වන අලි – මිනිස් ගැටුමට විසඳුම් දීමට සැබෑ දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි – පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ
- Editor
- October 29, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම – 02 – කොටස

මාලක ඔබ වැදගත් කරුණක් අනාවරණය කළා. ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම ගැන ලියන්න අවශ්‍ය සියල්ල ලියලා අවසන් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ කියනවා වන අලි – මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවලුත් කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේ පියවර අසාර්ථක වීමට හෝ ඒවායේ අඩුපාඩු ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ කුමන හේතු ද ?, මේ හේතු ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ලංකාවේ වනජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු දෙකක් තිබෙනවා. එකක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනෙක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මේ දෙපාර්ශ්වයම අතේ කැලෑ තිබෙනවා. හොඳම උදාහරණය තමයි සමහර අලි වැට ගහලා තියෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑවල සීමාවේ. මේ නිසා අලි වැටෙන් එහා මෙහා දෙපැත්තේම අලි ඉන්නවා. මේ හරහා අපට පැහැදිලි වෙනවා ‘අලි වැටක් ගහපු පමණින් මේ ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ’ කියන එක.
හිතුමතේ වැඩ බෑ
අලි වැටක් ගහන එක විද්‍යාත්මකව කළ යුතුයි. අලින්ගේ සංචරණ රටාවන්, ඔවුන් ගැවසෙන ස්ථාන, ගමන් බිමන් යන තැන් යනාදී සේරම දෙස විද්‍යාත්මකව බලලා, නිවැරදිව පර්යේෂණයක් කරලා, හරිම තැන තමයි අලි වැට ඉදිකළ යුත්තේ. මිනිස්සු විසින් හදා ගත්ත මායිම් බලලා අලි වැට ගැසීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන එක මේ වන විටත් ඔප්පු වෙලා තිබෙනවා.
නමුත් මහාචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු තමන්ගේ අත්හදා බැලීම්වලින් ඔප්පු කරලා තිබෙනවා ගම් වටා ගහන විදුලි වැට වලින් ගම්මාන ආරක්ෂා කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වනාන්තර වටා ගහන විදුලි වැටට වඩා ගම්මාන වටා ගහන විදුලි වැට ප්‍රතිඵල දායකයි.
ඒ වගේම බෝග වගාවන්ගේ අස්වැන්න නෙළන කාලයට, අලින්ගෙන් තර්ජන එන කාලයට පමණක් වගා බිම් වටා ගහන ජංගම විදුලි වැටත් සාර්ථකයි කියලා මහාචාර්ය පෘථිවිරාජ් ඔප්පු කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි ලංකාවේ වන අලි බහුතරයක් ඉන්නේ මිනිස් ජනාවාස සමීපයේ, ඔවුන් ඉන්නේ වන රක්ෂිත හෝ වනාන්තර තුළ නොවෙයි. මේ නිසා වන අලි සහ මිනිසුන් අතර සහජීවනය ඉතාම වැදගත්. වන අලි සහ මිනිසුන් අතර සහජීවනයකින් තොරව මේ ගැටලුවට විසඳුම් දෙන්න බැහැ කියන එක තමයි පිළිගත් මතය.
- ඔබ අවධාරණය කරන ආකාරයට අලි – මිනිස් සහජීවනය ගොඩනැගෙන්නේ කොහොම ද ?
අලි – මිනිස් සහජීවනය ගොඩනැගීමට විවිධාකාර ප්රවේශයන් අත්හදා බලා තිබෙනවා. උදාහරණයක් විදිහට යම් කිසි බෝගයක් වගා කරන ගොවියෙක් තමන්ගේ වගා බිම ආරක්ෂා කර ගැනීමට කළ හැකි සෑම දෙයක්ම කරනවා. ඔහුගේ එකම අපේක්ෂාව වගාබිම ආරක්ෂා කර ගැනීම. ඔහු ඒ වෙනුවෙන් විදුලි වැටක් ගහන්න පුළුවන්. නමුත් එසේ කර තිබියදීත් වන අලින්ගෙන් වගාවට හානි වෙනවා නම් කළ යුත්තේ කුමක් ද ?, වගා හානිය වෙනුවෙන් වන්දියක් ලබාදීම එක ක්‍රමයක්.
ඒ වගේම මේ වන විට ඉතිරි වෙලා තිබෙන කැලෑ මණ්ඩි නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවලට යොදා ගන්නවා. වගාවට ලබා දෙනවා. ඒ වගේම ඇතැම් පිරිස් අතර මතයක් තිබෙනවා කැලෑ මණ්ඩි, ලඳු කැලෑ ඒ තරම් වැදගත් නැහැ කියලා, ඒවා සංවර්ධන කටයුතුවලට යොදා ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා ඔවුන් හිතනවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. අලි වඩාත් කැමති ගණ කැලෑවලට වඩා තෘණභූමිවලට, විවෘත භූමිවලට. මෙවැනි ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිවලට හෝ වගාවට ලබාදීම වන අලි – මිනිස් ගැටුම තව දුරටත් උග්‍ර කරන වැඩක්.
- ඔබට අනුව මෙවැනි විසඳුම් යෝජනා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ ඇයි, කවුද ඒවාට විරුද්ධ වුණේ, මේ වෙනුවෙන් මැදිහත් විය යුත්තේ කවුද ?. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
වන අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ දී දේශපාලනඥයින් සහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් විසඳුම්. නමුත් මෙවැනි කාලයක් පුරා පවතින සංකීර්ණ ගැටලුවකට කඩිනම් විසඳුම් නැහැ, ලබා දෙන්න බැහැ. මේ සඳහා කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. මේවා ක්‍රමිකව ක්‍රියාත්මික විය යුතුයි. ඒ වගේම මේ වෙනුවෙන් දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි.
ඒ වගේම අප සතුව National Action Plan for Mitigation of Human – Elephant Confilict – 2020 December තිබෙනවා. මේ විෂය සම්බන්ධ ප්‍රමාණික දැනුමක් සහිත විද්වතුන් විසින් සම්පාදනය කළ මේ ජාතික ක්‍රියාකාරී සැලසුම ‘හොඳයි’ කියලා හැමෝම පිළිගන්නවා. නමුත් වත්මන් ආණ්ඩුව මේ ගැන උනන්දුවක් දක්වන බවක් පේන්න නැහැ. ඔවුන් තවත් සැලසුමක් ගැන අවධානය යොමු කරන බවක් පේනවා. ඒ වගේම පසුගිය කාලයේ අත්හදා බලලා, නමුත් වැරදුණ විසඳුම් යළිත් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ද අපිට නිරීක්ෂණය වෙනවා. මම දැක්කා පසුගිය කාලේ හණ වැටක් ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. මේවා අත්හදා බැලූ විසඳුම්, නමුත් සාර්ථක වෙලා නැහැ.
මෙවැනි වැඩ යළි යළිත් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන් තුළින් අපට පේන්නේ අපි අදාළ පාඩම් ඉගෙන ගෙන නැති බවයි, නැතිනම් පාඩම් වැරදි වලින් ඉගෙන ගන්න සූදානම් නැති බවයි. මේ දෙස බලන විට මට පේන්නේ අපි වඩාත් කැමති, උනන්දුවක් දක්වන්නේ පැලැස්තර විසඳුම්වලට බවයි.
- මේ වෙනුවෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ නිශ්චිත ප්‍රතිපත්තියක් තිබෙනවා ද ?
විසින් National Action Plan for Mitigation of Human – Elephant Confilict – 2020 December ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. ඒ වගේම ඒක යම් පමණකට ක්‍රියාත්මක වුණා.
- මේ ජාතික ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමට බාධා කරන්නේ කවුද ?, සමහරු හිතනවා අලි වැට ගහන එක ව්‍යාපාරයක් බවට පත්වෙලා කියලා. ඔබ මේ ගැන කියන්නේ කුමක් ද ?
National Action Plan for Mitigation of Human – Elephant Confilict – 2020 December සැලසුම අනුව නියමු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම 2024 දී වන අලි මරණත් යම්කිසි ප්‍රමාණයකින් අඩු වුණා. මේ ආකාරයෙන් අලි මරණ අඩු වුණේ මේ වැඩපිළිවෙළ අනුව කටයුතු කිරීම බවට මතයක් තිබෙනවා. මගේ අදහස නම් මේ සැලසුම ක්‍රියාත්මක කළ යුතුව තිබුණ එකක්. නමුත් බොහෝ අවස්ථාවල සිදුවන ආකාරයට ආණ්ඩු පෙරළියත් සමඟ ඒ වැඩපිළිවෙළ යටපත් වුණා. 2020 සැලසුම වෙනුවට අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යාමේ උත්සාහයක් ලෙස 2020 සැලසුම් යටපත් වුණා කියලා තමයි මට හිතෙන්නේ.
- කාලයක් තිස්සේ අපි අතර මතයක් තිබෙනවා රටේ වන ගහනයට වඩා රටේ ඉන්න වන අලි ප්‍රමාණය වැඩියි කියලා. මේ අදහස වෙනුවෙන් ප්‍රබල තර්ක ඉදිරිපත් වෙනවා. ඔබ මේ ගැන හිතන්නේ කුමක් ද ?
වන අලින්ට ජීවත් වෙන්න පුළුවන්, තිබෙන වාසස්ථාන වේගයෙන් ක්ෂය වෙමින් තිබෙනවා. ඒවා කෘෂිකාර්මික හෝ වෙනත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගැනීම අඛණ්ඩව සිදු වෙනවා. අලි ගහනය ස්ථාවර මට්ටමක සිටිනවා කියලා උපකල්පනය කළත් ඔවුන්ගේ වාසභූමි ක්ෂය වීම අඛණ්ඩ ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ පසුබිම තුළ ඔබ කියන තර්කය නිවැරදි වෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත නොවෙයි. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. අපේ අලි ගහණය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක සංගණනයක් සිදුවෙලා නැහැ. ඒ කියන්නේ අප සතුව නිවැරදි, විශ්වාසනීය දත්ත නැහැ. ඒ නිසා විද්‍යාත්මකව මේ ගැන අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.
- අලි සංගණනයක් පවත්වන්නේ කෙසේ ද ?
අලි ගණන් කිරීම, නැතිනම් අලි සංගණනයක් කරන්නේ කොහොමද කියන එක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. අලි සංගණනය කරන ආකාරයට සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේද කිහිපයක් තිබෙනවා.
- සංචාරක ව්‍යාපාරය සහ වන අලි අතර දැඩි සම්බන්ධයක් තිබෙනවා. මේ පසුබිම තුළ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශ්ව වන අලි රැක ගැනීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තිබෙනවා ද ?
ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ වන අලි කේන්ද්‍රීය සාධකයක් වුණත් වන අලි පෙන්වීම තුළින් උපයා ගන්නා ආදායම වන අලින්ගෙන් පීඩාවට පත්වන අදාළ ප්‍රදේශවල ජනතාව වෙත ගමන් කරන ක්‍රමවේදයක් නැහැ. ඔබ කියන ආකාරයට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් යම් ප්‍රමාණයක් මේ වින්දිත ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඒ වගේම වන අලි ආශ්රිත සංචාරක ව්‍යාපාරය අපට මීට වඩා දියුණු කරන්න පුළුවන්. ඒ සම්බන්ධ ජාත්‍යන්තර පිළිගැනිමකුත් අපට තිබෙනවා. විශේෂයෙන් මින්නේරිය කියන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් වන අලි නැරඹුම් කේන්ද්‍රයක්. නමුත් සංචාරකයින් අතර වඩාත්ම ආකර්ෂණය දිනා ගන්නා ඇතුන් ඝාතනය කිරීම මේ ව්‍යාපාරයට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 296 වැනි කතිකාවේ දී (කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම) පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි. මෙම කතිකාව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවන ලදි.
සටහන – තුෂාල් විතානගේ
මෙම ලිපියේ 01 කොටසට ඔබට පහත සැබැදියෙන් ප්‍රවේශ විය හැකිය.

