ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගෙන අවුරුදු දෙසිය දහයයි: රට වැසියන් විසින් කුදලා ඉංග්‍රීසීන්ට පාවා දුන් සිංහලේ මහ රජු
- Editor
- February 19, 2025
- තීරු ලිපි, විශේෂාංග, සිංහල Header
- opinion
- 0 Comments
අරුණ ජයවර්ධන
රජු රදලයන්ට ප්‍රියමනාප නොවීය. නමුත් සාමාන්‍ය ජනයාට ප්‍රියමනාප විය. ප්‍රභූන්ගෙන් රට වැසියන්ට සිදුවන හිරිහැර අසාධාරණකම්වලදී රජු මහජනයා වෙනුවෙන් පෙනීසිටියේය. එනිසා රජු ප්රභූන්ගේ අප්‍රසාදයට පත්විය. දුප්පතුන්ට ක්රෑරත්වයෙන් සලකන, තලා පෙළා ඔවුන් සූරා කන රදලයන්ට රජු එරෙහි වීම නිසා ඔවුහු රජුගෙන් පළිගැනීමට මාන බැලූහ. එහි අවසානය රජු පාවා දීමයි.

ශ්‍රී වික්‍රම: මගේ සෙනඟ කළේ කල යුතු දේ. මම ගැහැණියක්ද පිරිමියෙක්ද කියා පෙන්වා දෙන්න ඕනෑකම තිබුණා. ඔබ දෙවරක් මගේ නගරය ආක්‍රමණය කළා. ඔබට දැන් ගොඩක් සතුටුයි. දෙවනවර මාව ඉවත් කර ගන්න ලැබුණා.
මාර්ෂල්: (අත්අඩංගුවට ගැනුණු මැද මහනුවර සිට) මහනුවරට එන මඟ දි ඔබේ මිනිස්සු එතරම් විරෝධතාවක් දැක්වූයේ නැහැ. තුන්කෝරලයේ හා සතර කෝරළයේ අයත් ඉවසීමෙන් බලා සිටියා.
ශ්‍රී වික්‍රම: බඩට ගියාට පස්සේ කෑමේ රස ගැන කතා කරල වැඩක් නැහැ. (එහි අරුත: රාජධානිය නැතිවුණාට පස්සේ යුද්ධය ගැන කතා කරලා වැඩක් නෑ) ඔබ කොතරම් කල්ද මෙහෙට ඇවිත්? ඇයි යුරෝපයෙන් මෙහෙට ආවේ?
මාර්ෂල්: මම හමුදා වෛද්‍ය බලකායේ. මගේ රාජකාරිය රෝගී සොල්දාදුවන් බලා ගැනීම.
ශ්‍රී වික්‍රම : හොඳ වැඩකට ආ ඔබ හොඳ කෙනෙක් වගේ පේනවා. ගෙදර ඉන්න කැමැත්තක් නැද්ද?
මාර්ෂල් : කැමතියි.
ශ්‍රී වික්‍රම : මතක් කරන්න, මොකක්ද ඔබේ නිවසේ හැඩය? රවුම් ද හතරැස් ද?
මාර්ෂල් : මගේ නිවස හතරැස්.
ශ්‍රී වික්‍රම : ඔබ ඒ නිවස තුළ සිටියා නම් ඔබේ සිතිවිලිද එහි තිබෙනු ඇත. සිත තිබෙන්නේ කය තුළය. සිත බැහැරට ගිය විට කයෙහි වැදගැම්මක් නැත.
ඉහත සන්සුන් දෙබස, ස්කොටිෂ් ජාතික වෛද්‍ය හෙන්රි මාෂල් හා උඩරට අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ අතර සිදු වූවකි. වෛද්‍ය හෙන්රි මාෂල් ඉංග්‍රීසි 84 වැනි බලකායේ උපශල්ය වෛද්‍යවරයා ලෙස 1808 දී ලංකාවට ආ කෙනෙකි. උඩරට රාජ්‍ය ආක්‍රමණය පිණිස 1814 දෙසැම්බර් මාසයේ රැස් කෙරුණු යුද්ධ සේනාවේ පළමුවැනි කණ්ඩායමට ඔහු අයත් විය. හෙතෙම මේජර් ලයනල් හුක්ගේ ප්‍රධාන වෛද්‍යවරයාද විය. මේජර් හුක්, මහනුවර රාජධානිය ආක්‍රමණය කළ ඉංග්‍රීසි හමුදා සේනාංකයේ ප්‍රධානියා ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ, ලංකාවේ අන්තිම රජු, ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ 1815 පෙබරවාරි 18 වැනිදාය. ඒ කියන්නෙ හරියටම මීට අවුරුදු දෙසිය දහයකට පෙරය. ඉංග්‍රීසින් විසින් ජීවග්රහයෙන් අල්ලා ගනු ලැබූ රජු කොළඹට ගෙන එන ලදුව ලංකාවෙන් පිටුවහල් කරන ලදි.
මාර්ෂ ඉහත සාකච්ඡාා කළේ, ශ්‍රී වික්‍රම ඔහුගේ බිරියන් සමඟ පිටුවහල් කිරීම සඳහා ‘එච්.එම්.එස් කෝන්වැලිස්’ නම් නැවට නැංවීමට ආසන්නයේ, 1816 ජනවාරි 24 දිනයේ ය.
ඔහු ආණ්ඩුකාර තැනගේ රථයෙන් නැව් තොටට ගෙනයන ලද අතර බිසෝවරුන් සඳහා පල්ලැකි සපයන ලද්දේය. ඔවුහු ඔරුවට නැගුණු විට මුහුණු වැස්ම පැළඳ සිටියහ. නැව් නැඟීම සඳහා සෑහෙන තරම් කාලයක් ගත විය. මේ අවස්ථාවේදී රජතුමා ශාන්ත ලෙස හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව තම මිනිසුන්ට අණ දෙමින් එයට සහාය විය. ඔහු අත්‍යාලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය. ඇඳ සිටි විශාල රැලි කලිසම් (උඩය) පාදයේ වළලු කරේදී තද කොට තිබුණු හෙයින් ඔහු දුටු අයට නොක්ස් විසින් කැරුණු රාජසිංහ රජු පිළිබඳ විස්තරය මතක් විය. රජ, බිසෝවරු හා නැන්දනියෝ කපිතාන්ගේ පාරුව මගින්ද, සේවකයෝ තවත් පාරුවක් මගින්ද නැවට නැංගෝය. සුළඟ වේගවත් වූ හෙයින් නැව කරා යාමට මුහුදේ තරමක් දුරට යා යුතු විය. ඔවුහු පුටුවක් මගින් නැවට ගන්නා ලදහ. බිසෝවරුන්ගෙන් සමහරකු බෙහෙවින් බියපත් වූ අතර අන්‍යයෝ මුහුදු ලෙඩින් – වමනයෙන් පෙළුණාහ. බය පිළිබඳ සලකුණක් පවා රජු කෙරෙන් පළ නොවීය. ලදරු කාලයට පසු නුදුටු නුපුරුදු චණ්ඩ මුහුදක් මැදින් මෙයට පෙර නුදුටු විරූ ඉංග්‍රීසි යුද්ධ නෞකාවකට ඔහු ගෙන යනු ලැබී යැයි සලකන විට, ඔහුගේ ලීලාවෙන් ප්‍රදර්ශනය වූයේ උදාරත්වය හා ස්ථිරත්වය යැයි පිළිගත යුතුය.
රාජ්‍ය සිරකරුවකු ලෙස 17 වසක් කල් ගෙවූ ඔහු 1832 ජනවාරි 30 දින අපර භාගයෙහි වෙල්ලෝර්හිදී පරලෝකප්රාප්ත විය. එකල ඔහුගේ වයස පනස් දෙකකි. පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම අනුව, යුද්ධාරක්ෂක මණ්ඩලයක්, පුරුෂ පක්ෂයට අයත් ඥාතීන් හා පරිවාර ජනයන් විසින් පිරිවරන ලද මෘත ශරීරය ඉර බැස යෑමට පෙර ආදාහන මළුව වෙත ගෙන යන ලදී.
පිටුවහල් කරනු ලැබ සිටියදී උපන් පුත්‍රයෙක් ඔහුට සිටියේ ය. යනුවෙන් සිය “සිලෝන්” පොත ලියමින් හෙන්රි මාෂල් කියයි.
ශ්‍රී වික්‍රම ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ මැද මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටියදී ය. ඒ සිය බිසවුන් දෙදෙනා ද සමඟය. පරාජිත රජු අල්ලා ගත් ආකාරය මේජර් හුක්ගේ භාෂා පරිවර්තක දොන් විලියම් ඩයස් විසින් විස්තර කෙරෙන ආකාරය මෙසේය. (මේ කියන විලියම් ඩයස් හෙවත් දොන් වී ඩයස් හෙවත් දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක යනු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ මුල් පරම්පරාවේ අයෙකි. ඔහු එකල සිටි මහ මුදලිවරුන් තිදෙනාගෙන් කෙනෙකි. කළ සේවයට ගරු කිරීමට බ්රවුන්රිග් ඔහුට රන් දම්වැලක්ද පදක්කමක්ද 1819 දි පිරිනැමීය)
ඩයස්ට අනුව, ගල්ලෙහිවත්තේ ආරච්චිලගේ නිවසේ රජු සැඟවී සිටින බවට ආරංචි වී තිබේ.
තම මිනිසුන් සමග එක්නැලිගොඩ ඉදිරියෙන්ම එම නිවස වෙත පැමිණියේය. නිවසේ දොර වසා තිබුණු අතර සැතපෙන ගේ අප්පුහාමිවරයෙකු දොරටුව මුර කරමින් සිටියේ ය. ඔහුගේ අතේ හෙල්ලක් තිබිණ. එම දොරටු පාලයා විසින් එක්නැලිගොඩ හඳුනාගනු ලැබූ අතර හෙල්ලය වේගයෙන් එක්නැලිගොඩ වෙත එල්ල කරන ලදී. එක්නැලි ගොඩ පසෙකට වූයේ නැතිනම් ඔහු එතැනම පරලොව යනු නිසැක ය. ඉලක්කය වැරදුණු හෙල්ල අසල වූ ගල් පර්වතයක වැදි කෑලි කෑලි වලට කැඩී ගියේය. අප්පුහාමි වහාම අත්අඩංගුවට ගැනිණ. දොරටුව වෙත ගිය එක්නැලිගොඩ බිසෝවරුන් දෙදෙනෙකු සමග ගේ ඇතුළත සිටි රජුට දොර විවෘත කරන ලෙස කීවේය. ඊට අදි මදි කළ රජු කවුළුවකින් රිදී ආලේපිත තුවක්කු තුනක්ද කිනිසි දෙකක්ද පිටතට දුන්නේය. රාජ්‍ය ලාංඡනය වූ කඩුව දෙන ලෙස ඉල්ලුවද රජ එසේ නොකළේ ය. ඒ නිසා දොර කඩා බිඳ දමනු ලැබූ අතර මිනිස්සු ඇතුලට දිව ගියහ. ඉන්පසු දකින්නට ලැබුණේ සිත කීරිගන්වන දසුනකි. ස්වර්ණාභරණයෙන් සැරසී සිටි රජ පවුලේ අයගේ ඇඳුම් ඉරා දමන ලදී. ඉන්පසු තම නිරුවත් සිරුරු වසා ගැනීමට වියතක් බැඟින් ප්‍රමාණයේ රෙදි කැබලි විසි කරන ලදී.

පිටත සිටි ඩයස් බිසෝවරුන්ට පිටතට එන මෙන් කෑ ගසා කීවේය. ද්‍රවිඩ බස කතා කළ ඔහු බිසෝවරුන් ඇමතුවේ ගෞරව සම්ප්රයුක්තව “අම්මාවරුන්” හැටියට ය. ඔවුන් පිටතට පැමිණියේ ඉතා ඛේදජනක දසුනක් මවමිනි. හරියට ගෙල කඩා දමන ලද කිකිළියන් මෙනි. ඩයස් විස්තර කරයි. (එකල ලාංකිකයන් කුකුළන් මැරුවේ ඇඟිලි දෙකින් ගෙල මිරිකාගෙන ක්ෂණිකව ගෙල සිරකිරීමෙනි.එවිට සිරුර කැඩී බිම විසි වෙයි. හිස නැති කඳ ලේ ගලමින් මඳ වේලාවක් ඒ මේ අත දිව යයි. ඉන්පසු බිම ඇද වැටි ගැසී මිය යයි) “අනේ අප බේරා ගන්න” යන ආයාචනය ඔවුන්ගේ මුවින් පිට විය. කන්පෙති ඉරා කර්ණාභරණ උදුරාගෙන තිබුණු නිසා කන්වලින් ලේ වැගිරෙමින් තිබිණ. ඖෂධ කොළ වර්ගයක් තලා කන් පෙතිවලට තබා ඔහු ලේ ගලායාම නැවතුවේය. මේ අතර එක්නැලිගොඩ තම මිනිසුන්ට අණ කළේ, වැල්පට කඩාගෙන ඇවිත් මේ ඌරා බැඳ ඇදගෙන යව් කියාය.ඔහු රජුට නින්දිත වචනයෙන් පරිභව කළේය. මේ පරිභවය ඩයස්ට දරා ගත නොහැකි විය. මේ අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියකු මෙන් දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරව පෙන්වූයේ නැහැ. ඔහු දැඩි විරෝධය දක්වමින් කීවේය. දැන් රජු අත්අඩංගුවට ගෙන ඇති නිසා අවැසි වන්නේ ඔහුට නින්දා අපහාස කිරීම නෙවෙයි. ආරක්ෂා සහිතව රැගෙන යාමයි. ඇයි මෙසේ වැල් පටින් බැඳ රජුට අවමාන කරන්නේ? කියමින් රජුට නිසිසේ විලි වසා ගැනීමට තම සාළුව දුන්නේය. මෙවිට එක්නැලිගොඩ කෝපයෙන් කියා සිටියේ, තමාට ඔහුගේ උපදෙස් අවශ්‍ය නොවන බවයි. එසේ කියමින් හොඳින් රජු වැල්පටින් බැඳීමට අණ කළේය. රජුට බිම ඇවිද ගැනීමට නොහැකිව ගිය නිසා ඔහු බිම දමා ඇදගෙන යන ලදී.
ආරක්ෂාව පතා බිසෝවරුන් සිටියේ ඩයස්ගේ උරහිසෙහි හා දෑතෙහි එල්ලීගෙනය. වෙනකෙකු ලවා සාක්කුවේ තිබුණු සටහන් පොත හා පැන්සල එලියට ගත් ඔහු අපහසුවෙන් තම දෑත් නිදහස් කරගෙන එහි සිටියකුගේ පිට මත තබා මෙහි සිදුවන්නේ කුමක්දැයි හෙළි කරමින්, ඩොයිලිට හදිසි පණිවිඩයක් ලියා දෝලාවක්ද ඇඳුම් පැළඳුම් ද රැගෙන වහාම එහි එන ලෙස දන්වා හැරියේය. පණිවිඩය යවා පැයකුත් විනාඩි විස්සක් යාමට පෙර හමුදා බට පිරිසක් අසු පිටින් එහි ආවේය. රජු බිම වැටී සිටියේය. ඔහුගේ කාල වර්ණ එහෙත් දැකුම්කළු මුහුණ වේදනාවෙන් පිරී පැවතිණ. එහෙත් බියක සේයාවකදු එහි නොවීය. වහා තම අසුපිටින් බැසගත් ඉංගිරිසි භටයෝ රජු අසල දණ ගසාගෙන ඔහු බැමිවලින් නිදහස් කිරීමට උත්සාහ කළ අතර තවත් සමහරෙක් කස පාවිච්චි කරමින් සබරගමු ජනයා ඈතින් තබා ගැනීමට උත්සාහ කළහ. අඩි හයක් වූ රජුගේ සිරුර හා එයටම සමාන වූ දර්ශනීය අත් පාද පෙරදිග ඉහළ ජන්මයක ලක්ෂණ කියා පෑවේය. ඒ වන විට සිරුර පුරා තුවාලවලින් ලේ ගලමින් තිබිණ. ඔහු තම අභිමානවත් හඬින් අනෙක් අයගේ අවධානය තමන් වෙත යොමු කර ගනිමින් රජෙකුට සැලකිය යුත්තේ මෙසේදැයිි විමසීය. මේ පීඩාකාරී අවස්ථාවේ වුවද ඔහුගේ මහේශාක්‍ය බව මොනවට කැපී පෙණින. පිපාසය ඇති බව රජු කී විට මිදි යුෂ සහ පැන් මිශ්‍රකොට බීමට දෙන ලදි. බිසෝවරුන්ට ජලය මිශ්‍ර රතු වයින් දෙන ලදී. සියලු දෙනාම කෘතඥපූර්වකව ඒවා පානය කළහ. මේ වන විට දෝලා ගෙන එනු දක්නට ලැබිණ. එය සමඟ හදිසියේ එකතු කරගත් සුදුසු ඇඳුම් පැළඳුම් ද විය. රාජකීය පිරිස සුදු ඇඳුමින් සරසනු ලැබිණ. රජු දෝලාවට නැගීමට පෙර ඩයස් දෙසට හැරී මෙසේ කීවේය. “පුත සුද්දන් විසින් නිසැකවම මට මරණීය දණ්ඩනය දෙනු ඇත. එහෙත් බිසෝවරුන්ට අභය දානය දෙනු ඇත. මා නුඹෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට රැකවරණයත් ආරක්ෂාවත් ලබා දෙන ලෙසයි”
ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් අසු අරා රජුගේ දෝලාව දෙපසින් ඇදගත් කඩුපත් ඇතිව ගමන් කළහ. (මෙයින් එක් නිලධාරියෙක් මේජර් හුක් ය. රජු කැටිව යන පිරිසට අණදීම ඔහුගේ වගකීම විය. රජු ඔහුට මුද්දක් පිරිනැමීය. එය දැන් මහනුවර කෞතුකාගාරයේ ඇත) දෝලාව ඉදිරියෙ න්ද පසු පසින් ද අස්වාරෝහක බටයන් මෙන්ම පාබල සේනා බටයෝද ගමන් ගත්හ. ඩයස් සහ ඔහුගේ මිතුරෝ පිටුපසින් ගියහ. එක්නැලිගොඩ හා ඔහුගේ කලහකාරී පිරිස ඈතින් තබන ලදී.
මෙසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම රාජධානිය හරහා අවසාන වරට යන ගමන ආරම්භ කළේය.
ඩොයිලිව වහාම ආණ්ඩුකාරයාට ආස්වාදය ගෙන එන පණිවුඩය යැවීය. ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවිය. ඔබතුමා නොඉවසිල්ලෙන් සිටි ප්‍රමෝද ජනක ප්‍රවෘත්තිය එවමි. දුම්බර ජනයා විසින් ඊයෙ රෑ වන්නට පැයකට පෙර මැද මහනුවර වටකොට මහනුවර රජු අල්ලා දෙනු ලැබීය. ඔහු සැගව සිටියේ මැද මහනුවරට සැතපුමක් දුරින් උඩුපිටියේ ආරච්චිගේ නිවසේය. (ඔහු කීවේ බොරුවකි. ශ්‍රී වික්‍රම අල්ලා දුන්නේ දුම්බර ජනයා නොවේ. එක්නැලිගොඩ මුල් කරගත් ස්වදේශිකයන්ගෙන් සමන්විත සේනාව විසිනි)
රජුට වද හිංසා කිරීම හා ආභරණ පැහැර ගැනීම ගැන ඩොයිලි හෝ වෙනත් ඉංග්‍රීසි නිලධාරියකු එක්නෑලිගොඩට කිසිදු දෝෂාරෝපණයක් කළේ නැත. විජයග්‍රහණයේ බල කණු තුන වූයේ ඩොයිලි, ඇහැලේපොළ හා එක්නැලිගොඩ ය.
ඩොයිලි රජු හා බිසවුන් ආරක්ෂා සහිතව මහනුවරට යැවී ය. රජුට සුදුසු ඇඳුම් ද සපයන ලදී. හංවැල්ලේ සිට ගෙනා රජුගේ මවට ද ආරක්ෂාව සැපයීමට පොරොන්දු විය. තමන්ගේ රාජාභරණ හා වස්තුව කොල්ලකෑම ගැන හා නින්දා අපහාස අඩන්තේට්ටම් කිරීම ගැන රජ පැමිණිලි කළේ ය. එහෙත් තම ඛේදජනක ඉරණම හමුවේ රජුගේ මුහුණේ චකිතයක් හෝ කම්පනයක් දක්නට නොලැබිණ.
රජු අල්ලා ගැනීම පිළිබඳ පුවත ජනරාල් බ්රවුන්රිග් වෙත පැමිණියේ 19 වැනි දිනදී ය. මෙවිට ඔහු මුලාදෑනීන් කිහිපදෙනෙකු සමග රාත්‍රී භෝජනානුභාවයෙහි යෙදී සිටියේය. අතිතුෂ්ටි ජනක වූත් නොයෙක් අතින් ඉතා වැදගත් වූත් මේ පුවත ඇසීමෙන් බලවත් ලෙස කැලඹුණු ඔහු කෑම මේසයෙන් නැගිට කඳුළු බේරෙන නෙතින් යුතුව එහි සිටි සියල්ලන්ටම අතට අත දෙමින් යුරෝපීය තුන් ජාතියක් විසින් අවුරුදු තුන් සියයක් පමණ කාලයක් නිෂ්ඵල ලෙස වෑයම් කරන ලද කාර්යයක් උඩරට ජය ගැනීම ඉටු කර ගැනීමට වෙහෙස දරා කටයුතු කිරීම ගැන ඔවුන්ට ස්තූති කළේ යැයි මාෂල් ලියයි.
රජු සහ ඔහුගේ සමීප ඥාතීන් ඇතැමුන් වෙල්ලෝරයටත්, ඇතැමුන් යාපනයටත් යැවීමට ඉංග්රීසිහු කටයුතු කළහ. මෙවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් සිදුවන පරිදි රජුගේ සැඟ වූ වස්තුව සොයාගෙන තම ස්වාමියාට භාර කිරීමේ වගකීම ඩොයිලිට තිබිණ. රජු තම වස්තුව තිබෙන ස්ථාන ගැන ඩොයිලිට පවසා ඇත. එදිනම උදෑසන ශ්‍රී වික්‍රම තම මව හා බිසොවුන් සිව් දෙනා ඩොයිලිට මුණගැස්සුවේය. මව තම පුතු අත්අඩංගුවට පත්වීම ගැන හැඬූ කඳුළින් සිටි අතර කිසි ලෙසකින්වත් අස්වැසිය හැකි තත්ත්වයක සිටියේ නැත. ඩොයිලි රජුගේ නෑයන් ද හමුවිය. ඔවුහු බියෙන් තැති ගෙන සිටියහ. නමුත් ඩොයිලි අවස්ථාවාදී මෙන්ම ව්‍යාජ මහත්මා ගති පෙන්වමින් ඔවුන් ආස්වසමින් ඔවුන්ට නිසි ගරුත්වය සහිතව ඉන්නට සලස්වන බවට පොරොන්දු වූයේ ය.
රජු අල්ලා කොළඹට ගෙන ඒමෙන් පසුව මාර්තු 6 දින වෙරළාසන්න ස්ථානයකට ගෙන ඇවිත් මේජර් හුක් ඔහුට විශේෂ කුටියක් පිළියෙල කර දුන්නේය. තමන්ට ලැබුණු ගරු සැලකිලි ගැන ශ්‍රී වික්‍රම සතුටට පත්ව සිටියේය. යටත්ව සමුගෙන යන අවස්ථාවක වුව ඔහුගේ තිබුණු ධෛර්යය ඉංග්‍රීසීන් මත දැක්වූ ප්‍රසන්නභාවයට හා සිනා මුසුව සිටීම ගැන අනෙක් අය අතරද ප්‍රසිද්ධ විය. කොළඹට ගෙන එන අතරද ඔහු උදාර නිර්භීත ගති ගුණ විදහා දැක්වීය. තමාට වඩා පහත් අයගේ දෙපා තම හිසට ඉහළින් තැබිය නොහැකි නිසා (දකුණු ඉන්දියාවේ වෙල්ලෝරය ඔහු රඳවා තැබුණු) බලකොටුව තුළට යන විට ප්‍රාකාර මත කිසිවකු නොසිටිය යුතු බව ඔහු තදින්ම කියා සිටියේය. රාජ්‍ය බි ඳවැටුන ද ඔහුගේ ප්රතාපවත් පෞරුෂය බිඳ වැටී නැත. හැමෝම තමන්ට පහළින් සිටිය යුතු යැයි රජු ලෙස ඔහු ගොඩනඟාගෙන තිබූ අභිමානය තවමත් පවතී.
ශ්‍රී වික්‍රම ගැන උඩින් ලියන හා කතා කරන සමහරුන් කියන්නේ ඔහු ක්‍රෑර පාලකයකු බවයි. ඇහැළේපොළ පවුලට දුන් දඬුවම් ඒ සඳහා බොහෝ විට උපුටා දක්වනු ලැබේ. එහෙත් ඇත්ත කතාව නම් ජෝන් ඩොයිලි උඩරට රාජධානිය අත්පත් කර ගැනීම සඳහා රජු හා උඩරට රදල ප්‍රධානින් අතර මාරාන්තික වෙනසකයක් නිර්මාණය කළ බවයි.
1800 මුල් භාගයේ බ්‍රිතාන්‍ය සිවිල් සේවක රොබට් පර්සිවාල් සටහන් තබන අන්දමට මහනුවර ශ්‍රී වික්‍රම මෘදු ගති ගුණ ඇතිි අයෙකි. මෘදු හා සන්සුන් ගුණය දිගටම පවත්වාගෙන ආ ඉතාම නොසන්සුන් අවස්ථාවකදීත් මෘදු හා සන්සුන්ව කටයුතු කළ අයෙකි.
වෛද්‍ය හෙන්රි මාෂල් රජු ගැන මෙසේ කියයි.
“රජු ඉතා කඩවසම්ය. මට පෙනෙන ආකාරයට ඔහුගේ බුද්ධියේ කිසිම අඩුවක් නැත. රාජ්‍ය අහිමිව සිරකාරයකු බවට පත් වූ රජෙකු මෙතරම් ප්රමෝදයකින් සිටිනු අපේක්ෂා කළ නොහැක.”
මේ අත්අඩංගුවට ගැනීමට පෙර රජු රජ කළ කාලය ගැන මාෂල්ගේ සටහනකි. සංගීතයෙන් හා ඔහුගේ චිත්‍ර ශිල්පීන් අදින සිතුවම් නරඹමින්ද සිය මාලිගය හා නගරය සරසන, අලංකාර කරන ශිල්පීන්ගේ කටයුතු පරීක්ෂා කරමින්ද ඔහු විවේකී මනසකින් ගත කරයි. රජු සිය දින චරියාවෙහිදී වැඩි කාලයක් මෙම කටයුතු නිරීක්ෂණයට හා නඩු විසඳීමට ගත කර ඇත.
1815 දී මහ මුදලිද සේරම්ද සිය සටහනකින් රජුගේ කලාකාමී ජීවිතය ගැන එම අදහස තහවුරු කරයි.
“හිටපු රජතුමා සංගීතයෙහි ඇලුන අයෙක්. ඔහුගේ සංගීත කණ්ඩායම නිතරම රජු ඉදිරිපිට ගායන වාදනයෙහි යෙදුණා. ගණනාථ ඔබේසේකර සිය “නෙරපූ රජ” කෘතියෙහි මෙසේ කියයි. රජු අධූරදර්ශී තීන්දු තීරණ ගත් අයකු විය නොහැකිය. රජුගේ තීන්දු ගැන නියමාකාරයෙන් වටහා ගැනීමට ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවන්නට පුළුවන. එහෙත් ශ්‍රී වික්‍රමගේ ගති ස්වභාව අනුව හා උඩරට රාජ්‍ය සම්ප්රදාය අනුව පෙනෙන්නේ (චෝදනා) විනිශ්චය සඳහා රජුගේ ප්‍රධානීන්ගේ උපදෙස් බල පෑ බවයි. මරණ දඬුවම පැමිණවීම ඒ බලය ලත් නිලධාරීන්ගේ කාර්යයක් විය. රදලයන්ගේ හිස ගසා දැමීමත් සාමාන්‍ය වැසියන් උල සිටුවීමත් සිදුවිය. වරදකරු වදමල් පළදා වධකස්ථානයට ගෙනයාම සම්ප්රදායයි. මරණ දඬුවම හා දඩුවම් ක්‍රම පිළිගත්ත එකකි. එහෙත් දඬුවම් දීම පූජනීය අවකාශයක් තුළ සිදු නොකෙරේ. එය නගර සීමාවෙන් පිටත සිදුකළ එකකි.
ඇහැළේපොළ පවුලට අත් වූ දඬුවම කණගාටුදායක දෙයකි. ඔවුනට දඬුවම් දෙනු රජු පත්තිරිප්පුවේ සිට බලා සිටීම විය නොහැක්කකි. රජුගේ ඇස් ඉදිරිපිට දඬුවම් දීම කිසිදා සිදු නොවූවකි. ඩොයිලිගේ “කන්ස්ටිටියුෂන් ඔෆ් ද කැන්ඩියන් කින්ඩම්” කෘතිය අනුව මරණ දඬුවම් දී නැත. එයට හේතුව එම ස්ථානයේ රජු විසින් දර්ශනීය වැවක් ඉදිකිරීමයි. ඇහැළේපොළ කුමාරිහාමි එහි ගිල්වා මැරීම විය නොහැක්කකි. ශ්‍රී වික්‍රම සමයේ මරණ දඬුවම දුන්නේ නගරයට සැතපුම් තුනක් දුරින් පිහිටි ගන්නොරුවේ මහවැලි ගං ඉවුරේදී ය. එනිසා කුමාරිහාමිට මරණ දඬුවම දුන්නා වුවද ඒ පත්තිරිප්පුවේ සිට නැරඹිය නොහැක්කකි.
ප්‍රබල ස්කොටිෂ් අනන්‍යතාවක් ඇති මාෂල් දකින අන්දමට වරදකරුවන්ගේ අංග ඡේදනය බ්‍රිතාන්‍ය හා යුරෝපීය ක්‍රමයට වෙනස් නොවෙයි. මහජනයා ඉදිරිපිට වරදකරුවන් කැබලි කොට රටේ තැනින් තැන කැබලි ප්‍රදර්ශනය කිරීම යුරෝපීය ක්‍රමයයි. මාෂල් කියන්නේ සිංහලයන්ට සිතාගන්නටවත් නොහැකි තරම් දරුණු ඝාතන යුරෝපයේ සිදු වූ බවයි. පුරාතනයේ සිට 18 වැනි සියවස දක්වාම මායාකාරියන් වැනි අය පණ පිටින් පුළුස්සා මැරීම යුරෝපයේ පැවතිණ.
මාර්ෂල් : රජු රදලයන්ට ප්‍රියමනාප නොවීය. නමුත් සාමාන්‍ය ජනයාට ප්‍රියමනාප විය. ප්‍රභූන්ගෙන් රට වැසියන්ට සිදුවන හිරිහැර අසාධාරණකම්වලදී රජු මහජනයා වෙනුවෙන් පෙනීසිටියේය. එනිසා රජු ප්රභූන්ගේ අප්‍රසාදයට පත්විය. දුප්පතුන්ට ක්රෑරත්වයෙන් සලකන, තලා පෙළා ඔවුන් සූරා කන රදලයන්ට රජු එරෙහි වීම නිසා ඔවුහු රජුගෙන් පළිගැනීමට මාන බැලූහ. එහි අවසානය රජු පාවා දීමයි.
රජු හා ප්‍රභූන් විරසක කිරීමේ ජෝන් ඩොයිලිගේ ප්රයත්නය ගැන මාර්ෂල්ට අවබෝධයක් තිබී නැත. ඩොයිලිගේ නියෝජිතයා වූ හා 1817 කැරැල්ල වන විට බදුල්ලේ ඉංග්‍රීසි ආණ්ඩු නේවාසික නියෝජිතයා වූ සයිමන් සෝවර්ස් මාර්ෂල්ට මේ බව කියයි. රජු ක්රෑරකම් කළ බව සැම විටම අවධාරණය කෙරෙන නමුත් ඔහු ජනතාවට ඉතාම සමීපය. ඔවුහු සිය ප්‍රධානීන් අමනාප කරගෙන ඇත. ප්‍රධානීන්ගේ වෛරයට පාත්‍ර වී ඇත. රටේ නියම ප්‍රජා පීඩකයන් වන්නේ රදළ ප්රධානීන්ය. ඔවුන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට ගොස් රජු නෙරපීමට ලක්විය.
උපුටා ගැනීම – අනිද්දා පුවත් පත
ආශ්‍රය:
- නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය, ගණනාථ ඔබේසේකර, පරිවර්තනය එච්ජී දයාසිසිර-සරසවි ප්‍රකාශකයෝ,
- ත්‍රී සිංහලය: පෝල් ඊ පීරිස්, පරිවර්තනය අභය හේවාවසම් – සූරිය ප්‍රකාශකයෝ
- සිංහලේ: හෙන්රි මාෂල්, පරිවර්තනය ඇහැලේපොළ එච්.එම්. සෝමරත්න-විසිදුණු ප්‍රකාශකයෝ,
- ඩොයිලිගේ දිනපොත : අනුවාදක ධර්ම ශ්රීී ගුණපාල, ගොඩගේ ප්‍රකාශකයෝ

