ට්‍රම්ප්ගේ තීරු බදු ගැටය ලිහා ගන්නේ කොහොමද ?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමස්ත ලෝකයම ආවරණය වන පරිදි පසුගිය අප්‍රේල් මස ප්‍රකාශයට පත් කරන ලද තීරු බදු ක්‍රියාත්මක වීම පසුගිය අගෝස්තු මස 01 වැනි දින සිට සිදුවිය. ආරම්භ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආයනයන වෙනුවෙන් 44%ක තීරු බදු ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් කළ අමෙරිකාව පසුව එය 30% දක්වා පහත දැම්මේ ශ්‍රී ලංකාවට කේවල් කිරීමේ අවස්ථාව ලබා දෙමිනි. ඒ අනුව පසුගිය අගෝස්ත් 01 වැනිදා ශ්‍රී ලංකාවට 20%ක ආනයන තීරු බද්දක් පනවනු ලැබීය.

මේ පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරය සිය කතිකාව සංවාද මාලාවේ 236 වැනි සංවාදය ‘ට්‍රම්ප්ගේ තීරු බදු ගැටය ලිහා ගන්නේ කොහොමද ?’ යන තේමාව යටතේ විද්වත් සංවාදයට ලක් කළේය.  මෙම කතිකාවේ සම්පත්දායකයින් ලෙස, ආර්ථික විශේෂඥ තිළිණ පඞුවාවල, Verité Research හි පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂණි අබේසිංහ, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සහ අපනයනකරුවෙකු වන මහේන්ද්‍ර ජයසේකර යන විද්වතුන් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

20%ක තීරු බද්දත් පරාජයක් – මහාචාර්ය රොහාන් සමරජීව

තීරු බදු සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් දැනුවත්භාවයක් නොමැති අතර එහි පුළුල් හා සංකීර්ණ බලපෑම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් නැත. එහෙත් තීරු බදු ආර්ථිකමය වශයෙන් රටකට දැඩි බලපෑමක් කළ හැකි සංසිද්ධියකි. එහි ඍණාත්මක බලපෑම සමස්ත ආර්ථිකයට, ණය ගෙවීමේ හැකියාවට, අපනයන සමාගම්වලට, එහි ඍජු හා වක්‍ර සේවා නියුක්තියට දැඩි බලපෑමක් කරන්නේය.

  • ට්‍රම්ප් කළෙත් ඇන්.ඇම්. පෙරේරා කළ දේමයි

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තීරු බදු ප්‍රතිශතය ආරම්භයේදී, එනම් අප්‍රේල් මාසයේ දී 44%ක් වූ අතර පසුව එය සංශෝධන හෝ කේවල් කිරීමකට යටත්ව 30% දක්වා පහත හෙළ ලදි. අවසාන වශයෙන් පසුගිය අගෝස්තු 01 වැනිදා එම ප්‍රතිශතය 20% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

“අපිට මුලින් පනවන ලද 44%ට වඩා 30% හොඳ බවත් 30%ට වඩා පසුගිය දා පනවන ලද 20%ක තීරු බද්ද හොඳ බවත් කාට හරි කියන්න පුළුවන්. නමුත් මම එහෙම කියන්නේ නැහැ. ලංකාවේ චිරාගත සම්ප්‍රදායන් තිබෙනවා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති ලෙස කටයුතු කළ (1970-75) කාලේ තමයි මේක පටන් ගත්තේ. මොකක් හරි ගාස්තුවක් විශාල අගයකින් මුලින් වැඩි කරනවා, ඊට පස්සේ මිනිස්සු කලබල වෙලා ඒකට විරෝධතා පළ කරන කොට අර ගාන අඩු කරනවා, නමුත් අඩු කරන්නේ තිබුණ මට්ටමට නො වෙයි. ඉතිං මේ උපායට රැවටෙන කට්ටිය කියනවා ‘අනේ අඩු කළා නේද ? , කොච්චර හොඳ ද කියලා’. නමුත් ඇත්තටම කරලා තියෙන්නේ වැඩි කිරීමක්. නමුත් වක්‍ර ක්‍රමයකින් වැඩේ කළේ” මහාචාර්ය රොහාන් සමරජීව කතිකාවට ප්‍රවේශයක් ගනිමින් හාස්‍යජනක ස්වරයෙන් කීවේය.

  • තරඟයේ වාසිය කාට ද ?

ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කළ අපනයනවලට සාමාන්‍ය බර තැබූ තීරු බදු ප්‍රතිශතය තනි සංඛ්‍යාවක බද්දක් වූ අතර මෙවැනි තනි ඉලක්කමක තිබූ තීරු බද්දක් 20%ක් දක්වා ඉහළ යාම ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකි බව මහාචාර්ය රොහාන් පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ ද  සඳහන් කළේය, “මගේ අදහස අනුව මේ 20%ක තීරු බද්දත් පරාජයක්, මේක අපිට නරක විදිහට බලපාන දෙයක්. අපි මුලින්ම බැලුවේ අපිත් එක්ක ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ තරඟ කරන රටවල්වලට පනවා තිබූ තීරු බදු අනුපාතයත් එක්ක. උදාහරණයක් විදිහට අපි අපනයනය කරන ඉහළ මට්ටමේ ඇඟළුම්වලට බංග්ලාදේශයත් එක්ක තරඟයක් තිබුණේ නැහැ, නමුත් වියට්නාමය සහ චීනයත් එක්ක අපිට තරඟයක් තිබුණා. ඒ අනුව චීනයට සහ වියට්නාමයට පනවා තිබූ තීරු බදු අනුපාතය තමයි අපේ තරඟකාරීත්වය බලපාන්නේ. අපි පොල් අපනයනය ගත්තොත් අපිට තරඟය තිබුණේ ඉන්දියාව සහ පිලිපීනයත් එක්ක. මේ අනුව සාපේක්ෂ කතාව බොහෝ දුරට නිරාකරණය වී තිබෙනවා. පිලිපීනය, වියට්නාමයට 19%ක් හෝ ඊට ආසන්න අගයක් තිබෙනවා, ඉන්දියාවට 25%ක් තිබෙනවා, නමුත් චීනයේ අගය ගැන අදහසක් නැහැ”.

මහාචාර්ය සමරජීවට අනුව ශ්‍රී ලංකාව ඇමෙරිකාවට කරන අපනයන වෙනුවෙන් පනවා ඇති තීරු බද්දේ සම්පූර්ණ බර පැටවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙත ය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේ ද සඳහන් කළේය, “ට්‍රම්ප්ට අනුව යම්කිසි රටක් ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීම වරප්‍රසාදයක්, ඒ වරප්‍රසාදය භුක්ති විඳීම වෙනුවෙන් අපි ඒ ගෙවීම කරනවා. ඒත් ආර්ථික විද්‍යාව අනුව නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ගෙවන්නේ ආනයනය කරන අය, නැතහොත් ආනයනකරුවා. මේ තත්ත්වය තුළ ආනයනකරුවට විකල්ප දෙකක් තිබෙනවා, එකක් ඔවුන්ට අපේ සැපයුම්කරුට කියන්න පුළුවන්, ‘අපි දෙපාර්ශ්වය විසින්ම සහයෝගයෙන් මේ බර දරා ගනිමු. ඒ නිසා මේ බද්දේ කොටසක් ඔයගොල්ලොත් ගන්න’ කියලා. නමුත් මේක තීරණය වෙන්නේ දෙපාර්ශ්වය අතර තිබෙන සම්බන්ධතාවය අනුවයි. බොහෝ දෙනෙක් කියන්නේ 1%-2%ක අඩුවීමක් සිදුවීම මිස ඊට වඩා අඩු වීමක් සිදුවෙන්නේ නැති බවයි. එහෙම වුණොත් වෙන්නේ අපේ අපනයනකරුවන්ගේ ආදායම සහ ලාභාංශ අඩු වෙනවා. එය ඍජුව වැටුප් ගෙවීමට බලපානවා. දෙවැනි විකල්පය තමයි මේ තීරු බද්ද ඇමෙරිකාවේ සිල්ලර වෙළෙඳපොළ මිලට ගියොත් මිල ඉහළ යාමක් සිදුවෙනවා. මිල ඉහළ යාම පාරිභෝගික ඉල්ලුම අඩුවීමට හේතුවක් වෙනවා. නැතහොත් වෙනත් ලාභ භාණ්ඩයක් මිලදී ගැනීම හෝ අදාළ භාණ්ඩය මිලදී ගැනීම කල් දානවා. මේ තත්ත්වය ඍජුව අපේ අපනයනකරුවන්ට බලපානවා, අපනයන අඩු කිරීමකට හේතු වෙනවා. මේක තමයි යථාර්ථය, මේ බලපෑම තවමත් අහෝසි වෙලා කියලා කියන්න බැහැ”.

  • බද්දේ බර දරන්නේ කවුද ?

මෙහිදී මහාචාර්ට සමරජීව පෙන්වා දුන්නේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ සියලු නීති, සම්ප්‍රදායන් හා පිළිවෙත් අමු අමුමේ උල්ලංඝනය කරමින් ට්‍රම්ප් කටයුතු කරන්නේ කප්පම්කරුවෙකුගේ ස්වභාවයෙන් බවයි. මෙවැනි වාතාවරණයක් තුළ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

“ලොකු රටවල් කුඩා රටවල් වලට මේ ආකාරයේ බල පුළුවන්කාරකම් පෙන්වනවා නම්, පොඩි රටවල් වල ප්‍රශ්න සම්බන්ධයෙන් අල්පමාත්‍ර සැලකිල්ලක් දක්වන්නේ නැතිනම්, එවැනි රටවල් වලට ලෝකය දිහා බලන්න වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් විදිහකට” මහාචාර්ය සමරජීව මෙවර කතිකාව සංවාදයේ සමස්ත අරමුණු පැහැදිලි කරමින් සඳහන් කළේය.

මේ ගැටේ ලිහා ගන්න එක ලේසි නැහැ –  ආර්ථික විද්‍යාඥ තිළිණ පඞුවාවල

වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා තුළ එක්සත් ජනපද ආර්ථිකය ද විවිධ අභියෝග සහ ගැටලුවලට මුහුණ දුන් අතර පසුගිය දශක දෙක තුළ මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ විය. සිය නිෂ්පාදන ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් ඇමෙරිකාව මුහුණ දුන් දුෂ්කරතා තවත් සංකීර්ණ වූ අතර වත්මන් ඒකපාර්ශ්වීය ගෝලීය තීරු බදු පැනවීම මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එක්සත් ජනපදය සැලසුම් කළ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස සැලකිය හැකිය.

කතිකාවට ප්‍රවේශයක්  ගනිමින් අමෙරිකාව වත්මන් ඒකපාර්ශ්විකව මේ ආකාරයෙන් ගෝලීය තීරු බදු පැනවීමට බලපෑ හේතු තිළිණ පැහැදිලි කළේය.

  • තගරිය හැර වෙන පාරක් නැද්ද ?

 “ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තීරු බදු ප්‍රතිපත්තිය අලුත් දෙයක් ලෙස සැලකිය නොහැකියි. ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පළමු අවස්ථාවේ, 2017 දී තමයි මේ වැඩපිළිවෙළ මුලින්ම දියත් වුණේ. එය තමයි මේ ඉදිරියට යන්නේ. නමුත් මෙහිදී ප්‍රශ්න කිහිපයක් පැනනගින්න පුළුවන්. ඒ අතර වැදගත් ප්‍රශ්නයක් තමයි, ‘මේ මාර්ගය හැර ඇමෙරිකාවට වෙනත් මාර්ගයක් නැද්ද ?’ යන ප්‍රශ්නය. එහෙම නැතිනම් මේ ‘තගරිය’ හැර මේ ප්‍රශ්න විසඳා ගන්න වෙනත් මාර්ගයක් නැද්ද ?’ කියන එක. නමුත් මීට දශකයක තුනකට පමණ පෙර, අමෙරිකාව ක්‍රියා කළේ මේ ආකාරයෙන් නොවෙයි. ඔවුන් ප්‍රමුඛතාව දුන්නේ ලෝක වෙළෙඳ සංවිධානය වැනි ශක්තිමත් ආයතන පද්ධති නිර්මාණය කරන්න. මේ යුගයේ රටවල් දෙකක් අතර වෙළඳාම සම්බන්ධ යම් අර්බුදයක් උද්ගත වූ අවස්ථාවක ලෝක වෙළෙඳ සංවිධානය තුළ ‘අභියාචනා මණඩලය / Appellate body’ කියලා වෙනම ආයතනික වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණා. ඒ හරහා තමයි අදාළ ගැටලු විසඳා ගැනීමට පියවර ගත්තේ. නමුත් මේ අභියාචනා මණ්ඩලය දුන් ඇතැම් තීන්දු නිසා එක්සත් ජනපදය ප්‍රමුඛ සංවර්ධිත රටවල් තුළ මේ අභියාචනා මණ්ඩලය සම්බන්ධයෙන් විරසකභාවයක් වර්ධනය වුණා. ඒක හේතුව වුණේ මේ අභියාචනා මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් තමන්ගේ වගකීමෙන් ඔබබ්ට ගිහින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වාසිදායක තීන්දු දුන්නා. විශේෂයෙන් ඇමෙරිකාව මේ තීන්දු සම්බන්ධයෙන් තෘප්තිමත් වුණ් නැහැ, ඔවුන් එම තත්ත්තව සැලකුවේ තමන්ට හානිකර හෝ අවාසිදායක තත්ත්වයක් විදහටයි. මේ තත්ත්වය තුළ ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ සහ ඊට පසුව බලයට පත් වූ බයිඩන් පාලනය යටතේ මේ අභියාචනා මණ්ඩලයට පත් කිරීම් කරන එක නතර කළා. මේ නිසා පසුගිය අවුරුදු කිහිපය තුළ මේ අභියාචනා මණ්ඩලය ක්‍රියාත්මක වුණේ නැහැ”.

මෙහිදී තිළිණ පෙන්වා දුන්නේ තම අවාසියට ක්‍රියාත්මක වන ලෝක වෙළෙඳ සංවිධානයේ අභියාචනා මණ්ඩලය අක්‍රිය කර ඇමෙරිකාව සිය පැරණි ස්ථාවරය වෙනස් කළ බවයි. මේ අතර ඇමෙරිකානු නිෂ්පාදන ආර්ථිකයේ සිදු වූ බිඳ වැටීම හමුවේ නිර්මාණය වූ දේශපාලන  පීඩනය ඇමෙරිකාව වත්මන් බලහත්කාරී මාවතට තල්ලු කළ බව ද තිළිණ වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

  • අවුලේ මුල චීනය

“මීට දශක කිහිපයකට පමණ පෙර ඇමෙරිකාව තමයි නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කළේ, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළේ. එම යුගයේදී යටත් විජිතවාදීන් වෙළඳාමේදී අනුගමනය කළ බලහත්කාරය පිටුදැකීම වෙනුවෙන් පෙනී සිටියේ එක්සත් ජනපදයයයි. නමුත් වර්තමානයේ දී මේ චක්‍රය නැවත හරවමින් කටයුතු කරන්නෙත් ඇමෙරිකාවම තමයි. ඒකට හේතුව තමයි වර්තමානය වන විට නිදහස් වෙළඳාම ඇමෙරිකාවට අවාසිදායක වීම.” මෙහිදී තිළිණ පෙන්වා දුන්නේ චීනය ලෝකය වෙළඳ සංවිධානයට ඇතුළත් වී පසුගිය දශක කිහිපය තුළ ලබාගත් අපනයන ප්‍රගතිය මෙහිදී සැලකිල්ලට ගත යුතු බවයි.

චීනය ලෝක වෙළඳාම තුළ ලබාගත් ප්‍රගතිය කිසිසේත් සාධාරණ වෙළඳාම මත සිදු වූවක් නොවන බව ඇමරිකාවේ ස්ථාවරය බව කී තිළිණ මෙම අවස්ථාව ලෝකයේ සෙසු රටවලට හිමි නොවූ බව ද පෙන්වා දුන්නේය. මෙහිදී ගෝලීය වෙළඳාම තුළ චීනය සිය ස්ථාවරත්වය තහවුරු කරගත් ආකාරය පැහැදිලි කළ තිළිණ වැඩි දුරටත් පෙන්වා දුන්නේ චීනයේ සාර්ථකත්වය අහම්භයක් නොවන බවත් එය දැඩි පාලනයක් හා කැප කිරීමක් මත ලබාගත් ප්‍රගතියක් බවයි.

“චීනයේ මේ සාර්ථකත්වය ලංකාව ද ඇතුළු ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඍජු දායත්වයක් ලබා දුන්නා. නමුත් දශකයක පමණ සිට අමෙරිකාව මේක දකින්නේ තර්ජනයක් ලෙසයි. එය ආර්ථික තර්ජනයක් පමණක් නොවෙයි ජාතික ආරක්ෂාව පිළිබඳ  තර්ජනයක් ලෙසත් ඇමෙරිකාව සලකනවා. මේකට හේතුව පැහැදිලියි, අද සමස්ත ඇමෙර්කාවේ සෑම අංශයක්ම චීන සැපයුම්දාම සමඟ ඍජුව සම්බන්ධ වෙලා තිබෙනවා. ඒක නොපැතිරුණු අංශයක් වත්මන් ඇමෙරිකාව තුළ නැහැ” චීන සැපයුම්දාම ආධිපත්‍යය ව්‍යාප්ත වී ඇති වඩාත් පුළුල් හා සංකීර්ණ ස්වභාවය තව දුරටත් පැහැදිලි කරමින් තිළිණ මෙසේ ද සඳහන් කළේය. “ඇමෙරිකාව චීන වෙළඳ ආධිපත්‍ය නැතිනම් චීනයේ ව්‍යාපාරික ස්වභාවය ප්‍රශ්න කළත් ඒක ආයතනිකව විසඳා ගන්න පුළුවන් යාන්ත්‍රණය, ඒ කියන්නේ ලෝක වෙළඳ සංවිධානයේ අභියාචනා මණ්ඩලය මේ වන විට ක්‍රියාත්මක නැහැ. ඒ නිසා මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් ශිෂ්ඨ ක්‍රමයක් දැන් එක්සත් ජනපදය හමුවේ නැහැ. මේ තත්ත්වය තුළ තමයි අමේරිකාව තගරියෙන් මේ ගැටලුව විසඳ ගන්න යන්නේ. චීන – අමෙරිකානු මේ ගැටලුව නිසා ලංකාව, වියට්නාමය, බංග්ලාදේශය වාගේ රටවල් වලට අද වොෂින්ටන්වලට ගිහින් ඇමෙරිකානු පරිපාලනය හමුවේ බැගෑපත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා, කප්පම් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.”.

  • යන්න තැනක් නැහැ

මෙහිදී තිළිණ පෙන්වා දුන්නේ අමෙරිකාව විසින් නිර්මාණය කළ ගෝලීය නිදහස් වෙළඳාමේ අවසන් පාරිභෝගිකයා සිටියේ ඇමෙරිකාව තුළ බවයි.

ට්‍රම්ප් බද්දේ බර ඇමෙරිකානු පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන බව පැහැදිලි කළ තිළිණ තවත් වසර කිහිපයක් ගත වූ පසු මේ සමස්ත යාන්ත්‍රණයම වෙනස් විය හැකි බව ද පෙන්වා දුන්නේය. මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ චීන යෙදවුම් මත, සැපයුම්දාම මත යැපෙන ලංකාව වැනි රටවල් තවත් වටයකින් අර්බුදයක් කරා තල්ලු වීමට ඇති හැකියාව කිසිසේත් බැහැර නොකරන බවයි.

“මේ ගැටය පහසුවෙන් ලිහා ගන්න පුළුවන් ගැටයක් නොවෙයි. මේ ගැටය ලිහා ගන්න නිර්මාණය කළ ජාත්‍යන්තර යාන්ත්‍රණය දැන් අක්‍රිය වෙලා තිබෙන්නේ. එවැනි යාන්ත්‍රණයක් ස්ථාපිත කර ගන්න කොපමණ කාලයක් යයි ද කියලා හිතා ගන්නවත් බැහැ” ට්‍රම්ප්ගේ තීරු බදු ගැටය ලිහා ගැනීමේ දුෂ්කරතාව ගැන තව දුරටත් පැහැදිලි කරමින් තිළිණ පඞුවාවල පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක් ඇමෙරිකාවට සිදු වුව ද අමෙරිකානු ආනයන වලින් ශ්‍රී ලංකාවේ පංගුව ඉතා සුළුය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වඩාත් වැඩි අවධානයක් යොමු කළේ සිය තරඟකරුවන්ට පනවා ඇති තීරු බදු සම්බන්ධයෙනි.

  • 20% වුණත් අපට අවාසියි

අමෙරිකානු තීරු බදු හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් සුභාෂිණී අබේසිංහ මහත්මිය මෙසේ පැවසුවාය, “ලංකාව බිය වීමට හේතුව ඉතාම පැහැදිලියි. අපිට වඩා ඉතා සුළු තීරු බදු අඩුවීමක් ලැබුණු අපේ තරඟකරුවෙකුට ඉතාම පහසුවෙන් අපේ පංගුවත් දිනා ගන්න පුළුවන්. නමුත් චීනය, වියට්නාමය වැනි මහා පරිමාණ සැපයුම්කරුවන්ට අපට වඩා ඉහළ තීරු බද්දකට මුහුණ දෙන්න සිදු වුණත් විශාල අභියෝගයක් නැහැ, ඒකට හේතුව තමයි ඔවුන්ගේ මහා පරිමාණ සැපයුම පහසුවෙන් සපයන්න වෙනත් රටකට පහසු නැහැ. ලංකාව වැනි කුඩා අපනයනකරුවෙකුට මේ මහා පරිමාණ සැපයුමෙන් කොටසක් දිනා ගැනීම පවා පහසු නැහැ. දෙවැනි කාරණය තමයි මේ තීරු බදු නිසා අමෙරිකාව තුළ ආනයනික නිෂ්පාදනවල මිල ඉහළ යාම. මේ මිල ඉහළ යාම නිසා ඉල්ලුම අඩුවීමක් සිදුවිය හැකි අතර එම තත්ත්වයත් ශ්‍රී ලංකාවට හානි කරයි. ඒකට හේතුව තමයි මෙවැනි තත්ත්වයක් තුළ මුලින්ම ඉවතට තල්ලු වෙන්නේ පිරිවැය ඉහළ සැපයුම්කරුවන්. අපේ තරඟකරුවන් හා සසඳන විට ලංකාව සැලකෙන්නේ නිෂ්පාදන පිරිවැය අධික රටක් විදිහටයි. මේ තත්ත්වය තුළ අපි මුහුණ දෙන්නේ අවාසිදායක තත්ත්වයකටයි”.

මෙහිදී සුභාෂිණී අබේසිංහ පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල දැඩි අවිනිශ්චිතභාවය එක්සත් ජනපද තීරු බදුවලට වඩා අපනයනකරුවන්ට හානිකර වූ බවයි.

20% ස්ථාවර අගයද ?

ආනයන සහ අපනයන බදු නිරන්තරයෙන් වෙනස් වීම නිසා දෙපාර්ශ්වයම තීරණ ගැනීමේ ගැටලුවලට මුහුණ දෙන බව පෙන්වා දුන් ඇය, අගෝස්තුවලින් පසුව මේ අවිනිශ්චිතභාවය අවසන් වේදැයි ප්‍රශ්න කළාය.

“මේ බදු ප්‍රතිශතය ඉහළ වුණත් කමක් නැහැ, නමුත් මේක කාලයක් ස්ථාවර අගයක පවතී කියලා අපට විශ්වාස කරන්න පුළුවන් නම් එක කර්මාන්තකරුවන්ට පහසුවක්. නමුත් මගේ විශ්වාසය නම් අපි ස්ථාවර තීරු බදු ප්‍රතිපත්තියකට පැමිණ නැහැ. ඒකට හේතු හතරක් තිබෙනවා. ඒ අතර ඉන්දියාව සහ චීනය අතර එක්සත් ජනපදය කරන සාකච්ඡා අවසන් නොවීම, ඇමෙරිකානු පාරිභෝගිකයින්ගේ හැසිරීම සහ පුරවැසි විරෝධය, ට්‍රම්ප් තීරු බදු සම්බන්ධ නඩු තීන්දු නිමාවට පත් නොවීම, ට්‍රප්ම්ගේ ධුර කාලයෙන් පසු කුමක් සිදුවෙයිද ? කියන කාරණා මත තමයි ස්ථාවර තීරු බදු ප්‍රතිපත්තියක් තීරණය වෙන්නේ”යැයි කී සුභාෂිණී අබේසිංහ ලංකාවේ ද ඉදිරි ආණ්ඩුවක් මේ ප්‍රතිපත්ති මත කෙසේ කටයුතු කරනු ඇද්දැයි අනුමාන කළ නොහැකි බව පැවසුවාය.

‘නිදහස් වෙළඳාම’ නම් ප්‍රතිපත්තියට විරුද්ධව මෙරට කර්මාන්තනරුවෝ දීර්ඝ කාලයක් පුරා රජය සමග අරගල කළහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නිදහස් වෙළඳාම නම් සංකල්පය ලෝකය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි.

  • අපි මේ අවදානම දැක්කා

“අපනයනකරුවෝ විදිහට අපි මේක දැක්කා, නිදහස් වෙළඳාම කියන සංකල්පය අපනයන වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන ආකාරය අපි ප්‍රායෝගිකව අත්වින්ඳා. අපි ආණ්ඩුවලට අවධාරණය කළේ දේශීය කර්මාන්ත සුරක්ෂිත කරමින්, ශක්තිමත් කරමින් කටයුතු නොකරන තත්ත්වයක් තුළ නිදහස් වෙළඳාම කියන සංකල්පය වචනවලට පමණක් සීමා වන බවයි. නමුත් අමෙරිකානු ජනාධිපති  ට්‍රම්ප් අපි මේ කියන කතාව හරියටම තේරුම් ගත්තා.  චීන අපනයන ප්‍රසාරණයේ ආදීනව ඔහුට මනා වැටහීමක් තිබුණ නිසා 2019 දී ප්‍රථම වරක චීන සෙරමික් ආනයනවලට බදු පැනවීමක් කළා. ට්‍රම්ප්ට මේ සම්බන්ධයෙන් චීනයත් එක්ක ලොකු එරියස් එකක් තිබුණා. මගේ අදහස අනුව නිදහස් වෙළඳාම කියන සංකල්පයට ඍජුව අභියෝග කළ අවස්ථාවක් ලෙස ට්‍රම්ප්ගේ මේ තීරු බදු පැනවීම මම දකිනවා“කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර අපනයනකරුවෙකු ලෙස තමා මුහුණ දුන් අභියෝගවලින් උගත් පාඩම් ද පැහැදිලි කරමින් ට්‍රම්ප් තීරු බදු ගැටය ලියා ගන්නා අයුරු පැහැදිලි කළේය.

ට්‍රම්ප් මේ අවස්ථාවේ දී කටයුතු කරන්නේ ව්‍යාපාරික මානසිකත්වයෙන් බව පෙන්වා දුන් ජයසේකර මහතා එහි වාසිදායකභාවය හෝ අවාසි තීරණය කිරීමට කල් වැඩි බව ද කීවේය.

මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය සහ අභියෝග සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ජයසේකර මහතා අවධාරණය කළේ ලංකාව ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කළ රටක් නොවන බවයි.

“අපි මෙච්චර කාලයක් ලෝකයට අවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කළේ නැහැ. අපි වාසියට යොදා ගත්තේ ලාභ ශ්‍රමය සහ අපට ලැබුණු සහන (ජීඑස්පී වැනි) පමණයි. කර්මාන්තකරණය, අපනයන විවිධාංගීකරණය, අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය ගැන අපට කිසිම අදහක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපිට ඇඟළුම් මතම එල්ලා ඉන්න සිද්ධ වුණේ” ජයසේකර මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

One Reply to “ට්‍රම්ප්ගේ තීරු බදු ගැටය ලිහා ගන්නේ කොහොමද ?”

  • Udayanga Hemapala

    Imash Sandesh රජයයක විදුලි බලය රාජ්‍ය යෙන් එලියට ගියාම ඒ රාජ්‍ය වටටන්න හ‍රි ලේසියි. රාජ්‍ය බිදින්න ලේසියි. රාජ්‍ය ඉවර වුනොත් අපිත් ඉවරයි මේ පණතෙන් පාරිබෝගික සේවා අධිකාරිය pucsl අහෝසි වෙනවLal galbedda ශ්‍රීලංකා රජයට විදුලි බලය බලශක්ති ඒකාධිකාර්ය නැතිවුනොත් පෞද්ගලික අංශය හිතු හිතු ගණන් අය කරන්න පටන් ගනීයි. පාරිබෝගිකයෝ අන්ත අසරණ වෙනවා කබලෙන් ලිපට වැටෙනවා.npp එකට හෙන ගහනවා මේ කරන අපරාදේ ට Balasooriya Banda ඇයි ඉන්දියාවේ grid එකට ලංකාවේ grid එකතු කරන්නේ? ඇයි අපේ විදුලි බල මණ්ඩලය විනාශ කරලා ජාවාරම් කරුවන්ට දෙන්නේ? KT උදයංග හෙම්පල ඔක්කොම අත්සන් කලා npp ට චන්දෙ දුන් කවුරුවත් ලංකාවේ බලශක්ති, විදුලි රාජ්‍ය යන්ත්‍රණය විනාශ කරන්න npp එකට චන්දෙ දුන්නේ නෑ විදුලි බල මණ්ඩලය කැලි කරලා විකුණලා දාන්න එපා npp යකුනේ ජාතික බෞතික සැලැස්මට කවුරුත් විරුද්ද ද කියලා අහන්නකො මම ජාතික බෞතික සැලැස්මට විරුද්ද IMF ISB ගිවිසුමට විරුද්ද, ඉන්දු චීන ගිවිසුම්වලට විරුද්ද හා අවංකව ඒවායින් ඉවත් වීමට කටයුතු කරන ඕනෑම පුද්ගලායෙකුට හෝ පක්ෂෙකට චන්දේ දෙනවා.

Leave A Comment