”විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා මුල සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා” – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
- Editor
- January 12, 2026
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments

විගණකාධිපතිවරයා පත් කිරීම දිගින් දිගටම ‘ඇදී යමින්’ තිබෙන අතර ආණ්ඩුවත් සිය ස්ථාවරය වෙනස් කිරීමට අකමැති බවක් පැහැදිලිව පෙනේ. මාස 08කට අධික කාලයක් පුරා විගණකාධිපතිධුරය පුරප්පාඩුව පැවැතීම කිසිම ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි ය. හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස් පහත පළ වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයෙක් විය යුත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට විගණකාධිපතිවරයෙකුගේ සුදුසුකම වන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් වරලත් ආයතනයක හෝ සාමාජිකයෙකු වූද ගනකාධිකාරිකවරයෙකු වශයෙන් වෘත්තියේ යෙදීම මත ඒ ආයතන විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූ තැනැත්තෙකි. ඒ අනුව විගණකාධිපතිවරයා ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිය ආයතනයේ සාමාජිකයකු විය යුතුය. එය 153( 4) අනු ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා.
විගණකාධිපතිවරයාට සිය ධූරයේ කටයුතු කිරීමට නොහැකි වූ විටක විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීමට තැනැත්තකු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත යනුවෙන් කියලා. ඒ අනුව විගණකාධිපති ධූරයේ වැඩ බැලීමට යම් තැනැත්තෙකු පත් කළ හැකි වන්නේ විගණකාධිපතිවරයාට සිය ධූරයේ කටයුතු කිරීමට නොහැකි වූ විට පමණයි. එයින් අදහස් වන්නේ වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත්කරන අවස්ථාව වන විට විගණකාධිපතිවරයෙක් සිය ධූරයේ සිටිය යුතුයි. සමහර විට විගණකාධිපතිවරයා අසනීප තත්ත්වයක ඉන්න පුළුවන් විදේශ සංචාරයක නිරතව සිටින්න පුළුවන්.
අන්න එවැනි අවස්ථාවක පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත්කරන්න පුළුවන්. මේ අනුව බලන විට මුල සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා මුල සිටම ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් නොකර වැඩ බලන විගණකාධිපතිවරුන් පත්කිරීම. මෙතනයි දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස කියනවා ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව නම් ඉදිරිපත් කළා කියල.. සුදුසුකම් සහිත නම් තමයි එවලා තියෙන්නේ කියලා කියනවා. ව්‍යවස්ථාවේ සුදුසුකම්වලට අනුකූලව ජනාධිපතිවරයා නම් හතරක් එවලා තියෙනවා වස්ථාදායක සභාව බලන්න ඕනේ සුදුසුකම් සහිත කෙනා කවුද කියලා මූලික සුදුසුකම් සහිත නම් තමයි එවලා තියෙන්නේ කියලා නලින්ද ජයතිස්ස කියනවා.
නම් හතරක් යෝජනා කළා කිව්වට ඇත්තටම සිදුවුණේ වැඩ බලන විගණකාධිපතිවරයා විදිහට නමක් යෝජනා කිරීම. එම නම ව්‍යස්ථාදායක සභාව අනුමත කළා. නැවත ඒ නමම ගෙනාවම ව්‍යවස්ථාදායක සභාව ඒ නම ප්‍රතික්ෂේප කරල කිව්වා. ස්ථිර නමක් යෝජනා කරලා එවන්න කියලා.. ජාතික විගණන කාර්යාලයේ සිටින ජේෂ්ඨතමයාගේ නම විගණකාධිපති ධූරයට නම් කරලා එව්වේ නෑ. ඒ වෙනුවට කැලණිය විශ්වවිද්‍යාලයේ තමන්ගේ මිත්‍ර සමාගමේ කෙනෙක්ගේ නම යෝජනා කරලා එව්වා. එය ප්‍රතික්ෂේප කරාම ව්‍යවස්ථාදායක සභාව ඊළඟට ජාතික විගණන කාර්යාලයේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයාට වඩා අඩු සුදුසුකම් තියෙන කෙනෙක් නම් කරලා එව්වා. ව්‍යවස්ථා දායක සභාව එයාවත් ප්‍රතික්ෂේප කරා.. ජනාධිපති අවසානයේ හමුදා නිලධාරියෙකුගේ නමක් එව්වා.. ඒ නම් තුනම සුදුසුකම් නැති අය. ජනාධිපතිවරයා දිගින් දිගටම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨත්වය අනුව නිලධාරින් සිටියදී පිටතින් පත් කිරීමට දිගින් දිගටම උත්සාහ කරනවා.
ඇයි ඒ??
පිටතින් එන නම ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කළාම නැවත වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස විගණන කාර්යාලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨතමයා වැඩ බලන විගණකාධිපති ලෙස නම් කරනවා.2025 අප්‍රේල් 8 වෙනිදා හිටපු විග්රහකාධිපතිවරයා විශ්‍රාම ගියා. දැන් මාස අටකුතූ ඉක්මවා ගිහිල්ලා.. දිගටම වැඩ බලන විගණකාධිපතිවරයෙක් තමයි ඉන්නේ. මේ නිසයි සුදුසුකම් සහිත ස්ථිර විගණකාධිපතිවරයෙක් නම් කරන්න කියලා ව්‍යවස්ථාදායක සභාව කියන්නේ. තවදුරටත් වැඩ බලන විගණකාධිපති ධූරයේ සේවා කාලයේ දීර්ඝ කළ නොහැකි බවත් අදාල තනතුරට ස්ථිර පත් කිරීමක් කරන ලෙසත් වස්ථාදායක සභාව ඉල්ලා සිටිනවා. එය නිවැරදි යී.
මෙවැනිම තත්ත්වයක් පසුගිය කාලයේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙනුත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. දිගින් දිගටම වැඩ බලන පොලිස්පතිවරයෙක් සිටීම සුදුසු නෑ. ස්ථිර පොලිස්පතිවරයෙක් පොලිස් දෙපාර්තමේන්තුවට පත් කරන ලෙස ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියා මතක ඇති… එවැනිම තත්ත්වයක් තමයි දැන් මෙතනත් තියෙන්නේ.
විගණකාධිපති තනතුර පුරප්පාඩු වූ විට සම්ප්රදාය තමයි ජාතික විගණන කාර්යාලයේ සේවයෙ නියුතු ජ්‍යෙෂ්ඨතමයා අත්දැකීම් තියෙන පරිචයක් තියෙන කෙනා පත් කිරීම. එසේ නොකොට පිටතින් පත් කිරීම මගින් ලැදියාවන් අතර ගැටුමක් ද නිර්මාණය වෙනවා පමණක් නෙවෙයි එම ධුරය දේශපාලනීකරණය කිරීමක්ද සිදුවෙනවා.
රාජ්‍ය මූල්‍ය විගණනයට අදාළ ජාත්‍යන්තර ප්රඥප්තිවලට ප්‍රකාශන වලට අපි රටක් විදියට අත්සන් කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ මූලික විගණන කටයුතු භාර නිලධාරියා වන්නේ විගණකාධිපතිවරයාය.
දහ නමවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන දිනය දක්වා රාජ්‍ය මූල්‍ය විගණනයට අදාල 147 ව්‍යවස්ථාවේ සිට 154 ව්‍යවස්ථාව දක්වා නීති කිසිවක් වෙනස් නොවූ අතර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන සේවා කොමිෂන් සභාව පිහිටවනු ලැබූ අතර විගණකාධිපතිවරයා පත් කිරීම හා සම්බන්ධ නීති රීතිවල ද සංශෝධනයක් සිදුවිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 183 ඈ( 1) වගන්තියේ විධිවිධානය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත් කිරීම උසස් කිරීම මාරු කිරීම විනය පාලනය සහ සේවයෙන් පහකිරීම පිළිබඳ බලතල කොමිසම් සභාවට පැවරා ඇත.
දැන් වැඩ බලන විගණකාධිපතිවරයෙක් හෝ ස්ථිර විගණකාධිපතිවරයෙක් මාසයක් තිස්සේ රටට නැත. කෝප් කෝපා කමිටු වැඩ කොට උඩය. විගණන කොමිසමේ කටයුතුද නතරවී ඇත. ආචාර්ය හර්ෂද සිල්වා මූලිකත්වය ගෙන කටයුතු කරන මුදල් කාරක සභාවේ කටයුතුද අඩාල වී ඇත. අල්ලස් දූෂණ කොම්ෂමේ කටයුතුවලටද බලපා ඇත. දෙසැම්බර් 6 වෙනිදා සිට රටට විගණකාධිපතිවරයෙක් නැත. මෙවැනි තත්ත්වයක් කිසිදා මීට පෙර සිදුවී නැත. විගණන සේවා කොමිසමද ක්‍රියාත්මක වන්නේ නැත. විගණන වාර්තා සකස් කිරීම වාර්ෂික වාර්තා සකස් කිරීම ඇතුළු මේ කිසිවක් දැන් ක්‍රියාත්මක වන්නේ නැත.
රට තුළ අල්ලස දූෂණය සහ වංචාව නතර කිරීමට නම් ස්වාධීන රාජ්‍ය මූල්‍ය විගණනයක් සිදු විය යුතුව ඇත. විගණකාධිපතිවරයෙක් නෑ කියන එකෙන් හැදිලි වන්නේ එය රටේ සමස්ත මූල්‍ය වගවීමේ ක්‍රියාවලියට චේතාන්විතවම ජනාධිපතිවරයා එල්ල කළ මරු පහරක් බවයි.එ පමණක් නෙවෙයි සුළි කුණාටුවෙන් පස්සේ රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විපතට පත් වූ අයට විශාල වශයෙන් මානූෂික ආධාර රටට ලැබෙනවා.. පුද්ගලික අංශයෙන් දානපතියන්ගෙන් විදේශ ආධාර වශයෙන් විවිධාකාර රාජ්‍ය ආයතනට ලැබෙනවා.
මේ තත්ත්වය තුළ ඉතාම සංකීර්ණ මූල්‍ය සංසරණයක් රාජ්‍ය ආයතන තුළ සිදුවෙනවා. විශාල මුදල් හා භාණ්ඩ ප්‍රමාණයක් රටට ලැබෙනවා රට තුළ සංසරණ වෙනවා. නියමිත ක්‍රියාවලියෙන් බැහැරව ප්‍රසම්පාදන කටයුතු සිදුකෙරෙනවා . එම ක්‍රියාවලිය තුළ දූෂණ කටයුතු සිදුවෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. එම නිසා මේ වගේ සංකීර්ණ අවස්ථාවකදී රටට ස්ථිර විගණකාධිපතිවරයෙක් සිටිය යුතුයි. ජනාධිපතිවරයා එසේ නොකර සිටීමෙන් ජාත්‍යන්තරයට ලබා දෙන්නේ නරක පණිවිඩයක්. පමණක් නෙවෙයි ව්‍යවස්ථානුකූල පාලනය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරනවා.
ඡන්දය දිනනකම් ගණන් කරන්න කියලා එක්තරා දේශපාලන නායකයෙක් කිව්වා වගේ තමන් බලාපොරොත්තු වෙන ජනාධිපතිගේ මිත්‍ර සමාගමේ කෙනා ගේ නම පත් කරනකන් විගණකාධිපති ධූරය හිස්ව තබා ගැනීම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලිය. එමෙන්ම තමන්ට වාසිදායක ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සකස් කර ගැනීම තෙක් කල්මැරීමද ආණ්ඩුවේ උපාය බව පෙනේ.
කෙසේ හෝ තමන්ට හිතවත් පුද්ගලයෙකු මෙම තනතුරට පත් කරගෙන තම ආණ්ඩුවට දැනටමත් එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනා තනුක කර නමා දේශපාලනීකරණය කිරීම මෙහි ඇති අරමුණ බව පැහැදිලිය. එබැවින් පැහැදිලිව ජනාධිපතිවරයා චේතාන්මිතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. එබැවින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී මෙම ක්‍රියාකලාපයට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගත හැකි පියවර පාර්ලිමේන්තු තුළ ගැනීමේ වගකීම ඇත්තේ නිල විපක්ෂයටය.

