ඡන්දය ලියාපදිංචි කර ගැනීමත් පුරවැසි අයිතියක්

සර්වජන ඡන්ද බලය සුරකින දේශයක් යන්න මැතිවරණ කොමිෂන් සභාවේ දැක්ම වේ. එම දැක්ම අනුව යමින් ජනතා පරමාධිපත්‍යය, සර්වජන ඡන්ද බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ භාරදූර  වගකීමක් එම කොමිෂන් සභාවට පැවරී ඇත.

ව‍ර්තමානයේ දී මැතිවරණ කොමිෂන් සභාව  මුහුණ දෙන අභියෝග සහ  සිදුකරන කාර්යය පිළිබඳ   එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සමඟ  කළ සාකච්ඡාවකි.

මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල කරන ප්‍රමුඛතම කාරණා මොනවද?

මේ දිනවල ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කරනවා. 2026 වසරට එය කිරීම පෙබරවාරි 01 ආරම්භ වුණා. නිශ්චිත දිනයක් අවශ්‍ය නිසයි එහෙම වෙන්නේ. එදිනයට පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් පදිංචිය තියෙන ස්ථානය ඡන්ද හිමියෙක් විදියට ලියාපදිංචියට ගන්නවා.

කොහොමද ඒ ලියාපදිංචි කිරීමේ  ක්‍රියාවලිය වෙන්නේ?

කලින් තිබුනේ සෑම ගෙදරකටම ලොකු ආකෘතියක් දිලා එය පුරවා ලියාපදිංචි කිරීම. මෙවර කරන්නේ යාවත්කාලීන කිරීමක්. ඒ කියන්නේ, 2025 නාම ලේඛනය 2026 ට යාවත්කාලීන කරනවා. 2025 තිබුණු නම් ඒ අයුරින්ම ඇතුළත් වෙනවා.  එහිදී  අලුතෙන් කෙනෙක් ඇතුළත් වීම හෝ කෙනෙක්  ඉවත් වෙනවා නම් ඒ වෙනස විතරයි කරන්නේ.

නමුත් නිවෙස්වලට 2025 ඡන්ද හිමි නාම ලේඛනය උදෘතයක් දෙනවා. පොඩි කඩදාසියක් 2025 ලියාපදිංචි අයගේ නම් එහි සඳහන් කරලා තියෙනවා. එය බලා වෙනසක් නැත්නම් ගැටලුවක් නැහැ. එතනදි යම් වෙනසක් උදාහරණයකට අවුරුදු 18 ට සම්පුර්ණ ළමයෙක් ඉන්නවා නම් ඇතුලත් කිරීමක් හරි  හිටපු අයෙක් මියගොස් හෝ පදිංචිය හැරගිහින් නම් ඒ නම අයින් කිරීමක් වැනි දෙයක් කරන්න පුලුවන්.

ග්‍රාම නිලධාරී හම්බවෙලා නැතිනම්  කොමිෂන් සභ නිල වෙබ් අඩවියට ගිහිල්ලා එය කරගන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේදී 2026 ඡන්ද හිමි නාම ලේඛන සහතික කරන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ දක්වා එම ක්‍රමවේදයේ  යනවා.  දැන් 2026 කෙටුම්පත ප්‍රදර්ශනය කරලා තියෙන්නනේ. එතනදී විරෝධතා සඳහා අලුත් නම් ප්‍රදර්ශනය කරන්න අවශ්‍යයි. ඒවගේම ඉවත් වෙන නමුත් ප්‍රදර්ශනය කරන්න ඕන. 

නව ක්‍රමය හේතුවෙන් ග්‍රාම නිලධාරීන් හෝ ඡන්ද ගණන් ගන්නා නිලධාරීන් ගෙයින්ගෙට  යෑමක් වෙන්නේ නැත්නම් මහජනතාවට ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නේද?

පෙබරවාරි පළමු සතියේ සියලූම පුවත්පත්, මාධ්‍ය මඟින් එම  ක්‍රමවේදය ප්‍රසිද්ධ කළා. ඒ වගේම ජනවාරි මාසයේ අග සහ පෙබරවාරි මුල් කාලයේ   සියලුම අයගේ ජංගම දුරකථන වලට “මෙවර ග්‍රාම නිලධාරී ගෙයින්ගෙට නොපැමිණෙන බැවින්, 2026 ඡන්දහිමි නාමලේඛන කෙටුම්පතට සංශෝධන ඇත්නම් පමණක් ඔහු විමසන්න ”  කියලා පණිවිඩය යවලා තියෙනවා. බොහෝ දෙනෙක් අතර ජංගම දුරකථන තියෙනවා. ග්‍රාම නිළධාරි කාර්යාලවලත් එය ප්‍රදර්ශනය  කරලා තියෙනවා.

යම් විදියකින් ග්‍රාම නිලධාරී ගෙයින්ගෙට නොයෑම නිසා ලියාපදිංචිය අඩුවක් තියෙනවද?

වර්ධනයක් මිසක් අඩුවක් නෑ. එය අපි පරික්ෂා කරලා බලලා තියෙන්නනේ. එතනදී සාමාන්‍යයෙන් එක ඡන්ද හිමි නාම  ලේඛනයක් සංශෝධනය කරනකොට සියයට කීයක වර්ධනයක්ද තියෙන්නේ කියලා දන්නවා. ඕනෑම ග්‍රාම නිලධාරී වස්සමක බලාපොරොත්තු නොවන විදියට අඩුවක් තියෙනවා නම් ඒ ගැන සම්පූර්ණයෙන්ම හොයලා බලනවා. ග්‍රාම නිලධාරියා ගෙයින්ගෙට යන්නෙ නෑ කිව්වට පෙර කියපු කඩදාසිය දෙන්න ගෙදරට යනවනේ. ඒ කියන්නේ සෑම නිවසකටම ග්‍රාමනිලධාරී 2025 ඡන්ද හිමි ලේඛනයේ උදෘතයත දෙන්න ඕන. දිලා අත්සන් ගන්න ඕන. ඒ දෙන කඩදාසියේ අනිත් පැත්තේ අපේ ලින්ක් ටික සහ කිව්ආර් කෝඩ් දාලා තියෙනවා. කඩදාසිය බැලුවම වෙනසක් තියෙනවා නම් කියන්න පුළුවන්.

ඉතින්  තවත් වැඩක් විදියට මේ වෙනකොට 2026  දේශපාලන පක්ෂ ලියාපදිංචිය දැන් කරනවා.

කොමිෂන් සභාව පක්ෂ ලියාපදිංචිය  සඳහා අවශ්‍යය මුලික කරුණු  දැනුම් දීලා තියෙනවා නමුත්  එම පක්ෂ නිවැරදි ලිය කියවිලි   ඉදිරිපත් කිරීමට උනන්දුවක්  හෝ  අනුගතවීමක් දකිනවද?

දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචියට බොහෝ දෙනෙක් උනන්දු වුණාට පවතින නීතිය අනුව ඉදිරිපත් කරන නිර්ණායකවලට බොහෝ දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ නිසානේ ගියවර (2025) දී පක්ෂ අසුගණනක් ඉල්ලීම් කරලා එයින්  05 ක් විතරක් පිළිගන්න වෙලා තිබුනේ.

ඉතින්  ලියාපදිංචියට අවුරුදු හතරක කාලය තුළ එම පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් බලනවා. මෙතනදීත්  දේශපාලන ධාරාවට සම්බන්ධ වන වැඩ අවුරුදු හතරක තියෙන්න ඕන.  බොහෝ දෙනෙක් වරද්ද ගන්නේ එතනින් . ඒ ක්‍රියාකාරකම් කළ බවට කුමන හෝ සටහන් තියෙන්න ඕන. ඡායාරූප වෙන්න පුලුවන්නම් පළ කරපු අත්පත්‍රිකා , දැන්වීම් වගේ දේ වෙන්න පුලුවන් .  මොනවද දේශපාලන ක්‍රියාකාරකම් වන්නේ කියලා අපි නිර්ණායක දීලා තියෙනවා.  සමහරු මොනවහරි දෙයක් බෙදලා දීම වැනි   සුබ සාධක වැඩ ඉදිරිපත් කරනවා. බොහෝ දෙනෙක් ඉදිරිපත් කරලා තියෙන්නේ දේශපාලන ක්‍රියාකාරකම් නොවේ.

සැලකියයුතු සංඛ්‍යාවක් පහුගිය කාලයේ පක්ෂ ලියාපදිංචිය  ප්‍රතික්ෂේප වුණානේ. ඒක වළක්වගන්න එම පක්ෂ මොනවද කරන්න අවශ්‍යය?

දීලා තියෙන මාර්ගෝපදේශ හරියට බලලා ඒ අනුව යන්න ඕන.  2026 ජනවරි 21 දිනැති අංක 2472/21 ගැසට් පත්‍රයේ නිර්ණායක වගේම, අපේ නීති අංශයෙනුත් අවශ්‍යය උපදෙස් ගන්න පුළුවන්. සමහරු හිතාගෙන ඉන්නවා අයදුම කළාම හරි කියලා.  නමුත්  ක්ෂණිකව අයදුම්පත දැම්මා කියලා පක්ෂයක් ලියාපදිංචි කරන්න බැහැ. අයදුම්පත භාරගන්න ප්‍රථම දේශපාන කටයුතු කළ බවට අවුරුදු හතරක කාලයක් බලනවා. ඒ වගේම ගිණුමක් විවෘත කරලා තියාගන්න ඕන. පක්ෂය ලියාපදිංචි කරලා නැති නිසා පක්ෂයේ නමින් නොවෙන්න පුළුවන් නමුත් පෞද්ගලික කෙනෙක්ගේ ගිණුමක් හරි ඒ ගිණුම විගණනය වාර්තා අවුරුදු 04 තියෙන්න ඕන.

දේශපාලන පක්ෂයක් කියන්නේ  එහෙම සිල්ලර  එකක් නොවේ. එයාලා මහජනතාව වෙනුවෙන් ඡන්දේ ඉල්ලන්න හරි මොනවා හරි දේකට යන අය නේ ඒ නිසා ඊට ගොඩනැගුණු පදනමක් තියෙන්න ඕන. ඒකපාර ඇවිත් පක්ෂ ලියාපදිංචිය  බෑ. ක්‍රියාකාරකම් කරලා ආවට පසු යම් ස්ථානයකදී ලිපදිංචියට සුදුසුකම් ලබනවා.

ඡන්ද හිමි ලියාපදිංචිය මේ දිනවල වෙනවනේ ඉතින් එහිදී ලංකාවේ හිසට වහලක් නැති, වීදීවල ඉන්න ජන කණ්ඩායම් ගැන කොමිෂන් සභාවේ අවධානය කොයි මට්ටමේද තියෙන්නේ?

පහුගිය කාලසීමාව තුළ ඡන්ද නාම ලේඛන ලියාපදිංචි කිරීම වඩා පුළුල් පරාසයකට අරගෙන ගියා. මාර්ගගත ඉ – සේවා  එක්ක දියුණු මට්ටමක දැන් තියෙනවා. ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු, ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත,මාර්ගත ලියාපදිංචිය වැනි සේවා ගණනාවක් දැන් මහජනතාවට එයින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ආන්තික ජන කොටස් ඡන්ද ලබාදීමේ ක්‍රමවේදයට ගන්න විශාල වැඩ ටිකක් කළා.

එහිදී ප්‍රධානව  අහිකුණ්ඨික, ධීවර , කාන්තාවෝ, ආබාධිත,මේ ගණයට වැටෙන්නැති තවත් බොහෝ පිරිස්සක් ඉන්නවා. ඒ සියලූ දෙනාම ඡන්ද ක්‍රියාවලියට ගන්න වැඩපිළිවෙලක් සකස් කළා.

ඇත්තටම එතනදී වීදීවල ඉන්න හිසට වහලක් නැති අයගේ  ප්‍රශ්නයක් තියෙන්නේ. ඡන්ද ලියාපදිංචි කර ගන්න නම් ඒ පුද්ගලයගේ වයස සනාථ කරගන්න ඕන. වයස අවු 18ට වැඩි පුද්ගලයෙක් වෙන්න ඕන. තව ඒ කෙනා කිසියම් තැනක පදිංචිවෙලා ඉන්න ඕන. මේ අයගේ බොහෝ දෙනෙක්ට වයස සනාථ  කිරීමේ ලේඛන කිසිවක්, හැඳුනුම්පතක් නැහැ.

ඉතින් වයස සනාථ කරගෙන ඒ පුද්ගල අන්‍යතාවය තහවුරු කර ගන්න පුළුවන් විදීයේ  පියවරකට යොමුවෙලා තියෙනවා.  ඒ වසමේ එවැනි  පිරිස් ඉන්නවනම් ඒඅයගැන පරීක්ෂා කරලා ඡන්ද හිමියෙක් ලෙස ලියාපදිංචියට සුදුසුකමක් හොයාගන්න පුළුවන්නම් වයස, ඒවගේ දේ සනාථ කරන්න පුළුවන් නම් පදිංචිය පිළිබඳව හිසට වහලක් නැති ගැටලුවනම් තියෙන්නේ ඒකට ග්‍රාම නිළධාරි කාර්යාල ලිපිනය දෙන්න කියලා දැනට ග්‍රාම නිළධාරි දැනුවත් කරලා තියෙනවා.

නමුත් එය හොඳට හොයාබලා කළයුත්තක් මොකද සමහර පුද්ගලයෝ එක දවසක එතන ඉන්නවා ඊළඟ දවසේ නෑ. අද දවසේ එන යාචකයෙක් හෙට දවසේ නැත්නම් ඒ කරන්න බෑ නේද? කරන්න පුළුවන් වෙන්නේ බොහෝ කාලයක් ඒ වසමේ ඉන්න නමුත් හිසට වහලක් නැති සුදුසුකම් තියෙන ගෙයක් නැතිකම නිසා ප්‍රශ්නයක් නම් අපි එයට වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ.

කුළි නිවාස, බදු නිවාස වල ඉන්න අයට තමන් පෙබරවාරි පළමුදා ඉන්න ස්ථානය ඡන්ද හිමියෙක් විදියට ලියාපදිංචිය  වෙන්න කිසිම බාධාවක් නැහැ.  ඒකට අයිතිකරුගේ ලියුම් කැමැත්ත කිසිවක් අවශ්‍යයවන්නේ නෑ. බද්දට, කුළියට ,වැඩිහිටිනිවාස ,අනාත නිවාස එවයේ ඉන්න සුදුසුකම් සම්පූර්ණ කරපු අය ඒ ස්ථානවලම ලියාපදිංචි කරනවා.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය,පළාත් පාලන ආයතන ඡන්දය සියල්ලම කරලා ඉවරයිනේ. ඉතුරු වෙළා තියෙන්නේ පළාත් සභා ඡන්දය කොමිෂන් සභාවට නීතියක් නැතිවුනත් ඇයි මේ සම්බන්ධව යම් මැදිහත්වීමක් සෘජුව කරන්නේ නැත්තේ?

එතන පළාත් සභා ඡන්දය පවත්වන්න බැරිවෙලා තියෙන්නේ නීතියේ තියෙන ගැටලු නිසා නීති සංශෝධනයක් අවශ්‍යයි. පනතක්නේ වෙනස් කරන්න යන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව යෝජනා සම්මතයකින් තමයි එය කරන්න වෙන්නේ.

ඒ යෝජනා සම්මතයට කොමිෂන් සභාවට මැදිහත් වෙන්න පුළුවන්කමක් නැහැ. පුළුවන්කම තියෙන්නේ ඒ අදාල වන පුද්ගලයන්ට මේ සම්බන්ධව බලපෑමක් කිරීම. 2017 ඉඳන් මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට විශේෂයෙන් ජනාධිපති ලේකම්, දේශපාලන පක්ෂ හැම කෙනාටම දිගින් දිගටම  දැනුවත් කරලා තියෙනවා. පහුගිය  කාලයේත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලනපක්ෂවලට  පළාත් සභා ඡන්දය සිද්ධවෙන්න ඕන කරුණක් ලෙස දැනුවත් කරලා තියෙනවා. වර්තමාන රජය බලයට පත්වුණායින් පස්සෙත් එය කඩිනමින් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ‍ව දැනුවත් කිරීම දිගටම කරලා තියෙනවා. මෙතෙක් පත්කළ තේරීම් කාරක සභා වලට ගිහිල්ලා කියලා තියෙන්නෙත් එකයි. අලුතින් තේරුම් කාරක සභාවක් පත්කරා එයටත් ගිහින්  මෙහි ක්ෂණික අවශ්‍යතාව සහ සිදු විය යුත්තේ කෙසේදැයි කියන්න බලාපොරොත්තු වෙනවා.

මැතිවරණ කොමිෂන්  සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා එම යෝජනා සම්බන්ධයෙන් මේ වන විට මොනවගේ ක්‍රියාමාර්ග ද අරගෙන තියෙන්නේ?

බොහෝ කලක ඉඳන්ම මුලින්ම යෝජනා 47ක් ඉදිරිපත් කළා.  එවයින් ටිකටික ඇවිත්  දැනට යෝජනා 27 ක් තියෙනවා. ඒ යෝජනා විවිධ මට්ටමේ තියෙන්නේ. උදාහරණයකට සමහර ඒවා නීතිපති ළඟ, නීති කෙටුම්පත් සම්පාදක ළඟ තවත් සමහර ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය දක්වා ඇවිත් තියෙනවා. ඒ අතර පහුගිය කාලසීමාවේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච කිහිපයකුත් තියෙනවා. ඉතිරි ඒවා විවිධ මට්ටමේ තියෙනවා. 

විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය වගේම මේ රටේම ඡන්ද දිනයේ ඡන්දය දාගන්න බැරිව ඉන්න අය වෙනුවෙන් පූර්ව ඡන්ද දැමීමේ ක්‍රමයක් එහෙම නැත්නම් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන දෙන්න වගේ යෝජනා ඒ අතර තියෙනවා. ඉතින් ඒ නීති තව සම්මත වෙලා නැහැ. ඒගැන සතුටුදායක ප්‍රතිචාරයක් දැනට තියෙනවා. ඉදිරියේදී ඒ යොජනාවලින් වැඩි හරියකට අනුමැතිය ලැබෙයි කියලා හිතනවා. අපි කරපු ඉල්ලීම් ගැන ජනපති ලේකම්වරයාගෙන් යහපත් ප්‍රතිචාරයක්යක් ලැබුණා. අධිකාරණ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කරලා ඉක්මනින් ඒ වැඩ ටික කරගන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය කාලයේ  2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත වුණානේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී කොමිසමට තියෙන්නේ පොලිසියට ඒ සම්බන්ධයෙන් දෙනුම් දීමක්නේ. එතනදී   මැතිවරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම පමා වීම වළක්වා  ගන්න  කොමිෂන් සභාවට  විශේෂ මැතිවරණ විනිශ්චයාධිකාරි බලයක් අවශ්‍යයිද?

ඇත්තෙන්ම මැතිවරණ වියදම්  නියාමන පනත බොහෝම කඩිනමින් එළියට දාපු අඩුපාඩු සහිත පනතක්. එහි අඩුපාඩු රාශියක් තියෙනවා. පහුගිය ඡන්ද විමසීම් තුනම ඒ අඩුපාඩු සමග කරන්න සිද්ධ වුණේ. එය සංශෝධනයට කාලයක් තිබුණේ නැහැ.  ඉතින් ඡන්ද විමසීම ඉවර වුණාට පසු  දැන් පනත්වල තියෙන අඩුපාඩු ගැන නිරීක්ෂණය කරගෙනනවා.

උදාහරණ විදියට ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පනතේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒවත් සංශෝධනයට කරන්න කියලා  කියනවා.  ඒකට වියදම් නියාමන පනතත් ඇතුලත් වෙනවා.

වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාවට තියෙන්නේ ඒ වියදම් නියාමනයට අදාළ කඩදාසි ටික එකතු කර ගැනීම. පරීක්ෂා කර බලන්න නිතියෙන් හැකියාවක් නෑ. එකතුකරගෙන මහජනතාවට ප්‍රදර්ශනය කරන්න ඕන. බාර නොදුන්නු ඒවා සම්බන්ධව පොලීසීයට පැමිණිලි කරන්න තියෙනවා. නඩු දැකීම කරන්නේ පොලිසිය. එතකොට ඒ පනත ගෙන ආවේ ඡන්ද විමසීම් වලදී අනවශ්‍යය වියදම් අඩු කරලා සම බිමක් හදන්න නේ. මෙතනදී එය වෙනවද කියලා සැකයි.

කොමිෂන් සභාව  ප්‍රදර්ශනය කරන විවිධ දේශපාලනපක්ෂ කරණලද වියදම් බලන්නේ ඉතාම සීමිත පිරිසක් විතරයි. පැමිණිලි කරන්න මහජනතාවටනේ  තියෙන්නේ. මහජනතාවයි ඒ වාර්තාව බලලා   ” එම අය ඊට වඩා වියදම් කරලා තියෙනවද? මේ දේවල් ඊට ඇතුල්කරල නැහැ කියන දේ ” කියන්නන පුළුවන් මහජනතාවටයි. නමුත් අපේ අත්දැකීම් අනුව ඡන්දේ ඉවර වුණාට පස්සේ එය බලන උනන්දුවක් දක්වන්නේ ඉතාම අඩුපිරිසක්.

ඒ නිසා මැතිවරණ වියදම් නියාමනයෙන් බලාපොරොත්තු වුණදේ 100%ක්ම ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් එම නීතිය තියෙන නිසා දේශපාලන පක්ෂ වියදම් කිරීමේදී  විශාල පාලනයක් තියෙනවා. පනත තවදුරටත් සංශෝධනය වෙලා මැතිවරණ කොමිෂන් සභාවට මීට වඩා සම්බන්ධ වෙන්න අවස්ථාව ඕන.

ඡන්දයක් තියෙනකොට නූතන තාක්ෂණයත් එක්ක සමාජ මාධ්‍යජාලා, කෘතිම බුද්ධිය හරහා සිදු කෙරෙන බලපෑම ගැන ඉදිරි මැතිවරණ වලදී කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තියෙනවද?

පහුගිය ඡන්ද විමසීම් වලදී ඉඳන් තාක්ෂණයත් සමග සිද්ධ විය හැකි දේවල් පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. අපිට තාක්ෂණය නැති වුනාට එම තාක්ෂණය තියෙන ආයතන සමග එකතු වෙලා සමාජ මාධ්‍ය ජාලා, ඒ.අයි තාක්ෂණික නිර්මාණ ගැන  දැනට ලංකාවේ තියෙන පෞද්ගලික ආයතනත් සමග එකතුවෙලා වැඩසටහනක් කළා . එතනදී එම සමාජ මාධ්‍ය ජාලාවල මව් සමාගම් සමඟත් සාකච්ඡා කරලා තියෙනවා. 

ලොකුම ගැටලුව මේ සමාජ මාධ්‍ය ජාලාවල මව් සමාගම් විදේශ රටවල් වල තියෙන්නේ යම් කිසි පලකිරීමක්  මැතිවරණ කටයුතුවලට බාධවක් නම් එය ඉවත් කරන්න කියලා කිව්වත් ඊට  ගතවන කාලය සම්බන්ධව ගැටළුවක් තියෙනවා. එම සමාජ මාධ්‍ය ජාලා සමාගම එය පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි, එයාලගේ යම් යම් නිර්ණායක තියෙනවා. එම නිර්ණායකවලට එම පළ කිරීම අදාළ  නොවෙනවා නම් එම සමාගම් එය ඉවත් කරන්නේ නෑ.  මැතිවරණය කියන්නේ බොහොම කෙටි කාලයක්. ඉතින් එයාලා  පරීක්ෂා කරලා මව් ආයතන සමඟ සාකච්ඡා කරලා කරනකොට ඇත්තෙන්ම කාලය හුගක් ගිහින් තියෙන්නේ. ඒ නිසා  ඡන්දය නැති කාලේ  දැන් වැඩසටහනක් කරනවා. එම ආයතන කිහිපයක් සමඟම ගිය මාසෙත් සාකච්ඡා කිහිපයක් තිබ්බා. එහිදී මෙම ක්‍රියාවලිය කඩිනම් කරගන්නේ කොහොමද  කියලා යෝජනා  මොකක්ද කියලා විමසුවා.

දේශපාලන ක්‍රියාවලියේදී  පක්ෂ සහ ජනතාව විදියට කුමන ආකාරයේ මැදිහත්වීමක්ද කළ යුත්තේ?

ඡන්ද හිමියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ ඇත්තටම හැකිතාක් තමන්ගේ ඡන්දය ලියාපදිංචි කරගන්න කියලා. ඒක පුරවැසියගේ අයිතියක්. ඒවගේම ඒ අයිතිය පාවිච්චි කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඡන්ද විමසීමක් ගත්තහම සාමාන්‍යයෙන් 50% -60% වගේනේ ඡන්දය වැටෙන්නේ. විශාල සංඛ්‍යාවක් කුමන හෝ හේතුවක් නිසා ඡන්දය දෙන්නේ නැහැ.

තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. මොකද ජනාධිපතිවරණයක් කිව්වොත් රටේ පාලකයා තෝරා ගැනීමටනේ තියෙන්නේ. ඉතින් මහජනයා තමන්ගේ පාලකයන් තෝරා ගැනීමේ ඡන්දයේදී ඒ අයට ලැබෙන  විශේෂ වැදගත් අවස්ථාවක් එක ඒනිසා  ඡන්ද හිමියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ ඡන්දය ලියාපදිංචි කරගන්න සහ ඡන්ද අවස්ථාවේදී වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලා.

දේශපාලන  පක්ෂ වලින් ඉල්ලන්නේ  රටේ නීතිරීති සැකසීම සහ අනෙකුත් කටයුතු වලට ඉතා හොඳින් දායක වීම  ඡන්ද දායකයා දැනුවත් කිරීම එම කටයුතු වලදී අත්‍යවශ්‍යයි.

ඉතින් ඡන්ද නාමලේඛන ලියාපදිංචි කිරීමේ අවස්ථාවේදී සෑම දේශපාලන පක්ෂයකින්ම එක් එක් ග්‍රාම නිලධාරී වසම් වලටම නියෝජිතයෝ පත් කරනවා නමුත් දේශපාලන පක්ෂ දහයකටත් අඩු සංඛ්‍යාවකින් තමයි ඒ වැඩේ කරන්නේ. අනිත් අය  නියෝජිතයෝ පත් කරන්නෙත් නැහැ. කිසිදෙයක්  කරන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න කියලයි දේශපාලන පක්ෂ වලිනුත් කොමිෂන් සභාව විදියට ඉල්ලීමක් කරනවා.

| රවිශාන් ප්‍රනාන්දු.

Tags:

Leave A Comment