ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ගැන මූලික කරුණු හතක් – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
- Editor
- October 9, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
02 කොටස

රජය විසින් පසුගිය දා ගැසට් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ’ පවතින මූලික ප්‍රශ්න හතක් තමාගේ නිරීක්ෂණයට ලක් වූ බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පැවසූවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද කතිකාව වැඩසටහනට සහභාගී වෙමිනි.
එම ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ඇය මෙම ගැටලු එකින් එක උපුටා දැක්වීමට ද පියවර ගත්තා.
ආචාර්ය නිමල්කාට අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ ඇති මූලික ගැටලුවක් වන්නේ එම පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ යනු කුමක්දැයි නිර්වචනය කර ඇති ආකාරයයි.
ආචාර්ය නිමල්කා මේ කාරණය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවාය,
ත්‍රස්තවාදය යනු කුමක්දැයි අර්ථ නිරූපණය කිරීම – ත්‍රස්තවාදය සාමාන්‍ය අපරාධ, විරෝධතා සහ දේශපාලන විසම්මුතීන්ගෙන් වෙන් කිරීමට ප්‍රමාණවත් තරම් නිවැරදිද ?. මේ පනතේ සඳහන් අර්ථ නිරූපණය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අර්ථනිරූපණය ‘අලුත්’ කියලා මානව හිමිකම් කොමිෂම කියනවා. නමුත් ඔවුන්ට අනුව සාමාන්‍ය අපරාධ, සාමාන්‍ය දේශපාලන විරෝධතා සහ දේශපාලන විසම්මුතීන් ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනයෙන් වෙන් විය යුතුයි. ත්‍රස්තවාදය යනු කුමක්දැයි පැහැදිලි කරන නිර්වචනයක් නොමැති අවස්ථාවක මෙය ඉතා වැදගත්. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලංකාවේ නීති තිබෙනවා. නමුත් වර්තමාන පනතේ තිබෙන ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනය නිවැරදි නොවන බව අපට පෙනී යනවා. (වගන්තිය 3(1)).
මෙහි එක් කාරණයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම කරුණු දක්වා තිබෙනවා. එහි ‘අනවශ්‍ය ලෙස’ කියන වචනය අපැහැදිලියි. එය එක්කෝ ‘නීති විරෝධී ලෙස’ වෙනස් විය යුතුයි. එසේ නොවන විට අනෙක් පොදු කාරණාත්, සාමාන්‍ය දේශපාලන විරෝධතාත් ‘ත්‍රස්තවාදය’ කියන කාරණයට ඇතුළත් වෙනවා.
දෙවැනි කාරණාව – විධායක රඳවා ගැනීම ඵලදායී සහ කාලෝචිත අධිකරණ පාලනයකට යටත් වෙලා තිබෙන බව ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය, “මෙහි ඇති ප්‍රධාන කාරණාව තමයි රැඳවුම් නියෝග. රැඳවුම් නියෝග ලබා ගැනීම සම්බන්ධ කාරණාව ඉතාම බරපතළ කාරණාවක්. රැඳවුම් නියෝගයක් හේතුවෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගන්නා පුද්ගලයා එතෙක් බුක්ති වින්ඳ සියලුම ආකාරයේ මානව හිමිකම් අහෝසි වීමට ලක්වෙනවා. ඔහු පැහැර ගැනීමකට ලක්වුණා හා සමාන තත්ත්වයක් තමයි රැඳවුම් නියෝගයකට ලක්වීමෙන් සිදුවෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබුණ මේ ගැටලුව සම්බන්ධයෙන් ද විසඳුමක් නව පනත තුළින් ලැබී නැති බවයි මට පේන්නේ. මෙහි දී රැඳවුම් නියෝග අත්සන් කිරීමේ දී ආරක්ෂක අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුල් බලතල පැවරීමක් සිදුවෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ ඉතාම පැහැදිලිව දේශපාලන පත් කිරීමක්. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හිමිවන මේ බලතල කිසිම ආකාරයකින් පිළිගත නොහැකි දෙයක්. මෙහි තිබෙනවා මහේස්ත්‍රාත්වරයෙකුට ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් මහේස්ත්‍රාත්වරයෙක් ප්‍රකාශයක් ගැනීමට පෙර අදාළ රැඳවුම්කරුට නීතිඥයෙකු හමුවීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.
මෙහි ඇති තෙවැනි ගැටලුව ලෙස ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නේ හමුදාවට අත්අඩංගුවට ගැනීමට ඇති බලතලයි. යෝජිත පනත් කෙටුම්පතේ 19 සහ 20 වන වගන්තිවල නීතිය ක්‍රියාත්මක කිරීම හමුදාකරණය කර තිබෙන බව ද ඇය පෙන්වා දුන්නාය. පසුගිය කාලය තුළ හමුදාව හරහා අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම බරපතළ ගැටලු ඇති වූ බව ද ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
“හමුදාව සහ දේශපාලනය එකම මාර්ගයක ගමන් කරන රටක මෙවැනි බලතල හමුදාවට දීම ඉතාම ගැටලු සහගතයි, එය සිදු නොවිය යුතු කාරණාවක්” ආචාර්ය නිමල්කා දැඩිව අවධාරණය කළාය.
රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතේ තමා දකින සිවුවැනි ගැටලුව ලෙස නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නේ යෝජිත පනත හරහා භාෂණයේ, ප්රකාශනයේ සහ සංවිධානය වීමේ අයිතිවාසිකමට ගැටලු ඇති වීමය. යෝජිත පනතේ 59 වැනි වගන්තිය හරහා සංවිධාන තහනම් කිරීම, සමාගමේ නිදහස, විශේෂයෙන් රැස්වීම් සහ විරෝධතා සංවිධානය කිරීම, 11 වන වගන්තියට අනුව මානව හිමිකම් ලේඛනගත කිරීම යනාදී වශයෙන් හානිකර කරුණු කාරණා ගණනාවක් තිබෙනව බව ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
“මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන විශාල විරෝධයක් පළ කර තිබෙනවා. ඔවුන් ස්වයං වාරණයකට ලක්කරන බවට චෝදනාවක් තිබෙනවා” ආචාර්ය නිමල්කා තව දුරටත් ගැටලුවේ සංකීර්ණත්වය සහ එයට ඇති විරෝධතා පැහැදිලි කරමින් සඳහන් කළාය.
ඇයට අනුව යෝජිත පනතේ ඍණාත්මක කාරණයක්, ගැටලුවක් ලෙස ඇය දකින පස් වන ගැටලුව වන්නේ, ආපසු හැරවිය නොහැකි හානියක් වැළැක්වීම සඳහා තහනම් කිරීම සහ සීමා කිරීමේ නියෝග ඉක්මනින් අභියෝගයට ලක් කිරීමට සිදුවීමය. ඇයට අනුව මහජන ආරක්ෂක පනත යටතේ සිදුකළ හැකි කාර්යයන් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ලඝු කර ඇත. මේ හරහා ව්‍යවස්ථානුකූල අයිතීන් විශාල අභියෝගයකට ලක් වන බව ඇය සඳහන් කළාය.
ඇයට අනුව යෝජිත පනතේ ඇති හයවන ගැටලුව වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පීඩාවට පත් ජනතාවට සංක්‍රාන්තික කාලය තුළ ඵලදායී විසඳුමක් ලබා නොදීමය.
“මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පීඩාවට පත්ව සිටින විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට යෝජිත පනත හරහා කිසිම දෙයක් ලබා දී තිබෙනවා ද ? කියල ගැටලුව අපට තිබෙනවා. තවත් මර්දනකාරී, දැඩි සීමාවන්ට ලක්වන්නා වූ අවකාශයක් නිර්මාණය කරනවා විනා මේ පනත හරහා පුරවැසියන්ට යම්කිසි සහනයක් ලැබෙන්නේ නැහැ. මානව හිමිකම් සම්බන්ධ ගැටලුව, රඳවා තබා ගැනීමේ නියෝග හරහා අඛණ්ඩව සිදුවන අසාධාරණකම්, තමන්ගේ ජීවිත අයිතියට ඇති තර්ජන ආදි ගැටලුවලට නව පනත හරහා කිසිම විසඳුමක් නැහැ” ආචාර්ය නිමල්කා තව දුරටත් පැහැදිලි කළාය.
ඇයට අනුව යෝජිත පනනේ ඇති හත්වන ගැටලුව වන්නේ ව්‍යවස්ථාමය සහ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ‘කඩදාසියට පමණක්’ සීමාවන වාතාවරණයක් උදා වීමය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ කතිකාව සංවාද මාලාවේ 293 වැනි වැඩසටහනේදී ඉදිරිපත් වූ අදහස් ඇසුරෙණි. එම සංවාදය මෙහෙයවනු ලැබුවේ නීතිඥ ගයත්‍රී නවරත්න විසිනි)
සටහන – තුෂාල් විතානගේ

