අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීමට ආණ්ඩුවට තිබෙන ස්වර්ණමය අවස්ථාව අත් නොහල යුතුයි – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

  • බලය බෙදා හැරීම

අපේ දස වැදෑරුම් යෝජනා අතර බලය බෙදා හැරීම සම්බන්ධ කාරණය වෙත වඩාත් පුළුල්ව අවධානය යොමු කර තිබෙනවා. අනුපූරකතා මූලධර්ම, එනම්, යම් කාර්යයක් වඩාත් කාර්යක්ෂම පහළ මට්ටමක් විසින් කළ හැකි නම්, එම මට්ටමට බලය පැවරීම අනුව උපරිම බලය බෙදා හැරීම කළ යුතු බව අපේ යෝජනාවයි. පළාත් පාලනය ආණ්ඩුකරණයේ ස්ථරයක් ලෙස පිළිගත යුතු අතර ආණ්ඩුකරණයේ ස්ථර තුන අතර විෂයන් සහ කාර්යයන් වෙන් කිරීම අනුපූරකතා මූලධර්මයේ මග පෙන්වීම අනුව සිදුවිය යුතු බවත්, එසේ වෙන් කිරීම පැහැදිලි සහ නිශ්චිත විය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරව ඒවා අභිබවා නොයා යුතු බවත් සාධාරණ සමාජය යෝජනා කළා.

පළාත බලය බෙදීමේ ප්‍රාථමික ඒකකය විය යුතු බව අපේ යෝජනාවයි. පළාත් සභාවක නිල කාලය වසර පහක් විය යුතු අතර, සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු බව අපි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය මෙන් පළාත් සභා මැතිවරණය ද නිතිපතා පැවැත්වෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව අපේ නිර්දේශ අතර තිබෙනවා.

පළාත් සභාවේ දී පරිපාලනය කෙරෙහි විශ්වාසභංගයක් සම්මත වුවහොත් හෝ විසර්ජන පනත් කෙටුම්පත් (අයවැය) පරාජයට පත් වුවහොත් හෝ පළාත් පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් වුවහොත් හෝ, පිහිටුවන නව පරිපාලනය සති දෙකක් ඇතුළ විශ්වාසය පළ කරන යෝජනාවකින් ජයගතහොත් මිස පළාත් සභාව විසුරුවා හැරිය යුතු බවට සාධාරණ සමාජය සිය දස වැදෑරුම් යෝජනාවලින් නිර්දේශ කළා. එතැන් සිට අනෙකුත් පළාත් සභා සංස්ථාපනය කිරීම සඳහා පවත්වන මැතිවරණ සමඟ පළාත් සභාවේ මැතිවරණය පවත්වන තෙක් පළාත් පරිපාලනය ආණ්ඩුකාරවරයා භාරයේ පැවතිය යුතු බව සාධාරණ සමාජයේ යෝජනාවයි.

පළාත් සභා ලැයිස්තුවේ විෂයන් පිළිබඳ පාර්ලිමේන්තු නීති මඟින් එම විෂයන් පරිපාලනය කේන්ද්‍රයට පවරා ගැනීමේ නොවිය යුතු බව අපේ දස වැදෑරුම් යෝජනාවල තිබෙනවා. පළාත් සභා ලැයිස්තුවේ විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සෑදීමේ දී මධ්‍යම රජය පළාත් සභා සමඟ සහභාගීත්ව ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුයි. මධ්‍යම රජය විසින් පළාත් සභා ලැයිස්තුවේ විෂයන් පිළිබඳ කේන්ද්‍රීය නීති සෑදිය යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට එම ජාතික ප්‍රතිපත්ති නීතිගත කළ විට, අදාළ ප්‍රඥප්ති එම කේන්ද්‍රීය නීතිවලට යටත්ව කියවිය යුතු අතර එම නීති දෙවන මන්ත්‍රී මණ්ඩලයෙන් ද අනුමත විය යුතුයි.

පළාත් සභා විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සෑදීමෙන් එම බලතල පිළිබඳ විධායක සහ පරිපාලන බලතල කේන්ද්‍රයට පවරා ගැනීමේ ප්‍රතිඵල නොවිය යුතුයි. එම විෂයන් පිළිබඳ විධායක සහ පරිපාලන බලතල කේන්ද්‍රයට පවරා ගැනීමේ ප්‍රතිඵල නොවිය යුතු බව අපේ යෝජනාවයි. එම විෂයන් පිළිබඳ විධායක සහ පරිපාලන බලතල පළාත් සභා විසින් දිගටම ක්‍රියාත්මක විය යුතු බව සාධාරණ සමාජයේ යෝජනා තුළ තිබෙනවා.

එසේම, ‘පාර්ලිමේන්තුව හෝ පළාත් සභා තම විෂය පථයට අයත් කෘත්‍යයන් ක්‍රියාත්මක කිරීම නීති / ප්‍රඥප්ති මඟින් පළාත් පාලන ආයතනවලට පැවරීම හැකි වන්නේය’ යන යෝජනාවත් සාධාරණ සමාජයේ දස වැදෑරුම් යෝජනා අතර තිබෙනවා.

මෙහි දී අපි පළාත් ආණ්ඩුකාර ධුරය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළා. පළාතක ආණ්ඩුකාරවරයා  සිය පත්වීමට පෙර වසර තුනක කාලය තුළ දේශපාලනයේ ක්‍රියාශීලීව සිටිය අයෙකු නොවිය යුතු බවත්, තම ධුර කාලය තුළ දේශපාලනයේ නොයෙදිය යුතු බවත් අපේ යෝජනාවයි.

පළාතේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කළ යුතු අතර පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අදාළ පළාත් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කළ යුතුයි. එසේම පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම එක් එක් පළාතට පිහිටු වන ස්වාධීන පළාත් රාජ්‍ය සේවා කොමිෂම විසින් කළ යුතු බව අපේ යෝජනාවයි.

  • බෙදුම්වාදයට එරෙහි ආරක්ෂා විධි විධාන

සාධාරණ සමාජයේ දස වැදෑරුම් යෝජනා තුළ අංක පහ යටතේ බෙදුම්වාදයට එරෙහි ආරක්ෂා විධි විධාන සම්බන්ධ යෝජනා ඇතුළත් වෙනවා. එ්කට හේතුව තමයි පළාත් සභාවලට බලතල දෙනකොට බෙදුම්වාදයක් ඇති වෙයි කියලා විශාල මතවාදයක් අපි අතර තිබෙනවා. මේ ආකාරයේ සැකයක් තිබෙන අය ඉන්න නිසාම ඒකට උත්තරයක් තිබිය යුතුයි.  

අපි අද කරන යෝජනා 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළත් තිබුණා. ඒ අනුව සාධාරණ සමාජයේ දස වැදෑරුම් යෝජනා තුළ බෙදුම්වාදයට එරෙහි ආරක්ෂක විධි විධාන ඉදිරිපත් කළා. ඒ අනුව, යම්කිසි පළාත් පරිපාලනයක් විසින් සන්නද්ධ කැරලි ගැසීමක් හෝ අරගලයක් ප්‍රවර්ධන කරන තත්ත්වයක් පැන නැගී ඇත්නම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීමක් තුළින් හෝ, ජන රජයේ භෞමික අඛණ්ඩතාව හෝ පරමාධිපත්‍යයට පැහැදිලි සහ විද්‍යමාන අනතුරක් ඇති කෙරෙන්නේ නම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, ප්‍රකාශයක් මඟින්, (අ) පළාත් පරිපාලනයේ සියලු හෝ යම් කර්තව්‍යයන් සහ පළාතේ ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය හෝ යම් ආයතනයක් හෝ අධිකාරියක් වෙත පවරා ඇති හෝ විසින් ක්‍රියාත්මක කළ හැකි බලතල සියල්ල හෝ ඉන් සමහරක් ජනාධිපතිවරයා වෙත පවරා ගත හැකියි. නැති නම් (සහ) (ආ) මෙම ඡේදයේ (ආ) අනු ඡේදය යටතේ බලතල ඵලදායීව ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය වන විට දී පළාත් සභාව විසුරුවා හැරිය හැකියි. (ඇ) එසේම එම ප්‍රකාශනය කිරීම සඳහා හේතු ප්‍රකාශනයේ ඇතුළත් විය යුතු  අතර, එවැනි ප්‍රකාශනයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට සහ අධිකරණ සමාලෝචනයට යටත් විය යුතුයි. මෙය අලුත් යෝජනාවක් නොවෙයි, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ ඕනෑම ක්‍රියාවකට අභියෝග කරමින් අධිකරණය හමුවට යන්න පුළුවන්කම තිබෙනවා.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

අපි මෙම යෝජනා කෙටුම්පත් කරන අවස්ථාව වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා තිබුණේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීමට අපි යෝජනා කළා. නමුත් සාධාරණ සමාජය ප්‍රතිපත්තියක් ලෙස එකඟ වුණා 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කළ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දේශපාලනඥයින් තිදෙනෙකු පමණක් ඇතුළත් විය යුතුයි කියලා.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපිත කළ යුතු අතර, එහි බලතල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එයට තිබූ බලතල වලට අඩු නොවිය යුතු බව අපි යෝජනා කළා. එසේම අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අන් සාමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතු බව අපේ යෝජනාව වුණා. එහි අදහස වුණේ දේශපාලනඥයින් තිදෙනෙක් (03) සහ සිවිල් සාමාජිකයින් හත් දෙනෙක් (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් විය යුතු බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරන ලද ජාතික විගණන කොමිෂම සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂම යළි ස්ථාපිත කළ යුතු අතර ප්‍රසම්පාදන කටයුතු සඳහා රජයේ ආයතනවලට උපදෙස් සහ සහාය දීමට ආයතනයක් නීතිය මඟින් පිහිටුවිය යුතු බව අපි යෝජනා කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පමණක් සාමාජිකයින් පත් කළ යුතු කොමිෂන් සභා ලැයිස්තුවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ද ඇතුළත් විය යුතු බව අපේ යෝජනාවක් වුණා.

එසේම විද්‍යුත් හෝ වෙනත් මාධ්‍ය, දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, මහජන උපයෝගීතා, මුදල් සහ මූල්‍ය සේවා, වෙළෙඳපොළ තරඟය සහ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් පිහිටුවන සියලු නියාමන ආයතනවල සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කළ යුතු බව සාධාරණ සමාජය යෝජනා කළා.

  • අධිකරණය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ දස වැදෑරුම් යෝජනා අතර 07 වන යෝජනාව වුණේ අධිකරණයයි.

19 වන සංශෝධනය යටතේ මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට කරන සියලු පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු බව අපි සඳහන් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් නම් කිරීමේ දී, ජනාධිපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයාගේ, අධිකරණ අමාත්‍යවරයාගේ, නීතිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් විමසා අගවිනිසුරුවරයා විසින් පත් කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත්ත කමිටුවක අදහස් විමසිය යුතු බව අපි යෝජනා කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන විනිසුරුවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් තිබිය යුතු බව ද අපි යෝජනා කළා. අධිකරණ ක්ෂේත්‍රය, නීති වෘත්තීය හෝ නීති අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුන තුළ කීර්තියක් ලබා ඇති, ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් අතරින් එම විනිසුරුවරුන් පත් කළ යුතු බවත්, ඔවුන්ගේ නිල කාලය වසර පහක් වන අතර නැවත පත් වීමට ඔවුන් සුදුසුකම් නොලබන බවත් අපි අපේ යෝජනාවට ඇතුළත් කළා.

විනිසුරුවරුන් හත් දෙනාම අධිකරණයේ විනිශ්චායරූඪ විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලයට යටත් වන යම් කාරණයක් කිසියම් අධිකරණයක මතු වූ විට එම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කළ යුතු බවට අපි යෝජනා කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අධිකරණ බලය සම්බන්ධයෙන් සාධාරණ සමාජයේ යෝජනා වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම, කිසියම් කරුණක් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ විෂය පථයට ඇතුළත් වේද යන්න යන්න තීරණය කිරීමේ බලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට ලැබෙනවා. එසේම පාර්ලිමේන්තු නීති සහ පළාත් සභා ප්‍රඥප්ති වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණ සමාලෝචනය, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර සහ පළාත් සභා අතර ඇති වන ගැටලු, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම්, තම අධිකරණය විසින් දෙන ලද තීන්දු සමාලෝචනය කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ බලතල වලට අයත් බව සාධාරණ සමාජය තම යෝජනාවලිය තුළ සඳහන් කළා.

එසේම මූලික අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අතරව  සමාජ – ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව සාධාරණ සමාජයේ දස වැදෑරුම් යෝජනාවලිය යෝජනා කර තිබෙනවා.

10 වැනි නිර්දේශය වශයෙන් දක්වා ඇති භාෂා අයිතිය සම්බන්ධ යෝජනා තුළ සිංහල සහ දමිළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළ යුතු බවත් ඉංග්‍රීසි සන්ධාන භාෂාව විය යුතු බවත් සාධාරණ සමාජය යෝජනා කළා.

  • වත්මන් තත්ත්වය

මෙම යෝජනාවලිය සම්පාදනය කර මේ වන විට සැලකිය යුතු කාලයක් ගත වී ඇති අතර දේශපාලන ප්‍රවණතා ද සැලකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා. ඒ අනුව වත්මන් වාතාවරණය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමට සුදුසුයි. වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයට වඩා වැඩි බලයක් තිබෙනවා. 1978 මහ මැතිවරණයෙන් පසු බලයට පත් රජයක් විසින් ලබා ගත් වැඩි පාර්ලිමේන්තුව ආසන සංඛ්‍යාවක් සහිත ආණ්ඩුව බවට ඒ අනුව ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය ආණ්ඩුවට තිබෙනවා. නමුත් මේ සඳහා විපක්ෂයේ සහාය ලබා ගැනීම වැදගත් වෙනවා. එසේ නොවන තත්ත්වයක් තුළ ආණ්ඩුව විසින් සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විපක්ෂයේ සහාය ලබා ගැනීම වැදගත් වෙනවා.

තවත් වැදගත් කරුණක් මෙහි දී පෙන්වා දිය යුතුයි. ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගන්නේ කොහොමද  කියලා. ඒ අනුව 2016 දී කළා වාගේ, මුළු පාර්ලිමේන්තුවේම සාමාජිකයින් 225 දෙනාම  සාමාජිකයින් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා, ඒ තුළින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට මාළිමාව ජනතාවට ප්‍රතිඥා දුන්නා. නමුත් 2016 දී මේ සාමූහික උත්සාහය ගන්න බැරි වුණා. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර තිබුණ විරසකය ඒකට හේතු වුණා. නමුත් වත්මන් ආණ්ඩුව තුළ එවැනි අර්බුදයක් නැහැ. එම නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න වත්මන් මාළිමාව ආණ්ඩුවට තරම් පහසු, හොඳ අවස්ථාවක් කාටවත් නැහැ.

නමුත් මට පේන ආකාරයට මේ වැඩේ කල් යනවා. ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු හතරක් – පහක් ගත වුණාට පස්සේ මේක කරන්න බැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය විසින් 2000 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ විට මේ තත්ත්වය අපි දැක්කා. ආණ්ඩුවක අවසාන කාලයේ දී විපක්ෂය අවස්ථාවාදී වෙනවා. ඒ නිසා මාළිමාව ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය නම් ඒක දැන්ම කළ යුතුයි.

අනෙක් අතට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පහසු දේකුත් නොමෙයි. ඒකට මහජන අදහස් ලබා ගත යුතුයි, කාලයක් ගත වෙන ලොකු වැඩක් බවට ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පත් වෙනවා. ඒ නිසා මගේ අදහස වන්නේ මේ ආණ්ඩුවට තාම අවුරුදු දෙකකයි. ඒ නිසා අවශ්‍ය නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා පහසුවෙන් සම්මත කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. ඒ නිසා දැන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළොත් ආණ්ඩුවට ඒක සාර්ථක කර ගන්න පුළුවන්කම තිබෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 300 වන කතිකාවේ දී (නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත) ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment