අවුරුදු 48,000ක ඉතිහාසයක් ඇති ආදිවාසී ජනතාව අද උපන්බිමේ ‘තහනම් ජනතාවක්’ වෙලා – ආදිවාසී නායක වන්නියලැත්තෝ
- Editor
- November 15, 2026
- මතවාද, විශේෂාංග, සිංහල Header
- opinion
- 0 Comments
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා දඹාන ආදිවාසී ජනතාව සමඟ විශේෂ හමුවක් සංවිධානය කළේය. ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය. මෙම හමුවේ දී ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තන් විසින් තම ජනතාව මුහුණ දෙන ගැටලු, අභියෝග ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. වන්නියලැත්තෝ මෙම හමුවේ දී දක්වන ලද අදහස් වල පරිවර්තනයක් පහත පළ වේ.
“අද මේ ස්ථානයට පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරයේ නයාකතුමා වන කරු ජයසූරිය මැතිතුමා, එම සංවිධානයේ මහ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් අපි ඉතාම ආදරයෙන් පිළිගත්තා. ඒ වගේම අපි කාලයක සිට අඳුණන පුංචි බණ්ඩා මහත්මයා ඉතාම ආදරයෙන් පිළිගත්තා. ඒ වගේම අපේ මාධ්‍ය සහෝදරයින්, ගමේ සියලුම ඥාතීන්, ඒ වගේම හේනානිගල නායකත්වය දරන නායකතුමන් ඇතුළු සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා කියලා ආදිවාසී නායකතුමා වන උරුවරිගේ වන්නියලැත්තෝ ප්‍රකාශ කළා.
එතුමා කිව්වා කරු ජයසූරිය මහතාව හඳුනන්නේ බොහොම කාලයක සිට කියලා. අම්පාර ප්‍රදේශයේ පැවැති මෙවැනි වැඩසටහනකට බොහෝ කාලයකට පෙර සම්බන්ධ වූ බව එතුමාට මතක බවත් කිව්වා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගැන එතුමට යම් අවබෝධයක් තිබෙන බව කිව්වා. එතුමා පැහැදිලිව කිව්වා ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම නමට ගැළපෙන ආකාරයෙන් වැඩ කටයුතු කරන සංවිධානයක් බව තමා විශ්වාස කරනවා කියලා. එතුමා ඒ ගැන සංතෝෂ වන බවත් වන්නියලැත්තෝ ප්‍රකාශ කළා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ ‘දඹාන ආදිවාසී ජනතා හමුවේ’ දී ආදිවාසී ගම්මානවල පවතින ගැටලු ගැන සාකච්ඡා කළා. 1983ට පෙර කාලයේ දී අපි මේ පළාත්වල කැලෑ ඇතුලේ ජීවත් වුණා. කැලේ ඇතුළේ පුරාණ වැදි ගම්මාන ගණනාවක් තිබුණා. ඒ අතර කන්දේගන්විල, කෑරගොඩ, රත්මල්යාය ආදි පුරාණ ආදිවාසී ගම්මාන ගණනාවක් තිබුණා. ඒ ගම්මානවල සිටිය ජනතාව තමයි මහවැලි සී කලාපයේ නව ගම්මාන හලා පදිංචි කළේ.
මේ ආකාරයෙන් අදිවාසී ජනතාව මහවැලි සී කලාපයේ පදිංචි කරවීමට පෙර ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තිබුණා. නමුත් අපේ හිටපු ආදිවාසී නායකතුමා, තිසාහාමි මුත්තා මේ කටයුත්තට දැඩිව විරුද්ධ වෙලා තිබුණා. නමුත් ඒ විරෝධය නොසලකා කැලේ ඇතුළේ සිටි ආදිවාසී ජනතාව ගම්මානවල පදිංචි කළා. හෙනානිගල පවුල් 105ක් පදිංචි කළා. එම සංඛ්‍යාව මේ වන විට පවුල් 650ක් පමණ දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ ජනගහණ වර්ඡනයත් සමඟ ඇති වෙලා තිබෙන ඉඩම් ගැටලු ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තෝ කතා කළා.
එතුමා ආදිවාසී ජනතාව පත්ව සිටින අසරණ තත්ත්වය ගැන උදාහරණ සහිතව කරුණු පැහැදිලි කළා. එතුමා දැක්වූ උදාහරණයකට අනුව, යම්කිසි නිවසක දැරියක් වැඩිවියට පත් වූ පසු වී බුසල් පහක් ලැබුණ. නමුත් දැන් ඒ වී බුසල් පහෙන් එක බුසලක් උකස් තියෙනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එනවා. එතකොට තවත් වී බුසලක් උකස් කරනවා. ඒ වගේ තත්ත්වයකට අද ආදිවාසී ජනතාව පත්ව සිටි බව වන්නියලැත්තෝ කරුණු කාරණා සහිතව පැහැදිලි කළා.
මේ වන විට ආදිවාසී ජනතාවට වගා කිරීමට ඉඩම් නැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ ඉඩම උකස් කරලා, ඒ ඉඩමේ අඳ ගොවියන් බවට පත්ව සිටින බව වන්නියලැත්තෝ සඳහන් කළා.
“අපේ ජනතාව කැලෙන් එළියට ගෙනත් ගම්මානවල පදිංචි කරන කොටත් අපට බොරු කිව්වා. අපේ නිදහසට කිසිම බාධාවක්, හානියක් නොකරන බවට එදා ඔවුන් පොරොන්දු වුණා. අපේ වරිගේ ඇත්තන්ට ඉතාම හොඳ ජීවිතයක් ගැන ඔවුන් අපට පොරොන්දු දුන්නා. කැලේට යන්න එන්න නිදහස දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් ඒ සියලු පොරොන්දු 1984 වන විට බොරු වුණා. ඊට පස්සේ අපේ ජනතාවට නිමක් නැති ප්‍රශ්න ඇති වුණා.
අද අපේ කෙනෙක් කැලේට ගියොත් වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගෙන ඇවිත් නඩු දානවා. මේ වගේ නිමක් නැති ගැටලු එක්ක අපේ ජනතාව නිමක් නැති ජීවන අරගලයක නිරතව සිටිනවා” කියලා වන්නියලැත්තෝ කිව්වා.

- වාකරේ ආදිවාසී ගැටලු
දඹාන ආදිවාසී ජනතාවට පමණක් නොව වාකරේ ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසී ජනතාව ද මේ වන විට ගැටලු රැසකට මුහුණ දී සිටින බව ආදිවාසී නායකයා පැහැදිලි කළේය.
“වාකරේ ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසී ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ මත්ස්‍ය කර්මාන්තය. නමුත් පසුගිය යුධ සමයේ ඔවුන් ඔවුන්ගේ පාරම්පරික භූමියෙන් ඉවත් කළා. නමුත් යුද්ධය අවසන් වෙලා ඔවුන් යළි තමන්ගේ නිජිබිම්වලට එනවිට මුස්ලීම් ජනතාව ඒ ඉඩම් අත්පත් කරගෙන තිබුණා. ඔවුන්ට ජීවත් වීමට තිබුණා එකම ධීවර තොටුපොළ ඔවුන්ට අහිමි කරලා තිබුණා. ඒ හරහා ඔවුන් යනඑනමං නැති ජනතාවකගේ තත්ත්වයට පත්ව සිටිනවා” වන්නියලැත්තෝ වාකරේ ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු ගැනත් මේ සාකච්ඡාවේ දී මේ ආකායෙන් පැහැදිලි කළා.
මේ වන විට ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තෝ නායකත්වයට පත්වෙලා අවුරුදු 28ක් පමණ වෙනවා. වරිග සභාව පසුගිය අගෝස්තු 08 වැනිදා කැඳවන විටත් වාකරේ ආදිවාසීන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළා.
පුල්කුඩේ වැවට මහවැලිය හරහා ජලය ලබා දුන්නොත් වාකරේ අදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පහසුවෙන් විසඳීමට හැකියාවක් තිබෙන බව වන්නියලැත්තෝ ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ. නමුත් ආදිවාසී නායකයා ලෙස එවැනි කටයුත්තක් කිරීමට තමාට බලයක් හෝ හැකියාවක් නොමැති බව නායකතුමා පැහැදිලිව ප්‍රකාශ කළා.
බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු ගැන කරුණු ඉදිරිපත් කළ බවත් නායකතුමා කිව්වා.
“නමුත් තාමත් ඒ ගැටලුවලට විසඳුමක් ලැබිලා නැහැ’ කියලා වන්නියලැත්තෝ කිව්වා.
- දළුකාන ආදිවාසී ගම්මානයේ ගැටලු
දළුකාන ආදිවාසීන් ද වාකරේ ජනතාව මෙන් ගැටලු රැසක මුහුණ දී සිටින බව වන්නියලැත්තෝ ප්‍රකාශ කළේය.
යුද්ධ පැවැති සමයේ ආරක්ෂක හේතුමත දළුකාන ආදිවාසීන් ද අදාළ ප්‍රදේශයෙන් ඉවත් කළා. නමුත් යුද්ධය අවසන් වෙලා දළුකාන ආදිවාසීන් යළි තමන්ගේ ගම්බිම්වලට පැමිණෙන විට ඒ ප්‍රදේශ රක්ෂිතයක් බවට පත්කරලා තිබෙනවා. අද ඔවුන්ට ජීවත් වීමට, හේනක් කොටා ගැනීමට තබා කැලෑවෙන් ඖෂධ ටිකක් එකතු කර ගැනීමටවත් අවස්ථාවක් නැහැ.
මේ ආකාරයෙන් ආදිවාසී ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටින බව වන්නියලැත්තෝ මේ ජන හමුවේ දී කරුණු පැහැදිලි කළේය.
ආදිවාසීන් කියන්නේ තමන්ගේ සිරිත්විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, සාම්ප්‍රදායික ජීවනෝපාය සහ පාරම්පරික යාතුකර්ම ආදි මේ සියල්ල කැලෑවත් එක්ක සම්බන්ධ වෙලා කරපු ජනතාවක්. ඔවුන්ට කැලේ අහිමි වෙනවා කියන්නේ මේ සියල්ල අහිමි වීමක්. මේ තත්ත්වය තුළ අද වන විට ආදිවාසී ජනතාව කියන්නේ මේ රටේ ‘තහනම් කළ’ පරම්පරාවක් කියලා නායකතුමා කිව්වා.
“ඔවුන්ට කැලේ අහිමි කරනවා කියන්නේ මේ සියල්ල අහිමි කිරීමක්’ නායකතුමා ඉතාම කණස්සල්ලෙන් ප්‍රකාශ කළා.
තම ජනතාව පත්ව සිටින අසීරු තත්ත්වය වෙනුවෙන් ආදිවාසී ජනතාවගේ නායකයා ලෙස තමා ආණ්ඩුවෙන්, නිලධාරීන්ගෙන් බොහෝ ඉල්ලීම් කර ඇති බව වන්නියලැත්තෝ පැවසුවා. තමාට කළ හැකිකේ ‘ඉල්ලීම් කිරීම’ සහ ආණ්ඩුවේ අවධානය යොමු කිරීම පමණක් බව එතුමා කණගාටුවෙන් කිව්වා.
තමා කොපමණ කරුණු පැහැදිලි කළත්, ඉල්ලීම් කළත් අදාළ ගැටලුවලට සාධනීය විසඳුමක් නොලැබුණ බව වන්නියලැත්තෝ පැවසුවා.

- අවුරුදු 48,000ක ඉතිහාසයක්
මෙරට ආදිවාසී ජනතාවට අවුරුදු 48,000කට අධික ඉතිහාසයක් ඇති බව මේ වන විට තහවුරු වී ඇත. ලක්ෂ 6ක පමණ ආදිවාසී ප්‍රජාවක් මෙරට ජීවත් වෙති. නමුත් වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය කණගාටුදායක බව වන්නියලැත්තෝ පැවසුවේය.
‘අවුරුදු 48,000ක් තිස්සේ මේ භූමියේ අභිමානයෙන් ජීවත් වුණ ජනතාවක් අද තහනම් ජනතාවක් බවට පත් වෙලා කියලා මට හිතෙනවා’ වන්නියලැත්තෝ කිව්වා.
“ආදිවාසී ජනතාව මුහුණ දෙන මේ සියලු ගැටලුවලට විසඳුම් දීමට කරු ජයසූරිය මැතිතුමාට නොහැකි වෙයි. නමුත් මේ ගැටලු ගැන අදාළ පාර්ශ්වවල අවධානය යොමු කරවලා, මේ ගැටලුවලට යම් පමණකට හෝ විසඳුමක් ලබා දෙන්න එතුමාට හැකියාවක් තිබෙනවා කියන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා” ආදිවාසී නායකතුමා ප්‍රකාශ කළා.
මෙම වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට කලුබණ්ඩාර දෙවියන්ගේ, ගලේබණ්ඩාර දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබිලා, ශක්තිය ධෛර්ය ලැබිලා මේ වැඩසටහන ඉතාම සාර්ථක වැඩසටහනක් බවට පත්වේවා’ යැයි ප්‍රාර්ථනා කරමින් ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තන් තමාගේ කතාව අවසන් කළේය.
සටහන – තුෂාල් විතානගේ

