‘විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සඳහා ජවිපෙට විශාල වගකීමක් තිබෙනවා’ – සුනිල් ජයසේකර, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්
- Editor
- August 10, 2025
- දේශපාලන, සිංහල Header
- Political
- 0 Comments

(වී FM ගුවන් විදුලි සේවයේ සිද්ධමුල්ල වැඩසටනට ආරාධිතයෙකු ලෙස එක්වෙමින් සුනිල් ජයසේකර මහතා දැක්වූ අදහස්. එම වැඩසටහන මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී ෂාන් විජේතුංග මහතා විසිනි.)
මම මෙතෙක් කල් මේ රටේ ආගමික, ජාතික හා සාසනික වශයෙන් ඉෂ්ඨ සිද්ධ කළ කාර්යභාරය පිළිබඳව සෑහීමට පත් වෙනවා. නමුත් මේ රටේ අනාගතය දෙස බලන විට එය ප්‍රමාණවත් නැහැ, මොකද, මේ රටේ ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ඒ වගේම ජාතීන් සහ ආගම් අතර තිබෙන සංහිඳියාව ශක්තිමත් කරන්න, ප්‍රවර්ධනය කරන්න, ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා, ඒ නිසා මගේ ජීවිතයේ ඉදිරි කාලය මම ඒ සඳහා කැප කරනවා

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් හැඳින්වීමක් කරමින් ම සාකච්ඡාව ආරම්භ කරමු නේද ?
අති පූජ්‍ය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ 2012 වසරේ, උන් වහන්සේගේ ඡන්ම දිනය දවසේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා, “මම මෙතෙක් කල් මේ රටේ ආගමික, ජාතික හා සාසනික වශයෙන් ඉෂ්ඨ සිද්ධ කළ කාර්යභාරය පිළිබඳව සෑහීමට පත් වෙනවා. නමුත් මේ රටේ අනාගතය දෙස බලන විට එය ප්‍රමාණවත් නැහැ, මොකද, මේ රටේ ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ඒ වගේම ජාතීන් සහ ආගම් අතර තිබෙන සංහිඳියාව ශක්තිමත් කරන්න, ප්‍රවර්ධනය කරන්න, ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා, ඒ නිසා මගේ ජීවිතයේ ඉදිරි කාලය මම ඒ සඳහා කැප කරනවා” කියලා උන් වහන්සේ එහිදී අවධාරණය කළා. ඒ අරමුණ මත තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරළියට එන්නේ.
උන් වහන්සේ ආරම්භයේ දීම දස වැදෑරුම් ප්‍රතිපත්තියක් රට හමුවේ තබමින් තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ පළමු ප්‍රතිපත්තිය වුණේ මේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ එය රටේ යහපත සඳහා යොදා ගැනීම කියන කාරණය, ඒ කාරණය මුල්කර ගෙන යහපත් ආණ්ඩුකරණයක්, නීතියේ ආධිපත්‍ය, ජාතීන් අතර සහජීවනය, ශක්තිමත් පුරවැසි ප්‍රජාවක්, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ යටිතල පහසුකම්, මානව හිමිකම් ප්‍රවර්ධනය වැනි කරුණු 10ක් මත තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය පදනම් වෙන්නේ, ඒ මත තමයි අපි එදා සිට අද දක්වා කටයුතු කරමින් ඉන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් මාදුළුවාවේ සෝහිත හිමියෝ අඛණ්ඩව පෙනී සිටියා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණක් වන්නෙත් ඒක. ඒ වගේම වත්මන් ආණ්ඩුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි පක්ෂයක්. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නම් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සඳහන් වෙනවා. නමුත් අපි දන්නවා මේ පොරොන්දුව දුන් කිසිම ආණ්ඩුවක්, ජනාධිපතිවයෙක් එය අහෝසි කළේ නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක එම පොරොන්දුව ඉටුකරයි කියලා ඔබ හිතනවාද ?
මාදුළුවාවේ සෝහිත හිමියන් සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කියන්නේ ඇයි ? මේ ගැන අපි ගැඹුරින් කල්පනා කළ යුතුයි, ඔබ දන්නවා 1947 සිට 1977 දක්වා මේ රටේ තිබුණේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. මේ ආණ්ඩු ක්‍රමය තුළ ප්රජාතන්ත්රවාදයේ මූලික හරය වන, රටේ සියලුම දේශපාලන පක්ෂ ධාරාවන් නියෝජනය වන, එහෙම නැති නම් සියලුම දේශපාලන මතවාදයන් නියෝජන වන සාමූහිකයක් මත තමයි රටේ පාලනය ගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම, ඉදිරිපත් වීම, ක්‍රියාකාරීත්වය සිද්ධ වුණේ.
වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්රමය පදනම් වුණේ බහුපක්ෂ ක්‍රමය, මේ ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂය – සහ විපක්ෂය කියලා කණ්ඩායම් දෙකක් ඉන්න බව ඇත්ත. නමුත් මේ කණ්ඩායම් දෙකේම අදහස්, මතයන්, යෝජනා, ඒ අය ඉදිරිපත් කරන කරුණු – කාරණා සියල්ල සැලකිල්ලට අරගෙන තමයි අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් රටේ පාලනය ගෙන ගියේ. එතනදී සාමූහිකත්වයේ වැදගත්කම සෑම අවස්ථාවක පාලනයට කාන්දු වුණා, බාහිර සමාජයේ අදහස් – උදහස්, යෝජනා, ඔවුන් ඉදිරිපත් කරන කරුණු – කාරණා සැලකිල්ලට ගන්න සිදු වුණා. මේ ක්‍රමය තුළ තනි පුද්ගල ඒකාධිපතීත්වයකට ඉඩ තිබුණේ නැහැ, ඒ තුළ තිබුණේ කැබිනට් මණ්ඩල සාමූහිකත්වයක්.
නමුත් අපි දැක්කා 1978න් පස්සේ මේ සම්ප්රදාය අපේ රටෙන් ගිලිහිලා යනවා. 1978 දී සම්මත කළ, මේ දක්වා ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ සාමූහිකත්වයට, අන් මතවලට තිබෙන ඉඩකඩ ඉතාමත්ම සීමිතයි. තනි පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට සමස්ත පාර්ලිමේන්තුවම, රටේ සියලුම රාජ්‍ය ආයතන, එපමණක් නොවෙයි අධිකරණය පවා නතු කරගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයක් එක පැත්තකින් රටේ ප්රජාතන්ත්රවාදය දුර්වල කරනවා පමණක් නොවෙයි, රටේ සාමූහික ඉලක්කයන් දුර්වල කරනවා. ඒ තුළ පසුගිය අවුරුදු 47 පුරාම අපි අමිහිරි ඇත්දැකීම්වලට මුහුණ දීලා තිබෙනවා. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න නම් සියලු පාර්ශ්වයන්ට සවන් දෙන, සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ගන්න, ඒ වගේම රටේ බහුතර ජනතාවගේ අනුමැතිය සහිත ආණ්ඩුකරණයකට මේ රට යොමු කළ යුතුයි කියන අදහස තමයි අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් අපේක්ෂා කළේ, අදටත් අපේක්ෂා කරමින් ඉන්නේ.
මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත් වුණ ජනාධිපතිවරුන් එකට පෙළ ගැස්සූ විට වත්මන් ජනාධිපතියරයා ගැන විශ්වාසය තබන්න ඉක්මන් වෙන්නෙත් නැහැ. නමුත් වෙන කිසිම රාජ්‍ය පාලකයෙකුට වැඩිය, වෙන කිසිම ආණ්ඩුවකට වැඩිය වර්තමාන ආණ්ඩුවට, වර්තමාන ජනාධිපතිවරයාට දැවැන්ත වගකීමක් තිබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මේ රට ප්රජාතන්ත්රවාදී මාවතට යොමු කරන්න.

ඔබේ ප්රශ්නයේ දෙවැනි කොටස, එනම් මේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද ? යන ප්‍රශ්නයට මම ඉතාම පරිස්සමෙන් උත්තර දෙන්න ඕනෑ කාරණයක්. මම එහෙම කියන්නේ, අපි කිසිසේත්ම වත්මන් රජය අවිශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත් වුණ ජනාධිපතිවරුන් එකට පෙළ ගැස්සූ විට වත්මන් ජනාධිපතියරයා ගැන විශ්වාසය තබන්න ඉක්මන් වෙන්නෙත් නැහැ. නමුත් වෙන කිසිම රාජ්‍ය පාලකයෙකුට වැඩිය, වෙන කිසිම ආණ්ඩුවකට වැඩිය වර්තමාන ආණ්ඩුවට, වර්තමාන ජනාධිපතිවරයාට දැවැන්ත වගකීමක් තිබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මේ රට ප්රජාතන්ත්රවාදී මාවතට යොමු කරන්න.
ඔබ එවැනි අදහසක් දරන්නේ ඇයි ? මොකක්ද ඒකට පදනම ?
පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. වජේතුංග සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරු සිවු දෙනා හැරෙන්න මේ රටේ බලයට පත් වුන අන් සෑම ජනාධිපතිවරයෙක්ම බලයට ආවෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ප්‍රතිඥා දෙමින්. නමුත් ඔවුන් ඒ ප්‍රතිඥාව, ඒ කිසිවෙකු ඉටු කළේ නැහැ, ඒ වගේම ඒ පොරොන්දුව ඉටු කිරීමට අවංක වුවමනාවක් ඔවුන්ට තිබුණෙත් නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ, වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තබන්න මම ඉක්මන් වෙන්නේ නැහැ කියලා.
නමුත් අපි දන්නවා මේ රටේ පාලන බලයට පක්ෂ ගත් විට විධායක ජනාධිපති ක්‍රමය බිහිකළ එක්සත් ජාතික පක්ෂය පවා මේ විධායක ජනාධිපති ක්රමයේ තිබෙන අත්තනෝමතිකත්වය සහ විධායක ජනාධිපති ක්‍රමයෙන් රටට විය හැකි හානිය පිළිබඳ අවබෝධ කර ගත්තා, එක්සත් ජාතික පක්ෂය පවා පසු කාලීනව මෙම ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා රටට පැහැදිලි පොරොන්දුවක් දුන්නා. ඊට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, මේ පක්ෂ එක දිගටම, පැහැදිලිවම රටට ප්‍රතිඥාවක් දී තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, වෙනස් කරනවා කියලා.

නමුත් මේ සියලුම පක්ෂවලට වඩා ජනතා විමුක්ති පෙරමුණට විශේෂත්වයක් තිබෙනවා. ඒකට හේතුව තමයි අනෙක් පක්ෂවල නායකයෝ ආරම්භයේ සිට මේ විශ්වාසයේ හිටියේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෙමෙයි, එහි සමාරම්භක නායක රෝහණ විජේවීරගේ සිට අනුර කුමාර දිසානායක දක්වා ජවිපෙට නායකත්වය දුන් සෑම නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියා. ඒ නිසයි මම කියන්නේ වර්තමාන ජනාධිපතිවරයට, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන බලයට පත්ව සිටින වර්තමාන ආණ්ඩුවට අනෙක් දේශපාලන පක්ෂවලට නැති වගකීමක් තිබෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔවුන් රටට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරලා මේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරලා, නිසි මහජන නියෝජනයක් පිළිබිඹු කරන ආණ්ඩු ක්‍රමයකට මේ රට යොමු කරන්න ඔවුන්ට දැවැන්ත වගකීමක් තිබෙනවා කියලා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාස කරනවා.
සාධාරණ සමාජයක් රට තුළ බිහිකරන්න නම් අනුගමනය කළ යුතු පියවර මොනවද ? කුමන අංශවල ද වෙනස්කම් සිදුවිය යුත්තේ ?
පළමු කාරණය තමයි, රටේ මහජන මතය පිළිබිඹු කරන සැබෑ ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි. ඒ තුළ තමයි මහජන විශ්වාසය ගොඩනැගෙන්නේ, ඒ තුළ තමයි විවිධ සංස්කෘතීන්, විවිධ ජනවර්ග, විවිධ ආගමික කණ්ඩායම්, ප්‍රාදේශීය විවිධත්වය ආදි ඒ සෑම පාර්ශවයකම අදහස් ආණ්ඩුකරනයේදි දායක කරගන්න හැකිවෙන්නේ. දෙවැනි කාරණය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම තුළ රටේ සංවර්ධනයත්, මහජනතාවගේ ජීවන තත්ත්වයත් වර්ධනය කරන්න හැකි පරිසරයක් බිහිවෙනවා. තුන් වැනි කාරණය තමයි රටේ ජීවත් වන සියලුම ජන කොටස් වල අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කිරීම, සිවු වැනි කාරණය තමයි ජාතික හා ආගමික සංහිඳියාව ගොඩනැගීම. මේ කාරණා හතර තුළ තමයි යහපත් රටක් ගොඩනැගෙන්නේ. ලංකාවෙ පමණක් නොවෙයි, ලෝකයේ ඕනෑම රටක යහපැවැත්ම තහවුරු වෙන්නේ. මේ කාරණා හතර තමයි අපේ රටට අදාළවත් අපි තහවුරු කර ගෙන ශක්තිමත් කළ යුත්තේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන් පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා, සමත් වෙලා තිබෙනවා කියලා ඔබ හිතනවාද ?
අපි පිළිගත යුතු කරුණක් තිබෙනවා. මේ රට, විශේෂයෙන්ම 1977 දී මේ රටට හඳුන්වා දුන් දේශපලන සංස්කෘතිය තුළ සහ මේ රටට හඳුන්වා දුන් මැතිවරණ සංස්කෘතිය තුළ, අතීතයට සාපේක්ෂව දේශපාලනඥයින් දූෂණයට යොමු වීමේ ප්‍රවණතාවය වර්ධනය වුණා. මේ දශකය ආරම්භ වන විට මේ රට ඉතාම පසුගාමී, ජරාජීර්ණය වූ රටක් බවට පත්ව තිබීම තුළ මේ ක්‍රමය වෙනස් නොකර ඉදිරියට යා නොහැකි බවට වන සංවාදය ඇති වුණා. ක්‍රමයෙන් එය ගැඹුරු සංවාදයක් බවට පත් වුණා. ඒ සංවාදය තුළම තමයි වර්තමාන ආණ්ඩුවත් බලයට පත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපට පේනවා අල්ලස, දූෂණය, ඒ වගේම මේ රටේ දේශපාලන සංස්කෘතියේ තිබුණ සමහර මජර ලක්ෂණ වෙනස් කරන්න උත්සාහයක් ගන්නවා කියලා. අපි ඒක පිළිගත යුතුයි, ඒ වගේම ඒ ගෞරවය ඔවුන්ට ලබාදිය යුතුයි. නමුත් ආණ්ඩුවකට තිබෙන ප්රශ්නය තමයි, ‘මේක පවත්වා ගෙන යන්නේ කොහොමද ?’ කියන එක. මේක පවත්වා ගෙන යන්න නම් එක පුද්ගලයෙකුගේ අභිලාෂයන් පමණක් ප්‍රමාණවත් නැහැ, ඒක රටේ දේශපාලන සංස්කෘතියක් බවට පත්විය යුතුයි. ඒක එහෙම කරන්න නම් තනි පුද්ගල ආධිපත්‍යකට හේතු වෙලා තිබෙන මේ විධායක ජනාධිපති ධූරයට තිබෙන අසීමිත බලය සීමා කළ යුතුයි, ඉවත් කළ යුතුයි. අනුර කුමාර දිසානායක මහත්මයට මේ රටේ සාදාකාලික ජනාධිපති වෙන්න බැහැනේ. මේ ක්‍රමය වෙනස් නොකර, ඔහුට වඩා වෙනස් වෙනත් පාලකයෙකුට බලයට එන්න ඉඩ දුන්නොතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජනතාව බලාපොරොත්තු වුණ මේ දේශපාලන සංස්කෘතිය යාවත්කාලීන වෙයි කියලා. ඒ නිසා පළමු වැනි කාරණය තමයි අල්ලස සහ දූෂණයට එරෙහිව ගෙනයන මේ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි, ඒ වගේම මෙවැනි තත්ත්වයන් යළි උද්ගත නොවිය හැකි සමාජ, දේශපාලන හා ආර්ථික පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. ඒක එහෙම කරන්න නම් මේ ක්රමයේ සැබෑ වෙනසක් සිදුවිය යුතුයි. මේ පවතින ක්‍රමය යාවත්කාලීන කරමින්, පවතින ක්‍රමය නඩත්තු කරමින් ඒ දේ කරන්න බැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.
අල්ලස – දූෂණය පිටුදකිමින් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට යන මේ ගමන විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍ය බව ඇතැමුන් කියනවා. ඔබ මේ කතාව ගැන දරන අදහස කුමක් ද ?
ඒක බොහොම සරල, සමාන්‍ය තර්කයක්. ලෝකයේ අපට වඩා බරපතළ දූෂණ තත්ත්වයන්ට එරෙහිව කටයුතු කළ රටවල් තිබෙනවා. එක උදාහරණයක් විදිහට හොංකොං දැක්විය හැකියි. 1970 දශකය වන විට හොංකොං සැලකුණේ දූෂණය ඉහවහ ගිය රටක් විදිහටයි. ඒක වෙනස් කළේ විධායක ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒ වගේම ලෝකයේ දූෂණය අවම රටවල් 10 ගත්විට පවා ඒ කිසිම රටක විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ. ඒ වගේම ශක්තිමත් ආර්ථික වර්ධනයක් සඳහා, දේශපාලන ස්ථාවරත්වය සඳහා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවට වන තර්කය වර්මාන ලෝකය තුළ පිළිගැනීමට ලක්වන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය ඊශ්‍රායලය. ඊශ්‍රායලය පාලනය වෙන්නේ අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයක් යටතේ. මෙවැනි උදාහරණ දෙස බලන විට අපට පැහැදිලි වෙනවා ලංකාවටත් අවශ්‍ය වෙන්නේ තනි පුද්ගලයෙකුගේ ඒකාධිපති පාලනයක් නොව සාමූහික එකඟත්වයකින් යුතු අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා. එවැනි සංස්කෘතියක් තුළ පමණයි (පොදුවේ ගත් විට) මහ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය වෙන්නේ, මේ රටේ සංවර්ධනයට, පැවැත්මට ඉවහල් වන දැනුවත් සමාජය බිහිවෙන්නේ, අදහස් එකතු වෙන්නේ, ඒ අදහස් එකතු කළ හැකි සමාජය බිහිවෙන්නේ, ඒවට ඇහුන්කන් දෙන්න අවස්ථාව ලැබෙන්නේ එහෙම දේශපාලනික වටාපිටාවක. එපමණක් නොවෙයි, ජාතික අභිලාෂයන්වලට සමස්ත සමූහය එකතු කර ගන්න පුළුවන් වෙන්නේ එවැනි පාලන තන්ත්රයක් මේ රටේ ස්ථාපිත කළොත් පමණයි. එසේ නොමැතිව තනි පුද්ගලයෙකුගේ විධානයන්ට නතු වීම තුළින් නොවෙයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පළමු වෙඩි මුරය පත්තු කිරීම කුමන අවස්ථාවේ සිදුවිය යුතු බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාස කරන්නේ ?
අග්‍රාමාත්‍යතුමිය පසුගිය දා ප්‍රකාශයක් කළා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කරනවා කියලා. ඒක හොඳ පියවරක්, අධිෂ්ඨානයක් සහ ක්‍රියාවලියක්. ඒ වගේම වත්මන් ජනපතිවරයා බලයට පත් වූ වහාම, වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා ‘මේ පත්වෙලා ඉන්නේ ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා’ කියලා. මේ පසුබිම තුළ වර්තමාන ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව පැහැදිලියි. ඒ වගේම අපි පිළිගත යුතු කාරණය හා ආණ්ඩුවත් තේරුම් ගත යුතු කාරණය තමයි ඕනෑම ජනප්‍රිය ආණ්ඩුවක් බලයේ සිටින මුල් කාලය තුළ තමයි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රවේශ විය යුත්තේ. කාලය ගත වෙන්න වෙන්න ඕනෑම රටක, ඕනෑම සමාජයක, යහපත් ආණ්ඩු ක්‍රමයක් තිබෙන රටක වුවත් ආණ්ඩුවට තිබෙන හැකියාව දුර්වල වෙනවා, ජනප්රියභාවය පිරිහෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා, ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ‘මේ ක්‍රියාවලිය නොපමාව ආරම්භ කරන්න’ කියලා. ඉදිරි ජනාධිපතිවරණයට දින නියම වන විට ජනාධිපතිවරණයක් නොපැවැත්විය යුතු නැති . ජනාධිපතිවරණයක් නැති පසුබිමක් නිර්හාණය කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ. ඒ සඳහා හොඳම කාලය දැන් පැමිණ තිබෙනවා. ඒ නිසා පමා නොවී, නිශ්චිත කාලසීමාවක් තුළ ඔවුන් ඒ බව රටට නිල වශයෙන් පැහැදිලි කිරීම සහ ප්‍රකාශ කිරීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ.
නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ ජීවගුණය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියක්. නමුත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අපේ ඉතිහාසය එතරම් ලස්සන නැහැ. පළාත් සභා මැතිවරණයක් වසර 11ක් පවත්වා නැහැ. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහකු කුමක් ද ?
නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ ජීවගුණය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක්. මේ පසුබිම තුළ කුමන හෝ තත්ත්වයක් යටතේ නියමිත දිනවල මැතිවරණ නොපැවැත්වීම හෝ කල් දැමීම අපි සලකන්නේ බලයේ සිටි පක්ෂය හෝ ආණ්ඩුව ජනතාව කළ හැකි ලොකුම නිග්‍රහ කිරීමක් ලෙසයි. ඒකට හේතුව තමයි, ජනතා අභිලාෂයන් යාවත්කාලීන කරන්න, තහවුරු කරන්න තිබෙන ඉඩකඩ අහුරනවා කියන්නේ රටක ප්රජාතන්ත්රවාදයට කරන ලොකුම හතුරුකමයි, ඒ තරම් තවත් හතුරුකමක් නැහැ. ඒ වගේම පුරවැසියන්ට කරන්න පුළුවන් තවත් අවමානයක් නැහැ.
ඉතිං, මේ වන විට දශකයකට අධික කාලයක් තිස්සේ පළාත් සභා මැතිවරණ පවත්වා නැහැ, මේ හරහා මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට අවමන් කර තිබෙනවා පමණක් නොවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්‍රෝහී වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් ස්ථාපිත කළ බල ඒකකයක් නිෂ්ක්‍රිය කිරීම කියන්නෙම ව්‍යවස්ථාවට දෝහී වීමක්. මේක රටේ පාලකයට එහෙිව දෝෂාභියෝගයක් ගේන්න තරම් කාරණයක්.
අනෙක් අතින්, විශේෂයෙන්ම ප්‍රාදේශීය පාලනය ශක්තිමත් වීම තුළ තමයි ඒ ඒ ප්‍රදේශයන්හි සංවර්ධනය, පරිපාලනය සහ ජනතාවගේ සුභසිද්ධියට අදාළ බොහෝ තීන්දු – තීරණ ගැනීම සිදුවෙන්නේ. ඉතිං, එවැනි ආයතනයක් අවහිර කිරීම, අක්‍රිය කිරීම, දුර්වල කිරීම ප්රජාතන්ත්රවාදී සමාජයක සිදු නොවිය යුතු දෙයක්. ඒ නිසා අපි දිගින් දිගටම ඒ බව අවධාරණය කළා, කරමින් සිටිනවා. අපි දන්නවා මේ වන විට ඉතාම සාර්ථකව ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වා තිබෙනවා. මැතිවරණ සිතියමේ දැන් තියෙන්නේ පළාත් සභා මැතිවරණය පමණයි. එය පැවැත්වීමට බාධාකාරී වන යම් යම් නෛතික සීමා කිරීම් තිබෙනවා. නමුත් අදාළ නීති සංශෝධනය හෝ වෙනස් කිරීමට අවශ්‍ය බලය ආණ්ඩුවට තිබෙනවා.
නව සීමා නිර්ණය කොමිෂමක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. එහි අපේක්ෂාව වෙන්නේ පසුගිය සීමා නිර්ණය කොමිෂන් සභා විසින් ඉදිරිපත් කළ වාර්තා විමර්ශනය කර බැලීම සහ නව සීමා නිර්ණය වාර්තාවක් සම්පාදනය කිරීමයි. මෙය යළිත් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් නේද ?
සීමා නිර්ණය කිරීම හේතුවෙන් උද්ගත වූ ගැටලු නිසයි මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ. ඒ වගේම පසුගිය රජය යටතේ පත් කළ සීමා නිර්ණ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ බවත් අපි දන්නවා.ඉතින්, අලුත් සීමානිර්ණය කමිටුවක් පිහිටුවීම නොවෙයි ප්රශ්නය, ඔවුන්ට ඒ කාර්යය දිගටම කරගෙන යාමට ඉඩ දෙන්න, නමුත් ඒ කාලය පළාත් සභා අක්‍රිය කිරීමට හිලව් නොකළ යුතුයි.
අපි දන්නවා, මේ වන විටත් පාර්ලිමේන්තුවට යෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා, මීට පෙර දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉතාම ප්‍රායෝගික යෝජනාවක් ගෙනවා, මේ වන විට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන රාසමානික්‍යම් ශානක්‍යන් මහතාත් සුමන්තිරන්ගේ යෝජනාවට සමාන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා, දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා තවත් යෝජනාවක් ගෙනත් තිබෙනවා. මේ යෝජනා දෙකම සැලකිල්ලට ගෙන පැරණි නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිම බාධාවක් නැහැ, ආණ්ඩුවට 2/3කට අධික බලයක් තිබෙනවා, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වුණොත් විපක්ෂය පූර්ණ සහාය දෙයි. ඒ නිසා ආණ්ඩුවට ඉතාම පහසුවෙන් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත හැකියි. ඒකට කිසිම නීතිමය බාධාවක් නැහැ.
අපි යෝජනා කරන්නේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වා ඊට පසුව ගතවන කාලය තුළ, අවශ්‍ය තරම් කල් තිබෙන නිසා සීමා නිර්ණය ඇතුළු ගැටලු විසඳා ගෙන ඊළඟ පළාත් සභා මැතිවරණය පවත්වන්න. මේක ඉතාම පහසු හා ප්‍රායෝගික විසඳුමක්. මේක ප්රජාතන්ත්රවාදයට ගුණදායකයි, හිතකරයි. මෙවැනි ප්‍රවේශයක් තුළින් පමණයි මේ අභියෝගය ජය ගැනීමට හැකි වෙන්නේ. මෙය ආණ්ඩුවට කළ හැකි දෙයක්. එසේ නොකොට අලුතින් පත් කරන සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තුරු පළාත් සභා මැතිවරණය නොපවත්වා, පළාත් සභා තව දුරටත් අක්‍රිය තත්ත්වයේ පවත්වා ගැනීම කිසිසේත්ම සුදුසු, ගුණදායක දෙයක් නොවන බවයි අපේ ස්ථාවරය.
රටේ ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා. මේ සම්බන්ධ ඔබගේ අදහස කුමක්ද ?
රටක මහජන ආරක්ෂාව කියන්නේ සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රධානතම සාධකයක්. මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න, අදහස් පළ කරන්න, ගමන් බිමන් යන්න, තමන් කැමැති රැකියාවක් කරන්න තිබෙන පරිසරය නැති කරන ප්‍රධාන තත්ත්වයක් තමයි රටේ ජන ජීවිතය අවුල් කරන, මිනිස්සු බිය ගන්වන, භීතියට පත් කරන, කල්ලි, කණ්ඩායම්වල පාලනයට යටත් වන තත්ත්වයක් නිර්මාණය වීම. මේ වන විට එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අපි පිළිගත යුතුයි. මේ වන විට ඒක ඉතාම ඛේදනීය තත්ත්වයකට පැමිණ තිබෙනවා. මේ වන විට දිනපතාම වාගේ, සෑම සතියකම වාගේ අපට අහන්න, දකින්න ලැබෙනමනුෂ්ය ඝාතනවලින් ඒ බව පැහැදිලි වෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙනත් මැර කල්ලි වෙන්න පුළුවන්, පාතාල කල්ලි වෙන්න පුළුවන්, මේ සිදුවීම් නොපමාව මර්ධනය කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය අපේ ආරක්ෂක අංශවලට තිබෙනවා. අපට ඉතාම තියුණු බුද්ධි අංශයක් සහ ශක්තිමත් පොලිස් සේවයක් තිබෙනවා, ඉතාම ශක්තිමත් ආරක්ෂ හමුදාවක් තිබෙනවා. මේ අංශවලට අවශ්‍ය දේශපාලන හා පරිපාලන නායකත්වය, මග පෙන්වීම ලැබෙනවා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වීම අවම කර ගන්න පුළුවන්. ඒක සමාජයක් ලෙස අපි බලාපොරොත්තු වෙන දෙයක්. මේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කර තහවුරු කිරීම නොපමාව කළ යුතු දෙයක්. මහ ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කිරීම මේ රටේ පාලකයින්ගේ වගකීක් බව මම යළි අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ අදාළ අංශ වල දැඩි අවධානය යොමු විය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කාලයක් තිස්සේ පවතින ඉල්ලීමක්. මේ සම්බන්ධයෙන් 1994 සිට අවධානය යොමුව තිබුණත් ඒ අරමුණ ඉටුකර ගැනීම මේ දක්වා ප්‍රමාද වුණා. මේ සම්බන්ධ ඔබගේ අදහස කුමක්ද ?
අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ කාරණය සමාජගත කරනවා පමණක් නොවෙයි, ඊට එහා ගිය අරමුණක් වෙනුවෙන් අපි කැපවෙනවා. අති පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියෝ අපවත්වීමෙන් පසු සාධාරණ සමාජයේ නායකත්වය භාර ගත් ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ ගරු නායකත්වය යටතේ අපි මේ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ අනුව මේ රටේ ඉන්න ව්‍යවස්ථා සම්පාදන විශේෂඥයින්ගෙන් දීර්ඝ කාලීන මැදිහත් වීමකින් කෙටුම්පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ රාමුවක් අපි මේ වන විටත් දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙමින් සිටිනවා. අපේ දායකත්වය පමණක් නොවෙයි, අපි දන්නවා මීට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේදීත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් (2000 අගෝස්තු) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක ඉතාම හොඳ ව්‍යවස්ථාවක්, එකම එක කාරණයක් සම්බන්ධයෙන් ඇති වුණ මතභේදයක් නිසා ඒක අසාර්ථක වුණා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙමින් සිටිනවා. අපේ දායකත්වය පමණක් නොවෙයි, අපි දන්නවා මීට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේදීත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් (2000 අගෝස්තු) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක ඉතාම හොඳ ව්‍යවස්ථාවක්, එකම එක කාරණයක් සම්බන්ධයෙන් ඇති වුණ මතභේදයක් නිසා ඒක අසාර්ථක වුණා.

2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව 2015-17 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමට කමිටුවක් පත් කළා, එම කමිටුව රට පුරා ගොස් විවිධ ජන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා යෝජනා ලබා ගත්තා. මේ රටේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධ විශාරදයින් විශාල පිරිසකගේ දායකත්වය මේකට ලැබුණා. මේ කමිටුවට නායකත්වය දුන්නේ වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්රබලයෙකු වන සහ එහි උප සභාපතිවරයකු වන නීතිඥ ලාල් විජේනායක මහත්මයා. අපි මේ යෝජනාවලිය සලකන්නේ භාවිතයට ගත යුතු ඉතාම වටිනා යෝජනාවලියක් ලෙසයි. මේ යෝජනාවලිය සැලකිල්ලට නොගන්න වත්මන් ආණ්ඩුවට කිසිම හේතුවක් නැහැ, ඒකට හේතුව තමයි නීතිඥ ලාල් විජේනායක වමත්මන් ආණ්ඩුවට පිහිටුවීමට විශාල දායකත්වයක් ලබා දුන්, එහි නායකත්ව මණ්ඩලයේ ඉදිියෙන්ම සිටි කෙනෙක්, ජාතික ජන බලවේගය රජයේ ගෞරවයට ලක් වුණ කෙනෙක්. ඉතිං එවැනි කෙනෙකුගේ නායකත්වයට යටතේ රටට හඳුන්වා දුන්, නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනාවලිය වර්මාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පදනම් කර ගන්න පුළුවන්. එපමණක් නොවෙයි, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහත්මයා ප්රමුඛ කමිටුවක් විසින් කෙටුම්පත් කළ ව්‍යවස්ථා සම්පාදන රාමුවත් සැලකිල්ලට ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඊට වෙනස් තවත් යෝජනා ගණනාවක් තිබෙනවා. ඒවත් සැලකිල්ලට ගන්න පුළුවන්.
එපමණක් නොවෙයි අපි, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරු ජයසූරිය මැතිතුමාගේ නායකත්වය යටතේ, ආචාර්ය සුජාතා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සම්පාදනය කළ ‘මැතිවරණ නීති සංශෝධන පිළිබඳ වාර්තාව’ අපි රට හමුවේ තබා තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති, මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කළා. ඒ වගේම අපි වාචිකව සහ ලිඛිතව කරුණු දක්වා තිබෙනවා.
එපමණක් ද නොවෙයි, පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂම හමුවේ කරුණු දක්වන ලද පළමු සංවිධානය අපයි. අප ලිඛිතව ද අපේ යෝජනා ඉදිරිපත් කළා. ජනාධිපති කොමිෂම ඒ යෝජනාවලිය ඉතාම ඉහළින් ඇගයීමට ලක් කළා.
මේ තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය මුල සිට ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැහැ, අපි ඉතාම හොඳ තැනක ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සමඟ සිදුවිය යුතු බව කියන මැතිවරණ නීතියේ වෙනසක් සඳහා අවශ්‍ය වන මූලික පදනම මේ වන විට රට තුළ තිබෙනවා. මෙම යෝජනාවලි පදනම් කරගෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම අපහසු නැහැ. අපි මේ වන විට මැදකට පැමිණ තිබෙනවා. මේ පසුබිම තුළ අපි වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනේ ලාල් විජේනායක කමිටු වාර්තාව පිළිබඳ සැලකිල්ලට ගන්න, ඒ වගේම මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ දී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ වගේම හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාවත් සැලකිල්ලට ගන්න පුළුවන්.
2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව 2015-17 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමට කමිටුවක් පත් කළා, එම කමිටුව රට පුරා ගොස් විවිධ ජන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා යෝජනා ලබා ගත්තා. මේ රටේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධ විශාරදයින් විශාල පිරිසකගේ දායකත්වය මේකට ලැබුණා. මේ කමිටුවට නායකත්වය දුන්නේ වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්රබලයෙකු වන සහ එහි උප සභාපතිවරයකු වන නීතිඥ ලාල් විජේනායක මහත්මයා.

තොරතුරු කොමිෂමේ සභාපතිවරයා පත් කිරීම මේ දක්වා සිදු වෙලා නැහැ. ඇයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ ?
මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මම මෙහෙම කියන්නේ ඇයි ? ඔබ දන්නවා අපි බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් දිනාගත් දා සිට ගෙන ආ අණපනත් සියල්ලම මුල් වුණේ රාජ්‍ය පාලනයේ විධිමත්භාවයට, නැතිනම් රාජ්‍ය පාලනය පහසු කිරීම සඳහා අවශ්‍ය නීති සහ අණපනත් ලෙසයි. මේ දක්වා ලංකා ඉතිහාසයේ 100%ක්ම ජනතාව වෙනුවෙන් පනතක් සම්මත වුණා නම්, ජනතාවගේ අයිතිවාසිකම් 100%ක් තහවුරු කරන, එපමණක් නොවෙයි, රටේ වංචාවන්, දූෂණයන් මැඩපැවැත්වීම සඳහා මජනතාවට සක්‍රීය ලෙස දායක විය හැකි පරිසරය සකස් කළ පනතක් සම්මත කළා නම් ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතයි.
මේ පනතේ ඉතාම වැදගත්ම දේ තමයි ඒ පනතේ අරමුණු ඉටුකර ගන්න ඇති කළ යාන්ත්‍රණය, ඒ යාන්ත්‍රණය තමයි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව’. ඒ කොමිෂන් සභාව පත් කළාට පස්සේ මේ රටේ මහජනතාව, සිවිල් සමාජය කොයිතරම් සක්‍රීය ලෙස ඒකට දායක වුණා ද, මැදිහත් වුණා ද, ඒ මැදිහත් වීම මේ රටේ යහපත් ආණ්ඩුකරණයකට අවශ්‍ය කරුණු – කාරණා ඉස්මතු කළා ද, එපමණක් නොවෙයි, මේ රටේ මහජන මුදල් අයථා ලෙස වැය කරන, වැය වන, නාස්ති වන තත්ත්වයන් වළක්වා ගන්න හේතු වන කරුණු මොනවද යන්න සලකා බැලුවහොත් ඒකම ප්‍රමාණවත් තොරතුරු දැන ගැනීමේ කොමිෂමේ පැවැත්ම තව දුරටත් සහතික කරන්න, තව දුරටත් ශක්තිමත් කරන්න.
තොරතුරු කොමිෂමේ සභාපතිවරයා පත්කර, කොමිෂම ශක්තිමත් කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බව ද පේන්නේ ?
දැන් තිබෙන තත්ත්වය අනුව අපට එහෙම සැක කරන්න අවශ්‍ය සාධාරණ පසුබිමක් හදලා තිබෙනවා, ඒක පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මොකද, මේ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා, විනිසුරු උපාලි අබේරත්න මහත්මයා ඉල්ලා අස්වුණේ පසුගිය මාර්තු මස අග, එදින සිට මේ දක්වා, ආසන්න වශයෙන් මාස පහක පමණ කාලයක් තුළ ආණ්ඩුවට සම්පූර්ණ කළ යුතු කාරණා දෙකක් තිබුණා. එකක් තමයි මේ කොමිෂන් සභාවේ සාමාජිකයින් පස් දෙනෙක් සිටිය යුතුයි, නමුත් මේ වන විට සිටින්නේ සාමාජිකයින් සිවු දෙනකු පමණයි. ඒ අනුව එක් සමාජිකයෙකුගේ පුරප්පාඩුවක් තිබෙනවා. ඒ අනුව මේ වන විට කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙන්නේ සාමාජිකයින් සිවු දෙනකුගෙන්, නමුත් සභාපතිවරයෙකුත් පත්කර නැහැ. මේ තත්ත්වයම තොරතුරු කොමිෂම අක්‍රිය කිරීමට හේතු සාධක සපයන තත්ත්වයක්. මේක මේ රටේ සිවිල් සමාජය, දැනුවත් පුරවැසියන්, මේ රටේ ප්රජාතන්ත්රවාදය ගැන විශ්වාසය තබන, මේ රටේ වංචාව – දූෂණයට එරෙහිව ක්‍රියාකාරීව මැදිහත් වන සියලු ආයතන සහ පුද්ගලයින් අපේක්ෂා නොකළ තත්ත්වයක්.
ආණ්ඩුව මාස පහක් පුරා, ඉතාම සක්‍රීය, වැදගත් කොමිෂන් සභාවක සභාපතිවරයෙක් පත් කිරීම මහ හැර ඉන්නවා නම් ඒක අපිට තේරුම් ගන්න නොහැකි තත්ත්වක්. විශේෂයෙන්ම පුරප්පාඩු වී ඇති තනතුරට නව සාමාජිකයෙකු පත් නොකර ගැනීම අපට තේරුම් ගන්න බැරි දෙයක්. ඒක තේරුම් ගන්න බැරි තවත් කාරණයක් තමයි, දැන් මේ ඉන්න සාමාජිකයින් හතර දෙනාම ඉතාම කීර්තිමත් පුරවැසියෝ. ඒ අතරේ ඉන්නවා හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්, ඒ අතර ඉන්නවා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ඉතාම සක්‍රීය දායකත්වයක් ලබා දුන්, පුරවැසි සමාජය නියෝජනය කරන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය, ඒ වගේම තොරුතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන නීතිඥ ජගත් ලියනආරචචි මහත්මයා. මෙවැනි තිදෙනෙක් කොමසාරිස්වරු ලෙස කටයුතු කරමින් සිටියදීත් ඔවුන් අතරින් කෙනෙකු සභාපතිවරයා ලෙස පත් නොකිරීම අපට බරපතළ ගැටලුවක්.
මේක ගැටලුවක් වෙන්නේ හේතු කිහිපයක් නිසයි, සභාපතිවරයෙකු නැති කොමිෂන් සභාවක පැවැත්ම අවිනිශ්චිතයි, එපමණක් නොවෙයි ඉන්න පිරිස ගන්න තීන්දු – තීරණ බොහෝ විට නීතිය හමුවේ අභියෝගයට ලක්විය හැකියි, බලාත්මක නොවිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ මේ කොමිෂම පවත්වා ගෙන යනවා කියලා කියන්නේ මහ ජනතාව බලාත්මක කළ ප්‍රධාන ආයතනයක් දුර්වල කර, මේ රටේ මහජන අයිතියක් දුර්වල කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමක්.
මේ ආණ්ඩුවට කිසිම අපහසුතාවක් නැහැ, මේ ආණ්ඩුවට කිසිම බාධාවක් නැහැ මේ තනතුරු දෙක පුරවන්න. ඒක එක දවසින්, පැයෙන් කරන්න පුළුවන්. අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම වුවමනාවෙන් ඉල්ලා සිටිනවා, ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු මුළු කැබිනට් මණ්ඩයෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ‘කරුණාකරලා මේකට මැදිහත් වෙන්න, මේ ආයතනය දුර්වල කරන්න, දුර්මුඛ කරන්න, මරා දමන්න මැදිහත් වෙන්න එපා කියලා, ඒක ඉතාම සාපරාධි ක්‍රියාවක්.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හරහා පළාත් සභාවලට වැඩි බලයක් ලැබෙනවා කියලා බියක් කාලයක් තිස්සේ ජනතාව අතර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයට මේ සම්බන්ධ යම් අදහසක් තිබෙනවාද ?
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිට විධායක ජනාධිපති ක්‍රමය පමණක් වෙනස් කළොත් ඒ බිය සාධාරණ විය හැකියි. නමුත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ මේ සියලු තත්ත්වයන් සලකා බලා ජාතික ආරක්ෂාව, ජාතික ඒකාග්‍රතාවය, සෛරීභාවය, ස්වාධිපත්‍ය කියන මේ සියලු කාරණා තහවුරු වන, නමුත් ප්‍රාදේශීය වශයෙන් බලය විමධ්‍යගත කරන ක්‍රියාවලියකට යාමේ කිසිම අපහසුතාවක් නැහැ. ඉන්දියාව මේකට හොඳම උදාහරණයක්. ප්‍රාන්ත 28 ක් තිබෙන, විශාල ජනවාර්ගික විවිධත්වයක් තිබෙන රටක්. නමුත් ඉන්දියාව පාලනය කරන්නේ අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින්. බෙදුම්වාදී ප්රවනතා ගණනාවක් අතීතයේ මතුවුනත් රටක් ලෙස ස්ථාවරව කෑලිවලට නොකැඩී පවත්වා ගන්න ඉන්දියාව සමත් වෙලා තිබෙනවා. ඉන්දියාවට තිබෙන මේ හැකියාව අපටත් තබාගන්න නොහැකියාවක් නෑ. ඒ හැකියාව ලබා ගන්න නම්, ඒ හැකියාව ලැබෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ අවශ්‍ය විධිවිධාන සම්පාදනය කරගත යුතුයි. ඒකට විධායක ජනාධිපතිවරයෙක් හෝ ක්‍රමයක් තිබිය යුතුම නැහැ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්වරයා ලෙස ඔබ රජයට සහ ජනතාවට මොනවද යෝජනා කරන්නේ ?
රජයක් කියන්නේ මහ ජනතාවගේ අභිලාෂයන් නියෝජන වන රටේ ප්‍රමුඛතම ආයතනය. ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය, පැවැත්ම සහ යහපත් තත්ත්වයක් යටතේ කටයුතු කිරීම තමයි රටේ අනාගතය තීන්දු කරන ප්‍රධාන සාධකය. මේ වන විට ප්රජාතන්ත්රවාදී රාමුව තුළ ඉතාම සාධාරණ මැතිවරණයක් තුළින් අලුත් ජනාධිපතිවයෙක් සහ අලුත් ආණ්ඩුවක් පත් කර ගෙන තිබෙනවා. මේ පසුබිම තුළ වත්මන් ආණ්ඩුවට තිබෙන ප්‍රධාන වගකීම තමයි මේ රටේ මහජනතාව අපේක්ෂා කළ ඒ අභිලාෂන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම. ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය පුරවැසියන් විසින් ලබාදිය යුතුයි. ඒ වගේම පුරවැසියන් ලෙස අපි සුපරික්ෂාකාරී විය යුතුයි, ඒ මහජන අභිලාෂයන් ඉටු නොවන තැන්වලදී ඒවා පෙන්වා දෙමින්, සාධනීය විවේචනයන් සහ කරුණු දැක්වීම් කරමින්, ආණ්ඩුව වැරදි කරනවා නම් ඒවා නිවැරදි කිරීමට බලපෑම් කරන සමාජ මැදිහත්වීම ඉතාම වැදගත්, අත්‍යවශ්‍යයි.
ආණ්ඩුවක් බලයට පත් කරලා සමාජය නිෂ්ක්රීයව සිටීමෙන් වෙන්නේ ඒ පුරවැසියගේ අයිතිය, පුරවැසි දායකත්වය අප විසින්ම අහිමිකර ගැනීමයි. ඒ නිසා මම මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපි බලාපොරොත්තු වන රටක් නිර්මාණය කර ගැනීම සඳහා අපි ආණ්ඩුවට සහාය දිය යුතුයි, ඒ වගේම පුරවැසියන් බලාපොරොත්තු වන දේවල් ඉටු නොවන, මග හැරෙන තත්ත්වයන් තුළ දී සාමකාමීව, ප්රජාතන්ත්රවාදී රාමුව තුළ කටයුතු කරමින්, අපට අවශ්‍ය යහපත් රටක් සහ අනාගතය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි මැදිහත් විය යුතුයි. අනාගත පුරපුර වෙනුවෙන් මීට වඩා යහපත් රටක් නිර්මාණය කර ගැනීමට නම් මම ඉහත සඳහන් කළ ආකාරයේ සක්‍රීය පුරවැසි දායකත්වයක් සිදුවිය යුතුමයි. මේක පුරවැසියන් සතු විශාල වගකීමක් ලෙස අපි සලකනවා. මේ වෙනුවෙන් අවදියෙන් සිටින්න, මැදිහත් වෙන්න කියලා මම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
සටහන – තුෂාල් විතානගේ

