද මේ සම්බන්ධ මහජන අවධානය අඩුවන බවක් දැකගත නොහැකිය. ඊට හේතුව ද පැහැදිලිය, මේ මෙරට සියලු පුරවැසියන් සම්බන්ධ තීන්දුවකි. ඔවුන්ගේ අද සහ හෙට තීරණය වන තීන්දුවකි. එනිසා පුරවැසියන්ට මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් ඇතුළු පාර්ශ්වයන්ට  මේ අවස්ථාව මග හැර යා නොහැකිය.

මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’  සංවාද මාලාවේ 235 වැනි කතිකාව ‘යෝජිත අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයේ හරය කාලීන ද? යතාර්ථවාදී ද?’ යන තේමාව යටතේ විද්වත් සංවාදයට ලක් කළේය. මෙම කතිකාවේ සම්පත් දායකයින් ලෙස ආචාර්ය සුජාතා ගමගේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ විශ්‍රාමික උපගුරු යමුනා රත්නායක සම්බන්ධ වූ අතර සමාජ – දේශපාලන විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේ ය. මෙම සවංදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ආචාර්ය සුජාතා ගමෙගේ, රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක

1943 සිට මේ දක්වා කළා වාගේ 2025 පැතුම් මල්ලත් කරට ගනිමු –  ආචාර්ය සුජාතා ගමෙගේ, රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක

යෝජිත අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයේ හරය පිළිබඳ සංවාදයක පදනම විය යුත්තේ අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ Power point Presentation එකය. මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන අතර මෙවැනි දෙයක් සිදු වූ ප්‍රථම අවස්ථාව ද මෙය වශයෙන් සැලකිය හැකිය.

  • පැතුම් මල්ලක්

“අග්‍රාමාත්‍යවරිය මෙවැනි වැදගත් යෝජනාවලියක් ඉදිරිපත් කළ ආකාරය කිසිසේත් සුදුසු නැහැ, නමුත් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සහ ඒ වෙනුවෙන් නායකත්වය ගන්න ස්ථාවර ආණ්ඩුවක් තිබීම ගැන අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා.” කතිකාවට ආරම්භයක් ගමින් ආචාර්ය සුජාතා ගමගේ සියුම් විවේචනයක් ද කරමින් ආණ්ඩුවේ ප්‍රයත්නය අගය කිරීමට ලක් කළාය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට Wishes list එකක් වාගේ. විෂයමාලා මොනව දැම්මත් ඒක පංති කාමරය තුළ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න මත තමයි මේ ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය තීරණය වෙන්නේ. ඇතැම් අය කියන මේ Wishes list එකට මම කියන්නේ ‘පතුම් මල්ල’ කියලා. ඉතිං මේ පැතුම් මල්ල ලිහලා බැලුවට පස්සේ මට පෙනී ගිය දෙයක් තමයි, මේ මල්ල අපි හුඟක් කල්, 1943 සිට කරේ තියන් යන එකක් නේද ? කියලා. අපි මේ මල්ල එක පාරක් බිමින් තියනවා, ආයිත් කරට ගන්නවා, අයිත් බිමින් තියනවා, කරට ගන්නවා, මෙහෙම 1943 ඉදන් මේ පැතුම් මල්ල කරේ තියන් එනවා. මම කියන්නේ ආණ්ඩුව, සිවිල් සමාජය, විද්වතුන් මේ ගැන කල්පනා කළ යුතුයි, මෙපමණ කාලයක් මොකද වුණේ කියලා පසුවිපරම් කළ යුතුයි” ආචාර්ය සුජාතා ගමගේ නව අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය දැක්ම පැහැදිලි කරමින් අවධාරණය කළාය.  මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ බලයට පත් වන සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උනන්දු වන බවයි.

“අපිට කලින් බලයේ හිටපු කිසිම ආණ්ඩුවක් මේ වැඩේ හරියට කළේ නැහැ, ඒ නිසා අපි මේ සැරේ හරියට කරනවා කියලා ආණ්ඩු කල්පනා කරනවා, ඊට පස්සේ මේ ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම තමන්ගේ දෙයක් කියලා ප්‍රකාශ කරලා ඒක ඉදිරියට ගෙන යන්න හදනවා. මේ ආණ්ඩුවත් යම්කිසි ආකාරයකින්  ඒක කරන්න හදන බව පෙනුනා. නමුත් ඒක වැරදියි කියලා අපි ඒ අයට කියනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැතුම් කියන්නේ සාමූහික පැතුමක්, මේක පොදුජනතාවගේ සිට එන පැතුමක්, ඒ නිසා මේක සාමූහික ප්‍රයත්නයක්ම වෙන්න ඕනෑ.” ආචාර්ය සුජාතා පැවසුවාය.

  • ප්‍රතිසංස්කරණ මොකටද ?

නව අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණවල අරමුණු සහ ඉලක්ක මොනවාදැයි විමසා බලන විට එය බහුවිධ අරමුණුවලින් සමන්විත බව බව පෙනේ. නමුත්  ප්‍රතිපත්තිමය දෘෂ්ටිකෝණයෙන් බලන විට වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා විසඳීමට අපේක්ෂා කරන ප්‍රශ්නය කුමක්ද ? යන්නය.

“මේ ප්‍රශ්නය දිහා බලන විට 1943 සිටම එකම ස්වරූපයක ප්‍රශ්නයක් තමයි පේනන් තිබෙන්නේ. 1943 දී කන්නන්ගර මහත්මයා දැක්ක විදිහට ප්‍රශ්න වුණේ, පාසල් වර්ග දෙකක් තිබෙනවා. එකක් ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යපනය ලබා දෙන පාසල්, අනෙක මුදල් ගෙවීමකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල්, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කළේ ඉංග්‍රීසි අධ්‍යපනය ගම්බද දරුවන්ට නොමිලේ ලබා  දීම අරමුණු කර ගනිමින් මධ්‍ය විද්‍යාල පිහිටුවීමයි. කන්නන්ගර මහත්මයා දැක්ක අනෙක් ගැටලුව තමයි එකම අච්චුවේ විෂයමාලාවක් හැමෝටම තිබීම, ඒ කාලේ 5%ක් වැනි සුළු පිරිසක් තමයි විශ්වවිද්‍යාලයට යයි කියලා කල්පනා කළේ, පංතිමය පදනම ගැඹුරින් තිබුණ නිසා මේ ත්ත්වය තව දුරටත් තහවුරු වුණා. කන්නන්ගර මහත්මයා දැක්ක තෙවැනි ගැටලුව තමයි, අධ්‍යාපනයේ පවතින අසමානතාව. මේ ගැටලුවලට තමයි 1943 දී ආමන්ත්‍රණය කළේ.” යැයි කී ආචාර්ය සුජාතා මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තවත් වැදගත් වෙනසක් සිදු වූයේ 1972 දී බව පෙන්වා දුන්නාය.

  • 71 කැරැල්ලට ප්‍රතිචාරයක්

1971 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළ කැරැල්ලට ප්‍රතිචාරයක් ලෙස 1972 දී වඩාත් පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමට එවකට පැවැත් සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේ ය.

“ඒ ගොල්ලෝ සොයලා බැලුවා, අපි මොනවද පාසල්වල කරන්නේ කියලා. ඔවුන් වටහා ගත්තා එවකට පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩි පිරිසක් අසමත් වෙනවා. සමත් වුණත් ඔවුන්ට රැකියාත් නැහැ. ඒ වගේම ආණ්ඩුව තවත් වැදගත් කරුණක් සොයා ගත්තා, මේ රටේ බහුතර පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරත වුණත් පාසල් අධ්‍යාපනය තුළ ඒ වෙනුවෙන් කිසිම ඉඩක් නැහැ. ඒ අනුව ආණ්ඩුව සාමාන්‍ය පෙළ විභාගය වෙනස් කිරීම සඳහා පියවර ගත්තා. ඒ අවස්ථාවේ දී වැදගත් ප්‍රශ්නය වුනේ විෂයමාලාවේ ප්‍රශ්නයයි” ආචාර්ය සුජාතා 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තත්ත්වය පැහැදිලි කරමින් පෙන්වා දුන්නා ය. මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ 1999 දී ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ වෙනස්කම් වඩාත් වැදගත් බවයි.

එවකට ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා කුමාරතංගු මැතිණිය විසින් 1997 දී  ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් පත් කරන ලද අතර එම කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ ‘මෘදු කුසලතා’ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබුණේය. මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගමන් මග පැහැදිලි කළ ආචාර්ය සුජාතා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන සමයන් හිදී සිදු කිරීමට ගිය අධ්‍යාපන ප්‍රතිංස්කරණ ගැන ද සඳහන් කළාය.

  • එකම ප්‍රශ්නය වටා කැරකීම

1943 සිට 2025 දක්වා ක්‍රියාත්මක කරන ලද සියලු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එකම ප්‍රශ්නය වටා කැරකීමක් බව ආචාර්ය සුජාතා මෙහිදී පෙන්වා දුන්නා ය. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ ද පෙන්වා දුන්නාය.

“දශක අටකට අධික කාලයක් තිස්සේ එකම ප්‍රශ්න මාලාවක් තමයි මේ විසඳන්න යන්නේ. 1943 දී අපි කරපු දේවල්වලට මොකද වුණේ ?, නිසි පරිදි සම්පත් නොලැබුණ නිසා මධ්‍ය විදයාල ක්‍රමයෙන් ක්ෂය වුණා. ඉංග්‍රීසි අධ්‍යාපනය ළමුන් වෙත ගෙන යාමට තිබූ ඒ රාමුව ක්ෂය වුණා, ඒ වගේම ප්‍රායෝගික දැනුම දෙන විෂයමාලාව ටිකෙන් ටික, 1970 වන විට ශාස්ත්‍රීය අධ්‍යාපනයට වැඩි තැනක් ලබා දෙන තත්ත්වයට පත් වුණා. සාමාන්‍ය පෙළ විභාගය වඩාත් ශාස්ත්‍රීය එකක් බවට පත් වුණා. හිටපු ලේකම්වරයෙක් වන එරික් සිල්වා මහත්මයා විසින් රචිත කෘතියක මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් තිබෙනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් සිදු වුණා. ඉංග්‍රීසී භාෂා අධ්‍යාපනය මධ්‍ය විද්‍යාවලින්, ගම්බද පාසල්වලින් ගිලිහී ගොස් නැවත අර ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පංතියේ නාගරික පාසල්වලට සීමා වුණා. 1970 වන විට ගම්බද සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා ගියා”.

  • මධ්‍යම පංතියට රිදුණු හැටි

මෙම අධ්‍යාපන රටාව 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් යම් ප්‍රතිසංස්කරණයකට ලක්කරන ලද අද සාමාන්‍ය පෙළ විභාගය අහෝසි කිරීම ආණ්ඩුව පියවර ගත්තේය. ආණ්ඩුව සාමාන්‍ය පෙළ විභාගය වෙනුවට NCGE නම් විභාගය ඇතුළු තවත් විභාගයක් හඳුන්වා දුන්නේ ය.

“මේ හරහා විෂයන් හත අටක් තිබුණත් 6-9 ශ්‍රේණිවලට ප්‍රාග් වෘත්තීය විෂයන් දෙකක් හඳුන්වා දුන්නා. මම විශ්වාස කරන ආකාරයට ඒක ජාතික විභාගයකින් ඇඟයීමට ලක් කළ යුතු දෙයක්. මේ විෂයන් දෙක ගැන අත්දැකීම් තිබෙන අය ඒ ගැන ධනාත්මකව කතා කරනවා. මේ විෂයමාලා ප්‍රතිසංස්කරණවලට අදාළ NCGE  විභාගය 1975-76 වර්ෂවල පැවැත් වීමට නියමිත තිබුණත් ඒකට විශාල විරෝධයක් එල්ල වුණ නිසා එය අසාර්ථක වුණා. මට හිතෙන ආකාරයට ප්‍රාග් වෘත්තීය විෂයන් දෙක මධ්‍යම පංතියට ලොකු ප්‍රශ්නයක් වුණා. 1977 දී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලෙස NCGE විභාගය අහෝසි කරන බව කිව්වා.” මේ ආකාරයෙන් තවත් වැදගත් විෂයමාලා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් අසාර්ථක වූ බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ මෙරට පීඩිත පංතියට වැදගත් වුණ, ඔවුන්ගේ පැතුම් මල්ල යළි බිම තැබීමට සිදු වුණ බව ද කීවාය ය.

  • තාරා ඩි. මෙල් ප්‍රතිසංස්කරණ

1999 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කළ තරා ඩි. මෙල් වැදගත් භූමිකාවක් ඉටු කළා ය. මෙම ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික විෂය මාලාවේ විශාල වෙනසක් කරන ලද අතර ක්‍රියාකාරකම් පාදක – ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් මෙහිදී හඳුන්වා දුන්නේ ය.

“ඇත්තටම මේ විෂය මාලාවෙන් වැඩක් වුණා. මම මේ විෂය මාලාව අධ්‍යයනය කර තිබෙනවා, මේක ඉතාම හොඳ විෂය මාලාවක්. ගුරුවරුන්ව පුහුණු කරලා, අවශ්‍ය සියලුම සම්පත් දීලා ඒක කළා. නමුත් වැඩි කල් නොගොස් මේ ප්‍රතිසංස්කරණ විභාග කේන්ද්‍රීය තත්ත්වයට පත් වුණා, ප්‍රාථමික අධ්‍යාපනය පවා විභාග කේන්ද්‍රීය එකක් වුණා. ඒකට හේතුව තමයි 1997 ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් කළා, විෂය දැනුම මනින ප්‍රශ්න පත්‍රයක් එකතු කළා. අවසානයේ දී 1999 අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ක්ෂය වෙලා ගියා. නමුත් 2007 දී මේ සංකල්පය ද්වීතියීක අධ්‍යාපනය හරහා යළි ඉදිරියට ගෙන යාමට බැලුවා. එහිදී විභාග ක්‍රමයේ වෙනස්කමක් කරන්න උත්සාහා කළා, මතය මැනීම වෙනුවට වෙනත් කුසලතා මැන බැලීමට උත්සාහා කළා. නමුත් එයත් නිවැරදිව ඉදිිරියට ගෙන යාමට නොහැකි වුණා. ඒ පැතුම් මල්ලත් බිම තියන්න සිද්ධ වුණා.” මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පේවා දුන්නේ 2020 දී සහ 2023 දී අපි නැවතත් මේ පැතුම් මල්ල කරට ගන්න උත්සාහා කළත් එය නිවැරදිව කර ගැනීමට අවස්ථාව නොලැබුණ බවයි.

1943 සිට 2025 දක්වා පැමිණි ගමන් මග අනුව සලකා බලන විට මේ වන විට ඉදිරිපත් කර තිබෙන්නේ අපි හැමෝගේම පැතුම් මල්ලක්. මේක අපි දශක අටකට අධික කාලයක් පුරා කරට ගනිමින්, බිම තියමින් රැගෙන ආ දෙයක්. ජාතික අධ්‍යාපන ආයතනය 2019 සිට කරගෙන ආ දෙයක්. ඒ නිසා අපි සියලු දෙනාම මේ දෙස සාධනීය විවේචනයක් කරමින් ඉදිරියට යා යුතුයි කියලා මම හිතනවා.

  • 2025 පැතුම් මල්ල

2025 දී අපි කරට ගන්න සූදානම් වෙන පැතුම් මල්ලේ තිබෙන්නේ මොනවද ?, මේ තුළ පරිවර්තනීය වෙනසක් තිබෙනවා කියලා ආණ්ඩුව කියනවා. ඔව්, ඇතත්ටම මේකේ පරිවර්තනීය වෙනස්කම් තිබෙනවා. යම් ආකාරයක පරිවර්තනීය වෙනසක් කරනවා නම් ‘ඉගෙනුම් ඵල මොනවාද ?’ කියා සොයා බලන පරිවර්තනීය වෙනසක් කළ යුතුයි. මම දකින ආකාරයට මේ තුළ එවැන්නක් තිබෙනවා. 1-5 ශ්‍රේණිවල වත්මන් විෂයමාලාව සැලකිය යුතු ලෙස වෙනස් නොවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.  පහ වසර ශිෂ්‍යත්ව විභාගය තවත් කාලයක් තිබෙන බව කියනවා, ඔව් ඒක ඇත්ත, එක පාරටම ඒක වෙනස් කරන්න බැහැ. නමුත් අපට කියනවා 09 ශ්‍රේණියේදී  ළමයින්ගේ ගණිතය සහ මවුභාෂාව පිළිබඳ සාක්ෂරතාවය මනින විභාගයක් තියෙනවා කියලා. මම හිතන ආකාරයට මේක පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ආදේශකයක් වෙයි, මම මේකට කැමතියි, ඒකට හේතුව තමයි අපි හැමදාම කිව්වා, ‘ශිෂ්‍යත්ව විභාගයෙන් විෂය කරුණු දැනුම මනින්න එපා‘ කියලා. ප්‍රායෝගික දැනුමක් ලබා නොගෙන කටපාඩම් කරන දැනුම මනින්න එපා කියලා. මම දකින ආකාරයට 2029 දී තමයි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන ආකාරයට 09 ශ්‍රේණියේ දී යම්කිසි ආකාරයක කඩඉම් පරීක්ෂණයක් එනවා. 6-9 ශ්‍රේණිවලට අදාළව විශාල වෙනස්කමක් නැහැ, මේ අනුව හර විෂය පද්ධතිය තුළ විෂයන් 14ක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව තිබෙනවා. මෙහිදී ‘වැඩිදුර අධ්‍යාපනය‘ කියලා මොඩියුලයක් හඳුන්වා දීමක් සිදු වෙනවා. යම් කිසි විෂයක් ප්‍රායෝගිකව හෝ න්‍යායිව හදාරන්න කැමැති අයෙකුට මේ මොඩියුලය තෝරා ගන්න පුළුවන්. මෙතන ලොකු වෙනසක් නැති වුණත් දියුණුවක් තිබෙනවා. නමුත් ප්‍රායෝගික අවබෝධය වෙනුවට පොතේ දැනුම මෙතනදීත් මුලට අවොත් පරිවර්තනීය වෙනසක් සිදුවෙන එකක් නැහැ. මෙහිදී සිදුවන පරිවර්තනීය වෙනස තුළ වැදගත්ම සාධකය ලෙස මම දකින්නේ 10-11 ශ්‍රේණිවල සිදුවන වෙනසයි. සාපෙළ විභාගයේ ලොකු පරිවර්තනීය වෙනසක් සිදුවෙනවා.” මෙහිදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ආකාරය, ලකුණු ලබා දෙන ආකාරය සහ එහි අභියෝග සම්බන්ධයෙන් ආචාර්ය සුජාතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය. ‍ෙ

මෙහිදී ආචාර්ය සුජාතා පෙන්වා දුන්නේ දැනුම හා කුසලතා මැනීමේ විශාල වෙනසක් 2025 අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණ හරහා සිදුවන බවයි.

“මේ සියල්ලේ ප්‍රතිඵල දකින්න වෙන්නේ (සාපෙළ විභාගය)  2029 දී බවත් මේ අය සමාජයට එන්නේ 2031 දී බවත් අපි කල්පනාවට ගත යුතුයි. මේ විෂයමාලා ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිඵලවලින් තොරව ලක්ෂ 20ක් පමණ තරණ – තරුණියෝ ඉදිරි කාලයේදී සමාජයට එකතු වෙනවා. ඒ ගැනත් අපි කල්පනා කළ යුතුයි.“ යැයි කී ආචාර්ය සුජාතා විෂයමාලා ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් කුළුණු පහක් සම්පූර්ණ කළ යුතු බව ද පෙන්වා දුන්නාය.

මෙහිදී අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණවලට වඩා අධ්‍යාපන පරිපාලනයේ වැදගත්කම අවධාරණය කළ ආචාර්ය සුජාතා සමස්ත පාසල් පද්ධතිය මධ්‍ය ආණ්ඩුව හරහා පරිපාලනයට ආණ්ඩු දක්වන කැමැත්ත දැඩිව ප්‍රශ්න කළාය. අධ්‍යාපන අමාත්‍යාංශය මුලින්ම නිවැරදි විය යුතු බව පෙන්වා දුන් ඇය, අධ්‍යාපන අමාත්‍යාංශය තම කාර්යභාරය අනුව පමණක් කටයුතු කළ යුතු බව දැඩිව අවධාරණය කළාය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

One Reply to “යෝජිත අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයේ හරය කාලීන ද? යතාර්ථවාදී ද?”

  • Shiral Lakthilaka

    ජාතික බෞතික සැලැස්මට කවුරුත් විරුද්ද ද කියලා අහන්නකො රජයේ රැකියා දෙන්නේ නැත්තේ IMF ඒක එපා කිව්ව නිසා ඒගොල්ලෝ රට විනාශ කරනවා පියවරෙන් පියවර jathika bauthika salasma සංවර්දන ව්‍යාපෘතියක් නොවේ, රටේ සම්පත් ඉන්දියාවේ චිනේ ඇමෙරිකාවට බෙදා දෙන මෙහෙයුමක් ශ්‍රීලංකා රාජ්‍ය විනාශ කරලා mcc jathika bauthika salasma epaඅපිට අලුත් ව්‍යවස්ථා එපා. තියන ව්‍යවස්ථාව විශිෂ්ටයි. අපේ රට ඉන්දු චීන ඇමෙරිකානු බල පොරයෙන් මුදවා සංවර්දනය කරන්න.

Leave A Comment