පළාත් පාලන මැතිවරණයට පෙර ප්රචණ්ඩත්වය ඉහළ යාම
- Editor
- May 1, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
අපි දැන් ජීවත් වෙන්නේ ඉතා ප්‍රචණ්ඩකාරී සමාජයක, තුවක්කුවකින්, බෝම්බවලින් සහ තර්ජනවලින් ප්‍රශ්න විසඳන ධ්‍රැවීකරණය වූ සමාජයක. එය පාලනය නොකළහොත් එය තවත් පැතිරෙනු ඇති.
2024 දී ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජාතික ජන බලවේග පක්ෂය සඳහා වන පළමු මැතිවරණ පරීක්ෂණයේදී, (මැයි 6 වන දින) පළාත් පාලන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා මිලියන 17කට අධික ජනතාවක් ඡන්ද පොළට යනු ඇත. ලියාපදිංචි දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා ඉදිරිපත් කර ඇත. සභා 340කට නියෝජිතයින් 8,500ක් පමණ තේරී පත් වනු ඇත.
වසර හතරක කාලයක් සඳහා පළාත් පාලන ආයතන තෝරා පත් කර ගැනීම සඳහා අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2018 දී ය. නව මැතිවරණ 2022 දී පැවැත්වීමට නියමිතව තිබුණත් ආර්ථික අර්බුදය හේතුවෙන් අරමුදල් නොමැතිකම හේතුවෙන් කල් දමන ලදී. අන්තර් කාලීනව පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වූයේ තේරී පත් වූ නායකත්වයකින් තොරව ය. මැතිවරණ පැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන්, පළාත් පාලන ආයතන 336ක පරිපාලනය දැනට තේරී පත් වූ නියෝජිතයන් වෙනුවට විශේෂ කොමසාරිස්වරුන් යටතේ පවතී.
මැතිවරණ සම්බන්ධයෙන් මාර්තු 20 වන දින සිට මැතිවරණ කොමිසමට, මැතිවරණ පැමිණිලි සඳහා වන ජාතික මධ්‍යස්ථානයට සහ මැතිවරණ පැමිණිලි සඳහා වන දිස්ත්‍රික් මධ්‍යස්ථානයට ගොනු කර ඇති පැමිණිලි සංඛ්‍යාව 2,298කි. ප්රචණ්ඩත්වයේ බරපතළම සිදුවීමේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්, ඔහුගේ වැල්ලම්පිටිය නිවසේදී ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. කටානේදී, තවත් අපේක්ෂකයෙකු තමාට පිහියෙන් ඇනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේය.
මෙම මැතිවරණය සියයට 25ක කාන්තා කෝටාව ක්‍රියාත්මක කරන දෙවන අවස්ථාව වන අතර සියයට 25ක තරුණ කෝටාවක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව ද වේ. නියමිත කාන්තා සහ තරුණ නියෝජනයේ ප්‍රතිශතයන් සපුරාලීම සඳහා අවශ්‍යතා සපුරාලීමේදී ඇති වූ සංකූලතා හේතුවෙන් නාමයෝජනා ලැයිස්තු කිහිපයක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසම වාර්තා කර ඇත. නීත්‍යානුකූල පිටපතක් යනු කුමක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබා දුන් පරස්පර විරෝධී තීන්දු ද තවදුරටත් ප්‍රතික්ෂේප කිරීම් වලට හේතු විය.
ඉහළ යන මැතිවරණ ප්රචණ්ඩත්වය, වැරදි තොරතුරු පැතිරීම සහ පරස්පර අධිකරණ තීන්දු පිළිබඳව Groundviews, CMEV හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහාචාර්ය අර්ජුන පරාක්‍රම සමඟ සාකච්ඡා කළේය. එය පහත දැක්වේ.
ජනාධිපතිවරයා ඔහුගේ රැලිවලදී පවසන දේ සම්බන්ධයෙන් අපි දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, එය මූලික නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස අපි දකිනවා.

ප්රශ්නය – ඔබ මේ දක්වා දැක ඇති මැතිවරණ උල්ලංඝනයන් මොනවාද සහ ඒවා මෑත කාලීන මැතිවරණ දෙකේදී සිදු වූ මැතිවරණවලට වඩා වැඩිද?
ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මේ මැතිවරණය සහ ගිය අවුරුද්දේ තිබුණු මැතිවරණ දෙක අතර වෙනසේ හදවතට ඒක පහර දෙනවා. පසුගිය වසර කිහිපය තුළ, අපට විවෘත ප්රචණ්ඩත්වය අනුව සාපේක්ෂව හොඳ මැතිවරණ තිබුණා. මේ මැතිවරණයේදී අපි දකින මිනීමැරුම්, පෙට්‍රල් බෝම්බ සහ ඒ වගේ දේවල් තිබුණේ නැහැ. උල්ලංඝනය කිරීම් වල තීව්රරතාවය වඩාත් බරපතල වී තිබෙනවා. විවිධ ආකාරයේ උල්ලංඝනයන් ද අපි දැක තිබෙනවා. සමාජ මාධ්‍යවල මැතිවරණ ව්‍යාපාර සහ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වැරදි තොරතුරු සහ සාවද්‍ය තොරතුරු පළ වෙනවා. සමහර අපේක්ෂකයින් තම ජීවිත ගැන බිය වූ පැරණි කාලයට අපි නැවත යොමු වෙනවා. ජූරි සභාව තීරණය කර ඇත්තේ මැතිවරණය ගැන ද නැත්නම් වෙනත් දෙයක් ගැන ද යන්නයි. නමුත් නිසැකවම ඔවුන් අපේක්ෂකයින් නිසා එය මැතිවරණය ගැන විය යුතුයි. එසේ නොමැතිනම් දැන් ඇයි, මේ සන්දර්භය තුළ ඇයි ? අපි උත්සන්න වන ප්‍රවණතාවක් දකිනවා. මිනිස්සු එකතු වෙලා අවංකව මැතිවරණ ව්‍යාපාරය කරනවා, ඒ නිසා අපි පසුගිය වතාවේ නොදුටු ප්රචණ්ඩත්වය සහ ව්‍යාකූලත්වය උත්සන්න වීමක් දකිනවා. එම ව්‍යාකූලත්වය අධිකරණයේ තීරණ සහ මැතිවරණ කොමිසමේ තීරණ සමඟ සම්බන්ධ වෙනවා. එය නීතියේ ආත්මයට නොව අකුරටම ඇලී සිටින තරමක් දැඩි හා ආඥාදායක තත්ත්වයක්.
ප්රශ්නය – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ අභියාචනාධිකරණ තීන්දුව අතර පරස්පරතාව කුමක්ද?
ප්‍රධාන තේරීම් භාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර ගණනාවක් තිබුණා. ඒවායින් සමහරක් ප්‍රතික්ෂේප කළේ කාන්තා අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය අදාළ නාම අපේක්ෂක ලැයිස්තු තුළ නොමැති වූ නිසයි. එය හොඳයි. නමුත් තාක්ෂණික කරුණු මත පදනම්ව ප්‍රතික්ෂේප කරන ලද සමහරක් තිබුණා. වඩාත්ම පොදු දෙය නම් උප්පැන්න සහතිකයක් හෝ වෙනත් සහතිකයක් නීතියේ ලිපිය අනුව සහතික කළ පිටපතක් නොවූ විටයි. බොහෝ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඒවා සාම විනිසුරුවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් සහතික කර නොතිබූ නිසයි. අතෘප්තියට පත් බොහෝ අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එය සත්‍ය පිටපතකට ප්රතිවිරුද්ධව සහතික කළ පිටපතක් බැවින් එය වලංගු නොවන බව තහවුරු කළා. මෙය අර්ථකථනයක්. මන්ද සත්‍ය පිටපතක් මෙම නොතාරිස්වරුන් විසින් සහතික කළ හැකියි. සහතික කළ පිටපතක් මුල් නම් කිරීමේ අධිකාරිය විසින් සහතික කළ යුතුයි. එය උප්පැන්න සහතිකයක් නම්, උප්පැන්න සහතික නිකුත් කරන ආයතන විසින් එය කළ යුතුයි, එය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෝ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි. එබැවින් බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කිරමට ලක් වුණා. එය තහවුරු විය. නමුත් සමහර අය මෙම පදනම මතම අභියාචනාධිකරණයට ගිය අතර, අභියාචනාධිකරණය තීරණය කළේ එය පිළිගත් නොතාරිස්වරයෙකු සහ සහතික කිරීමට බලයලත් අයෙකු විසින් සහතික කළ හැකි බවයි. එය සම්පූර්ණ පරස්පරයක්. එහි ප්‍රතිඵලයක් ලෙස අභියාචනාධිකරණයට ගිය බොහෝ දෙනෙකුගේ නාමයෝජනා පත්‍ර පිළිගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය සමහරක් ප්‍රතික්ෂේප කරන ලද අතර ඔවුන්ගේ නාමයෝජනා පිළිගෙන නැහැ. අවසාන කරුණ නම් ඔබට තීරණ දෙකක් ඇති අතර, එකක් අනෙකට පටහැනියි. ඉතින් දැන් අපි දෙකම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව සමහර නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති අතර සමහරක් අභියාචනාධිකරණයේ තීන්දුව මත පිළිගෙන තිබෙනවා. අපි මැතිවරණ කොමිසමෙන් අසන ප්රශ්නය නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ කෙසේද ? යන්නයි. ඊළඟ මැතිවරණය සඳහා හෝ මේ ප්‍රශ්නයට පැහැදිලි හා නිරවුල් පිළිතුරක් ලබාදිය යුතුයි.
සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාද?
ජනාධිපතිවරයා ඔහුගේ රැලිවලදී පවසන දේ සම්බන්ධයෙන් අපි දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, එය මූලික නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස අපි දකිනවා. මන්ද ඔහු පවසන්නේ පළාත් පාලන බලධාරීන් හරහා මුදල් වෙන් කිරීමට අවශ්‍ය නම්, ඔබට NPP පාලනය කරන පළාත් පාලන අධිකාරියක් තිබිය යුතු බවයි. ඔහු එසේ පැවසූ ස්ථාන අටක් අපි හඳුනාගෙන තිබෙනවා. එ් ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලයි. මෙවැනි තත්ත්වයක් තුළ අදාළ ප්‍රකාශය මගින් සිදුවන බලපෑම බොහෝ සෙයින් වැඩි යි. අපි මේ කාරණය මතු කළ අතර මැතිවරණ කොමිසමෙන් මට ලිපියක් ලැබුණා, මෙවැනි ප්‍රකාශ මැතිවරණයට තරඟ කරන අනෙකුත් පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින්ට අගතියක් විය හැකි බව දන්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව එහි සඳහන් කර තිබුණා. මෙය ද අභියෝගයට ලක් වුණා. පැමිණිල්ල පිළිබඳ ලිපියක් පුවත්පතක පළ වූ විට, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා අදාළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවත් එවැනි ලිපියක් ගොස් නැති නිසා එය වහාම ඉවත් කරන ලෙසත් අදාළ පුවත්පතට දැනුම් දී තිබුණා. මෙය නැවත නැවතත් සිදු වූ අතර දැන් ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා එවැනි ලිපියක් ගොස් නැති බව පැවසූ දිනයේ ලිපිය යවා ඇති බව තහවුරු වී තිබෙනවා. ජනාධිපතිවරයාට අදාළ ගැටලුවකට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා මැදිහත් විය යුත්තේ මන්ද යන ප්රශ්නය එය මතු කරනවා. ප්රවෘත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයක්. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් Meta සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා ඔවුන් යෝජනා කර ඇති ආකාරයට උදව් කිරීමට එකඟ වී නැති බව මැතිවරණ කොමිසමෙන් අපට අසන්නට ලැබුණා. එබැවින් මැතිවරණ කොමිසමට එම සහයෝගය නොලැබිය හැකියි.
ප්රශ්නය – මැතිවරණ දිනයේදී සහ ඉන් පසුව ප්රචණ්ඩත්වය ඇතිවීමේ සම්භාවිතාව කුමක්ද?
මේක කියන්න වෙන එක ගැන මට කණගාටුයි, නමුත් ලකුණු හොඳ නැහැ කියලා මම හිතනවා. ඩෑන් ප්‍රියසාද්ගේ කාරණය මේ මොහොතේ ඇති වූ හදිසි අවස්ථාවක් ලෙස සැලකිය නොහැකියි. ඒ ඔහු අපේක්ෂකයෙක් නිසා, මම හිතන්නේ ඒ අතර සම්බන්ධයක් තියෙනවා. අපි දැන් ජීවත් වෙන්නේ ඉතා ප්‍රචණ්ඩකාරී සමාජයක, තුවක්කුවකින්, බෝම්බවලින් සහ තර්ජනවලින් ප්‍රශ්න විසඳන ධ්‍රැවීකරණය වූ සමාජයක. එය පාලනය නොකළහොත් එය තවත් පැතිරෙනු ඇති.
Rising Violence Ahead of Local Government Elections යන ශීර්ෂ පාඨය යටතේ groundviews.org හි අප්‍රේල් 25 වැනි ප්‍රකාශයට පත් වූ වාර්තාවක සිංහල පරිවර්තනයකි.
පරිවර්තනය – වරුණ විජයතුංග
උපුටා ගැනීම – https://groundviews.org

