COPE කමිටුවට අදාළව ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමේ අරමුණ සහ පාර්ලිමේන්තුව සතු කාර්යභාරය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 246 වැනි කතිකාව සංවාදය පසුගිය ඉරුදින ‘COPE කමිටුවට අදාළව ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමේ අරමුණ සහ පාර්ලිමේන්තුව සතු කාර්යභාරය’ යන තේමාව යටතේ පවත්වනු ලැබුවේ. මෙවර කතිකාව සඳහා සම්පත්දායකයින් ලෙස හිටපු අමාත්‍ය චම්පික රණවක, හිටපු අමාත්‍ය චරිත හේරත් සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

  • කෝප් සභාපති කළ විශේෂ ඉල්ලීම

කතිකාවේ අරමුණු පැහැදිලි කරමින් සංවාදය මෙහෙය වනු ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂාන් විජේතුංග පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා විසින් ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් ආරම්භ විය යුතු බව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බොහෝ දෙනකුගේ අදහස බවයි.

“කෝප් කමිටුවේ සභාපතිවරයා පසුගිය දා ඔහුගේ අන්තර් කාලීන වාර්තාව මඟින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා ස්ථාවර නියෝග 120 සංශෝධනය කර, කෝප් කමිටුව විසින් විමර්ශනය කරන රාජ්‍ය ආයතන වල සොයා ගැනීම් සහ ලිපි ගොනු ඍජුවම පොලිස්පතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දෙන්න කියලා. කෝප් කමිටුවේ සභාපතිවරයාගේ මේ ඉල්ලීම සමඟ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව අතර සංවාදයක් ආරම්භ වෙලා තිබෙනවා’ කෝප් කමිටුව හමුවේ වර්තමානයේ උද්ගත වී ඇති නව අභියෝගය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ෂාන් විජේතුංග කතිකාවේ අරමුණ පැහැදිලි කළේය.

මෙහි අවසාන ප්‍රතිඵලය බලය හිතුවක්කාර ලෙස අපයෝජනය කිරීමක් පමණයි – නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන

පාර්ලිමේන්තු ස්ථවර නියෝග අංක 120 (2) හි සඳහන් වන්නේ කෝප් කමිටුවේ කාර්යභාරය වන්නේ පොදු ව්‍යවසායවල ගිනුම් විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කිරීම බවයි. මෙහිදී කෝප් කමිටුව පැවරී ඇති කාර්යභාරය වන්නේ ‘පරීක්ෂා කිරීම’ පමණය.

“කෝප් කමිටුවට මෙවැනි බලයක් ලබා දෙන්නේ ඇයි ? කියලා සලකා බලන විට එය රාජ්‍ය ව්‍යුහය තුළ බලතල බෙදීම සංකල්පය සමඟ සම්බන්ධ වෙනවා. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ කියලා ආයතන තුනක් තිබෙනවා. මේ ආයතන තුනට අනන්‍යව පැවරී තිබෙන වගකීම් තිබෙනවා. ඒ වගකීම් හා කාර්යභාරයන් ඉටු කරන කොට ඔවුන් අත්තනෝමතිකව කටයුතු කිරීම වැළැක්වීම සඳහාත්, ඒ බලය කාර්යක්ෂමව හා නිවැරදි ලෙස යොදවා ගැනීම සහතික කිරීම සඳහාත් අනෙක් ආයතනවලට යම්කිසි අධීක්ෂණ බලතල ලබාදී තිබෙනවා. මේ තත්ත්වය නීතිමය වචනවලින් පැහැදිලි කළොත් මේ හරහා සංවරණයක් සහ තුලනයක් සිදුවෙනවා. විධායකය කෙරෙහි යම්කිසි ආකාරයක සංවරණයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය යම්කිසි ආකාරයක බලයක් විධායකය විසින් ලබා දී තිබෙනවා, මේ අවස්ථාවේදී තමයි අපට කෝප් කමිටුව වැදගත් වෙන්නේ. මේක තිබිය යුතු සහ පවත්වා ගත යුතු උපකරණයක්. ඒකට හේතුව තමයි මේ ආයතන අතර මනා සම්බන්ධීකරණය සඳහා කෝප් කමිටුව අත්‍යවශ්‍යයි’ නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන කතිකාවට ප්‍රවේශයක් ගනිමින් කෝප් කමිටුවේ කාර්යභාරය සහ වැදගත්කම පැහැදිලි කළේය.

  • කෝප් ජනතාවට වැදගත් ඇයි ?

කෝප් කමිටුව සිය කටයුතු පාරදෘශ්‍ය භාවයෙන් යුතුව පවත්වා ගෙන යා යුතු අතර ඒ සඳහා මාධ්‍යවලට ප්‍රවේශය ද ලබා දිය යුතුය. මේ හරහා මහජනතාවට කෝප් කමිටුව තුළ සිදුවන්නේ කුමක් දැයි දැන කියා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනරංජන පෙන්වා දුන්නේය.

“මේක ඉතාම හොඳ පියවරක්, ඒක කළ යුතුයි. එසේම ඒක තව දුරටත් පවත්වා ගෙන යා යුතුයි’ ජනරංජන අවධාරණය කළේය.

මෙහිදී අනිද්දා ප්‍රධාන කතුවරයා පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ විමර්ශන කටයුතු (පාර්ලිමේන්තුව ද ඇතුළත්ව) ජනමාධ්‍ය හරහා විකාශනය කිරීම කමිටු සාමාජිකයින් විසින් බරපතළ ලෙස අපයෝජනය කරන බවයි.

  • බලතල අපයෝජනය කිරීම

‘කමිටු සාමාජිකයින් වෙන්න පුළුවන්, කමිටුවට කැඳවන ලද රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන් අත්‍යවශ්‍යයෙන්ම පවත්වා ගෙන යා යුතු පාරදෘශ්‍යභාවය තුළ ඒ කටයුතු අපයෝජනය කරන බව ඔවුන් වැඩ කටයුතු කරගෙන යන ආකාරය අනුව පහසුවෙන් වටහා ගන්න පුළුවන්. විශේෂයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන්ට පිළිතුරු දෙන්න වෙන්නේ ඔවුන්ට පෙර අදාළ වගකීම දරන ලද රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන්, එසේ නැතිනම් ඇමැතිවරයෙකුගේ වුවමනාව මත කළ දේවල් සම්බන්ධයෙන් වැනි විවිධාකාර ප්‍රශ්න එක්ක තමයි මේ රාජ්‍ය නිලධාරීන් කෝප් කමිටුව හමුවට එන්නේ. නමුත් කමිටු සාමාජිකයින් (මන්ත්‍රීවරුන්) මේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය  ස්ථාවර නියෝග වල 120 වැනි වගන්තියෙන් පැහැදිලි කර තිබෙන ‘පරීක්ෂා කිරීමේ සීමාව’ ඉක්මවා යන බව අපට ඇතැම් අවස්ථාවල නිරීක්ෂණය වෙනවා. මගේ අදහස නම් මේ සීමාව ඉක්මවා යන බවක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි’ ජනරංජන සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

  • ප්‍රශ්න කිරීම

කෝප් කමිටුවේ දී අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය මෙහිදී ජනරංජන දැඩිව විවේචනයට ලක් කරමින් ඊට හේතු පැහැදිලි කළේය. එහි දී ඔහු පෙන්වා දුන්නේ අධිකරණයේ දී නීතිඥවරයෙකු සාක්ෂිකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම පවා ඉතාම බලවත් කාර්යපටිපාටිමය සහ නෛතික සීමාවන්ට යටත් කර ඇති බවයි.

“උදාහරණයක් ලෙස සාක්ෂි ආඥාපනත යටතේ තමයි අධිකරණවල ප්‍රශ්න කිරීම සිදුවන්නේ. එහිදී නීතිඥවරයෙකුට පවා අහන්න පුළුවන් සහ අහන්න නොහැකි ප්‍රශ්න තිබෙනවා. අධිකරණයේ දී ප්‍රශ්න කිරීම වෙනම පරිචයක් ලබාගත යුතු ක්ෂේත්‍රයක්. යම්කිසි අවස්ථාවක නීතිඥයෙක් මේ සීමාව ඉක්මවා යන අවස්ථාවක ඒකට මැදිහත් වෙන්න විනිසුරුවරයාට බලය තිබෙනවා. මේ තත්ත්වයම කෝප් එකට ආදේශ කළොත් කෝප් කමිටු සාමාජිකයින්ට ප්‍රශ්න කිරීමේ දී නීතිඥවරයෙකුට වැනි ප්‍රගුණ කිරීමක් තිබෙනවා ද ? කියන එක සොයා බැලිය යුතුයි. මම හිතන ආකාරයට කෝප් කමිටු සමාජිකයින්ට තමන්ගේ වගකීම ඉටු කිරීමේ දී ‘ප්‍රශ්න ඇසීම කළ යුත්තේ කෙසේ ද ?’ යන්න පිළිබඳව මනා පරිචයක් තිබිය යුතුයි. අනෙක් කාරණය තමයි තමන් ඉදිරියේ ඉන්නේ කවුද ?, කියන එක ගැන ඔවුන් දැනුවත්ව සිටිය යුතුයි. කෝප් කමිටුව හමුවට පැමිණ සිටින්නේ විත්තිකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් වුණත් ඔහුට අදාළ චෝදනාව ඔප්පු කළ පසුවයි ඔහු හෝ ඇය වැරදිකරවෙක් වන්නේ. මේ කාරණය කෝප් කමිටුව හා සන්සන්දනය කරන විට අපට පේන්නේ කුමක් ද ?, මේ කමිටු සාමාජිකයින් යම් දුරකට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය නොතකා, තමන් ඉදිරියේ ඉන්නා වූ මේ රාජ්‍ය නිලධාරීන් ‘වැරදිකරුවන් පිරිසක්’ කියන පූර්ව නිගමනයක සිට තමයි ප්‍රශ්න කරන්නේ කියන කාරණය මේ ගැන මධ්‍යස්ථ අදහසක් තිබෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගන්න පුළුවන්” නීතිඥ ජනරංජන කෝප් කමිටුව හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් සම්බන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේය.

මේ හේතුව නිසා කෝප් කමිටුවේ පැවතිය යුතු අපක්ෂපාතීත්වය, පරීක්ෂා කිරීමට අදාළ වගකීම නිසි ලෙස ඉටු නොවන බව මෙහිදී ජනරංජන පෙන්වා දුන්නේ ය.

  • දේශපාලන නියෝජිතයින්

කෝප් කමිටුව නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු බව නිවැරදිව වටහා ගත යුතු බව කී ජනරංජන කමිටු සමාජිකයින්ගෙන් බහුතරය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හෙයින් ඔවුන් අදාළ අවස්ථාවේ ආණ්ඩුවේ දේශපාලන වුවමනා එපාකම් සහ අරමුණු නියෝජනය කරන බව ද සඳහන් කළේය.

“මේ මොහොත ගත්තොත් අල්ලසට සහ දූෂණයට විරුද්ධ දේශපාලන අදහසක් තමයි ආණ්ඩුවට තිබෙන්නේ. මේ දේශපාලන අදහස කෝප් කමිටුවේ දී බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවක් පේනවා. ‘අපි සියලු දෙනාම දූෂණයට විරුද්ධයි, මෙතැනට එන්නේ යම්කිසි ආකාරයක දූෂණයට සම්බන්ධ අය’ කියන පූර්ව නිගමනය මත කටයුතු කරන බවක් තමයි අපට කෝප් කමිටුවේ වත්මන් ක්‍රියාකාරීත්වය තුළ දැකගන්න පුළුවන් වෙන්නේ” යැයි ජනරංජන කෝප් කමිටුවේ වත්මන් ස්වභාවය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය යම්කිසි ආකාරයක ආචාර ධර්මීය පදනමකට ගෙන ඒම වැදගත් බව තමා සිතන බවයි.

“මෙවැනි කාර්යභාරයක් කරන කමිටුවල ඒවාට ම ආවේණික ආචාරධාර්මික රීති පද්ධතියක් හදා ගන්න ඕනෑ.  මීට පෙර යම් ආකාරයක රීති තිබුණ බව වාර්තා වුණ නමුත් වර්තමාන කෝප් කමිටුව තුළ එවැනි ආචාර ධර්මික රීති පද්ධතියක් තිබෙන බවක් නම් පේන්නට නැහැ” ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

  • කෝප් සභාපති ඉල්ලන්නේ කුමක් ද ?

වත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා සිය නිරීක්ෂණ වාර්තාව මඟින් පාර්ලිමේන්තුවෙන් කරන ඉල්ලීම ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ අනිද්දා ප්‍රධාන කතුවරයා පෙන්වා දුන්නේ අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක විධිමත් සොයා බැලීමකින් පසුව, විගණකාධිපති වාර්තාව පදනම් කර ගෙන ප්‍රශ්න කිරීමෙන් ලැබෙන උත්තර වාර්තා ගත කරලා ඒක ඉදිරිපත් කරනවාට වඩා ඊට එහා ගිය විමර්ශනාත්මක වාර්තාවක් පොලිස්පතිවරයාට හෝ අල්ලස් කොමිෂමට යැවීම වඩාත් සුදුසු බව තමා සිතන බවයි.

“මේ ඉල්ලීම අනුව කෝප් කමිටුවේ වාර්තා, සොයා ගැනීම් හෝ ලිපිගොනු කෙළින්ම පොලිස්පතිට හෝ අල්ලස් කොමිෂමට යවන්න කියලයි කියන්නේ. එතන දී යම් ආකාරයකට සිදුවිය හැකි දේ තමයි, කෝප් කමිටුව තමන්ගේ පරීක්ෂා කිරීමේ සීමාව ඉක්මවා ගිහින්ලා අර පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ නඩු විසඳීමේ ක්‍රියාවට, අධිකරණමය ක්‍රියාවලියකට තම පියවරක් ඉදිරියට තබන ස්වභාවයක් මෙහි දී දැක ගන්න පුළුවන්. මම මෙහි දී පෙන්වා දෙන්නේ කෝප් කමිටුව සිය අධීක්ෂණය, පරීක්ෂා කිරීම පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒක පාරදෘශ්‍යව පවත්වා ගෙන ද යා යුතුයි. නමුත් ලංකාවේ තිබෙන බරපතළ අවුලක් තමයි අපි ආයතන හදලා තිබෙනවා, නමුත් ඒ ආයතනවලට පත්වන පුද්ගලයින් තමන්ගේ බල වපසරිය ගැන අවබෝධයකින් තොරව ඒ බලය හිතූ හිතූ ලෙස පාවිච්චි කරන ස්වභාවයක් සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන්. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ බලය හිතුවක්කාර ලෙස අපයෝජනය කිරීමක් පමණයි. මේ ක්‍රියාවලිය ප්‍රශ්න කරන්න ගියොත් හැමෝටම ලේබල් වදින්න පුළුවන්. ‘හොරු රකින්න තමයි මේක කරන්නේ’ කියලා කියන්න පුළුවන්. නමුත් නීතියේ පාලනය සම්බන්ධ ප්‍රමිතීන් කිසිම ආකාරයකින් කඩා බිඳ දමන්න ඉඩ ලබා නොදිය යුතු නිසා ජනතාව අවධියෙන් සිටීම ඉතාම වැදගත්” නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරජංන COPE කමිටුවට අදාළව ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමේ අරමුණ සහ පාර්ලිමේන්තුව සතු කාර්යභාරය සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

මේක මහ භයානක තත්ත්වයක් – ආචාර්ය චරිත හේරත්

පසුගිය කාලය තුළ කෝප් කමිටුවේ සභාපතිවරුන් විසින් කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් යම් රීතින් සකස් කරගෙන තිබුණේය.  රාජ්‍ය නිලධාරීන් ගැටලුවකට හෝ අපහසුතාවට පත් නොවන ආකාරයට ප්‍රශ්න අසන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම කෝප් සාමාජිකයින් අතර ද ගැටුම් හෝ සිත් රිදවීම් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු කළේය. විශේෂයෙන් කෝප් කමිටුව හමුවේ රාජ්‍ය නිලධාරීන් ලබා දෙන පිළිතුරු හෝ කරන අනාවරණ පක්ෂ හෝ විපක්ෂ ලෙස නොසලකා පාර්ලිමේන්තුව ලෙස අදාළ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදාළ විමර්ශන කටයුතු කිරීමට එකල කෝප් කමිටු සභාපතිවරුන් හා සාමාජිකයින් වැඩි අවධානයක් යොමු කළේය.

  • රීති පද්ධතියක් තිබුණා

“කමිටු සාමාජිකයින් ලෙස අදාළ රාජ්‍ය නිලධාරියාගෙන් ප්‍රශ්නයක් අසන විට අපි සභාපතිතුමාගෙන් තමයි ඒ ප්‍රශ්නය අසන්නේ. අදාළ රාජ්‍ය නිලධාරියත් සභාපතිතුමාට තමයි පිළිතුරු දෙන්නේ. මෙහිදී කමිටු සමාජිකයින් සහ නිලධාරීන් අතර ගැටුමක් ඇති විම වැළැක්වීම තමයි අරමුණ වුණේ. මේ ආකාරයට අභ්‍යන්තර ආකෘති අපි නිර්මාණය කරගෙන තිබුණා. නමුත් මේවා ලිඛිත රීති හෝ එකඟතා නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු කාරක සභා සියල්ලටම වාගේ ගැටලු ඇති වෙලා තිබෙනවා. ඒ නිසා කඩිනමින් මේ ගැටලුව ලිහා ගැනීමට පියවර ගත යුතුයි” කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ද වන ආචාර්ය චරිත හේරත් පෙන්වා දුන්නේ ය.

මෙහිදී ආචාර්ය චරිත හේරත් පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ඉල්ලීම හා නිර්දේශ අනුව ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමේ සැලසුමක් පවතින බව තමාට දැන ගැනීමට ලැබී ඇති බවයි.

  • බිහිසුණු තත්ත්වයක්

“මේ සම්බන්ධ ඉල්ලීම ස්ථාවර නියෝග කාරක සභාවට යොමු කළා කියලා මට දැන ගන්න ලැබුණා. වර්තමාන සභාපතිතුමා ඇතුළු කණ්ඩායම දැනුවත්ව ද, එහෙම නැතිනම් නො දැනුවත්ව ද දන්නේ නැහැ මහ භයානක වැඩක් මේ කරන්න යන්නේ” යැයි අවධාරණයෙන් පෙන්වා දුන් ආචාර්ය චරිත හේරත් යම්කිසි ආකාරයකින් ස්ථාවර නියෝග 120 සංශෝධනය කළහොත් උද්ගත විය හැකි ගැටලු ගණනාවක් ද පෙන්වා දුන්නේය.

පොදු ව්‍යවසාය කාරක සභාව යනු කුමක්දැයි පැහැදිලිව අවබෝධ කරගත යුතු බව ද චරිත හේරත් ඒ සම්බන්ධ කෙටි පැහැදිලි කිරීමක් ද කළේය, “න්‍යායිකව ගත්විට පොදු ව්‍යවසාය කාරක සභාව හෙවත් කෝප් කමිටුව ස්ථාවර කාරක සභාවක් ලෙස සැලකෙනවා. ඒ වගේම මේක ‘පසු විපරම් කාරක සභාවක්‘ ලෙස තමයි ස්ථාපිත වෙන්නේ. මේක ව්‍යවස්ථාදායකයේම ජොබ් එකක් කරන කාරක සභාවක්. විධායක බලයෙන් ක්‍රියාත්මක කරන ආයතන පසු විපරම් කිරීම තමයි කෝප් කමිටුව වැනි කාරක සභාවලින් කරන්නේ. මේකට රාජ්‍ය ගිනුම් කාරක සභාවත් එක් කළ විට මේක කාරක සභා දෙක දැති රෝද දෙකක් වගේ. ඔවුන් පසු විපරම් මිස මුල් විපරම් කරන්නේ නැහැ. මේක අපේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් නොදන්න කාරණයක්. මේ කාරක සභා දෙකට සැලසුම් අදියරේ කටයුතු ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඔවුන් කතා කළ යුත්තේ ක්‍රියාත්මක වූ දේවල් සම්බන්ධයෙන් පමණයි ”.

  • ජනතාවට ලැබෙන දේවල්

කෝප් කාරක සභාව ඉදිරියේ පෙනී සිටින්නේ විධායකය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වග කියන ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් පත්කර සිටින අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඔහුගේ ප්‍රධාන නිලධාරීන් බව ද ආචාර්ය චරිත හේරත් පෙන්වා දුන්නේය.

පසු විපරම් කිරීමේ බලතල අධිකරණ බලතල බවට පත්කර නො ගත යුතු බව අවධාරණය කළ චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එවැනි සුදුසුකම් සහිත පුද්ගලයින් නොවන බව ද අවධාරණය කළේය.

කෝප් කමිටුව හරහා රාජ්‍යයේ හිමිකරුවන් වන ජනතාවට ලබාගත හැකි සේවාවන් හතරක් ආචාර්ය චරිත හේරත් මෙහිදී පෙන්වා දුන්නේය, “මේ මන්ත්‍රීවරුන්ගේ තීරණ තුළ තිබෙන්නේ රාජ්‍ය මූල්‍යයට සම්බන්ධ නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ කෙසේ ද ? යන්න සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම පමණයි. මේ පසු විපරම හරහා කරුණු කිහිපයක් ඉටු වෙනවා. කෝප් කමිටුවේ පසු විපරම හරහා රාජ්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය ජනතාවට පෙනීමට සැලැස්වීම තමයි වඩාත් වැදගත් කරුණ වෙන්නේ. දෙවැනි කාරණය මේ පසු විපරම් මාධ්‍යවලට නිරාවරණය කිරීම හරහා ජනතාවට අදාළ තොරතුරු ලබාගැනීමට අවස්ථාව උදා වෙනවා. තෙවැනි කාරණය ලෙස කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙනවා. මේ වාර්තාව හරහා අදාළ ආයතනවල නිවැරදි තොරතුරු ලබා දීමක් සිදු වෙනවා. මේවා නිල තොරතුරු නිසා ඕනෑම පුරවැසියෙකුට මේ තොරතුරු පදනම් කර ගෙන අධිකරණයට පවා යාමට අවස්ථාව හිමි වෙනවා. සිවුවෙනුව වර්තමාන කෝප් කමිටු සභාපතිවරයා පුළුවන්, තමා යෝජනා කරන විශේෂ ආයතන සම්බන්ධයෙන් දිනයක හෝ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් කරන්න. ඒ හරහා මේ ප්‍රශ්න තව දුරටත් සමාජගත කිරීමට අවස්ථාව උදා වෙනවා. මෙන්න මේවා තමයි කෝප් කමිටුව නම් උපකරණයෙන් අපිට ලබා ගන්න පුළුවන් ව්‍යවස්ථාදායකමය ප්‍රතිඵල. මේක අධිකරණමය ප්‍රතිඵල නොවෙයි. ව්‍යවස්ථාදායකමය ප්‍රතිඵල පද්ධතියක්ම තිබෙනවා”.

  • බරපතළ අසාධාරණයක්

කෝප් සභාපතිවරයා ඉල්ලා සිටින ආකාරයට ස්ථාවර නියෝග 120 සංශෝධනය කළහොත් උද්ගත විය හැකි ප්‍රශ්න ද මෙහි දී ආචාර්ය චරිත හේරත් පෙන්වා දුන්නේය.

“කෝප් කමිටුවට සාමාජිකයින් විශාල පිරිසක් නම් කර සිටියත් ඒකට සහභාගී වෙන්නේ ඒ ගැන උනන්දුවක් දක්වන යම් පිරිසක් පමණයි. නමුත් වත්මන් සභාපතිවරයාගේ ඉල්ලීම අනුව කෝප් කමිටුවේ යම් විමර්ශනයක් හෝ සොයා ගැනීමක් සම්බන්ධ වාර්තාවක් අල්ලස් කොමිෂමට හෝ පොලිස්පතිවරයාට ලබා දුන්නෙත් ඒක විශාල ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිෂම ඔවුන්ට ආවේණික රිද්මයකට තමයි වැඩ කරන්නේ. ඔවුන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ වාගේ ස්ථාවර නියෝග අනුව නෙමෙයි. එවැනි පසුබිමක් තුළ මේ ආයතන කෝප් කමිටුව විසින් ලබා දෙන වාර්තා සම්බන්ධයෙන් කුමනාකාරයෙන් කටයුතු කරයි ද ? කියලා අපි දන්නේ නැහැ. මේ හරහා අදාළ රාජ්‍ය නිලධාරීන් දැඩිව පීඩාවට පත්වීමට සහ අසාධාරණයට ලක්වීමට පුළුවන්” කෝප් කමිටුවේ සභාපතිවරයාගේ නව සැලසුමේ ආදීනව පැහැදිලි කරමින් ආචාර්ය චරිත හේරත් පෙන්වා දුන්නේය.

වත්මන් සභාපතිවරයා යටතේ මෙවැන්නක් සිදුවීම බරපතළ අනතුරක් – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී ඇති විශේෂ බලතල දෙකක් ලෙස නීති සම්පාදනය කිරීමේ බලය (76 වගන්තිය) සහ 148 සහ 149 වැනි වගන්ති වලින් පවරා දී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ බලතල සැලකිය හැකිය. මෙහි මූල්‍ය බලතල ක්‍රියාත්මක කිරීමේ දී කෝප් කමිටුව සහ රාජ්‍ය ගිනුම් කාරක සභාව ඉතා වැදගත් වේ.

කෝප් කමිටුවේ වැදගත්කම සහ කාර්යභාරය පැහැදිලි කරමින් කතිකාවට එක් වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තව දුරටත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය, “පාර්ලිමේන්තුවට ලබාදී ඇති මූල්‍ය බලතල පැහැදිලි කර ගැනීමේ, පසු විපරම් කිරීමේ බලයේ කොටසක් ලෙස කෝප් සහ කෝපා කමිටු සැලකිය හැකියි”.

  • ප්‍රදර්ශන කාමයක ගිලිලා

“රාජ්‍ය ආයතන 430කට අධික සංඛ්‍යාවක් කෝප් එකට විමර්ශනය කළ හැකියි. පාර්ලිමේන්තුව මාසයකට රැස් වෙන්නේ දින අටයි. ඒ අනුව මේ රාජ්‍ය ආයතන සියල්ලම විපරම් කිරීමේ හැකියාවක් කෝප් එකට නැති බව කාටත් පැහැදිලියි. මෙවැනි පසුබිමක කෝප් එකේ කාර්යභාරය කුමක් ද ?, කරු ජයසූරිය මහතා කතානායකවරයා ලෙස කටයුතු කළ කාලේ මේක මාධ්‍යවලට විවෘත කිරීමෙන් හොඳක් වුණා වගේම, ජනකාන්තවාදී ‘අපි හොරු අල්ලනවා’ වැනි ක්‍රියාවලියකට කෝප් එක පත් වුණා. නමුත් මේ රාජ්‍ය ආයතනවල ආයතනික සැලසුම කුමක් ද, ඒ සැලසුමට අනුව මේ ආයතන ක්‍රියාත්මක වෙනවා ද,  මේ ආයතන රටේ ආර්ථිකය දක්වන දායකත්වය, වගවීම කුමක් ද, ඒ වගවීමේ මූලාශ්‍ර මොනවා ද වැනි ප්‍රශ්න මේ නිසා කතා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මහජනතාවට තේරෙණ පුංචි පුංචි හොරකම් වගේ කාරණා ගත් විට කෝප් සභාපතිට වගේම කමිටුවටත් ජනප්‍රිය වෙන්න පුළුවන්.” චම්පික කෝප් කමිටුව සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

මෙහිදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වත්මන් කෝප් සභාපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්බන්ධ කටයුත්තක දී කටයුතු කළ ආකාරය හෙළි කරමින් ‘කෝප් කමිටුව තියෙන්නේ මේකටද?’ දැයි ප්‍රශ්න කළේය.

  • දේශපාලන න්‍යාය පත්‍ර

“කෝප් එක තියෙන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව ආයතනවල අභ්‍යන්තර පරිපාලන ගැටලු ගැන කතා කරන්න නොවෙයි. මාධ්‍ය සංදර්ශන තියන්න නොවෙයි” ඔහු දැඩිව අවධාරණය කළේය.

“මම වත්මන් කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කළා. ඔහුට පරණ රෝගාබාධ ඒ විදිහටම වැළඳිලා තිබෙන බව පේනවා” යැයි ද කීවේය.

දේශපාලන න්‍යාය පත්‍ර අනුව වත්මන් කෝප් කමිටු සභාපතිවරයා කටයුතු කරන බව උදාහරණ සහිතව පෙන්වා දුන් චම්පික රණවක මහතා ජාතික සහ ආර්ථික වශයෙන් වැදගත් කාරණා සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා කටයුතු කරන ආකාරයක් තමාට නිරීක්ෂණය නොවූ බව ද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මෙසේ ද සඳහන් කළේය, “හොරු අල්ලනවා කියලා දෙකයි පනහේ වැඩ ටිකක් කරගෙන යන ස්වභාවයක් තමයි දැන් දකින්න තියෙන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ පසුගිය පාර්ලිමේන්තුවේදීත් ආවා. කෝප් කමිටු වාර්තාවල කිසිම ප්‍රගතියක් තිබුණේ නැහැ. ඒ නිසා පසු විපරම් වාර්තාවක් සකස් කිරීම කළ යුතුව තිබුණා. අපි ඒක කළාට පස්සේ කිසිම ආකාරයක වගකීමක් හෝ වගවීමක් අමාත්‍යාංශ හෝ ආයතනල නිලධාරීන් නොතිබුණ බව මනාව පැහැදිලි වුණා”.

  • දත් නෑ

කෝප් කමිටුව ඇතුළු කමිටු හමුවට පැමිණෙන ඉතාම බරපතළ ගැටලු සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වන බව පෙන්වා දුන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ‘කෝප් කමිටුවට දත් නැති බව’ මනාව පැහැදිලි වූ උදාහරණයක් ලෙස සීනි බදු වංචාව සහ තවත් වංචා කිහිපයක් සම්බන්ධ කරුණු ද ඉදිරිපත් කළේය.

“අපි මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. අපි නියෝග දුන්නට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ නියෝග ක්‍රියාත්මක කරන්න යම්කිසි බලතල අවශ්‍ය බව අපි සාකච්ඡා කළා” චම්පික සිය අතීත අත්දැකීම් සිහිපත් කරමින් පෙන්වා දුන්නේය.

මෙහිදී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ නව යෝජනාව හරහා ඉතාම සංවිධානාත්මකව බරපතළ තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවයි.

වත්මන් කෝප් කමිටු සභාපතිවරයා මාධ්‍ය සංදර්ශන වෙනුවෙන් සහ තම හිතවතුන්ගේ හා පාක්ෂිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව පෙනී සිටින වාතාවරණයක් තුළ ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීමට යාම බරපතළ අනතුරක් බව යළි යළිත් පෙන්වා දුන් චම්පික රණවක පොදු ව්‍යාපාරය සම්බන්ධයෙන් කෝප් කමිටුවට මීට වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද අවධාරණය කළේය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment