‘බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කරන විසඳුම සහ ‘දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අතර කිසිම ගැළපීමක් නැහැ’
- Editor
- August 31, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මහේෂි හේරත් – විධායක අධ්‍යක්ෂිකා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය
බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කරන විසඳුම සහ පනත් කෙටුම්පත අතර කිසිම ගැළපීමක් නැහැ. මේ සංශෝධනයේ ජනතා ප්‍රවේශයට නොවෙයි ඔවුන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. දේශපාලනඥයා ද, රාජ්‍ය සේවකයා ද, නැතහොත් 80 වැනි වගන්තියේ සඳහන් වන කාරණයට නොවෙයි මේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනම ම ප්‍රශ්නයක්. ඒ නිසා ආණ්ඩුව කියන විසඳුම මේකට ගැළපෙන්නේ නැහැ, ඒක මේකට අදාළ නැහැ.

බිමල් රත්නායක අමාත්‍යවරයා පසුගිය දා සඳහන් කළා මේ යෝජිත පනත සම්මත කරන විට දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දී ජනතාවට අගතියක් නොවන ආකාරයට පනත කෙටුම්පත් කරනවා කියලා. එවැනි තත්ත්වයක් ඔබට නිරීක්ෂණය වෙනවා ද ?
කිසිසේත්ම නැහැ, බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කරන විසඳුම සහ පනත් කෙටුම්පත අතර කිසිම ගැළපීමක් නැහැ. මේ සංශෝධනයේ ජනතා ප්‍රවේශයට නොවෙයි ඔවුන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. දේශපාලනඥයා ද, රාජ්‍ය සේවකයා ද, නැතහොත් 80 වැනි වගන්තියේ සඳහන් වන කාරණයට නොවෙයි මේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනම ම ප්‍රශ්නයක්. ඒ නිසා ආණ්ඩුව කියන විසඳුම මේකට ගැළපෙන්නේ නැහැ, ඒක මේකට අදාළ නැහැ.
ඔබ මීට පෙර සඳහන් කළා ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නෛතිකව බැඳී සිටිනවා කියලා. මේ සියලු දෙනාගේම සංශෝධිත වත්කම් – බැරකම් ප්‍රසිද්ධ කිරීමේ හැකියාවක් කොමිෂමට නැහැ. ඒ වගේම ඔබ මුලින් සඳහන් කළ නීතිපතිවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු නම් කළ ආයතන කිහිපයකට හැරෙන්න වෙනත් කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට, විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්ට මේ වත්කම් – බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ නේද ?
බැහැ, නම් කළ ආයතන කිහිපයකට හැර වෙනත් කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකියි. යම්කිසි පුද්ගලයෙක් විසින් ලබාගත් මේ තොරතුරු ප්‍රකාශයට පත් කළොත් ඒක වරදක් වෙනවා. ඒ අනුව ඔහුට හෝ ඇයට දඩ සහ සිරදඬුවම් නියම කිරීමේ හැකියාව මේ පනත අනුව තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂයකට නොවැඩි සහ වසරකට නොවැඩි සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමේ හැකියාව අධිකරණයට තිබෙනවා.
මේ තත්ත්වය තොරතුරු දැන ගැනීමේ අයිතිය එක්තරා ආකාරයකින් උල්ලංඝණය කිරීමක් ලෙස සැලකිය නොහැකි ද ?
ඔව්, ඉතාම පැහැදිලිව යෝජිත පනත හරහා එවැනි දෙයක් සිදුවෙනවා. මේ ගැටුම වෙනත් රටවල් වලත් සිදුවෙලා තිබෙනවා. පෞද්ගලිකත්වය සහ දූෂණ මර්දනය අතර ගැටුම බොහෝ රටවල සිදුවෙනවා. මගේ මතකයේ හැටියට 2005 දී පවා මේ සම්බන්ධ නඩු ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙවැනි අවස්ථාවල එවැනි රටවල් පවසා තිබෙනවා, දූෂණ සහ වංචාව නිසා සිදුවන සමාජ – ආර්ථික තර්ජනය නැවැත්වීම සහ පෞද්ගලිකත්වයට සිදුවන හානිය මැන බැලුවොත් දූෂණය වැළැක්වීමට වැඩි බරක් තබනවා කියලා. ඒකට හේතුව තමයි එහි බලපෑම සමස්තයක් ලෙස මුළු සමාජයටම වැදගත් වෙනවා. ඒ වගේම වත්කම් සහ බැරකම් ප්‍රකාශයට පත් කළ යුතු පුද්ගලයින් රජයේ මුදල් හා සම්බන්ධ තීන්දු – තීරණ ගැනීමේ තැන්වල ඉන්න පුද්ගලයින්. ඒ වගේම මේ කර්තව්‍යයේදී ඔවුන්ට වැඩි වගකීමක් තිබෙනවා වගේම ඔවුන් දූෂණයට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් මේක කළ යුතු බවට අදහස් තිබෙනවා.
ඒ වගේම පවුල, දරුවෝ, සමීපතමයින් කියන අය මේ කාරණයේ දී වෙන් කළ නොහැකි බවට සමහර නඩු තීන්දු තිබෙනවා. ඒ වගේම කාලත්‍රයා සහ අදාළ පුද්ගලයා කිසිම ආකාරයකින් වෙන් කළ නොහැකි බවට අදහස් තිබෙනවා. ඒ නිසා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කරන සියලු පුද්ගලයින් තමන්ගේ කාලත්‍රයාගේ වත්කම් සහ බැරකම් ද ප්‍රකාශයට පත් කළ යුතු බවට නඩු තීන්දු තිබෙනවා.
උදාහරණයක් ලෙස ආර්මේනියාවේ, ජෝර්ජියාවේ සහ යුක්ක්‍රේනයේ මේ සම්බන්ධ නිදසුන් තිබෙනවා. යම්කිසි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ රටවල් අපට වඩා වෙනස් රටවල් කියලා. නමුත් යුක්ක්‍රේනයට වත්කම් – බැරකම් ප්‍රකාශ කිරීමේ දී ඉතාම හොඳ රටක් ලෙස පිළිගැනීමට ලක්වෙනවා.
නමුත් අපට තේරුම් ගැනීමට හැකි, අපත් සමඟ ළඟින්ම සිටින සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය වැනි රටවල් වල මේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔවුන් ක්‍රම කිහිපයකින් මේ ගැටලුව නිරාකරණය කර ගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස විශාල පිරිසක් වත්කම් – බැරකම් ප්‍රකාශ කළ යුතු කාණ්ඩයට ඇතුළත් කර ගෙන නැහැ. ඉහළම කාණ්ඩය පමණයි මේ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. මේ අයගේ කාලත්‍රයා සහ දූ දරුවන් ද වත්කම් – බැරකම් ප්‍රකාශ කිරීමට ඇතුළත් වුණත් ඇතුළත් වන ප්‍රමාණය අඩුවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි.
ඒ වගේම වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරිපත් කිරීමට හැකි ආයතන හෝ පුද්ගලයින් විශේෂයෙන් නම් කිරීමක් මේ රටවල සිදුවෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රකාශ අවභාවිත කළොත් දඬුවම් කිරීමට හැකියාවක් තිබෙනවා. යුක්ක්‍රේනය වැනි රටවල සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ජනමාධ්‍යවේදීන්ගේ මේ සම්බන්ධ මැදිහත් වීම නෛතිකව පිළිගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියත් ‘පෞද්ගලිකත්වයට හානි වෙනවා’ කියන තර්කය මත වත්කම් සහ බැරකම් සම්බන්ධ තොරතුරු, ජනතාවට, ජනමාධ්‍යවලට භාවිතා කිරීමට ඇති හැකියාව කිසිම ආකාරයකින් සීමා කිරීමක් කරලා නැහැ. ශ්‍රී ලංකාව මුලින්ම මේ ප්රඥප්තියට අත්සන් තැබූ රටක් ලෙස ගෞරවයට ලක්ව තිබෙනවා. මේ ප්රඥප්තිය 2003 දී සම්මත වෙන කොට අපි 2004 දී මේ ප්රඥප්තිය අනුව කටයුතු කරන බවට පොරොන්දු වුණා.
මේ අනුව දූෂණය පිටු දැකීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අතර තුලනයක් පවත්වා ගෙන යන ආකාරය සොයා ගැනීම අප සතු වගකීමක් ලෙස මම දකිනවා. නමුත් කිසිම පාර්ශ්වයක් සමඟ සංවාදයකින් තොරව 2023 දී සම්මත කළ මේ නීතියට සංශෝධනයක් ගෙන ඒම පිළිගන්න පුළුවන් දෙයක් ලෙස මම දකින්නේ නැහැ.
වත්කම් සහ බැරකම් ප්‍රකාශයට පත්කරන ලද යම්කිසි පුද්ගලයෙක්ගේ තොරතුරක් ඉවත් කිරීමට අල්ලස් කොමිෂම තීරණය කරන්නේ කොහොම ද ?. මේ ගැන පනතේ නිශ්චිත පැහැදිලි කිරීමක් කරනවා ද ?. අල්ලස් කොමිෂම කොහොමද තමන් ගත්ත තීන්දුව සාධාරණීකරණය කරන්නේ ?
එතන තමයි ලොකුම ප්රශ්නය තියෙන්නේ. බැංකු ගිනුම් අංක, ලිපිනය, ඔප්පු අංක ආදිය ඉවත් කළ යුතුයි කියලා නීතියේ පැහැදිලිව තිබෙනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ සංවාදයේ දී තමයි මේ නිර්ණායක ඉදිරිපත් වුණේ. නමුත් මීටත් පරිභාහිරව කිසිම පදනමක් නොමැතිව අල්ලස් කොමිෂමට මේ බලය දීලා තිබෙනවා. අපි දන්නේ නැහැ ඔවුන් කටයුතු කරන්නේ කොහොමද කියලා. එක කණ්ඩායම පෞද්ගලිකත්වයට හානිකර තොරතුරු තවත් කණ්ඩායමකට අදාළ නොවන්න පුළුවන්. ඒක හරිම පුද්ගලික කාරණයක් ලෙස සැලකිය හැකියි. නිශ්චිත නිර්ණායක නොමැති නිසා මේක අවභාවිත වෙන්න ඇති හැකියාව ගොඩක් වැඩියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන ගැන විමසුමක්’ නම් තේමාව යටතේ පැවැති 287 කතිකාවේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා මහේෂි හේරත් විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මාධ්‍යවේදී ෂාන් විජේතුංග විසින් මෙම සංවාදය මෙහෙය වන ලදි.
සටහන – තුෂාල් විතානගේ

